Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසරට ස්මාර්ට් දුරකතනයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු 6ක්

දුරකතනයක් මිලදී ගනිද්දී බොහෝ දෙනෙක් මිල මත පමණක්ම සීමා වෙමින් පසුකාලීනව තමන්ගේ තීරණයට නොව, දුරකතනය ස්ලෝවී ඇති බව පවසමින් ඊට දොස් නගනවා. එසේම දුරකතනයක් මිලදී ගන්නට වෙළඳසලකට ගියාමත් වෙළඳසල් හිමියාට අවශ්‍ය දුරකතනයකුයි බොහෝ අවස්ථාවලදී අපිට මිලදී ගන්නට සිදුවන්නේ. මේ නිසා දුරකතනයක් තෝරා ගනිද්දී ඊටත් වඩා සැලකිලිමත් විය යුතු දේවල් බොහොමයක් තිබෙනවා. එසේම තනි වෙළඳසලකට සීමා නොවී තමන්ගේ අවශ්‍යතාව අනුව එකක් තෝරාගත යුතු වෙනවා. එසේ තෝරාගැනීමේදී අත්‍යාවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයකුයි මේ.

ප්‍රොසෙසරය: වේගය වැදගත් නිසා

windows.net

දුරකතනයක අත්‍යාවශ්‍යයෙන්ම බැලිය යුතු නමුත් බහුතරයක් අතින් සැලකීමකට පාත්‍ර නොවන අංගයක් තමයි ප්‍රොසෙසරය කියන්නේ. දුරකතනයේ සිදුවන සැකසීම් (processing) සඳහා වැදගත් වන කොටස වන මෙය එහි මොළය ලෙස හැඳින්වූවාටද වරදක් නැහැ. වෙළඳපොළෙහි MediaTek, Qualcomm, Exynos, Kirin ආදී ප්‍රොසෙසර බහුලව දකින්නට ලැබෙනවා. බොහෝ අඩුමිල දුරකතනවල තායිවානය, චීනය වැනි රටවල නිෂ්පාදිත MediaTek, Kirin වැනි ඒවාත් මධ්‍යම මිල සහ ඉහළ මට්ටමේ දුරකතනවල ඇමරිකාවේ Qualcomm සමාගමේ Snapdragon ප්‍රොසෙසරයත් යොදා තිබෙනු දකින්නට ලැබෙනවා.‍ 2017 මුල් භාගය පමණ වන විටත් බොහෝ මොබයිල් ප්‍රොසෙසර single core සිට multi core වෙත යොමුවුණේ 64bit තත්ත්වයට ද උත්ශ්‍රේණිගත වෙමිනුයි.

2018 වර්ෂය සඳහා දැනට ඇති නවතම ප්‍රොසෙසරයන් වන්නේ MediaTek Helio X30, HiSilicon Kirin 659 සහ Qualcomm Snapdragon 845 යන ඒවායි. Kirin ප්‍රොසෙසර Huawei දුරකතනවලත්, අනෙකුත් Micromax, Lava, Oppo වැනි දුරකතනවල MediaTek ප්‍රොසෙසරයත්, Snapdragon ප්‍රොසෙසර Samsung, One Plus ආදියේත් දකින්නට ලැබෙනවා. එකිනෙකට සාපේක්ෂව ගත් කල වේගය, බැටරි බල ඉතිරි කිරීම, ආරක්ෂාව යන දේවල් අතින් Snapdragon 845 ඉදිරියෙන් සිටිනවා. ඇපල් දුරකතනවල ඔවුන්ටම ආවේණික Apple A ප්‍රොසෙසර ඇති අතර ඔබට තෝරාගැනීමක් කරන්නට අවස්ථාවක් නැහැ. ඇපල් ලොව දැනට අවසානයට ඇත්තේ Apple A11 Bionic ප්‍රොසෙසරයයි.

රැම් සහ අභ්‍යන්තර ධාරිතාව: මතකයට වැඩි ඉඩක්

themobileindian.com

ප්‍රොසෙසරයට පසු අඩු අවධානයක් ලැබෙන්නේ රැම් එකට නමුත් එය ස්ලෝ වීම් වළකාලන්නට හැකි තරම් ඉහළ අගයක පැවතීම අත්‍යාවශ්‍ය වෙනවා. අඩුමිල දුරකතන බොහොමයක මෙය 1GB, 1.5GB ලෙස දකින්නට ලැබෙන අතර දැනට තිබෙන ඇප්ස් පමණක් නොව updates ලැබෙද්දී ක්‍රම ක්‍රමයෙන් ඒවායේ විශේෂාංග ප්‍රමාණය වැඩි වෙද්දී එය දරාගන්නට දුරකතනයට නොහැකිව යනවා. මේ නිසා සුමට අත්දැකීමකට අවම වශයෙන් දැනට 3GB පමණ ඇති රැම් ධාරිතාවක් තෝරාගත යුතු වෙනවා.

අභ්‍යන්තර ධාරිතාව අනුව දුරකතන මාදිලි ද දැන් වෙළඳපොළට නිකුත් කරනු දකින්නට ලැබෙනවා. සාමාන්‍ය භාවිතය සඳහා දැනට 32GB ප්‍රමාණවත් වන අතර මතක පත් (memory card) දැමිය හැකි නම් අඩු ප්‍රමාණයක අභ්‍යන්තර ධාරිතාවක් තිබීම විශාල ගැටළුවක් වන්නේ නැහැ. හොඳ වර්ගයේ මතකපතක් යෙදුවහොත් දත්ත සංසරණ වේගය ද හොඳ මට්ටමක තබාගත හැකියි. Cloud storage වලට හුරු වෙනවා නම් මතක පත් අවශ්‍ය වෙන්නේත් නැහැ.

බැටරිය: ප්‍රමාණය සහ ආරෝපණ ආකාර අනුව

pmi-soft.com

දිගු කාලයක් තනි ආරෝපණයකින් දුරකතනය පාවිච්චි කරන්නට නම් බැටරියේ mAh අගය පමණක් නොව; ඔබ වරකට භාවිත කරන ඇප්ස් ප්‍රමාණය, තිර දීප්තිය (brightness), පරිගණක ක්‍රීඩාවල නිරත වීම, මොබයිල් ඩේටා සහ/හෝ කැමරාව නිතර භාවිතය වැනි දේවල් මෙන්ම ප්‍රොසෙසරයේ බල භාවිතය ද හේතු සාධක වෙනවා. පැයට බැටරියෙන් ලැබෙන මිලි ඇම්පියර් ප්‍රමාණය mAh අගයෙන් දැක්වෙනවා. ඒ අනුව 3,400mAh වන දුරකතනයක් සාමාන්‍යයෙන් දවසක් පමණ පාවිච්චි කරන්නට පුළුවන්.

ඉහළ පෙළේ දුරකතනවල මෙම අගය ඉහළ අගයක් ගන්නවා. එවන් දුරකතනවල 5400mAh වැනි බැටරියක් දකින්නට ඇති නමුත් එහි ඇති පහසුකම් සහ විශේෂාංගවල ප්‍රමාණය අනුව භාවිත කාලය අඩුවී යන්නට පුළුවන්. ඇතැම් දුරකතන සමාගම් අප නිතර භාවිත නොකරන ඇප්ස් වසා දමා background run වන ඇප්ස් ප්‍රමාණය අඩුකොට දිගු බැටරි කාලයක් ලබාගන්නට කටයුතු කරනවා. එය නොමැති දුරකතනවල තෙවන පාර්ශවීය ඇප් එකකින් වුවත් ඔබට එය කරගන්නට පුළුවන්. බැටරි බැසීම සිදුවුවත් ආරෝපණය කරද්දී Quick charging තාක්ෂණය හරහා වේගයෙන් ආරෝපණය වීමේ හැකියාව තිබෙනවා නම් එය මහත් ගැටළුවක් වන එකක් නැහැ.

තිරය: වසන්නට නොව හොඳින් පෙනෙන්නට

news.psu.edu

ස්මාර්ට් දුරකතනවල තිර වර්ග රැසක් දකින්නට ලැබෙනවා. ඒවා අතර LCD, LED, OLED, AMOLED ආදිය අඩංගු වෙනවා. බොහොමයක් තෙවන පෙළ දුරකතනවල LCD තිරයක් දකින්නට ලැබෙනවා. එහි බැටරි බල භාවිතය ඉහළ අගයක් ගන්නා අතර පින්තූරවල පැහැදිලි බව ද අඩුයි. පසුපසින් ආලෝකයක් නොමැති (non-backlit) LED තිරවල ඇති වාසිය වන්නේ ඒවායේ තිරයේ කළු පැහැය දිස්වන අවස්ථාවන්හිදී තිරය offවී සත්‍ය කළු පැහැයම දැක්වීමයි. මේ නිසා අඳුරු පැහැ wallpaper එකක් ඇති අයට බැටරි ආයු කාලය වැඩිපුර ඉතිරි කරගන්නට අවස්ථාව ලැබෙනවා.

Resolution එක හෙවත් තිර විභේදනය විවිධ අගයයන්ගෙන් දුරකතනවල ඇති අතර ඔබේ අවශ්‍යතාව නිතර වීඩියෝ බැලීම, පරිගණක ක්‍රීඩා කිරීම නම් 4K වැනි ප්‍රමාණයක් සුදුසුයි. එසේ නොමැති නම් මොබයිල් ඩේටා වලින් 4K quality එකෙන් වීඩියෝ බලන්නට උත්සාහ නොදරනවා නම් එතරම් ඉහළ අගයක් අවශ්‍ය වන්නේත් නැහැ. ඊට අමතරව සැලකිය යුත්තේ තිරයේ ppi අගය හෙවත් අඟලකට ඇති පික්සල් ගණන යි. එය වැඩිවන තරමට පෙනුම වැඩියි. Full view display වැනි දාරයන් අවම තිරයන් වැඩි දසුන් අවකාශයක් ලබාදෙන නමුත් bezel-less හෙවත් දාර රහිත දුරකතන අල්ලාගෙන සිටීමේදී වැටීමට ඇති අවදානම සාමාන්‍යයෙන් වැඩියි. නමුත් ඔබේ පෞද්ගලික අවශ්‍යතාව මත එය තීරණය කරගත හැකියි.

කැමරාව: ලෝකය හොඳින් දකින්නට

kinja-img.com

බොහෝ දෙනෙක් කැමරාව ගැන නම් සැලකිලිමත් වුණත් වැඩිපුර වැදගත් නොවන මෙගා පික්සල අගය ගැන පමණයි බලන්නේ. දැනට තිබෙන බොහෝ දුරකතන පවා කැමරාවට වැඩි අගයක් ලබා දෙන අතර ඉහළ මෙගා පික්සල අගයන් තිබෙන දුරකතන ඕනෑ තරම් තිබෙනවා. කැමරා සංවේදකයේ (camera sensor) පික්සල අගය ඉහළ අගයක් වන තරමට එහි ගුණාත්මක බව වැඩි වන අතර aperture එක හෙවත් කැමරා විවරයේ ප්‍රමාණය අනුව ඡායාරූපවල දීප්තිය තීරණය වෙනවා. මේ නිසා විවර ප්‍රමාණය සඳහා වූ f අගය අඩු ප්‍රමාණ වූ දුරකතනයකින් හොඳ ඡායාරූප ගුණාත්මක බවක් ලැබෙනවා. තෝරාගැනීමේදී එකක් f/1.7 සහ අනෙක් f/2.0 ලෙස තිබෙනවා නම් f/1.7 දුරකතනයයි ඔබ තෝරා ගත යුත්තේ.

ඡායාරූප ගැනීමේදී අත සෙලවුණු විට ඡායාරූප බොඳවීම වළක්වන්නට OIS තාක්ෂණය ඇතැම් ඉහළ පෙළ දුරකතනවල දකින්නට ලැබෙනවා. අඩු මිල දුරකතනයක් තෝරා ගන්නවා නම් අඩු වශයෙන් Electronic Image Stabilization (EIS) හෙවත් OIS වලට වඩා අඩු ගුණාත්මක බවක් ඇති නමුත් එම හැකියාවම සහිත එකක් තෝරාගැනීම උචිතයි.

ලැබෙන අමතර උපාංග

mobiletweaks.net

නිකන් දෙනවා නම් දෙමළ පත්තරයත් හොඳයි කිව්වාට, දුරකතයත් සමඟ එහි උපරිම අමතර උපාංග ප්‍රමාණයක් ලැබෙනවා නම් ඒවා නැවත මිලදී ගන්නට අවශ්‍යතාවක් ඇති වන්නේ නැහැ. චාර්ජරය සහ වයරය සාමාන්‍යයෙන් සෑම එකකම පාහේ දකින්නට ලැබෙනවා. නමුත් හෙඩ්සෙට් එක දුරකතන නිෂ්පාදන ආයතනය විසින්ම ලබා දෙනවා නම් එය දුරකතනයට වඩාත් හොඳින් ගැලපෙන ආකාරයට ඔවුන් සකසා තිබෙන නිසා වැඩි ශබ්ද ගුණාත්මක බවක් අත්විඳින්නට අවස්ථාව සැලසෙනවා. ඇතැම් නිෂ්පාදන ආයතන විසින් ඔවුන්ගේ ඇතැම් දුරකතන මාදිලි සඳහා හෙඩ්සෙට් එකක් ලබාදීමෙන් වැළකී සිටින නිසා නිතර ගීත අසන කෙනෙක් නම් ඒ ගැන සැලකිලිමත් වීම උචිතයි. තවත් ආයතන විසින් දුරකතනයට කවරයක් ද (දීමනාවක් ලෙස නොමිලේ නොව) box එක තුළ ලබා දෙනවා. එවන් අවස්ථාවන්හිදී ද කවරයකටත් වැය කළ යුතු මුදල වැළකී යනවා.

වැඩිදුර කියැවීමට: දුරකතනයට කවරයක් තෝරාගන්නේ මෙහෙමයි

දුරකතනය සම්බන්ධ විස්තර ස්වල්පයක් එහි පෙට්ටිය පසුපස සඳහන් කරනු ලබනවා. නමුත් ඊට වඩා සවිස්තරව බලාගැනීමට අවශ්‍ය නම් “දුරකතනයේ නම specs” ලෙස ගූග්ල් කළාම හරි. විස්තර බැලීමේදීත් GSMArena වෙබ් අඩවියෙන් ලැබෙන ප්‍රතිඵල විශ්වාසදායී ලෙස සලකන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: connectnigeria.com

Related Articles