Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුතින්ම ආ OnePlus 7 සහ OnePlus 7 Pro දුරකතන

පසුගිය මැයි මස 14 වන දා Oppo, Vivo සමාගම්වල සහෝදර සමාගම වන OnePlusහි නවතම දුරකතනය වන OnePlus 7 එළිදැක්වුණා. 2019 වසරට ගැලපෙන පෙනුමක් සහ විශේෂාංග රැසක් ගෙන ආ OnePlus 7 සහ Pro මාදිලි දෙක Samsung S10+ සමග සංසන්දනය කරමින් ඊටත් වඩා ඉදිරියෙන් සිටින බවට ධෛර්යමත්ව කියන්නට ඔවුන් සමත්වුණා.

බාහිර පෙනුම

OnePlus 7 දුරකතනයේ ඉදිරිපස සහ පසුපස (gadget.ro)

මුහුණත පුරා විහිදුණු තිර සහිත OnePlus 7 සහ Pro දුරකතන ද්විත්වයේම බාහිර පෙනුමේ මූලික වෙනස්කම් ලෙස පෙනෙන්නට තිබෙන්නේ තිර ප්‍රමාණය සහ පසුපස කැමරා ප්‍රමාණය යි. OnePlus 7 දුරකතනයේ Dew-drop හෙවත් මුහුණත ඉහළ ඉතා කුඩා notch එකක් මත ඉදිරිපස කැමරාව රඳවා තිබෙනවා. Pro දුරකතනයේ ඒ වෙනුවට දුරකතනයේ ඉහළ දාරයෙන් පිටතට පැමිණෙන මෝටරයක් සහිත කැමරාවක් ඇති නිසා තිරය මුහුණත සහ දෙපස දාරයන් වැඩි කොටසක් ද ආවරණය කරමින් හොඳ පෙනුමක් ලබා ගන්නවා. දුරකතන දෙකෙහි දෙපසම Corning Gorilla Glass ආරක්ෂාවක් යොදා, වටේ දාරය ඇලුමිනියම් වලින් සකසා තිබෙනවා.

දුරකතන දෙකෙහිම රළු කළ Power බොත්තම සහ Assistant බොත්තම දකුණු පස දාරයෙහිත්, ශබ්ද පාලක බොත්තම් වම් පස දාරයෙහිත් තිබෙනවා. OnePlus 7 දුරකතනයේ දිගු ශබ්ද පාලක බොත්තමට ඉහළින් සිම්පත් කවුළුව තිබෙන අතර යට දාරයේ USB-C port එක දෙපස Speaker කවුළු දෙකක් තිබෙනවා. Pro දුරකතනයේ තනි Speaker කවුළුවක් සහ දකුණු පසින් සිම්පත් කවුළුව යොදා ත‍ිබෙනවා. මුහුණත ඉහළ දාරයේ ඇමතුම් ගැනීමේ ස්පීකරය සිහින් රේඛාවන් මෙන් දැකගත හැකි වෙනවා.

OnePlus 7 Pro දුරකතනයේ ඉදිරිපස සහ පසුපස (ignimgs.com)

දුරකතනවල පසුපස; ඉහළට ආසන්නව පිටතට ආ කවාකාර නෙරුමක කැමරා අඩංගු කර තිබෙනවා. OnePlus 7 සතුව කැමරා 2ක් සහ Pro හි කැමරා 3ක් අඩංකු වෙනවා. ඊට පහළින් ෆ්ලෑෂරය සහ රූපමය OnePlus ලෝගෝව තිබෙනවා. පහළ දාරයට ආසන්නව නැවතත් අක්ෂර සහිත OnePlus ලෝගෝව යොදා තිබෙනවා.

OnePlus 7 අළු (Mirror Gray) සහ රතු වර්ණ මාදිලි වලිනුත්, Pro දුරකතනය නිල් (Nebula Blue), අළු සහ රත්‍රං පැහැයට හුරු ආමන්ඩ් (Almond) වර්ණයෙන් ද ලබා ගත හැකියි.

තිරය

Gaming වලට උචිත තිරයක් (oneplus.in)

Dew-drop notch එකක් සමග අඟල් 6.41ක 2340 x 1080 px තිර විභේදනයක් (resolution) ඇති Optic AMOLED තිරයක් OnePlus 7 සතුව තිබෙනවා. මෙම Optic AMOLED යනු OnePlus සමාගම සාමාන්‍ය Super AMOLED වැඩිදියුණු කර, යොදන ලද නමක්. එහි විශේෂත්වයක් වන්නේ වඩාත් හොඳ වර්ණ සංකලනයක් හා ‍සාපේක්ෂව වැඩි Refresh rate එකක් තිබීමයි. මුහුණත වටා දාරය ඉතා සිහින් වන අතර යට දාරය සාපේක්ෂව වැඩි නමුත් එය නොසලකා හැරිය හැකි තරම් වනවා. බොහෝ දුරට පෙර ආ OnePlus 6T දුරකතනයට සමාන පෙනුමක් මෙහි තිබෙනවා.

OnePlus 7 Pro සතුව අඟල් 6.67ක පික්සල් QHD+ හෙවත් 1440 x 3120 px තිර විභේදනයක් ඇති Fluid AMOLED තිරයක් තිබෙනවා. එහි 90 Hz තරම් ඉහළ refresh rate එකක් තිබෙන නිසා සුමට දසුන් මවන අතර, Gamingවලට වඩාත් උචිත යි. Razor සමාගම මේ වසරේ හඳුන්වා දුන් Razor Phone 2 දුරකතනයේ 120 Hz අගයයක් තිබුණ ද එහි තිබූයේ LCD තිරයක්. ඒ අනුව, AMOLED තිරයක් සහිත 90 Hz අගයයක් ඇති ලොව ප්‍රථම දුරකතනය බවට මෙය පත් වෙනවා.

වැඩිදුර කියැවීමට: Gaming වලටම හැදූ Razor Phone 2 දුරකතනය

අතීත Samsung Galaxy Edge දුරකතනවල මෙන් OnePlus 7 Pro දුරකතනයේ ද තිරය දෙපසින් නැවී දාරයන් වෙත ගමන් කරන නිසා දෙපස කළු පැහැ දාරයක් නැහැ. ඉහළින් සහ සාපේක්ෂව ඝනකම් දාරයක් පහළින් ඇති නමුත් එය නොසැලකිය හැකියි. මුහුණතට සාපේක්ෂව තිරයේ විහිදීම 93%ක් වෙනවා.

කැමරා

පසුපස කැමරා දෙකක් ඇති OnePlus 7 කැමරා පද්ධතිය (timeincuk.net)

OnePlus 7 දුරකතනයේ පසුපස ඇත්තේ කැමරා 2කින් යුත් පද්ධතියක්. ප්‍රධාන කැමරාව මෙගා පික්සල් 48ක්වූ UltraShot ලෙස හඳුන්වන්නක්. OIS ද තිබෙන නිසා ඡායාරූප ගැනීම්වල දී ඇතිවන සෙලවීම් හඳුනාගෙන නිවැරදි කරන්නට ඊට හැකියි. වඩාත් පැහැදිලි, වර්ණ වලින් ආඪ්‍ය ඡායාරූප ගත හැකි එහි Aperture අගය f/1.7 නිසා අඳුරු අවස්ථාවලදීත් Nightscape 2.0 මෘදුකාංග ඇල්ගොරිතම සහාය ද සමග හොඳ මට්ටමක ඡායාරූප ගන්නට හැකියාව දරනවා. අනෙක් පසුපස කැමරාව 5MP වූ ගැඹුර හඳුනාගැනීමේ සංවේදකයක් (depth sensor).

නිල වෙබ් අඩවියේ දක්වා ඇති ඡායාරූප සාම්පලයන් (oneplus.in)

ඉදිරිපස ඇති සෙල්ෆි කැමරාව 16MP සහ wide කාචයක්. Portrait mode එක ද සමග ඉන් හොඳ මට්ටමේ ඡායාරූප ගත හැකියි. සමස්තයක් වශයෙන්, මෙහි ඇති ඡායාරූපවල සුදු පැහැය වැඩි මඳක් බොඳවූ නමුත් තිත් පවා පෙනෙන (crispy) ඒවා බවයි OnePlus වෙබ් අඩවියේ ඇති සාම්පලවලින් පැහැදිලි වන්නේ.

පසුපස කැමරා තුනක් ඇති OnePlus 7 Pro කැමරා පද්ධතිය (soyacincau.com)

OnePlus 7 Pro සතුව පසුපස කැමරා 3ක් තිබෙනවා. ප්‍රධාන කැමරාව OIS සහිත 48MP, f/1.6 සෙන්සරයක් වන අතර දෙවැන්න 16MP Ultra Wide කාචයක්. තෙවැන්න, තුන් ගුණයක optical zoom සවිබල සපයන OIS ඇති telephoto කාචයක්. මෙම කැමරා පද්ධතියෙන් 0.6x ප්‍රමාණයේ Wide ඡායාරූපයක්, සාමාන්‍ය මට්ටමේ (1x) හොඳ ඡායාරූප සහ වඩාත් සමීප 3x ඡායාරූප ගන්නට හැකියාව ලැබෙනවා. මෙය ද Nightscape මගින් බලගන්වා ඇති අතර නිල වෙබ් අඩවි ඡායාරූප සාම්පල OnePlus 7වලට වඩා හොඳ මට්ටමක තිබෙනවා.

මෙම දුරකතන මාදිලියේ ඇත්තේ මෝටරයකින් ඉහළට එසැවෙන ඉදිරිපස කැමරාවක්. අනෙකුත් දුරකතන මාදිලිවල ද මේ ආකාරය මීට පෙර දකින්නට ලැබුණත් ඒවා පහසුවෙන් බිඳී යාහැකි බැවින් බෙ‍ාහෝ දෙනෙක් කැමැත්තක් දැක්වූයේ නැහැ. නමුත් OnePlus තම නිෂ්පාදනය Gym යවා තිබෙනවා. ඒ කිව්වේ, මේ කැමරා කොටසට 22kg කොන්ක්‍රීට් ගඩොලක් ඔසවන්නට තරම් මහත් සවිබලයක් තිබෙන නිසා වැදීමක් නිසා ගැලවී යාමට ඇති අවදානම ඉතාමත්ම අවම යි. එනමුත් මෝටරයේ දෝෂ ඇතිවුවහොත් ක්‍රියාත්මක නොවී යා හැකියි.

Google Lens සමග කටයුතු කරමින් කැමරාව තුළින්ම QR Codes, වෙබ් හෝ ඊමේල් ලිපින විවෘත කර දෙන්නට මේ දුරකතන සමත් වෙනවා.

පද්ධති හැකියාවන්

Qualcomm Snapdragon 855 ප්‍රොසෙසර නිරූපණයක් (oneplus.in)

දුරකතන මාදිලි දෙකෙහිම Qualcomm Snapdragon 855 ප්‍රොසෙසරයක් අඩංගු කර ඇති අතර අභ්‍යන්තර ධාරිත්වන් සඳහා නූතන UFS 3.0 තාක්ෂණය යොදාගෙන තිබෙනවා. අභ්‍යන්තර ධාරිතාව 128 GB වූ මාදිලියේ 6 GB RAM එකකුත්, 256 GB මාදිලිය සඳහා OnePlus 7හි 8 GB RAM එකකුත්, Pro දුරකතනයේ ඊට අමතරව, 12GB RAM එකක් අ‍ඩංගු මාදිලියක් ද තිබෙනවා.

Android 9 (Pie) මත පදනම් වූ OxygenOS 9 මෙහි යොදා තිබෙනවා. Gestures භාවිතය, වීඩියෝ සඳහා තීව්‍ර වර්ණ ලබාදීම, RAM boost හැකියාව හෙවත් අපි Apps පාවිච්චි කරන රටාව හඳුනාගෙන ඊළඟට විවෘත කරන App එක කලින්ම background load කර තබා විවෘත වීමට ගතවන කාලය අඩු කිරීම, Games recoard කිරීමේ හැකියාව, Zen mode එක මගින් තාක්ෂණික ලෝකයෙන් බැහැරව සිටීමට අවස්ථාව ආදී පහසුකම් රැසක් එමඟින් ලැබෙනවා.

අනෙකුත් විශේෂාංග

In-Screen Fingerprint sensor එක (pocket-lint.com)

දුරකතන ද්විත්වයේම Dolby Atmos ශබ්ද මාධූර්යයන් තිබෙන අතර 3.5mm jack එක යොදා නැහැ. Bluetooth 5.0, USB 3.1 Type-C, NFC සමග තිරය යට යොදන ලද ඇඟිලි සලකුණු සංවේදකයක් තිබෙනවා. එම Fingerprint sensor එක මත මඳ වේලාවක් ඇඟිල්ල රඳවාගෙන සිටි විට Apps 6ක් දක්වා open කළ හැකියි. Pro දුරකතනය තත්පර 0.21කින් Unlock කිරීමට හැකියි.

රැහැන් රහිත ආරෝපණ පහසුකම් මෙවරත් ලබා දී නැහැ. OnePlus 7 සතුව 3700mAh බැටරියක් සහ වේගවත් ආරෝපණ හැකියාවන් තිබෙනවා. Pro දුරකතනයේ 4000 mAh බැටරියක් සහ Warp charge නමින් හඳුන්වන වේගවත් ආරෝපණ හැකියාව තිබෙන නිසා දුරකතනය භාවිතා කරන අතරතුර පවා fast charge කළ හැකියි. රත් වීමකින් තොරව පූර්ණ ආරෝපණය විනාඩි 20කින් සිදු වෙනවා. ඒ ව‍ගේම, Pro මාදිලියේ ලේයර් 10ක Liquid cooling පද්ධතියක් ද තිබෙනවා.

6 GB RAM සහ 128 GB Storage සහිත OnePlus 7 දුරකතනය නිල වෙබ් අඩවියේ ₹32,999 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 83,000 පමණ අගයකටත්, Pro දුරකතනය ₹48,999 හෙවත් ශ්‍රී ලංකා රුපියල් 123,000කට පමණත් මිල නියම කොට තිබෙනවා.

කවරය: timeincuk.net

Related Articles