Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Samsung Galaxy S9 සහ S9 Plus දුරකථන කරළියට

සැම්සන්ග් සමාගමේ නවතම දුරකථන යුවළ වන S9 සහ S9+ අද දිනයේ දී (මාර්තු 16) ලෝක වෙළඳපොළට පැමිණීමට නියමිතයි. පෙබරවාරි මාසයේ තොරතුරු හෙළි කරන ලද මේ දුරකථන මාර්තු මාසයේ මුල් භාගයේ දී පෙර-ඇණවුම් සඳහා යැවීමට කටයුතු යොදා තිබුණා.

බාහිර පෙනුම

 

Image Credit: macrumors.com

S9 දුරකථනය සතුව තිබෙන්නේත් S7, S8 ආදියේ මෙන්ම S6 දුරකථනයේ දී අරඹන ලද වීදුරු මතුපිට සහිත බාහිර සැකැස්ම යි. ඉදිරිපස ඇති මුහුණත පුරාම විසිරුණු තිරය හෙවත්, සැම්සන්ග් සමාගම හඳුන්වන ආකාරයට Infinite display එකේ ඉහළින් මෙන්ම පහළින් කවාකාරව සකසා තිබෙන අතර, එහි ඉහළින් ඉදිරිපස කැමරාව සහ අනෙකුත් සංවේදක යොදා තිබෙනවා. තිරය පහළින් තවත් නොවැළැක්විය හැකි තුනී දාරයක් තිබෙනවා. දෙපස දාරවල සැම්සන්ග් සමාගමේ ආවේණික පෙනුම එලෙසින්ම දක්වන volume බොත්තම්, bixby, සහ power බොත්තම තිබෙන අතර එම දාරය ඇලුමිනියම් වලින් සකසා තිබෙනවා. මුහුණත සහ පසුපස Corning Gorilla Glass 5 වීදුරුවකින් ආරක්ෂිත යි.

S8 දුරකථනයට වඩා මෙහි හොඳ පහසුකමක් තිබෙනවා. ඒ, මෙතෙක් කල් පසුපස එක් පසෙකට වන්නට රඳවා තිබුණු ඇඟිලි සලකුණු ස්කෑනරය කැමරාව යටින් දුරකථනය මැදට යොදා තිබීමයි. මේ නිසා දුරකථනයේ ප්‍රමාණය විශාල වූවත් ඉතා පහසුවෙන් ඊට ඇඟිල්ල යොමු කිරීමේ හැකියාව ලැබෙනවා. යට දාරයේ ඇති ස්පීකරය වෙනදා මෙන් ඉරි කැබලි කිහිපයක් වෙනුවට තනි කවුළුවක් ලෙසින් දක්වා තිබෙනවා. දැන් සැම්සන්ග් සමාගම AKG සමඟ කටයුතු කරන නිසා හොඳ ශබ්ද හැකියාවක් මෙයට ලැබී තිබෙනවා විතරක් නොවෙයි 3.5mm audio jack එකත් ඇතුලත් කර තිබෙනවා.

තිරය

Image Credit: gearpatrol.com

පෙර වසරේ මෙන්ම Infinite display එකකින් යුතු නවතම Galaxy දුරකථනය සතුව තිබෙන්නේ අඛණ්ඩව සක්‍රීයව තිබෙන ආකාරයේ තිරයක්. එනම්, තිරය සම්පූර්ණයෙන්ම වසා නොදමා එහි එක දිගටම වේලාව දර්ශනය වන ආකාරයේ පහසුකම් අඩු බැටරි භාවිතයකින් ලබා ගන්නට පුළුවන්. ඊට වඩාත් සහාය වන්නේ මෙය Super AMOLED තිරයක් වීමයි. පෙර දුරකථනවල මෙන්ම එහි කළු පැහැයෙන් දිස්වන ස්ථාන වල තිරය සම්පූර්ණයෙන් off වී තිබෙන නිසා, සත්‍ය කළු පැහැයක් ද ලැබෙනවා; බැටරියත් ඉතිරි වෙනවා. S8 දුරකථනයේ මෙන්ම මෙහි ද Home key එක තිරය මතම තිබුණත් තිරයේ එම ප්‍රදේශයට පමණක් 3D touch හරහා වැඩි පහසුකම් කොටසක් ලබාදී තිබෙනවා.

S9 දුරකථනයේ තිර ප්‍රමාණය අඟල් 5.8ක් ද S9+ දුරකථනයේ එය අඟල් 6.2ක් ද වෙනවා. මේ දෙකෙහිම තිර විභේදනය (resolution) පික්සල 1440 x 2960ක්. තිර දීප්තිය ද පෙර ඒවාට වඩා වැඩිකොට තිබෙනවා.

පද්ධති ගුණාංග

Image Credit: wccftech.com

තනි සිම් එකක් හෝ හයිබ්‍රිඩ් dual sim ආකාරයේ මාදිලි දෙකකින් මේ දුරකථනයේ 400GB තරම් ඉහළ අගයක් දක්වා වූ ප්‍රමාණයෙන් යුත් මතකපත් (memory card) භාවිත කරන්නට පුළුවන්. Octa-core ප්‍රොසෙසර්, Exynos 9810 Octa යුරෝපයටත්, Qualcomm MSM8998 Snapdragon 845 චිප්සෙට් ඇමරිකාවට හා චීනයටත් S9 සහ S9+ දෙක සඳහාම යොදා තිබෙනවා. ග්‍රැෆික් සකසු (GPU) ලෙස Mali-G72 MP18 යුරෝපයටත්, Adreno 630 ඇමරිකාව හා චීනයටත් යොදා තිබෙනවා. RAM ධාරිතාවන් S9 සහ S9+ සඳහා පිළිවෙලින් 4GB සහ 6GB වෙනවා. මේ නිසා නව දුරකථන ද්විත්වයෙහි ක්‍රියාකාරීත්වය වඩාත් ඉහළ මට්ටමක පවතින අතර බැටරිය S9හි 3000mAh සහ S9 Plusහි 3500mAh වනවා. දුහුවිලි සහ ජලය (මීටර් 1.5ක් සහ විනාඩි 30ක් දක්වා) ඔරොත්තු දෙන IP68 පරිමාණය ඇති මේ දුරකථන දෙක සතුවම වේගවත් ආරෝපණය (fast charging) රැහැන් සහිත සහ රැහැන් රහිත ආකාර දෙකම සඳහා තිබෙනවා. දැනට අලුත්ම ඇන්ඩ්‍රොයිඩ් වෙළුම වන Android Oreo 8.0 මේ දුරකථනවල අඩංගු වන අතර මීළඟ ඇන්ඩ්‍රොයිඩ් වෙළුමට ද එය සහාය දක්වනු ඇති.

විශේෂ සංවේදක

Image Credit: cbsistatic.com

සැම්සන්ග් සමාගම තම S ශ්‍රේණියේ දුරකථනවල අනිවාර්යයෙන්ම වැඩිපුර සංවේදක ඇතුලත් කරනවා. S8හි මෙන්ම නව S9 සහ S9+ දුරකථන ද්විත්වයේම තාරා මණ්ඩල ස්කෑනරයක් (Iris scanner), පසුපස මධ්‍යයේ යොදන ලද ඇඟිලි සලකුණු සංවේදකයක්, accelerometer (ත්වරණමානය), gyro, ආලෝක තත්ත්ව හඳුනාගන්නා proximity සංවේදකය, මාලිමාව, පීඩනමානය, මෙන්ම පසුපස කැමරාවට දකුණු පසින් හෘද ස්පන්දන මානය හා රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය මනින SpO2 සංවේදකය යොදා තිබෙනවා.

කැමරාව

Image Credit: cbsistatic.com

අපි පසුගියදා සැම්සන්ග් සමාගම චීනය වෙනුවෙන් සැකසූ flip phone එක ගැන ලිපියක් ගෙන ආවා ඔබට මතක ඇති. ඒ දුරකථනයේ තිබූ කැමරාවේ යාන්ත්‍රිකව චලනය වන aperture එකක් වූ අතර එය S9 සඳහා භාවිත වනු ඇතැයි අනුමානයන්ද තිබුණා. එය තහවුරු කරමින් සැම්සන්ග් සමාගමේ අන්තර්ජාතික මට්ටමේ ප්‍රථම වරට යාන්ත්‍රික aperture එකක් සහිත කැමරාවක් සතුවූ දුරකථනය බවට S9 දුරකථනය පත් වෙනවා. එය f/1.5 සහ f/2.4 අගයන්හි පමණක් මාරුවන අතර, අතරමැද අගයන්හි සැකසීමට නොහැකියි. පෙර පැවති දුරකථන කැමරාවන්ට වඩා අඩු ආලෝකයේදීත් හොඳ ඡායාරූප ගත හැකි 12MP කැමරාවක් S9 සතුවත්, ගැඹුර හඳුනාගැනීමට උපකාරී වීමට S9+ සතුව 12MP පසුපස කැමරා දෙකකුත් අඩංගු වන්නේ 2x optical zoom එකකුත් සමඟයි. 2160p වීඩියෝ 60fps දුරකථන දෙකෙන්ම ගත හැකි අතර slow motion වීඩියෝ තව දුරටත් ඔප් නංවා තිබෙනවා.

ඉදිරිපස කැමරාව දුරකථන දෙකෙහිම 8 MP (f/1.7) වන අතර 1440p වීඩියෝ 30fps කින් ලබාගත හැකියි. එකවර කැමරා දෙකම විවෘත කොට වීඩියෝ ඇමතුම් ගැනීමටත්, Auto HDR හැකියාවටත් මේ දුරකථන හිමිකම් කියනවා. ඇපල්හි Animoji හෙවත් අපේ මුහුණට අනුරූපව emoji චලනය වන ආකාරයේ විශේෂාංගයට පිළිතුරු වශයෙන් සැම්සන්ග් සමාගම AR Emoji ලෙස ඉමෝජි වෙනුවට මනුෂ්‍ය රූප චලනය වන ආකාරයේ විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

මේ දුරකථන පෙර ඒවා සමඟ සසඳද්දී ඔබ විශේෂ යමක් දකිනවා ද? අපිත් එක්ක අදහස් බෙදාගන්න.

කවරයේ ඡායාරූපය: aolcdn.com

Related Articles