Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශරීර සුවතාව මනින්නට කැඩපතක්

කැඩපතක්, එහෙමත් නැත්නම්, කණ්ණාඩියක් හෙවත් තල දර්පණයක් අපි මෙච්චර කල් භාවිතා කළේ මූණ බලන්න, ඇඳුම්වල අඩුපාඩු බලාගන්න වගේ වැඩවලටනෙ. වාහනවල තියෙන අවතල හෝ උත්තල දර්පණවලින් පිටිපස්සෙන් එන වාහන යි, පහුවුණු ගෑණු ළමයින්ව බලන්නයි පාවිච්චි කරනවා වුණාට ඔය හැම එකෙන්ම වෙන්නේ ආලෝකය පරාවර්තනය වෙලා ඇසට නොපෙනෙන පරාසයක තිබෙන දේවල්නුත් බලන්නට අපිට අවස්ථාව ලැබීමයි.

කොටින්ම කිව්වොත්, ඇසට ඇස දකින්න අවස්ථාවක් ලැබෙන්නෙත් මේ තල දර්පණ නිසාම තමයි. ඉතින් “කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලලා” කියලා සින්දුවට කිව්වට මොකද, දැන් අපේ ශරීර සුවතාව බලාගන්න පුළුවන් කැඩපතක් නිපදවලා තියෙනවා. ගොඩක් දෙනෙක් Gym එකේ කණ්ණාඩියෙන් සෙල්ෆි ගන්නට පුරුදු වෙලා හිටියත් මීට පස්සෙ නම් සෙල්ෆියක් ගන්නා අතරතුරේ ම කණ්ණාඩිය ඉස්සරහා ඉඳගෙන මුළු සිරුරම ස්කෑන් කරවාගන්නත් පුළුවන්.

ත්‍රිමාණ ස්කෑනරයක්

(youtube)

(youtube)

‘නේකඩ්’ හෙවත් ‘නිරුවත’ ලෙසින් නම් කොට ඇති මේ කැඩපත, නිවස තුළ භාවිතා කළ හැකි ප්‍රථම ත්‍රිමාණ ශරීර පරිලෝකන (ස්කෑන්) යන්ත්‍රය ලෙස විරුදාවලි දරමින් ඔබේ ඇඳුම් නොසලකා, ඔබ නිරුවත් කර ඔබේ ශරීර සුවතාව කෙතරම් දැයි පරීක්‍ෂා කරනවා. කැලිෆෝනියාවේ නේකඩ් ලැබ්ස් නම් සමාගම විසින් නිපදවන ලද මේ නිපැයුම මඟින් ශරීරයේ ප්‍රමාණයන්, බර, පේශි ස්කන්ධයන් ආදිය ඔබේ ත්‍රිමාණ රූපයක් සමඟම පෙන්වනු ලබනවා.

නේකඩ් නිශ්පාදන‍ය කොටස් තුනකින් යුක්තයි. ඒ කණ්ණාඩිය, තරාදියක් සහ ඒ සඳහාම වූ දුරකථන යෙදුමක්. තරාදිය කිව්වෙ, කඩවල්වල තියෙනවා වගේ පඩි දාලා කිරන එකක් නෙවෙයි, බිම් තරාදියක්. ඇත්තටම එහෙම කිව්වෙ ඒ තරාදිය බිම තියෙන නිසා මිස සාමාන්‍ය බිම් තරාදියක් ගැන හිතලා නෙවෙයි. මේක සාමාන්‍ය බර කිරීම සඳහා ඒ මත සිටගත හැකි ආකාරයේ එකක්. මේ කණ්ණාඩියේ දාරවල පරිලෝකන සංවේදක යොදා තිබෙනවා.

Intel සමාගම හඳුන්වාදුන් RealSense තාක්‍ෂණය මඟින් අධෝරක්ත කිරණ මඟින් ශරීරය ස්කෑන් කරනු ලබනවා. Xbox Kinect හි පරිගණක ක්‍රීඩාවලදී භාවිතා වන්නේත් මේ තාක්‍ෂණයමයි. ඔබ කණ්ණාඩිය ඉදිරියේ තබා ඇති තරාදිය මත සිටගත්තාම එය තත්පර 20ක් ඇතුලත අංශක 360ක් භ්‍රමණය වෙනවා. ඒ අතරතුර ව්‍යායාම සඳහා සුදුසු ඇඟට ඇලී තිබෙන අවම ඇඳුම් සමඟ සිටිනා ඔබේ ත්‍රිමාණ රූපයක් තත්පරයට frame 30ක වේගයෙන් ගොඩනගනවා.

දුරකථනයට ඇප් එකක්

(blog.naked.fit)

(blog.naked.fit)

අඟලකට දහයෙන් එකක නිරවද්‍යතාවකින් යුතු ඔබේ ත්‍රිමාණ රූපය ඔබට කළු සුදු ආකාරයෙන් දුරකථනයේ ස්ථාපනය කර ඇති ඇප් එක හරහා බලන්නට ඉන්පසු ඔබට පුළුවන්. එය කරකවා බලන්නට, විශාලනය කොට බලන්නට මෙන්ම ශරීරයේ විවිධ මට්ටම්වල මිනුම් සහ මේද ප්‍රමාණයන් බලාගන්නත් පුළුවන්. ආකිමිඩීස්ගේ ක්‍රමය වගේ ඔබ සම්පූර්ණයෙන්ම ජල බඳුනක ගිල්වූවාම ඉන් ඉවත්ව යන ජල ප්‍රමාණය ඔබේ සම්පූර්ණ බරට සමාන වෙනවා වගේ ම සංසිද්ධියකින් යුත් නිරවද්‍ය මිනුම් අපට මේ හරහා ලබාගත හැකි බවයි නිශ්පාදකයන් පවසන්නේ.

එසේ ඔබ පොළොවේ ඉන්නවාට වඩා වතුරෙදි ඇති බර ලබාගත්තාම වඩාත් හොඳ පුරෝකථනයන් කරන්න පුළුවන්. ඒ කියන්නෙ, ඔබ පාවෙනවා වැඩි නම් ඒකෙ තේරුම ඔබේ කයේ මේද මට්ටම ඉතා ඉහළයි. මොකද මේදය, ජලයට වඩා බරින් අඩු නිසා ජලය මත පාවෙනවානෙ. හැබැයි නේකඩ් උපකරණයේදී වතුර වෙනුවට ත්‍රිමාණ සිතියම් ගත කිරීම තමයි භාවිතා වෙන්නේ.

(stylesource01.files.wordpress.com)

(stylesource01.files.wordpress.com)

දුරකථන යෙදුම මත ඔබ ලබාගන්නා මිනුම් සියල්ල වාර්තා තබා ගන්නා නිසා දෛනිකව ඔබේ ආහාර පාලනයෙන් හෝ ව්‍යායාම වලින් ලැබුණු ප්‍රගතිය හොඳින් බලාගන්න අවස්ථාව ලැබෙනවා. යෙදුම හරහා බෙල්ල, උරහිස, පපුව, දෑත් සහ පාද වළලු වශයෙන් වෙන්කර ඒවායේ පේශි සහ මේද අනුපාතය පෙන්වනවා. ඒ අනුව, වළලුවල ප්‍රමාණය වැඩිවෙලා මේද ප්‍රමාණය අඩුවෙලා කියන්නේ ඔබේ පේශි වර්ධනයවී ශක්තිමත් වුණු බවයි. ඉතින් මේ විධියට ප්‍රගතිය බලාගනිද්දි තව වැඩිපුර උත්සාහ ගන්න හෝ මේදය අඩුවුණු ප්‍රමාණයන් පෙනෙන නිසා තමන්ගේ ක්‍රියා පිළිවෙලට තවත් උද්‍යෝගයක් ලැබෙනවා.

මිළ ගණන්

“උද්‍යෝගය අඩුවීම නිසා ශරීර සුවතාව රැකගැනීම අතහැර දමන සියයට 80ක පිරිස වෙනුවෙන් අපි මෙය නිර්මාණය කළා. දැන් ඔවුන්ට දෘෂ්‍යමය වශයෙන් ත්‍රිමාණ ආකෘතියකින් තමන්ගේ කයේ හැම කොටසක්ම අධ්‍යයනය කළ හැකි නිසා  ප්‍රගතිය ඉතා පහසුවෙන් පරීක්‍ෂා කරගත හැකි බව අපේ අදහසයි. ඉතින් සාමාන්‍ය ශරීර සුවතාවක් පවත්වාගන්නාගේ සිට ඉලක්ක සපුරන ක්‍රීඩකයන්, කාය වර්ධකයන් දක්වාම මෙය ඉතා ප්‍රයෝජනවත් නිශ්පාදනයක් වනු නියත යි.” නේකඩ් ලැබ්ස්හි සහ-නිර්මාතෘ එඩ් ස්කැලේටර් පවසනවා.

සියයට 30ක වට්ටමකින් පෙර ඇණවුම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා ඉඩ ලබාදී ඇති මේ නිශ්පාදනයෙහි මිල ඒ අනුව ඇමරිකන් ඩොලර් 699ක් හෙවත් රුපියල් ලක්‍ෂය ඉක්මවූ ගණනකට ලබාගත හැකි අතර 2017 මාර්තු මාසයේදී ඒ ඇණවුම් තැපැල් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ පෙර ඇණවුම් කිරීම් ලබාදී ඇති ලැයිස්තුවෙහි ශ්‍රී ලංකාව නැහැ. එහි තවම ඇත්තේ ඇමරිකාව සහ තෝරාගත් යුරෝපීය රටවල් කිහිපයක් පමණයි.

“කණ්ණාඩිය, කණ්ණාඩිය! මේ ලොව සිටින ලස්සන ම කාන්තාව කවුද?” කියලා මායාකාරියක් අහන ජවනිකාවක් ස්නෝ වයිට් කතාවේ තියෙනවා මතකද? ඒත් මේ නවතම කණ්ණාඩියෙන් නම් අහන්න වෙන්නෙ “මේ ලොව සිටින ශක්තිමත්ම කෙනා කවුද?” කියලා තමයි.

කවරයේ පින්තුරය: tomsguide.com

Related Articles