Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Sony රොබෝ සුනඛයන් නැවතත් කරළියට පැමිණෙයි

1999 වර්ෂයේ මැයි එකොළොස් වන දින ආරම්භ කරන ලද Sony සමාගමේ වෙනස්ම ආකාරයක නිෂ්පාදන පෙළක් වන අයිබෝ (AIBO) රොබෝවරුන් නිවසට රොබෝ සුනඛයෙක් ගෙන ඒමේ අපූරු කටයුත්ත සඳහා මුල පිරුවා. මේ හරහා නිපදවන ලද රොබෝවරුන් සුනඛයකුගේ ස්වභාවය ගන්නා ලද අතර ඇතැම් අවස්ථාවලදී සිංහ පැටවුන් ලෙස ද හඳුන්වා දෙනු ලැබුවා. ආරම්භක වර්ෂය සිට 2005 වර්ෂය දක්වා මෙම රොබෝවරුන් නිපදවනු ලැබූ අතර එයින් පසු එය නවතා දමනු ලැබුවා.

නමුත් කෘත්‍රීම බුද්ධිය හිස ඔසවමින් තිබෙන අවධියක අවුරුදු 12කට පසු Sony සමාගම නැවතත් නවතම නිෂ්පාදනයක් ඉදිරිපත් කරන බවට තොරතුරු හෙළි වුණා.

මූලාරම්භය

(imgix.net)

Artificial Intelligence Robot ලෙස මෙය ඉංග්‍රීසි භාෂාවේ වචනයක් වශයෙන් සකසා ගැනුණ ද අයිබෝ කියන්නෙහි ජපන් භාෂාවෙන් ‘මිත්‍රයා’ යන්නයි. ඒ අනුව නිවසට සුනඛ යහළුවෙක් ගෙන ඒමේ කාර්යභාර්යය ජපානයේ සෝනි සමාගම විසින් ඉටු කරනු ලැබුවා. මීට අවුරුදු 18කට පෙර අරඹන ලද මෙම නිෂ්පාදනය වසරකට එකක් වන ලෙස ඉදිරියට ගෙන ආ අතර Sony සමාගම විසින් නිපදවනු ලබන චිත්‍රපටි වලටද මෙම රොබෝ සුනඛයන් ඇතුළත් කරන්නට ඔවුන් අමතක කළේ නැහැ.

මෙහි පළමු සුනඛ රොබෝ වගේ කකුල් හිස සහ වලිගය දැමූ අතර 64-bit ප්‍රොසෙසරයක්, 16MB RAM ධාරිතාවක් සහ ස්පර්ශ සංවේදක, කැමරාවක්, ත්වරණමානයක්, මයික්‍රෆෝන, සහ ස්පීකරයක් අඩංගු කර තිබුණා. එම රොබෝ සුනඛයාට ජපානයේ Good Design සම්මානයන්හි හොඳම ස්ථානයත්, 2000 වර්ෂයේ දී ජර්මනියේ Red dot සම්මානයත් හිමි වුණා. පසුකාලීනව එය ඉදිරියට යද්දී වයි-ෆයි පහසුකම, වැඩි දියුණු කරන ලද සංවේදන හැකියාවන් ඇතුළත් කරනු ලැබුවා.

(ieee.org)

මෙම රොබෝවරුන් සඳහා AIBOware  නමින් මෙහෙයුම් පද්ධතියක් අඩංගු කර තිබෙනවා. පළමු සහ දෙවන නිකුතුවල රොබෝවරුන්ට භාවිතා කරන්නන්ට කැමති ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමට අවස්ථාව තිබුණා. Life AIBOware නමැති මෘදුකාංග වෙළුමේ ඉතා කුඩා වයසක සිටින බලු පැටවකු මෙන් හැසිරෙන්නටත් පරිශීලකයා සමඟම වැඩිවිය පැමිණෙන්නටත් හැකිවන ආකාරයට සකසා තිබුණා. Explorer AIBOware වෙළුමේ තරුණ වියෙහි සිටම සුනඛයෙක් මෙන් හැසිරෙමින් විධාන සියයක් දක්වා හඳුනාගැනීමට හැකි ආකාරයෙන් ක්‍රමලේඛනය කර තිබූ අතර සාමාන්‍ය සුනඛයෙක් මෙන්ම ඒ විධාන කිරීමේදී ඇතැම් අවස්ථා වලදී මුරණ්ඩු ලෙස හැසිරෙන අාකාරයට ද සකසා තිබුණා.

ඒ නමුත් පසුකාලීනව සමාගමේ ආර්ථික මට්ටම පහත වැටීමත් සමඟම මෙම රොබෝවරුන් නිපදවීම ඊට සමගාමීව නිපදවන ලද කුඩා, මනුෂ්‍ය ආකාරයේ රොබෝ ව්‍යාපෘතියත් සමඟම නවතා දමනු ලැබුවා. එයින් වසර දොළහකට පසුව තමයි ඔවුන් නැවතත් නව රොබෝවෙක් සමඟ කරළියට එන බවට තොරතුරු වාර්තා වුණේ.

නව අයිබෝ

(slashgear.com)

පරණ බව්වා වගේ නෙවෙයි අලුත් කෙනාට OLED තිර දෙකක් භාවිත කර ලස්සන ඇස් දෙකක් දීලා තිබෙනවා. ගැඹුරට යාන්ත්‍රික ඉගෙනීම හැකියාව, මත්ස්‍ය ඇස් (fish-eye) ආකාර කැමරා, විවිධ සංවේදක සහ ශබ්ද මෙන්ම ඡායාරූප විශ්ලේෂණය කර පරිසරයට සහ අවස්ථානුකූලව ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව මෙහි අධිවර්ධනය කළ දේවල් අතර තිබෙනවා. මේ නිසාම දැන් එහි රොබෝමය ගතිය පහව යමින් සත්‍ය සුනඛයෙකුගේ ප්‍රතිචාරයන්ට සමාන බවක් දකින්නට ලැබෙනවා.

තමන්ගේ අයිතිකරුවාව හඳුනාගෙන පසුපසින් හඹා යන්නට, වචන හඳුනාගන්නට, හිස සහ පසුපස කසාගන්නට, අතට-අත දෙන්නට වගේ සාමාන්‍ය සුනඛයකු සතු ලක්ෂණ රැසක් මේ රොබෝවාට ඇතුලත් කර තිබෙනවා. ඒ වගේම දැන් මොහු ඔබේ නිවසේ කැමරාව ලෙසින් ද භාවිත කරන්නට පුළුවන්. නිවසේ සිදුවන වැදගත් අවස්ථා වීඩියෝ ගත කරන්නට, ඔබට ඔබේ ඡායාරූපයක් ගැනීමට, දරුවන් සෙල්ලම් කරන ආකාරයන් පටිගත් කරගන්නට අවශ්‍ය වූ විට වැනි දේවල් අයිබෝ ලවා ම කරගන්නට පුළුවන්.

කාලය ගතවත්ම එය යාන්ත්‍රික ඉගෙනුම හරහා තනිවම ඔබව අවබෝධ කරගනිමින් ඔබට අනුකූලව හැඩ ගැසෙන නිසා ජීවත් වන පරිසරයට සහ ඊට ලැබෙන සැලකුම් අනුව චර්යා රටා වෙනස් කරගන්නට හැකියාව තිබෙනවා. ඒ අනුව ඔබට එය සුරතල් කරන ආකාරය, ආදරය කරන ආකාරය හඳුනාගෙන ඊට අනුගත වන්නට එයට පුළුවන්. මෙම ක්‍රියාවලිය නිසා එක ළඟ නිවෙස් දෙකක අයිබෝ සුනඛයන් දෙදෙනෙක් සිටියහොත් ඒ දෙදෙනා අර තාපසයන් අතරට සහ සොරුන් අතරට වැටුණු ගිරව් දෙන්නාගේ කතාවේ වගේ දෙවිධියකට තමයි හැදෙන්නේ. මේ කෘත්‍රීම බුද්ධිය භාවිතය සඳහා 64bit Quad-Core CPU එකක් තිබුණද අන්තර්ජාලය හරහා Cloud server එකක සහාය ද ලබා ගැනෙනවා.

(japantimes.co.jp)

මෙම නව අයිබෝ රොබෝව සතුව වයිෆයි වලට අමතරව 4G LTE සබඳතාවද තිබෙන්නේ සිම්පතක් දැමීමටද ඉඩ ලබාදීමත් සමඟයි. මේ නිසා එය නිවසට සීමා නොකර ඔබ යන එන තැනක වුවත් රැගෙන යන්නට හැකියාව ලැබෙනවා. ආරෝපණය කිරීම සඳහා පැය තුනක් ගතවන අතර මෙහි භාවිත කාලය පැය දෙකක් පමණ වෙනවා. බැටරිය බැස යන්නට ආසන්න විට ආරෝපකය වෙත ගොස් තමාව තනිව ආරෝපණය කරගන්නට ද අයිබෝට පුළුවන්. ඇස, කණ සහ වල්ගය උපයෝගී කර ගනිමින් ශබ්ද වලට ප්‍රතිචාර දක්වමින් සුරතල් හැකියාවන් දක්වන අයිබෝගේ මිල ජපන් යෙන් 2980 (රු. ලක්ෂ 2.6 පමණ) වෙනවා. මිලදී ගැනීමෙන් පසුවද අයිබෝගේ ක්‍රියාකාරීත්වය ලබාදෙන Cloud සේවාව භාවිත කිරීම සඳහා මසකට රුපියල් 4000ක් හෝ වසර තුනකට එකවර රුපියල් 1,20,000ක් (මසකට තුන් දහසක් පමණ) ගෙවා සේවාව සක්‍රිය කරගන්නට පුළුවන්.

ඇමසන්, ගූග්ල්, ඇපල් සමාගම් මේසය මත තබන ස්පීකරයක් නිවසේ කෘත්‍රීම බුද්ධියෙන් යුත් සහායකයා ලෙස ලබා දෙන අතරේ සෝනි සමාගම මෙම සක්‍රීයව ගෙදර පුරා දුව පැන ඇවිදින රොබෝවෙක් අලෙවි කිරීමෙන් ඊට වඩා විශාල වෙනසක් නිවාස සහායකයා යන අර්ථ කථනය වෙත ලබා දෙන්නට සමත් වෙනවා. ඒ අනුව ලෝකයේ ගමන් මඟ මේ අතට යොමු වීම හරහා මීටත් වඩා අඩු මිලට නිවසේ තිබෙන ස්මාර්ට් දුරකථනය වගේ සාමාන්‍යකරණයවූ උපාංගයක් නුදුරු අනාගතයේදීම අපගේ නිවෙස්වලට ද එනු ඇතැයි මේ නිපැයුම හරහා පුරෝකථනය කරන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: dezeen.com

Related Articles