Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කීබෝඩ් එක වෙනුවට තිර දෙකක් ඇති ලැප්ටොප් ව්‍යාපෘතියක් Asus වෙතින්

මෙතෙක් කල් දකින්නට ලැබුණු ලැප්ටොප් සියල්ලෙහිම පාහේ තිබුණේ දිග හැරිය විට පියනෙහි තිරයත්, අනෙක් කොටසෙහි කීබෝඩ් එක හා ට්‍රැක්පෑඩ් එක සහිත සාම්ප්‍රදායික සැලැස්මක්. එහි වෙනස්කම් ලෙස පැමිණියේ ඝනකම, බර අඩුවීම, VGA port වෙනුවට HDMI පැමිණීම, ඇඟිලි සලකුණු සංවේදක power බොත්තම මතට යෙදීම, ඇපල් වෙතින් කුඩා ස්පර්ශක තිරයක් කීබෝඩ් එකට ඉහළින් යෙදීම වැනි දේවල් කිහිපයකුයි. නමුත් ඒ යුගය නිමා කරමින්, ස්පර්ශක තිර සහිත නූතනය සවිබල ගන්වමින් hardware කීබෝඩ් එකක් වෙනුවට එම කොටස ද තිරයක් බවට පත් කර හැකියාවන් ප්‍රමාණය තවත් වැඩිකරලන ලද ලැප්ටොප් එකක් Asus සමාගමෙන් නිපදවා තිබෙනවා.

ව්‍යාපෘතියේ නම Asus Precog

asus.com

සැකසුම් සහ පර්යේෂණ මට්ටමේ ඇති මෙම hardware කීබෝඩ්, ට්‍රැක්පෑඩ් වෙනුවට තිර දෙකක් සහිතව නිපැයෙන Asus ලැප්ටොප් එකේ දැනට ලබාදී ඇති ව්‍යාපෘති නාමය වන්නේ Asus Precog යන්නයි. වෙළඳපොළට නිකුත් කරන්නට දැනට සූදානමක් නොමැති මෙය මාධ්‍ය වෙත හඳුන්වාදී ඇති නමුත් තවත් වැඩිදියුණු කිරීම් කරන්නට නියමිතව පවතින්නක්. දැනට වෙළඳපොළට නිකුත් කර ඇති ඔවුන්ගේ නවතම ලැප්ටොප් එක වන Asus ZenBook Pro සතුව ට්‍රැක්පෑඩ් එක වෙනුවෙන් ඇති කුඩා ඉඩ ප්‍රමාණය තවත් තිරයක් බවට පත් කර ඇත්තේ හරියට කුඩා ස්මාර්ට් දුරකතනයක් කීබෝඩ් එකට යටින් සවිකළාක් වැනි අත්දැකීමක් ලබා දෙමින්.

ඊට සමගාමීව තායිවානයේ තායිපේ නුවර මේ වසර සඳහා පැවති ආසියාවේ විශාලතම වෙළඳ ප්‍රදර්ශනය වන Computex හිදී Asus Precog නමැති කෘත්‍රීම බුද්ධියෙන් සවිබල ගන්වන ලද තිරයන් දෙකක් සහිත නව ලැප්ටොප් එකක් ඔවුන් ලබන වසරේදී වෙළඳපොළට ගෙන එන බව ද දන්වා සිටියා.

බාහිර පෙනුම

techdipper.com

බාහිරින් සාමාන්‍ය ලැප්ටොප් එකක පෙනුම ඇති මෙය ලෝහමය නමුත් දිලිසෙන මතුපිටකින් යුතු වෙනවා. ආලෝකය වැටුණු විට නිල් සහ දම් පැහැයන්ගෙන් මධ්‍යයේ සිට දිලිසුම් ඇතිවන ආකාරයට සකසා තිබෙන අතර Asus ලෝගෝව ඉදිරිපස මධ්‍යයේ වෙනුවට අසව්වලට ආසන්නයෙන් යොදා තිබෙනවා. පියන් දෙක සබැඳෙන අසව් දෙක තනි පැහැයකින් තිබෙන නිසා මඳක් කැපී පෙනෙන ස්වභාවය වැඩියි. විවෘත කිරීමෙන් පසු ඇතුලත දෙපසම තිරය තිබෙන අතර අංශක 180ක් දිග හරින ලද අවස්ථාවේදී ඉහළ කොටසෙහි සහ පහළ කොටසෙහි මහතින් වැඩි දාරයන් දෙකක් තිබෙනවා. දෙපස දාරයන් ඉතා තුනීයි. පියන් දෙක අතර අසව් දෙක සහිත ප්‍රදේශය නිසා තිරයන් දෙක අතර ඇති ඉඩත් මඳක් වැඩියි. ඉහළ පියනේ තිරය යට Asus Zenbook ලෙස රිදී පැහැයෙන් සඳහන් කර තිබෙනවා.

ආකාර හතරකින් භාවිත කළ හැකියි

Precog ව්‍යාපෘතිය යටතේ එන ලැප්ටොප් එක අංශක 360කට වඩාත් ආසන්න ප්‍රමාණයක වන තෙක් භ්‍රමණය කළ හැකි නිසා එය ආකාර හතරකට භාවිතයට ගත හැකි වෙනවා.

සාමාන්‍ය ලැප්ටොප් එකක් ලෙස

asus.com

Stand mode යටතේදී සාමාන්‍ය ලැප්ටොප් එකක් පරිද්දෙන් අංශක 90ට ආසන්න ප්‍රමාණයක තබාගෙන එය පාවිච්චි කරන්නට පුළුවන්. එම අවස්ථාවේදී යට කොටසෙහි තිරයට Virtual keyboard එකක් සහ trackpad එකක් ලැබෙන අතර සාමාන්‍ය ලැප්ටොප් එකක අත්දැකීමෙන් මඳක් හෝ වෙනස් වන්නේ දෙවැනි තිරය මත ද මෘදුකාංග window තබාගන්නට හැකියාව ලැබෙන නිසායි. කීබෝඩ් එක වෙනුවට Stylus එකකින් තිර දෙකම භාවිතයෙන් නිර්මාණශීලීත්වය අවධි කරගන්නට අවස්ථාව ද තිබෙනවා.

පුවරු ක්‍රීඩා සඳහා

asus.com

Flat mode හෙවත් අංශක 180ක් දිගහැරිවිට චෙස් වැනි ක්‍රීඩාවක් කිරීම සඳහා දෙපස සිට දෙදෙනෙක්ට එය පාවිච්චි කරන්නට පුළුවන්. එසේම surface පරිගණකයක අත්දැකීමත් ඒ ආකාරයට මේසය මත තබාගත්තාම දැනෙන නිසා වට මේස සාකච්ඡාවක් වැනි අවස්ථාවකදී ඉදිරිපස සිටින අය නොවැසෙන සේ පරිගණකයෙන් ප්‍රයෝජන ලබන්නට පුළුවන්.

පරිගණක ක්‍රමලේඛකයන් කැමති ලෙසට

asus.com

පරිගණක ක්‍රමලේඛකයන් තිර කිහිපයක් තබාගෙන එකක code එකත්, අනෙකෙහි output එකත් බලන්නට ප්‍රිය කරනවා. Precog ලැප්ටොප් එකත් අංශක 180ක් තිබියදී කෙලින් අතට තබාගත් විට Book mode එක යටතේ පොතක් මෙන් තිරයන් දෙක පාවිච්චියට ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් එම අවස්ථාවේදී virtual යතුරුපුවරුව භාවිතය අපහසු නිසා ඒ වෙනුවට hardware යතුරු පුවරුවක් යොදාගන්නටත් පුළුවන්.

කූඩාරමක හැඩයට

asus.com

Tent mode එකෙහිදී අංශක 360ට ආසන්න මට්ටමක් දක්වා භ්‍රමණය කර ත්‍රිකෝණාකාරව තනි තිරයක් පමණක් තමා දෙසට පිහිටන ආකාරයට සකසා ගන්නට පුළුවන්. මෙම ආකාරය ප්‍රදර්ශනවලදී තමාට ඉදිරිපස සිටින කෙනෙක්ට යමක් පැහැදිලි කිරීමේදී තිරය පාලනය කරන්නට තමන්ගේ පැත්තෙනුත්, අනෙක් තිරයෙන් ඉදිරිපස සිටින්නාට එය දකින්නටත් අවස්ථාව සැලසෙනවා. නැතහොත් ටැබ් පරිගණකයක් ලෙසින් තනි තිරය පමණක් පාවිච්චි කරන්නටත් පුළුවන්.

කෘත්‍රීම බුද්ධියේ සවිබලය

engadget.com

මෙම පරිගණකය සතු සුවිශේෂී අංගයක් වන්නේ එහි කෘත්‍රිම බුද්ධිය (AI) අඩංගු කරන්නට Asus සමාගම බලාපොරොත්තු වීමයි. සාමාන්‍යයෙන් මෙතෙක් කල් AI හැකියාවන් අඩංගු කරද්දී අන්තර්ජාලයට සම්බන්ධවී සිටිය යුතු වූ අතර සර්වරයක් විසින් අදාල උපාංගයෙහි සිතීමේ ක්‍රියාවලිය කරනු ලැබුවා. නමුත් මෙලෙස උපාංගයටම AI හැකියාවන් ලබාදීම හරහා එදිනෙදා ක්‍රියාකාරීත්වයටත් අන්තර්ජාලයේ අවශ්‍යතාවක් නොමැතිව සවිබලය සැපයෙනවා.

tablet-news.com

මෙම පරිගණකය විසින් තිරය මත පෙන්වන දේවල් අපේ එදිනෙදා භාවිතය පිළිබඳව අවබෝධ කරගෙන ස්ථානගත කිරීමට සමත් වෙනවා. මෙහි යතුරුපුවරුව සහ Stylus එකෙහි භාවිත මාධ්‍යයන් දෙක නම් කර ඇත්තේද Intelligent Type සහ Intelligent Create හෙවත් ප්‍රඥාවත් ආදාන උපක්‍රමයන් ලෙසයි. මෙහි පහළ තිරයෙහි දෑඟිලි තබාගත් විට එහි පිහිටුම අනුව කීබෝඩ් එකෙහි ස්ථානය සැකසෙන අතර Stylus එක එහි තැබූ විට කීබෝඩ් එක ඉවත්ව ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයෙනවා.

ඉන්ටෙල් සමාගමේ Movidius Vision නමැති VPU එකක් මෙය සතු නිසා AI තාක්ෂණය සහිත Cortana, Alexa, Microsoft Office 365 ආදී ලැප්ටොප් එක සමගම ලැබෙන මෘදුකාංග සඳහා ද ඉහළ හැකියාවක් එය ලබා දෙනවා.

2019 වර්ෂයේදීම අපිට මේ තරම් අපූර්ව නිෂ්පාදනයක් දකින්නට ලැබෙනවා නම් අනාගතයේ ලැප්ටොප් මොනවගේ වේවි කියලාද ඔබ හිතන්නේ?

කවරයේ ඡායාරූපය: propakistani.pk

Related Articles