Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Pixel 3 දුරකථනය සහ එහි දී හඳුන්වාදුන් වැදගත්ම උපාංග කීපයක්

වාර්ෂික Made by Google හෙවත් මෙවර Pixel 3 event එක පසුගිය දා පැවැත්වුණේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී ඔවුන්ගේ 20 වැනි සංවත්සරයේ යි. එය සජීවී ව අන්තර්ජාලය හරහා විකාශය කෙරුණු අතර නූතන දුරකථනවල රැල්ලක් බඳු රවුම් කළ දාර සහිත තිරයන් සංකේතවත් කරමින් වේදිකාවේ පසුබිම් තිරය ද මුළු රවුම් කරන ලද එකක් වූවා. විකාශයේ යොදන ලද නම් හඳුන්වාදීමේ සටහන් ද ඔවුන්ගේ සෙවුම්වල යෝජනා දක්වන්නාක් මෙන් මුල් නම කළු පැහැයෙනුත්, නමේ දෙවැනි කොටස අළු පැහැයෙනුත් දැක්වුණා. Pixel 3 හා XL දුරකථන, Slate ටැබ් එක, Home hub උපාංගය ඇතුළු ගූග්ල් සමාගමේ මේ වසරේ නිපැයුම් රැසක් එහි දී එළිදැක්වුණා.

තිරයක් සහිත නිවාස සහායකයා: Google Home Hub

Home hub උපාංගය (gearpatrol.com)

ස්පීකරයක් පමණක් ව තිබූ නිවසේ සහායකයා වූ Google home pod හි තිරයක් ද සහිත වඩාත් වැඩිදියුණු කළ උපාංගය, Google Home Hub හඳුන්වාදෙනු ලැබුවා. Amazon සමාගමේ Echo Show සහ ෆේස්බුක් සමාගම විසින් මෑතක දී හඳුන්වාදුන් Facebook portal උපාංගය ද මීට සමාන නමුත්, Home hub හඳුන්වාදෙමින් ගූග්ල් සමාගම පැවසූයේ ඔවුන් අත්‍යවශ්‍යයෙන් ම කැමරාවක් තම උපාංගයට යෙදීමෙන් වැළකුණේ මේ දිනවල ඇති ව තිබෙන දත්ත හා පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලු නිසා ම බව යි.

වර්ණ මාදිලි 4කින් යුතු යි (techadvisor.co.uk)

නිවසේ පොදු උපාංගයක් බවට පත් කරමින් එකිනෙකාගේ කටහඬවල් වෙන්කර හඳුනාගත හැකි මෙම උපාංගයට උදෑසන දී Good morning යැයි සුබ පැතූ වහා වේලාව, දවසේ කාලගුණය, සහ කථා කළ පුද්ගලයාගේ Google ගිණුමේ Calendar එක වෙත එක්කර ඇති දේවල් සිහිපත් කර දෙන්නටත් එය සමර්ථ බව පෙන්වා දුන්නා. පවුලේ සාමාජිකයන්ට උචිත ආකාරයේ දේවල් (ගීත, වීඩියෝ ආදී සෙවුම්) පමණක් ගෙන ඒමට එය සැකසිය හැකි අතර, Home View විශේෂාංගය හරහා නිවසේ ඇති IoT උපාංග පාලනය කිරීමටත් දැන් පුළුවන්. නිවසට යමෙක් පැමිණ ස්මාර්ට් දොර-සීනුව නාද කළ විට එහි කැමරා දසුන් Home Hub හරහා දකින්නට මෙන්ම, ඔබ ඉක්මනින් පැමිණෙන බවට මැසේජ් එකක් යැවීම ද නව විශේෂාංගයන්ට අඩංගු වෙනවා. එය ඩොලර් 149ක් හෙවත් රුපියල් 25,500ක් පමණ මුදලකට නිකුත් කිරීමට නියමිත යි.

ගූග්ල් Pixel 3 සහ දැවැන්ත notch එකක් ඇති XL

Google Pixel 3 වම්පස සහ Google Pixel 3 XL දකුණුපස (mshcdn.com)

නවතම Google දුරකථන යුවළ වන අඟල් 5.5ක Pixel 3 සහ ප්‍රමාණයෙන් වැඩි, අඟල් 6.3ක Pixel 3 XL වර්ණ මාදිලි තුනකින් නිකුත් වෙනවා. දුරකථන නිෂ්පාදන සමාගම් වෙළඳ ප්‍රවර්ධනය වෙනුවෙන් අතිශයෝක්ති වචන යොදමින් වර්ණ හැඳින්වූවත් ගූග්ල් සමාගම තම වර්ණ මාදිලි නම් කරන්නේ හොඳටම සුදු (Clearly White), කළු ම තමයි (Just Black) සහ, රෝස නෙවෙයි (Not Pink) කියා යි. බාහිර වෙනසකට දුරකථන දෙකෙහි ඇත්තේ XL සතු සුවිසල් notch එක යි. මෙතෙක් දුටු කිසිදු දුරකථනයක නොමැති තරම් දුරකථනයේ ඉහළ පෙදෙසේ උසක් එය ලබාගන්නේ ඉදිරිපස කැමරා දෙකට ඉඩ සලසා ගනිමින්. එහි පහළ දාරය ද සැලකිය යුතු තරම් මහත නිසා 2018 වසරේ ‘මුහුණත පුරා තිරය’ අත්දැකීම වනසා දමනවා. කුඩා Pixel 3 දුරකථනය සතු ව notch එකක් නැහැ.

පසුපස තනි කැමරාවක් සහ වර්ණ මාදිලි 3ක් (techspot.com)

Pixel 3 දුරකථන ද්විත්වයෙහි ම ඉදිරිපසට ස්පීකර් දෙකක් මුහුණත දෙසින් හා ඉදිරිපස 8MP කැමරා දෙකක් තිබෙනවා. අනෙකුත් දුරකථනවලින් තම අනන්‍යතාව සහ කැමරා AI පිළිබඳ තේජස පවත්වා ගෙන ඇත්තේ පසුපසට 12.2MP තනි කැමරාවක් ම යොදා ගැනීමෙනුයි. මෘදුකාංග හරහා රාත්‍රී අවස්ථාවල සහ zoom කරන ලද ඡායාරූපවල ගුණාත්මක බව වර්ධනය කරලීමට ඊට හැකියි. P-OLED තිරය 400කටත් වඩා nits අගයකින් ඉහළ දීප්තතාවක් සහ සුපැහැදිලි බවක් ලබන්නේ DisplayMate මඟින් හොඳම තිරයක් ඇති බවට ප්‍රශංසා ද ලබමින්. Google Lens සහ ඇමතුමක් ලද විට ඔබ වෙනුවට දුරකථනය විසින් ම ප්‍රතිචාර දක්වන ආකාරයේ විශේෂාංගයක් ද මෙහි ඇතුළත් වෙනවා.

XLහි notch එක iPhone XS Max සමග සංසන්දනය (phonearena.com)

දෘඪාංග ගැන අවධානය යොමු කරනවා නම්: නවතම Snapdragon 845 ප්‍රොසෙසරය, 4GB RAM එකක්, තිරයට Corning Gorilla Glass 5 ආරක්ෂාව, Bluetooth 5.0, NFC දැකිය හැකියි. මේවා කවරය සහිත ව වුවත් ආරෝපණය කළ හැකි සේ සැකසූ ඔවුන්ගේ ම charging dock එක හරහා රැහැන් රහිත ව ආරෝපණය කළ හැකි අතර, 9V හා 2A භාවිතයෙන් වේගවත් ආරෝපණ හැකියාවෙන් ද යුක්ත යි.

Chrome OS ස්ථාපිත ටැබ් එකක්: Pixel Slate

තිරයේ Chrome OS සහ උපාංගය trackpad එකක් ද සහිත කීබෝඩ් stand එකට සබඳ ඇති ආකාරය (mobilesyrup.com)

මධ්‍ය ප්‍රමාණ ලැප්ටොප් එකකට, ගූග්ල් බසින් කිවහොත් Chromebook එකකට ඉතා ම සමාන ආකාරයට ගූග්ල් සමාගමේ ප්‍රථම Chrome OS ස්ථාපිත ටැබ්ලට් එක කරළියට පිවිසියා. එය සැහැල්ලු බවින් මෙන්ම අඩු ඝනකමින් ද යුතු යි. අඟල් 12.3ක Molecular Display තාක්ෂණයෙන් බල ගැන්වූ සුපැහැදිලි තිරයක් සහ ඉදිරිපසට යෙදූ ද්විත්ව ස්පීකරයන්ගෙන් වඩාත් හොඳ ශබ්ද මාධූර්යයක් මින් ලැබෙනවා. එකවර ලිපිගොනු දෙකක් සැකසීම, Docs පාවිච්චි කරන අතරතුර ගේම් එකක් කිරීම පමණක් නොව ගේම් 2ක් එකවර ක්‍රියා කරවීමට තරම් එය සවිබලයෙන් යුතු යි. තනි ආරෝපණයකින් පැය 10ක් පාවිච්චි කිරීමේ හැකියාව, power බොත්තමෙහි ම ඇඟිලි සලකුණු ස්කෑනරය ඇති Pixel Imprint තාක්ෂණය සහ Titan M චිප් එකක් භාවිතයෙන් උපාංගයේ අඩංගු කරන සියළු දෑ encrypt කිරීම මෙහි ආරක්ෂාව වඩාත් තහවුරු කරවනවා.

ඇඩැප්ටරයක් හරහා මොනිටරයකට ද සබැඳිය හැකියි (imboldn.com)

සවිබලය අනුව මෙහි මාදිලි කිහිපයක් තිබෙනවා. Intel Celeron ප්‍රොසෙසරයක් හා 4GB RAM, Intel Core m3 Processor එකක් හා 8GB RAM ධාරිතාවක්, i5 ප්‍රොසෙසරයක් සමග 8GB රැම් එකක් මෙන්ම i7 සහ 16GB සහිත ලැප්ටොප් එකකටත් වඩා සවිබලැති ආකාරයේ හතරවැනි මාදිලියකින් ද එය ලබා ගත හැකියි. ඇලුමිනියම් නිමාවක් සහ කළු-නිල් (Midnight Blue) වර්ණයෙන් පමණක් එය නිපදවා තිබෙනවා. ඇඳීමට Pen එකක් ($99) සහ ටයිප් කරද්දී කිසිදු හඬක් නොනැඟෙන $199ක කවරය සහිත කීබෝඩ් එක වෙනම මිල දී ගත යුතු වෙනවා.

මේ දේවල්වලට අමතර ව, වේදිකාව මත ද නොකී නව Chromecast එකක් සහ $30ක් හෙවත් රුපියල් පන්දහසක පමණ USB-C earbuds යුවළක් ද Google Store එකෙහි අඩංගු කර තිබෙනවා. මේවායෙන් ඔබගේ සිත්ගත් උපාංගය, විශේෂාංග මොනවාද?

කවරයේ ඡායාරූපය: perfectnewgadgets.com

 

Related Articles