Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඒ කාලේ අපි පණ වගේ ආදරේ කරපු ෆෝන් 7ක්

ස්මාර්ට් ෆෝන් යුගයට කලින් 2006-2011 කියන්නේ නානාප්‍රකාර විදියේ ෆෝන් නිරන්තරයෙන් ම දකින්නට ලැබුණු කාලයක්. ෆෝන් ආනයනය කරද්දි අද තරම් රෙගුලාසි නොතිබුණු නිසා විවිධ ආකාරයේ චීනයේ නිෂ්පාදිත ෆෝන් දකින්නට ලැබුණා. අවසාන කාලෙදි සිම් 4ක් විතර දාන්න පුළුවන් ‍ෆෝන් පවා තිබුණා. ඉතින් ඒ සුන්දර අතීතයට ඔබ නැවතත් රැගෙන යන්නටයි මේ සූදානම.

සවිමත් බවට නම් දරන Nokia 1100

නොබිඳ‍ෙන මතකයක් – k2rmobiles.com

පොළොවෙ ගැහුවොත් පොළොව කැඩෙන තරම් හයිය බවට නම් දරපු Nokia 1100 ෆෝන් එකත් එක්ක අපිට දීර්ඝ කාලීන බැඳීමක් තිබෙනවා. සමහරුන්ට ක්ලාස්වලදි මේසේ යට ෆෝන් එක තියාගෙන ෆෝන් එක දිහා නොබලා කී පෑඩ් එකෙන් “ටක-ටක” ගාලා ටයිප් කරන්න තරම් පුදුම හැකියාවක් ඇති වුණෙත් මේ ෆෝන් එකෙන්.

2003 ආපු මෙහි තිබුණේ ගේම් දෙකයි. ඒ, හැමෝ ම ආසා කරපු Snake II සහ Space Impact+ ගේම් දෙක. පැය ගාණක් කාලෙ කන්න මේ “නයි ගේම් එක” ගොඩක් උදව් වුණා. පික්සල් 96 x 65 ස්ක්‍රීන් එකේ වෝල්පේපර් විදියට රෝසමල්, Nokia logo එක වගේ ෆොටෝ කීපයකුත් තිබුණා ඔබට මතක ඇති.

මේකේ Ringtone composer එකක් තිබුණු නිසා අපිට ම ස්වර ටයිප් කරලා රිංග්ටෝන් හදාගන්න පුළුවන්කම තිබුණා. ඉතින් යාන්තම් ඉන්ටර්නෙට් තිබුණු කාලේ සිංහල සයිට්වලින් සින්දුවල කෝඩ් හොයාගෙන ඒවා ගහලා රිංග්ටෝන් එක අපි ම හදාගත්තා. එහෙම ටයිප් කරගෙන යද්දි එක තැනක් හරි වැරදුණොත් ඒක පේන්න ගන්නේ කෝල් එකක් එන වෙලාවට තම යි.

”ටීවී බලන චයිනීස් ෆෝන් එක” හෙවත් A968

වෝල්පේපර් එක විදියට කාන්තා ඡායාරූපයක් තිබුණා – made-in-china.com

2006-2010 කාලෙ තිබුණු විතර චයිනීස් ෆෝන් රැල්ලේ බොහොම ඉහළ තැනක් ගත්තු ෆෝන් එකක් තමයි A968 කියන්නේ. කලර් ඩිස්ප්ලේ එකක් තියෙන ටච් ස්ක්‍රීන් ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් කියන්නේ ඉතින් දෙයියෙක් ව‍ගේ. හරියට දැන් iPhoneවලට වගේ ඒ කාලේ එහෙම අයට ඉහළ පිළිගැනීමක් තිබුණා. ෆෝන් එකට ම එන Stylus එකක් තිබුණට හැමෝ ම කැමති නියපොත්තෙන් ඒ resistive touchscreen එක ඔබන්න තම යි.

ඒකෙන් රේඩියෝ අහන එක වගේ ම කොනකින් ඇදලා ගන්න ඒරියල් එකෙන් Analog TV බලන්න සිග්නල් හොයාගෙන ගේ වටේ දුවපු අතීතයකුත් තිබුණා. ITN, ස්වර්ණවාහිනිය යාන්තම් තිත් ගොඩක් අස්සෙන් පෙනෙද්දි දැනුනු සතුට දැන් YouTube එකෙන් ගන්න බැහැ.

මේකේ තිබුණේ 2MP කැමරාවක් වුණාට ඒ කාලේ ඒකත් වටිනවා. මෙමරි කාඩ් එකට MP3 සින්දු, MP4 වීඩියෝ යාළුවන්ගෙන් බ්ලූටුත් කරගෙන යාළුවො වටකරගෙන වැඩ පෙන්නන එක තමයි ඒ කාලෙ විනෝදෙ.

තොටළඟ තොරණ නොහොත් Alfatel H1

ඉදිරිපස ඇති LED ලයිට් – ytimg.com

ඉස්සර රුපියල් හයදාහකට විතර ගන්න පුළුවන් වුණු Alfatel H1 ෆෝන් එකේ රතු, කොළ, නිල් LED බල්බ් හතරක් ස්ක්‍රීන් එක වටේ තිබුණා. සින්දුවක් ප්ලේ කරද්දි මේ බල්බ් ඒකේ රිද්මයට අනුව පත්තු වෙනවා. කෝල් එකක් ආවා ම, මැසේජ්වලට notification එක විදියට වැඩ කරන්නත් ඒවාට හැකියාව තිබුණා. හැබැයි ගෙදරට හොරෙන් ෆෝන් පාවිච්චි කරන අයට නම් ඒක ලොකු කරදරයක්. ගෑනු ළමයට අරන් දීපු ‍ෆෝන් එක හංගලා තියෙද්දි ලයිට් පත්තු වෙලා – අම්මාට අහුවෙලා – පොළොවේ ගහපු කතා අනන්ත අප්‍රමාණ යි.

Alfatel H1 එක පිටිපස්සේ 1.3MP කැමරාව වටේ පොඩි ස්පීකර් 6ක් සහ ලොකු ස්පීකර් 1ක් තියෙනවා. හැබැයි ෆෝන් එක ගලවපු යාළුවො නම් කියන්නේ පිටතින් 7ක් තිබුණට ඇතුළෙ ඇත්තට ම තියෙන්නේ ස්පීකර් දෙකක් කියලා. පැත්තෙන් ඇදලා ගන්න පුළුවන් ඒරියල් එකක් වගේම සිම් 2ක් (ඒ කාලේ හැටියට මැජික්!) දාන්නත් පුළුවන්කම තිබුණා.

ටච් ස්ක්‍රීන් එකක් තිබුණු Nokia 5800 “XpressMusic”

නූතන ස්මාර්ට්ෆෝන්වලට බොහෝ සමානයි – wikimedia.org

ස්මාර්ට්ෆෝන් යු‍ගයේ මුල් ම කාලයේ ඒ කියන්නේ 2009-2011 කාලයේ ‍ගොඩක් දෙනකුගේ අතේ තිබුණු Nokia 5800 ෆෝන් එකේ resistive touchscreen එකක් එක්ක සිම්බියන් OS එක තිබුණා. 3.15 MP කැමරාවක් එක්ක ස්ක්‍රීන් එක අඟල් 3.2ක් වුණත් ඒ දවස්වල “අම්මෝ මේකෙ ස්ක්‍රීන් එකේ ලොකු!”.

Stylus එකක්, සෙල්ෆි කැමරාවක්, කැමරාව යටින් Notification LED එකක්, දැන් ෆෝන්වල වගේ ම ස්ක්‍රීන් එක යටින් Button 3ක් තිබුණා. එකවර ඇප්ස් කිහිපයක වැඩ කරන්නත් පුළුවන්කම තිබුණා. මේ ෆෝන් එකේ microUSB පෝට් එකක් තිබුණත් ඒකෙන් චාර්ජ් කරන්න බැහැ. Nokia පින් චාර්ජරය ගහන්න ම වෙනවා.ඒ වගේම මේ Nokia 5800 එකේ තිබුණු RT GT කාර් ගේම් එක අපේ Need For Speed පිස්සුව ෆෝන් එකට ගෙන ආවා.

හැමෝ ම ගාව තිබුණු Sony Ericsson W200

ඝනකමින් වැඩි W200 – behance.net

Sony Ericsson W200 එකේ WAP browser එකේ මවුස් එක control කරන්න මැද joystick එකක් තිබුණා මතකද? ඒ බට්න් එකෙන් අඟල් 1.8 ස්ක්‍රීන් එකේ අමාරුවෙන් ඉන්ටර්නෙට් ගියපු අපිට දැන් තියෙන ෆෝන් ඕනෑවටත් වඩා වැඩියි. W200 එකේ තිබුණු Tetris වගේ ගේම්වලට අමතර ව අපිට ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුළුවන්කම තිබුණා.

කැමරාව 0.3MP වුණාට ඒකෙන් ගත්තු ෆොටෝස් ඒ කාලේ තිබුණු අනිත් ෆෝන්වල හැටියට හොඳ මට්ටමක තිබුණා. අනෙක, Color display එකක් නිසා ක්ලාස් එක පටන් ගන්නකම් එහෙන් මෙහෙන් බ්ලූටූත් කරගත්තු, WAP සයිට්වලින් ඩවුන්ලෝඩ් කරගත්තු පොඩි වීඩියෝ කෑලි බල බල ඉන්න එක තමයි ඒ කාලේ සතුට.

හැමෝට ම ගන්න බැරිවුණු Nokia N8

ඇලුමිනියම් සහ පහළ ප්ලාස්ටික් නිමාවක් – anandtech.com

256MB RAM එකක් එක්ක 2010 ආපු N8 එක ඒ කාලේ ගොඩක් දෙනෙක්ගේ හීනයක් වුණු ෆෝන් එකක්. පත්තරේ ගත්තා ම ඒකේ තියෙන ෆෝන් ඇඩ්වල ගණන් බලාගෙන හූල්ලන ගණයට විතරක් සීමා වුණු N8 එකේ අඟල් 3.5ක AMOLED capacitive touch ස්ක්‍රීන් එකක් තිබුණා. මැද කොටස ඇලුමිනියම්වලිනුත්, ඉහළ සහ පහළ ප්ලාස්ටික්වලිනුත් සකසා තිබුණා. 

12MP කැමරාවක්, 16 GB internal memory එකක්, Bluetooth 3.0 වගේ අදටත් ඉහළ මට්ටමේ ෆෝන්වල කියවෙන specs තිබුණු N8 එක බලන්න ෆෝන් කඩවලට ගිහින් “සල්ලි අරගෙන එන්නම් අයියේ” කියලා ඇවිත්, ආයෙ ඒ කඩේ දිහා හැරිලාවත් නොබලපු කාලයක් තිබුණා.

පළලින් වැඩි Nokia 6600

Nokia 6600 ෆෝන් එකෙහි දෙපස – youtube

“රමේෂ් අයියා.. මගේ ෆෝන් එකට… [ටක්-ටක්] රු. 500ක රීලෝඩ් එක‍ා..ක්” කියපු ඩයලොග් KIT eZ reload ඇඩ් එක මතකයි නම්, අන්න ඒකේ අනර්කලීගේ අතේ තිබුණේ Nokia 6600 ෆෝන් එක. Joystick button එකක් එක්ක අඟල් 2.1ක color display එකක් මේ ෆෝන් එක මහතින් වැඩි යි. ඉදිරිපස මුහුණතේ දෙපැත්තේ දාරයේ පවා button තිබුණා.

දැන් ෆෝන්වල IR port එකේ ටීවි චැනල් මාරු කරන්න පුළුවන් වුණාට Nokia 6600, Sony W200 ෆෝන්වල ආපු IrDA පහසුකමෙන් කරන්නේ ෆෝන් දෙකක් එක ළඟ තියලා data transfer කරන එක යි. කිලෝබයිට් ගාණක ෆයිල් එකක් යන්න පවා ගොඩක් වෙලාව ගත වෙන නිසා අත් දෙක රිදෙනකම් ෆෝන් දෙක ම එක ගාණට අල්ලා ගෙන හිටපු හැටි මතක නම්, අනිවාර්යයෙන් ම ඒ අතීතය සිහිපත් කරලා පහතින් කමෙන්ට් එකක් දාන්න.

Related Articles