Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නවතම iPhone7 දුරකථනයේ ඔබ නොදත් තතු

පසුගිය සැප්තැම්බර් 7 වැනිදා එළිදක්වා, සැප්තැම්බර් 16 වැනිදා වෙළඳපොළට නිකුත් කෙරුණු ඇපල් සමාගමේ නවතම දුරකථනය වන iPhone 7 දුරකථනය පිළිබඳ දන්නා දේ සහ ඊට වැඩියමක් එකතු කරන්නයි මේ ලැහැස්තිය.

ඡායාරූපය: Apple වෙබ් අඩවියෙනි

ඡායාරූපය: Apple වෙබ් අඩවියෙනි

මෙවර ජෙට් බ්ලැක් නම්වූ නව තද කළු වර්ණයක් හඳුන්වාදීම, හෙඩ්ෆෝන් ජැක් එක ඉවත් කිරීම සහ ඒ වෙනුවට ලයිට්නිං පෝට් එක භාවිතා කිරීම, නිවස්න (Home) යතුර තවදුරටත් සත්‍ය බොත්තමක් නොවීම ප්‍රධාන බාහිර විලාස වෙනස්කම් වූවා. ඒ හැරුණා ම පිටතින් බැලුවාම මේ පරම්පරාවේ ඊට පෙර සිටි iPhone 6 දුරකථනයට මෙය ඉතා ම සමානයි. iPhone 7 Plus දුරකථනයට නම් කැමරාවට අමතරව විශාලනය සඳහා සහාය වන තවත් කාචයක් ලැබුණා. ගිවිසුම් ගතව ඇපල් සමාගමට මෙය නිශ්පාදනය කොට දෙන්නේ Motherboard නිශ්පාදකයෙක් ලෙස බොහෝ දෙනෙක් හඳුනන Foxconn සමාගම විසිනුයි.

iPhone7 දුරකථනය සම්මත IP67 තක්සේරුව ලබා ඇති අතර එම නිසා ජලයට මීටරයක් ගැඹුරෙහි විනාඩි 30ක් දක්වා තැබිය හැකි සහ දුහුවිලිවලට ඔරොත්තු දීමේ හැකියාව තිබෙනවා. එහෙත් මෙය Samsung සමාගමේ නවකයා වන Galaxy S7 දුරකථනයට වඩා අඩුයි. එහි මේ තක්සේරුව IP68 තෙක් ඉහළයි.

iPhone6(ඉහළ) සහ iPhone7(පහළ) සංසන්දනය. ඡායාරූපය: WikiMedia වෙතිනි

iPhone6(ඉහළ) සහ iPhone7(පහළ) සංසන්දනය. ඡායාරූපය: WikiMedia වෙතිනි

iPhone7 සහ iPhone7 Plus දුරකථන ද්විත්වයේ ම දුරකථනයේ ඉහළින් සහ පහළින් ස්ටීරියෝ ස්පීකර තිබෙනවා. දුරකථනයේ යට කොටසේ දැල් වැනි කවුළු දෙකක් දකින්නට ලැබුණත් ඉන් දකුණු පස, එනම් පෙර දුරකථනවලත් ස්පීකරය තිබුණු ස්ථානයේ තිබෙන දැලෙහි පමණයි ස්පීකරය තිබෙන්නේ. වම් පස ඇති එක පෙර තිබූ ශ්‍රව්‍ය සම්බන්ධකය වෙනුවට, නව නොඑබෙන නිවස්න යතුරෙහි කම්පන දැක්වීම සඳහා යොදා තිබෙනවා. ඒ නිසා මෙහි ස්පීකර තුනක් තිබෙනවායි කියා වරදවා වටහා ගන්න එපා. මේ දෙක මැද Lightning සම්බන්ධක කවුළුව තිබෙනවා. ඊට දුරකථනය සමඟ ම ලැබෙන 3.5mm සාම්ප්‍රදායික සම්බන්ධක කෙළවර වෙනුවට ලයිට්නිං සම්බන්ධකයක් ඇති EarPods සම්බන්ධ කරන්නටත්, ආරෝපණය සහ දත්ත හුවමාරුව කළ හැකියි. මේ වෙනස්කමත් එක්ක විවිධාකාර මත පළවී තිබෙනවා. ඒ වගේ ම හැමෝට ම හදිසියේ ම එකවර දුරකථනය ආරෝපණය කරන්නත් ගීත අහන්නත් ඕන වෙලා ප්‍රශ්ණ ගොඩයි. ඒත් මේ තාක්‍ෂණික ලෝකයේ මොනවාටද විසඳුම් නැත්තෙ?

ඒ කෝකටත් කලින් මෙහි තිබෙන ප්‍රධාන ගැටළුව විධියට දක්වන්නට තිබෙන්නේ මේ සියළු කර්තව්‍යයන් සඳහා එක් සම්බන්ධකයක් භාවිතා කරද්දී, ගෙවීම් නිසා එහි ආයු කාලය අඩුවීමේ අවධානමයි. මොකද, රැහැන් රහිත ආරෝපණ පහසුකම නැති නිසා අනිවාර්යයෙන් ම දිනකට වාරය බැගින් ආරෝපණය සඳහාත්, ආසන්න වශයෙන් දිනකට දෙවරක් පමණ ගීත අසන්නත්, තෙවරක් පමණ දත්ත හුවමාරු කරන්නත් මේ සම්බන්ධකය භාවිතා කළොත් අවුරුද්දකට දෙදහසකට ආසන්න වාර ගණනකට ලයිට්නිං පෝට් එක භාවිතා වෙනවා. ඔබ හදිසියෙන් හෝ නොසැලකිල්ලෙන් භාවිතා කරන කෙනෙක් නම්, එවන් හානිත් එක්වුණාම අවුරුදු එකහමාරකින් පමණ අනිත්‍යතාව මෙනෙහි කරන්න අවස්ථාවක් ලබාගන්න පුළුවන්. කොහොම නමුත්, රැහැන් රහිත දත්ත හුවමාරුව ආදිය හරහා මඳක් හෝ මෙය අඩුකර ගත හැකියි. රැහැන් රහිත AirPods ද ඇපල් සමාගම හඳුන්වාදී ඇති නිසා සහ ඊට පොළඹවා ගන්නට අවශ්‍ය නිසා මෙය මේ ආකාරයට සිදුවනවා වන්නට පුළුවන්. අනිත් ප්‍රශ්ණය ලෙස තිබෙන ආරෝපණය සහ ගීත ඇසීම එකවර කරන්නට නම් මේ වනවිටත් වෙළඳපොළට පැමිණ තිබෙන ඇඩැප්ටර භාවිතා කරන්නට පුළුවන්. ඒවා මගින් මේ එක ලයිට්නිං පෝට් එක දෙකක් බවට පත් කර දෙනවා. ඔබේ දැනට ඇති 3.5mm සම්බන්ධකය ඇති හෙඩ්සෙට් එක තවදුරටත් භාවිතා කරන්නට අවශ්‍ය නම් ඒ සඳහාත් ඇඩැප්ටරයක් දුරකථනය සමඟ ම ලැබෙනවා.

ඡායාරූපය: blogs.systweak.com වෙතිනි

ඡායාරූපය: blogs.systweak.com වෙතිනි

කලින් සඳහන් කළා වගේ, මේ නව දුරකථනයේ පෙර පරිදි එබෙන නිවස්න යතුරක් නැහැ. එය දුරකථන මුහුණ සමඟ ම සම මට්ටමේ තිබෙන ඝන වෘත්තාකාර ප්‍රදේශයක් පමණයි. එය එබුණු බව හඟවන්නේ කම්පනය වීම මඟිනුයි. එය වරක් එබීම මගින් තිරය පණ ගැන්වීමට හා ඇඟිලි සලකුණ ලබාදෙන්නටත්, තිරය නිවී ඇතිවිට දෙවරක් ඔබා Apple Pay වෙත පිවිසෙන්නටත්, භාවිතා කරන අතරතුර මුල් තිරයට පිවිසෙන්නට සහ යෙදුම් අතර හුවමාරු වන්නටත් භාවිතා කළ හැකියි.

Apple සමාගමත් නිර්දේශ කරන පරිදි මේ ජෙට් බ්ලැක් iPhone 7 එකට නම් කවරයක් යොදන්න ම වෙනවා. මොකද, Galaxy S6, S7 දුරකථනවල වගේ ම එහිත් රළු පෘෂ්ඨයක් නොමැති නිසා ඇඟිලි සලකුණු හැමතැනම හිටිනවා. ඒ නිසා ටිකක් වෙලා භාවිතා කළාට පසු එය ඔබේ අනන්‍යතාව දුරකථනය පුරාම රඳවා ගනීවි. විශේෂයෙන් ඔබත් අත්වල වැඩිපුර දහඩිය දමන කෙනෙක් නම් එය හිසරදයක් වනු නොඅනුමානයි. ඒ වගේ ම දුරකථනය සීරීමට ලක්වීමේ ප්‍රවණතාවත් වැඩියි. ඉන් මිදෙන්නට අවශ්‍ය නම් අනිකුත් වර්ණ ලෙස කළු, රත්‍රං, රෝස රත්‍රං ආදිය සමඟ රළු පෘෂ්ඨ ඇති දුරකථනයක් ඔබට තෝරාගන්නට පුළුවන්.

iPhone 7 සහ 7 Plus Apple සමාගමේ දැනට නිපදවා ඇති වේගවත් ම A10 Fusion සකසුව (processor) තිබෙනවා. එය බිටු-64 සහ සිව්හර (quad-core) නිසා ඊට පෙර iPhone 6S සහ 6S Plus දුරකථනවල තිබූ A9 සකසුවට වඩා 40%කින් වේගවත්. Apple සමාගම පවසන පරිදි, ප්‍රථම iPhone එකට වඩා 120 ගුණයකින් වේගවත්. සිව්හරයන්ගෙන් දෙකක් බරසාර කාර්යයන් සඳහා සවිබලයෙනුත්, අනෙක් දෙක ඉහළ කාර්යක්‍ෂමතාවකිනුත් යුතුයි. එමඟින් එහි බැටරි ආයු කාලය තවත් වැඩි කරගෙන තිබෙනවා. මෙහි 2GB RAM එකක් සහ ගිගාබයිට් 32න් ඇරඹී 128 සහ 256 දක්වා මාදිලි තුනකින් යුත් අභ්‍යන්තර ධාරිතාවන් ද තිබෙනවා.

ඡායාරූපය: newyoker.com වෙබ් අඩවියෙනි

ඡායාරූපය: newyoker.com වෙබ් අඩවියෙනි

කැමරාවන් ගැන කථා කළොත්. එහි iPhone 7හි මෙගා පික්සල 12ක පසුපස කැමරාවක් තිබෙනවා. එහි තිබෙන සෙන්සරය පෙරට වඩා සියයට 60කින් ඉහළ වේගයක් සහ සියයට 30ක ඉහළ බැටරි බල ඉතිරියක් ද තිබෙනවා. iPhone7 Plus දුරකථනයේ ඊට අමතරව විශාලනය සඳහා පහසුකම් සලසන තවත් කාචයක් ද තිබෙන අතර මේ දුරකථන දෙකෙහි ම ඉදිරිපස කැමරාව මෙගා පික්සල 7ක් වනවා.

ඉතින් මේ සියළු දේ කෙටියෙන් මෙසේ ගොනු කරන්න පුළුවන්

ප්‍රවණතා

  • මටසිළුටු ඇලුමිනියම් නිමාව දැන් ජලයට සහ දුහුවිලිවලට ඔරොත්තු දෙනවා
  • A10 Fusion චිප් එක ඉහළ සවිබලයකින් යුක්තයි
  • අභ්‍යන්තර ධාරිතාව 32GB සිට 256GB තෙක් දිවෙනවා
  • iOS 10 සුමුදුව ධාවනය වෙනවා
  • ද්විත්ව කැමරා සහ විශාලනය නිසා iPhone 7 Plus දුරකථනය ඉතා අගෙයි

දුබලතා

  • සම්ප්‍රදායික හෙඩ්ෆෝන් සම්බන්ධකයක් නැහැ
  • Lightning port එකෙහි ආයු කාලය අධික භාවිතයත් එක්ක අඩුවිය හැකියි
  • iPhone 7හි ද්විත්ව කැමරා නැහැ
  • අනෙකුත් දුරකථන නිශ්පාදනවල මෙන් 64GB අභ්‍යන්තර ධාරිතාව සහිත මාදිලියක් නැහැ
  • මිළ අධිකයි

ඉතින් ඔබත් අලුත් iPhone එක ගන්න බලාගෙන ඉන්න කෙනෙක්ද? එහෙම නැත්නම් දැනටම අරගෙනද? එහෙනම් ඔබ අලුත් iPhone එක ගැන හිතන දේවල් අපිට කියන්නත් අමතක කරන්න එපා.

මූලාශ්‍ර: Wikipedia සහ Mashable.

Related Articles