Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot

මිලියන ගණනක් මිනිසුන්ගේ රැකියා නුදුරේදී ම අහිමි වන අනාගත ව්‍යාපෘතියක් පිළිබඳ ව  Tesla සමාගමේ නිර්මාතෘ Elon Musk පසුගිය දවසක හෙළි කළා. 2019 වසරේදී Self Driving Day ලෙසත්, 2020 දී Battery Day ලෙසත් මාතෘකා ගෙන පැවැත්වුණ වාර්ෂික Tesla event එක මේ වසරේ දී නම වුණේ A.I. Day ලෙසයි. ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා සජීවී ව විකාශය කෙරුණු මේ වසරේ A.I. Day event එකේ දී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ Tesla දියුණු වන ආකාරයත් මේ තාක්ෂණය හරහා බල ගැන්වෙන ඔවුන්ගේ නව ව්‍යාපෘති පිළිබඳවත් හෙළි කරන්න ඔවුන් කටයුතු කළා. Elon Muskට අනුව මේ රොබෝවරයා අනාගතයේ මිනිසුන් විශාල ප්‍රමාණයක රැකියා අහිමි කරන බව තමයි ඔහු කියන්නේ. ඊට අමතර ව ඔවුන්ගේ නවත ම ව්‍යාපෘතියක් වන Dojo ත් කාගේත් අවධානය දිනාගත්තා.

Tesla Bot – මිනිස් හැඩ ඇති රොබෝවරයා 

ඔබ ලොව සුප්‍රකට I,Robot, Terminator, A.I. වගේ චිත්‍රපට  බලලා තියෙනවා නම් මේ එහි රොබෝවරු සිහියට නගාගන්න. එතරම් ම දියුණු නැතත් ලබන වසරේ දී Tesla Bot  බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි Elon නම් කියන්නේ. දැනට මේ රොබෝවරයා නම් කරලා තියෙන්නේ Optimus කියන නමෙන්. Transformer universe එකේ Optimus Prime සිහිවෙන්න මේ නම යොදල තියෙන බව අපිට හිතාගන්න පුළුවන්. උස අඩි 5යි අඟල් 8ක් වෙන Optimus රොබෝ වරයාගේ බර කිලෝග්රෑම් 57කට ආසන්න වෙනවා. එකවර කිලෝග්රෑම් 60 පමණ එසවිය හැකි මේ රොබෝවරයාට කිලෝග්‍රෑම් 20 පමණ ඔසවාගෙන ගමන් කරන්න හැකියාව තිබෙනවා.උපරිම වේගය පැයට කිලෝමීටර 5ක් පමණ වෙනවා. නවීනත ම Tesla තාක්ෂණය සමඟ නිෂ්පාදනය වීමට නියමිත මේ රෝබෝවරයා කැමරා අටක පද්ධතියක් සහ දියුණු Tesla Autonomous System එකකින් බල ගැන්වෙනවා.

Optimus නම් Tesla Botවරයා – techcrunch.com 

 

Optimus රොබෝවරයා මිනිසාට හිතවත් වන ලෙසයි නිර්මාණය කර තිබෙන්නේ. යම් හෙයකින් I, Robot චිත්‍රපටයේ වගේ රොබෝවරුන් ලෝකය අල්ලා ගන්න තැත්කළොත්, එහෙම නැති නම් කවුරුන් හෝ මේ රොබෝවරුන් අකටයුත්තකට භාවිත කළොත් ඕනෑම කෙනකුට ඉතා පහසුවෙන් මේ රොබෝවරයා පසු කර දිවයන්නත්, අවශ්‍ය නම් ඔහුව මැඬලන්නත් හැකි වෙන ලෙසයි මෙතරම් අඩු බලයක් සහිතව Optimus නිර්මාණය කර තිබෙන්නේ.

මිනිසාට කිරීමට අවදානම්, අපහසු වගේ ම කම්මැලි සහ නැවත නැවත සිදු කිරීමට සිදු වන ක්‍රියාවන් හෝ වෘත්තීන්වලට මේ රොබෝවරුන් යොදා ගන්න හැකිවේවි කියලයි Elon කියන්නේ. අනාගතයේ දී අප කය වෙහෙසා වැඩකිරීම අත්‍යවශ්‍ය නොවන මට්ටමකට ඒවි කියලා ඔවුන් විශ්වාස කරනවා. මේ කියන දේවල් ඒ විදිහට ම සිදු වුණොත් එවැනි වෘත්තීන්වල සිටින කම්කරුවන් අති විශාල පිරිසකගේ රැකියා අහිමි වෙන බව නම් කියන්නම ඕනේ.

 මුළුමනින් ම Autonomous නැති Tesla – electrive.com

 

කඩ වුණු පොරොන්දු සහ නැති වුණු බලාපොරොත්තු 

පසුගිය දවසක තිබුණු Tesla A.I. Day එක පිළිබඳ එයට සහභාගී වූ බොහෝ දෙනකුගේ තියෙන්නේ එතරම් යහපත් ආකල්පයක් නම් නෙමෙයි. මෙය හුදෙක් සමාගම වෙනුවෙන් ආයෝජකයන් සොයාගැනීම සහ Tesla A.I ව්‍යාපෘති සඳහා පිරිස බඳවා ගන්න කරපු ප්‍රයෝගයක් විදිහටයි ඔවුන් දකින්නේ. හැබැයි ඒක කොතරම් දුරකට සාර්ථක වුණා ද කියන එක නම් ගැටලුවක්.

A.I. Event එක සහ Tesla Robot හඳුන්වා දීම මෙතක් Tesla සමාගම කරපු එළිදැක්වීම්වලින් අසාර්ථක ම එක බව තමයි බොහෝ දෙනකුගේ මතය වෙන්නේ. විනාඩි 45ක් පමණ ප්‍රමාද වෙලා පටන් ගත්ත Event එකත්, Tesla Bot කෙනෙක් විදිහට ඇඳුමෙන් සැරසුණු රංගන ශිල්පියෙක් event එක පටන් ගන්න අවස්ථාවේ දක්වපු විකරාරුපී රංගනයත්, එදා දවසේ උත්සවයේ තිබු අසංවිධානාත්මක බවත් බොහෝ දෙනකුගේ අප්‍රසාදයට ලක් වුණා.

Elon පොරොන්දු වන ආකාරයට මිනිසුන් ගේ වැඩ ඒ තරම සාර්ථක ව කළ හැකි රොබෝවරුන් නිෂ්පාදනය කරන්න එළඹෙන 2022 වෙද්දී රොබෝවරු නිෂ්පාදනය කරන එක හුදෙක් විහිළුවක් ලෙසත් බොහෝදෙනෙක් සඳහන් කරනවා. දැනට ලෝකයේ දියුණු ම මිනිස් හැඩ ගත් Humanoid රොබෝවරයා ලෙස සැලකෙන Honda සමාගමේ Asimo robotටවත් මිනිසුන් ගේ වැඩට ආදේශකයක් වෙන්නට තබා ළං වෙන්නවත් හැකියාවක් නම් තව ම නැහැ.

Elon දුන්න බොරු පොරොන්දු 

Elon දුන්න පළවෙනි බොරු පොරොන්දුව නම් මෙය නොවන බව ඔබට සමහර විට මතක ඇති. මුළුමනින් ම ස්වයංක්‍රීය එහෙම නැති නම් කිසිම මිනිස් මැදිහත්වීමකින් තොරව තනි ව ධාවනය වෙන රථ මිලියනයක් 2020 වසර වන විට ධාවනයට යොදවන බව පසුගිය වසරක දී ඔහු සඳහන් කළා. තවමත් Fully Autonomous, එසේ නොමැතිනම් රියැදුරු අධීක්ෂණයකින් තොර ව ගමනාන්තයකට ළඟා විය හැකි එකදු රථයක් හෝ ධාවනයට සුදුසු මට්ටමකට ගෙන එන්නට ඔවුන්ට බැරි වුණා. මේ කථාවත් ඒ වගේ ම කඩවුණු පොරොන්දුවක් වේවි කියලයි බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ. එක දිගට Tesla රථවල සිදුවූ අනතුරු  මාලාව ගැන මේ වෙද්දී අමෙරිකානු රජයෙන් පරීක්ෂණ පටන් අරගෙන තිබෙන බවත් ඔබ දන්නවා ඇති නේ. 

A.I. Day එකේ වුණ දේවල් සවිස්තරාත්මක ව දැනගන්න මේ video එක බලන්න. 

රොබෝවරු සහ A.I. ඇත්තට ම දවසක මිනිසා අතික්‍රමණය කරයි ද?

දැනටමත් යම්තාක් දුරකට අප කෘත්‍රිම බුද්ධිය සහිත වැඩසටහන් මගින් පාලනය කරනවා. අපි භාවිත කරන බොහොමයක් සමාජ ජාලාවල දැනට ම එවැනි වැඩසටහන් හරහා බොහෝ දේ ක්‍රියාවට නංවනවා. ඒ පිළිබඳ යම් අදහසක් ගන්න 2020 වසරේ නිකුත් වූ “The Social Dilemma “ වාර්තාමය චිත්‍රපටය ඔබට උදව් වේවි.

Elon කියන 2022 එළිදකින Optimusට මේ කිසිවක් කරගන්න නොහැකි වුණත් එවැනි රොබෝවරුන් ලෝකය පුරා නිර්මාණය වෙන්නට පටන් ගනිද්දී අනිවාර්යයෙන් ම  අවභාවිත වන එක නවතන්නට නම් බැහැ. A.I. Day එකේදී හඳුන්වා දුන් රොබෝවරයා වගේ ම අධි බලැති පරිගණක පද්ධති සැබෑවක් වුණොත් සමහර විට නුදුරු අනාගතයේ එවැන්නක් සිදු නොවේවි කියලා කාටවත් ම කියන්නට නම් හැකි වෙන්නේ නැහැ.

“The Social Dilemma “ වාර්තාමය චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය 

මතක තියාගන්න විද්‍යා ප්‍රබන්ධවල අපට සුලබ ව දැකගන්නට ලැබෙන ජීවී රොබෝවරුන් තවදුරටත් ප්‍රබන්ධයක් නොවන වග. ඒ ගැන වැඩි විස්තර අපි පෙර ඒ පිළිබඳ ව ලියූ ලිපිවලින් ඔබට කියවන්න පුළුවන්. ඔබ කරන වෘත්තිය කවද හරි රෝබෝවරයකුට කරන්න පුළුවන් එකක් වේවි ද? ඔබේ අදහස් comment කරන්න අමතක කරන්න එපා.

මේ හා සබැඳි තවත්  ලිපි ඔබට පහතින් කියවන්නට පුළුවන්. 

නව යුගයේ තාක්ෂණ භීතිකාව

මොළය වෙත දැනුම කෘත්‍රීමව Upload කිරීම 

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

මිනිසා අතින් නිර්මාණය වූ සජීවී යන්ත්‍රය 

COVID-19ට එරෙහිව සටන් වදින නවීන තාක්ෂණය 

කවරය - Elon Musk -  steemit.com 

මූලාශ්‍ර:

Asimo.honda.com  

Global.toyota 

Robonaut.jsc.nasa.gov 

Techcrunch.com 

Yahoo.com 

Businessinsider.com 

Ign.com 

Theverge.com 

Related Articles