Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ දුරකථනයේ සීමා බිඳින Samsung Galaxy S8

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

අපි මෙතෙක් කල් දැකපු/දැනට දකින බොහෝ දුරකථන හැමදාම දකින කුකුළාගේ කරමල වගේ තමයි. දරුවෙක්ට වුණත් දුරකථනයක් අඳින්න කිව්වොත් කරන්නේ කොටුවක් ගහලා ඒකෙ හතර වටේට අක්කරයක් විතර ඉඩ තියෙන්න හැරලා චූටි තිරයක් අඳින එකයි. ඊට පස්සේ යටින් බොත්තමක් තියනවා.

ඒත් ඔන්න සැම්සන්ග් සමාගම මේ ඒකාකාරී කථා මාලාවට අළුත් ම චරිතයක් හරහා නවමු මඟකට ගෙන එන්නයි සැරසෙන්නේ. ඒ ඔවුන්ගේ නවතම දුරකථනය වන ගැලැක්සි S8 සහ එහි සහෘද S8+ ස්මාර්ට් දුරකථනයත් සමඟ යි.

Galaxy S8 දුරකථනය (Samsung වෙබ් අඩවිය)

ඔබට මතක ඇති කිසියම් දුරකථනයක් එන්නට පෙර එහි සැලැස්ම නිර්මාණශිල්පීන් විසින් අනුමාන කොට ප්‍රසිද්ධ කරන ආකාරය. විශේෂයෙන් ඇපල් දුරකථනයක් එන්නට පෙර එහි දුරකථනය පුරා ම තිරය තිබෙන ආකාරයේ ඇස් අදහාගත නොහැකි අනුමානයන් අපිට දකින්නට ලැබුණත් අන්තිමට දුරකථනය ආවාට පස්සේ අපිට දකින්නට ලැබෙන්නේ හැමදාම දකින්න ලැබුණු සාම්ප්‍රදායික කොටුවක් වගේ දුරකථන සැලසුම ම තමයි.

ඒ ආභාෂය නිසා මේ S8 එකත් දැකපු ගමන් කෙනෙකුට එය අනුමාන කළ සැලසුමක් කියා සිතෙන්නට පුළුවන්. ඒත්, දැන් නම් ඔන්න ‘දුරකථනය පුරා තිරය’ යන සංකල්පය වෙත මහත් පියවරක් තබන්නට Samsung සූදානමින් ඉන්නවා. මෑතදී Note 7 දුරකථනයත් එක්ක අපි කියන ‘සැම්සුන්’ සමාගම සුන් වුණාට S8 එක්ක නැවත කරළියේ ජය අත්කරගන්නා එහි නිවැරදි නම වන “සැම්සන්ග්” යන්න මේ ලිපිය පුරා භාවිතා කරනවා.

සුවිසල් තිරය

අනන්තයේ තිරය හෙවත් Infinity Display (YouTube/Samsung Mobile)

පසුගිය වසරවලදී Galaxy S6 edge සහ Galaxy S7 edge දුරකථනවල නවන ලද තිරයක් මගින් දුරකථනයේ  දෙපස ඇති බාධක ඉවත්කරලූවා. එනිසා තිරයට මේ වසර සඳහා ඉතිරිව තිබුණේ ඉහළට සහ පහළට ව්‍යාප්තවීම පමණ යි. එහිදී මෙතෙක් කල් සැම්සන්ග් දුරකථනවලට ආරයෙන් පැමිණි ගුණයක් මෙන් තිබුණු නිවස්න යතුර (home button) සහ ඒ දෙපස තිබුණු back button එක සහ recent apps බොත්තම් අවසන් ගමන් ගියේ S8හි තිරය මත ම ඇති බොත්තම් බවට පත්වෙමිනුයි. ඉහළින් තිබූ ඉදිරිපස කැමරාව සහ අනෙකුත් සංවේදකවල ද ප්‍රමාණය කුඩා කර ඇති නමුත් ඒවායේ සවිබලයෙහි හෝ ක්‍රියාකාරීත්වයෙහි කිසිදු අඩුවක් සිදුකර නැහැ.

Infinity Display හෙවත් ‘අනන්තයේ තිරය’ ලෙස නම් කර ඇති මෙය සාම්ප්‍රදායික හරි-හතරැස් බවින් මිදී රවුම් දාර ලබා තිබෙනවා. අඩු බැටරි බල භාවිතයක් දරන මෙම තිරය, ඔබ දුරකථනය භාවිතා නොකරන විට සාමාන්‍ය දුරකථනවල මෙන් කළු පැහැවී නිදා නොසිට වේලාව සහ අනෙකුත් විශේෂ දෑ දක්වමින් සක්‍රීයව සිටින්නටත් සමර්ථයි. S8හි තිර ප්‍රමාණය අඟල් 5.8ක් ද S8+හි අඟල් 6.2ක් ද වන අතර ඒවා දෙකම 2960 x 1440 තිර විභේදනයෙන් යුත් Quad HD+ Super AMOLED ඒවායි. සෙල්ෆි උස හෙවත් මීටර් 1.6ක් පමණ ඉහත සිට පතිත වුවත් කිසිදු හානියක් නොවන Corning Gorilla Glass 5 මඟින් මෙම තිරය ආරක්ෂණය කොට තිබෙනවා.

පද්ධති ගුණාංග

දුරකථනයේ අභ්‍යන්තර දැක්ම (Samsung වෙබ් අඩවිය)

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නවතම වෙළුම වන Nougat ස්ථාපිත මෙම දුරකථනයේ 2.3 GHz ප්‍රොසෙසර 4ක් සහ තවත් 1.7 GHz වූ ප්‍රොසෙසර 4ක් එක් කොට Octa Core ආකාරයෙන් 4GB RAM එකක් සමඟ හැකියාවන් විදහාලනවා. “ඇමරිකාවට කිරි – අපිට කැකිරි” කියන්නට වගේ ඔවුන් ඇමරිකාවට නිකුත් කරන දුරකථනයේ නම් වැඩි ප්‍රොසෙසර බලයක් සමඟ Adreno 540 GPU එකක් ද යොදා තිබෙනවා. USB type-C ආකාරයේ පෝට් එකක් සහිත මෙය නවතම WiFi ac ආකාරය සහ Bluetooth 5.0 තාක්ෂණයන්ගෙන් ද ජවසම්පන්නයි.

පසුපස කැමරාව 12MP ද ඉදිරිපස කැමරාව 8MP ද වන මෙහි කැමරා දෙක ම එකවර භාවිතා කිරීමේ පහසුකම තිබෙනවා. ධාරිතාවය ලෙස ලැබෙන ගිගාබයිට් 64 ද ඉක්මවා මතකපත් ද එක් කළ හැකි නිසා එහි ප්‍රමාණය තවදුරටත් වැඩි කරගත හැකි වෙනවා. S8 හි සිම්පත් දෙකක් යෙදිය හැකි මාදිලියේ නම් මතකපත යෙදීමට සිදුවන්නේ දෙවැනි සිම්පත යොදන කවුළුවෙන් ම යි.

නවතම පෞද්ගලික සහායකයා: Bixby

Bixby පෞද්ගලික සහායකයා ඔබේ විධානය වෙනුවෙන් රැඳී සිටින ආකාරය (YouTube/Samsung Mobile)

ඇපල් එකට Siri ඉන්නවා. ගූගල් එකටත් එතරම් කතාබහක් නැති නමුත් උපකාර කර දෙන Google Assistant ඉන්නවා. ඉතින් සැම්සන්ග් සමාගමත් තමන්ගේ ම කෙනෙක් තබා ගැනීමට ඇති කැමැත්ත නිසා ‘බික්ස්බි’ නමින් වැඩි කථාබහක් නැති නමුත් වැඩ ගොඩක් කරදෙන කෘත්‍රීම බුද්ධියෙන් යුත් සහායකයෙක් හඳුන්වා දෙනවා. ඔබව හඳුනා ගනිමින් ඔබේ කටයුතු අධ්‍යයනය කොට දෛනික ජීවන රටාව තනිවම උගනින මේ සහායකයා ඔබේ එදිනෙදා දේවල්වලට සහාය වන්නේ කැමරාවෙන් යමක් පෙන්වා මේ කුමක්දැයි විමසන ඇසිල්ලෙන්.

දුරකථනය දැන් පරිගණකයක්

Samsung DeX රඳවනය හරහා දුරකථනය පරිගණයක් වන ආකාරය (businessinsider.com)

Galaxy S8 කියන්නේ හුදෙක් ස්මාර්ට් දුරකථනයක් විතරක් ම නෙවෙයි. එයට සැම්සන්ග් සමාගම විසින් නිපදවා ඇති Samsung DeX නම් රඳවනය සමඟ සබැඳුනාම පරිගණකයක් ලෙසින් කීබෝඩ් එකක් සහ මවුස් එකක් හරහා පරිගණක මොනිටරයකින් භාවිතා කළ හැකි වෙනවා. මයික්‍රොසොෆ්ට් ඔෆිස් ඇතුළු මෘදුකාංග රැසක් පරිගණකයේ ආකාරයට ම මේ වන විටත් භාවිතා කළ හැකි අතර තවත් ඇප්ස් එ් ආකාරයෙන් භාවිතා කළ හැකි වන ආකාරයට සැකසීම සඳහා මෘදුකාංග සංවර්ධකයන් දිරි ගන්වන බව ද ඔවුන් සඳහන් කරනවා.

ඇස් දෙකෙන් අගුළු හරින්න

S8 දුරකථනයට ඔබේ ඇසේ තාරා මණ්ඩලය ස්කෑන් කළ හැකියි (purch.com)

දුරකථනයක් ගැන කියද්දී ඒකෙන් කෝල් ගන්නවා කියලා කියන්න අමතක වුණා නෙ. මොකද, ඒ තරමට මේකෙ වැඩ කෑලි තියෙනවා. ඒවා අතර මෙතෙක් අපිට දකින්නට ලැබුණු ඇඟිල් සලකුණු සංවේදකය, රැහැන් රහිතව ආරෝපණය කිරීමේ හැකියාව ආදී S6 දුරකථනයේ දකින්නට ලැබුණු ඒවා වගේ ම මෙහි ඇසේ තාරා මණ්ඩලය ස්කෑන් කිරීමේ දක්ෂතාවක් ද දරනවා. ඇඟිලි සලකුණ මෙන් ම අපේ ඇසේ කළු බෝලය මත ආලෝක ප්‍රමාණය අනුව අඩු-වැඩි වන වෘත්තාකාරව ඇති රේඛා සමූහය හෙවත් තාරා මණ්ඩලයත් එකිනෙකාගෙන් වෙනස් වෙනවා. අඩුම තරමේ අපේ එක් ඇසක තාරා මණ්ඩලයවත් අනික් ඇසට සමාන නැහැ. ඒ නිසා ඉතා පහසුවෙන් සහ ආරක්ෂිතව දුරකථනයේ අගුළු හැරීම සඳහා එය භාවිතා කරන්නට දැන් අවස්ථාව තිබෙනවා.

ඉතින් මේ ඇහිබැමි උඩ ගොස් නළල රැළි ගන්වන ආකාරයේ නවතම හැකියාවන් රැසකින් සවිබල ගැන්වුණු සැම්සන්ග් සමාගමේ නවතම සාමාජිකයා වන Galaxy S8 සහ Galxy S8+ දුරකථන අප්‍රේල් 21 වැනි සිකුරාදා එළිදැක්වීමට නියමිතයි.

මේ දුරකථනය ගැන ඔබේ හැඟීම කුමක්ද? උණු උණුවේ ආපු ගමන්ම ගන්න හිතාගෙනද ඉන්නේ? එහෙම නැත්නම් මේක ආවම ගණන් බහින පරණ model එකකටද යන්න කල්පනාව? comment වලින් අපිට කියන්න.

මූලාශ්‍ර: TheVerge, AndroidAuthority, GSMArena, YouTube/Samsung Mobile

කවරයේ පින්තූරය: YouTube/Samsung Mobile

Related Articles