Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Nokia සමාගමේ නවතම Nokia 8.1 දුරකතනය

චීනයේ X7 ලෙසත්, ලොව අන් රටවලට Nokia 8.1 ලෙසත් හැඳින්වෙන, Nokia සමාගමේ නවතම දුරකතනය මධ්‍යම මිල උපාංගයක් වශයෙන් Snapdragon ප්‍රොසෙසරය, Android One සමග දින දෙකක බැටරි ආයු කාලයක් ද ගෙන එනවා.

‍බාහිර පෙනුම

විවිධ ආනතිවලට පෙනුම. මෙහි තිරය මත ‘ඇඟිලි සලකුණු’ ලකුණක් ඇත්තේ ඉන් ආරක්ෂිත බව පෙන්වීමටයි. In-screen සෙන්සරයක් නැහැ. (theandroidsoul.com)

Nokia 8.1 දුරකතනයේ බැලු බැල්මට පෙනුම පෙර ආ Nokia 7.1 දුරකතනයට සමාන යි. දිගු Notch එකක් සහිත මෙහි ඉදිරිපස මෙන්ම පසුපස ද වීදුරුවලින් සකසා තිබෙනවා. ඉහළ පෙළ උපාංගවල මෙලෙස වීදුරු පසුපසක් යොදන්නේ රැහැන් රහිත ආර‍ෝපණ විශේෂාංගයට පහසුකම් සැලසීමට නමුත් මෙහි එවන් හැකියාවක් නැහැ. පසුපස ලිස්සන සුළු බවින් ඉතා වැඩි නිසා බිම වැටීමේ අවදානමක් තිබෙනවා. පසුපස කවරයක් කොහොමටත් අපි යොදන නිසා එය එතරම් ගැටළුවක් වන එකක් නැහැ. නිල්/රිදී, වානේ/ තඹ, යකඩ/වානේ වැනි සංකලිත වර්ණ මාදිලි කිහිපයකින් හඳුන්වාදෙන 8.1 දුරකතනය සුමට දාර සහ මුලුවලින් සමන්විතව සකසා තිබෙනවා. වටේ දාරයට ඇලුමිනියම් නිමාවක් තිබෙනවා.

ඉදිරිපස පෙනුම 2018 දී දකින්නට ලැබුණු දුරකතන අනුගමනය කරන නමුත් ඉහළ සහ පහළ දාරයන් සැලකිය යුතු තරම් ඝනකමින් වැඩියි. “Edge to Edge display” ලෙස ඔවුන්ම සඳහන් කරන ආකාරයට මෙහි දෙපස දාරයන් ඉතා තුනීව තිරයට ඉඩ සලසනවා. පහළ දාරයේ Nokia ලාංඡනය යොදා තිබෙනවා. එයම නැවතත් දුරකතනය පසුපස මැදින් හරහට යොදා තිබෙනවා. සාමාන්‍යයෙන් වෙනත් දුරකතනවල පසුපසට යොදන්නේ රූපමය ලෝගෝව වුවත් ඔවුන් එවැන්නක් භාවිතා නොකරන නිසා මෙසේ කරන්නට ඇතැයි සිතිය හැකියි. දුරකතනයේ දකුණුපස දාරයේ Power බොත්තම සහ ශබ්ද පාලක යතුරු තිබෙන අතර, වම් පස Sim tray එක තිබෙනවා. ඉහළ දාරයේ 3.5mm jack එකත්, පහළ දාරයේ USB Type-C පෝට් එක සහ තනි ස්පීකරයක් තිබෙනවා.

දුරකතනය පසුපස මැදින් ඉහළට සමීපව කැමරා යුගලයක් සිරස්ව යොදා තිබෙනවා. ඊට වම් පසින්, කැමරා දාරයට එපිටිනුයි ෆ්ලෑෂරය අඩංගු කර ඇත්තේ. ඊට පහළින් විශාල ප්‍රමාණයේ ඇඟිලි සලකුණු සංවේදකයක් අඩංගු කර තිබීම ප්‍රමාණයෙන් විශාල ඇඟිලි තිබෙන කෙනෙක්ට වුවත් නිවැරදි ආරක්ෂාවක් ලබාගන්නට පහසුවක් වනු ඇති.

Notch එක සහ තිරය

Notch එක hide කර ඇති මෙම අවස්ථාවේ ඉහළ සහ පහළ දාරයන්ගේ නොගැලපීම සංසන්දනය කරන්න. (gsmarena.com)

‍8.1 දුරකතනයේ Notch එකෙහි කැමරාව හා සංවේදකවලට අමතරව ඉදිරිපස ස්පීකරය ද අඩංගු කර තිබෙනවා. 2018 දී දකින්නට ලැබුණු දුරකතන බොහොමයක මෙය ඉහළ දාරයටම යොදා සකසා තිබුණත් මෙලෙස Notch එකටම යෙදීමෙන් එහි පළල තවත් වැඩිව තිබෙනවා. ඒ වගේම, සැකසුම්වලින් Notch එක hide කළවිට තිරයේ ඉහළ දාරයේ ඇතිවන කවාකාර බව තිරය යට ඇති කවාකාර බවට වඩා බෙහෙවින් අඩුවීම අසහනකාරී හැඟීමක් ගෙන එනවා.

මෙහි අඟල් 6.18ක තිරය Nokia සමාගම හඳුන්වන්නේ PureDisplay ලෙස යි. එය 1080 x 2280 තිර විභේදනයකින් (resolution) යුතු Full-HD+ තිරයක්. IPS LCD තාක්ෂණියෙන් බල ගැන්වෙන මෙය HDR10 සහාය ද සමග 96%ක වර්ණ සංකලනයක් තිරය මතට ගෙන එන්නේ හොඳ තිර දීප්තියක් ද සමග යි. Android 9 Pie සතු Adaptive brightness නිසා ඔබ දිනය තුළ භාවිතා කරන තිර දීප්තතාවන් දුරකතනය විසින් අවබෝධ කරගෙන ඊට අනුගත වෙනවා.

කැමරා

Carl Zeiss ආයතනයේ නිපැයූ කැමරාවක් අඩංගුයි (xda-developers.com)

පසුපස කැමරා දෙකකින් යුත් පද්ධතියක් Nokia 8.1 සතු යි. ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 12ක් සහ අනෙක ගැඹුර හඳුනාගැනීම සඳහා වූ මෙගාපික්සල් 13ක කැමරා සංවේදකයක්. ප්‍රධාන කැමරාව සතුව ඡායාරූප ගැනීමේදී ඇතිවන සෙලැවීම් අවම කරන OIS විශේෂාංගය ඇති අතර අඩු අලෝක තත්ත්වයන්හි දී ද හොඳ ගුණාත්මක බවකින් යුතු ඡායාරූප ගෙන එනවා. Google Lens පහසුකම සහ AI හැකියාවන් එක් කර ඇති නිසා කැමරාව තුළින් දකින දේ හඳුනාගන්නට උපාංගයට අවස්ථාව ලැබෙනවා. පසුපස කැමරාව ZEISS තාක්ෂණයෙන් බල ගන්වා තිබෙනවා.

Pro Mode එකෙන් white balance, shutter speed, exposure, සහ focus වෙනස් කරමින් ඡායාරූප ගන්නට අවස්ථාව සලසන අතර Bothie mode එකෙන් ඉදිරිපස සහ පසුපස කැමරා දෙකම එකවර භාවිතා කරමින් ඡායාරූප ගන්නට පුළුවන්.

ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 20ක් වන අතර එය පික්සල් 4ක් තනි පික්සලයක් සේ සලකා ඡායාරූපය ගන්නා බැවින් අඩු ආලෝක තත්ත්වවල දී ද හොඳ ප්‍රතිඵල ගෙන එනවා.

පද්ධති ගුණාංග

හොඳින් වර්ණ දර්ශනය කරනවා (nokiamob.net)

Qualcomm සමාගමේ Snapdragon 710 ප්‍රොසෙසරය භාවිතයට අවස්ථාව දෙන මෙම දුරකතනය ගිගාබයිට් 4ක RAM අගයකින් Android 9.0 Pie ධාවනය කරනවා. චීනයට නිකුත් කරන වෙළුමෙහි නම් ගිගාබයිට් 6ක රැම් අගයකින් ද මෙය ලබාගත හැකියි. මෙහෙයුම් පද්ධතියෙහි විශේෂත්ව‍යක් වන්නේ Android One තිබීම යි. මේ නිසා නිෂ්පාදකයා විසින් සිදුකරන ලද අවම වෙනස්කම් යටතේ Pure android අත්දැකීම විඳින්නට අවස්ථාව ලැබෙනවා.

ගූග්ල් සමාගම Pixel වැනි දුරකතනවලට පමණක් සීමා කරනු දකින්නට ඇති Digital Wellbeing හෙවත් ඇප් එකක් කොපමණ කාලයක් පාවිච්චි කරනු ලැබුවා ද යන්න බැලිය හැකි විශේෂාංගයන් පවා මේ දුරකතනයේ අඩංගු වෙනවා. පැරණි මාදිලියක ප්‍රොසෙසරය නිසා ඉදිරි වසරවලට ලැබෙන ඇප් updateවලට මුහුණ දිය හැකි ද යන්න නම් ගැටළු සහිත යි.

වෙනත් විශේෂාංග

තිරයේ පහළ ඇති බොත්තම තදකරගෙන සිටි විට Google Assistant ලැබෙනවා (b-cdn.net)

Android Pie සතු Adaptive battery විශේෂාංගයන් නිසා මෙහි බැටරි බලයට මෙහෙයුම් පද්ධති සහාය ද ලැබෙනවා. මෙහි 3500 mAh බැටරිය විනාඩි 90ක චිත්‍රපටයක් උපරිම brightness යටතේ නැරඹීමේ දී ද 10%ක් පමණ අගයකුයි භාවිතා කරන්නේ. නිල වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට ඔවුන් දින 2ක් පුරා තනි ආරෝපණයකින් භාවිතා කළ හැකි බව කියනවා. වේගවත් ආරෝපණ හැකියාව ද තිබෙන නිසා පැයක දී පමණ පූර්ණ අ‍ාරෝපණයක් ලද හැකියි.

NFC, බ්ලූටූත් 5.0, දෙවැනි සිම්පත වෙනුවට 400 GB දක්වා මතකපත් (memory card) භාවිතා කිරීමට හැකිවීම, USB On-The-Go විශේෂාංගය මෙහි අන්තර්ගත යි. වෙළඳපොළට පිවිසෙන විට $400ක් හෙවත් මෙරට රු. හැත්තෑ දහසකට ආසන්න මුදලක් වනු ඇතැයි අනුමාන කළ හැකියි.

කවරය: digit.in

Related Articles