Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google Glass අසාර්ථක වුණේ ඇයි?

දෑසින් ලෝකය දෙස බලද්දී වඩාත් සවිස්තරව, තෙවැනි පරිගණක ඇසක් ද සමග ලොව අත්විඳින්නට හැකි වීම කෙතරම් අගේ ද! චිත්‍රපටවල සිටින වීර චරිත අපරාධකරුවෙක් දෙස බලත්ම, ඔහුගේ සියළු විස්තර ඇස මතින්ම බලා ගන්නට හැකිවීම හරිම අමුතු අත්දැකීමක්. මෙය සැබෑ කරන්නට Google Glass ආවත් එය වැඩිකල් වෙළඳපොළ රැඳුණේ නැහැ. එහි අසාර්ථකවීමට හේතුවුණු දේවල් සහ දිය යටින් යන එහි සංවර්ධනය ගැන දැන් සොයා බලමු.

පෞද්ගලිකත්වය හා ආරක්ෂාව පිළිබඳව ගැටළුවක්

ගූග්ල් සමාගමේ ආරම්භකයෙකු වන Sergey Brin උපාංගය පැළඳ (time.com)

Google glass සතු ප්‍රධානම ගැටළුවක් වන්නේ එය සතුව බාහිරට නිරාවරණය වූ කැමරාවක් තිබීම නිසා පැළඳ ගත්තෙක් විසින් අවට සිටින අය සහ ඔවුන්ගේ පෞද්ගලික දේවල් පටිගත කරනවා දැයි සැක මතුවීම යි. එවැන්නක් වනවා ද නැද්ද, එම පුද්ගලයා නිර්දෝශී ද යන්න කිසිවකුටත් දැනගන්නට නොහැකි වෙනවා. ස්මාර්ට් දුරකතනවල ද කැමරාවක් තිබුණත් එය නම් අතට ගෙන වීඩියෝ කරන්නට සැරසෙන විට අනිත් අයට ඒ බව දැනගන්නට හැකිවෙනවා. එසේත් නැතහොත් DSLR කැමරාවක් ඇති කෙනෙක් පවා කැමරාව මානන විට ඔහු සැරසෙන්නේ කුමකටදැ යි බාහිර අයට දැනගන්නට හැකියාව ලැබෙනවා. නමුත් මෙම උපාංගයේ ඇති සැඟවුණු කැමරාව කුමන අවස්ථාවේ කුමන දෙයක් පටිගතකොට තවත් කෙනෙකුගේ පෞද්ගලිකත්වය නසනවාදැයි අනුමාන කරන්නට බැහැ.

ඔව්, දැනටමත් ලොව රහසිගත කැමරා බිහි වී ඇති බව නොරහසක්. ඕනෑම කෙනෙක්ට අන්තර්ජාල වෙළඳපොලෙන් එවැන්නක් මිල දී ගන්නට පුළුවන්. එනමුත් මානුෂීය බව, අනිත් අයගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම යන යහපත් සිතිවිල්ල පෙරදැරි කරගත් විට එය සදාචාර විරෝධී ක්‍රියාවක් පෙනී යනවා. එසේත් නැත්නම්, වෙනත් කෙනෙක් අපේ දෙයක් එලෙස පටිගත කරනවා නම් අපි කැමති ද යන්න කල්පනා කළ විට ද මෙවන් නිෂ්පාදනයකින් ඇතිවිය හැකි භයානක තත්ත්වයන් ගැන සිතාගත හැකියි. අසල සිටින්නා මුරපදයක් ටයිප් කරන ආකාරය, රාජ්‍ය රහස්, ඡායාරූප ගැනීම තහනම් ස්ථානවල මෙන්ම සිනමාහල් වැනි බුද්ධිමය දේපළ සහිත අවස්ථාවන්හි දී ද මෙය ගැටළුවක් බවට පත් වෙනවා.

සකර්බර්ග් තම කැමරාවට හා මයික්‍රොෆෝනය ආවරණය කර ඇති ආකාරය (dailymail.co.uk)

ෆේස්බුක් CEO මාර්ක් සකර්බර්ග් තම ලැප්ටොප් එකෙහි කැමරාව හා මයික්‍රොෆෝනය අලවාගෙන සිටි ආකාරය ඔහු පළකළ ඡායාරූපවලින් දකින්නට ලැබුණා. Google Glass පද්ධතියක් hack කර, සජීවී වීඩියෝ ප්‍රචණ්ඩකාරී පුද්ගලයෙකු විසින් ලබාගන්නා අවස්ථාවක් ගැන සිතා බලන්න. මේ සියල්ල අතරේ, එලෙස අයුතු කටයුත්තක් නොකර හුදෙක් තමාගේ අවශ්‍යතාවට පමණක් පැළඳි කෙනෙක් ගැන සිතන්න. අනෙක් අය ඔහු ගැන වැරදියට සිතා ඔහු ඉදිරියේ අපහසුතාවයට පත් වෙමින් හැසිරේවි. ඉන් ඔහුගේ ප්‍රතිරූපයට හානි පැමිණෙනවා.

අලෙවිකරණයේ ගැටළු

අව්කණ්ණාඩි පළඳින විට විශේෂ ක්‍රමවේද අවශ්‍ය වෙනවා (phandroid.com)

නව, සාර්ථක නිෂ්පාදනයක් හඳුන්වාදීමේදී කළ යුතු ප්‍රධානම දේ, ඉන් කිසියම් අවශ්‍යතාවක් හෝ ගැටළුවක් නිසියාකාරව විසඳීමට හැකි එකක් බවට පත් කිරීම යි. කුමක් හෝ නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කර ඉන් ලැබිය හැකි ප්‍රයෝජනයක් පාරිභෝගිකයා විසින් සොයාගනිතැ යි බලාපොරොත්තු විය නොහැකියි. පැතලි විශාල කළු ගලක් සහ රවුම් කරන ලද කළු ගලක් පාරෙහි තබා විකුණුවාට කිසිවකුත් ගන්නේ නැහැ. නමුත් එහි තබා මිරිස්, තුනපහ ඇඹරිය හැකි බව ඉන් පෙන්වා දුන් පසු විශාල නිකම්ම නිකං ගල් කැබලි දෙකක් විකුණගන්නට හැකි වෙනවා. තමන් ඉලක්ක කරන පාරිභෝගික පිරිස, ප්‍රවර්ධන උපායයන්, විකිණීම යන දේවල් නිවැරදිව තිබුණොත් තමයි නිෂ්පාදනයක් සාර්ථක බව කිව හැකි වන්නේ. අවාසනාවකට Google Glass සතුව එය දකින්නට තිබුණේ නැහැ.

ඇමරිකානු ඩොලර් 1500 හෙවත් රුපියල් ලක්ෂ 2.7ක් පමණ වියදම් කොට එවැන්නක් ලබා ගන්නට නම් සුවිශේෂී හේතුවක් තිබිය යුතු යි. ගූග්ල් සමාගම විසින් එය මිලදී ගැනීමේ සීමිත අවස්ථාව තාක්ෂණික ලේඛකයන්ට හා රසිකයන්ට ලබා දී තිබුණා. ඔවුන්ව Google Glass Explorer යන විශේෂ නාමයෙන් හඳුන්වා දෙන්නට ද ගූග්ල් උනන්දු වුණා. ව්‍යාපාර පිළිබඳ පර්යේෂණ, විශ්ලේෂණ හා උපදේශන ආදිය සිදුකරන ආයතනයක් වන Creative Strategies ආයතනයේ සභාපති Tim Bajarin තම අදහස් ප්‍රකාශ කළේ මෙලෙස යි:

“මම Google Glass Explorer කෙනෙක් බවට පත්වුණා. මුල පටන්ම එයින් මා ලැබූ අත්දැකීම යහපත් එකක් වුණේ නැහැ. දැන් අන්න ඒක මගේ කාර්යාලයේ අසාර්ථක නිෂ්පාදන එකතු‍වේ තිබෙනවා. අතුරුමුහුණත අශෝභනයි. මගේ ජීවිතේ දි වියදම් කරපු වැඩකටම නැති $1500ක් තමයි ඒ. හැබැයි, පාරිභෝගිකයෙක්ට නිෂ්පාදනයක් ලබා දීම සම්බන්ධව ඉගෙනගන්න පුළුවන් පාඩම් ගොඩක් නම් මේකෙන් මට ලැබුණා”

Google Glass එකක් ඇත්තටම අවශ්‍ය ඇයි?

Navigation සඳහා පාවිච්චි කළ හැකි නමුත් රිය පැදවීමේදී පැළඳීම එරට නීතියෙන් තහනම් (ytimg.com)

ලොවට දකින්නට ලැබුණේ Google Glass එකෙන් දේවල් දෙකක් කරගත හැකි බව යි. ඒ, ක්ෂණිකව ඡායාරූප ගත හැකි වීම, අත්‍යාවශ්‍ය තොරතුරක් බලාගත හැකිවීම යි. දෛනික අවශ්‍යතාවකට ඉන් ගත හැකි ප්‍රයෝජනය කුමක්දැයි පෙන්වා දෙන්නට ඔවුන් අපොහොසත් වුණා. තවත් ආකාරයකින් කිව්වොත්, ගූග්ල් ග්ලාස් එක හිසින් ගලවන්නේ නැතිව තබාගත යුත්තේ මන්දැ යි ඉදිරිපත් කරනු ලැබුවේ නැහැ. එය හුදෙක් දුරකතනය මත යැපෙන ද්වීතියික උපාංගයක් වූවා.

තවත් ගැටළුවක් වූයේ ප්‍රසිද්ධ ස්ථානවල දී ඉන් වැඩක් ගැනීමට නම් සියළු විධානයන් කටහඬ හරහා දෙන්නට සිදුවීමයි. ඝෝෂා සහිත ස්ථානයක සිට මහත් හඬින් “ඕකේ ගූග්ල්” යැයි මහ හඬදෙන්නට සිදුවීම එතරම් ප්‍රායෝගික නැහැ. එසේම එහි බැටරි ආයු කාලය දවසක් පමණක් බවට ගූග්ල් ආයතනයෙන්ම පැවසූ අතර පාවිච්චියේදී එය පැය 3ක් – 5කට සීමා වන බව යි TechRadar සඳහන් කරන්නේ.

රිය ධාවනයේ දී පැළඳීම, සිනමාහල් තුළ පැළඳ සිටීම ඇමරිකාවේ මෙන්ම එක්සත් රාජධානියේ තහනම් වූ අතර මේ නිසා එහි භාවිත අවස්ථාවන් ද සීමාවුණා.

කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතියට Google Glass

Boeing නිෂ්පාදනයන්හි භාවිතයට (menosfios.com)

එකල පටන්ම Google සමාගම Boeing ගුවන්යානා නිෂ්පාදන ආයතනය වැනි ව්‍යාපාර සඳහා Google Lens හඳුන්වා දුන්නා. මේ නිසා ප්‍රසිද්ධියේ අලෙවි කිරීම් නැවතුණත් එවන් දෑ සඳහා Google Glass මහත් පිටිවහලක් වුණා. Boeing ආයතනය සඳහන් කරන්නේ මුද්‍රිත අත්පොත් වෙනුවට මෙම උපාංග භාවිතා කිරීම නිසා කටයුත්තක් සඳහා ගතවන කාලයෙන් 30%ක් පමණ අඩුව ඇති බව සහ නව සේවකයන්ගේ වැඩවල ගුණාත්මක බව 90%කින් වැඩිව ඇති බව යි.

මෙයත් බලන්න: ඇමරිකාවේ යුද්ධ පුහුණුවට HoloLens යොදාගැනෙයි

2015 වර්ෂයේ සිට Google Glass පාවිච්චි කරන භාණ්ඩ ප්‍රවාහන සේවයක් වන DHL සමාගම ද තම ගබඩාගාරවල සේවකයන්ගේ පුහුණු කාලය අඩු කරන්නට ඉන් හැකිව ඇති බව දක්වනවා. ඔවුන්ගේ සමස්ත සේවක කාර්යක්ෂමතාව 25%කින් වැඩිව තිබෙනවා.

Google Glassවල අවසානය නොවේ

වඩාත් හොඳ උපාංග අනාගතයේදී ලැබේවි (wf.com)

දැන් Google Glass නිෂ්පාදන ගූග්ල් සමාගමෙන් ඍජුව ලබාගන්නට නොහැකි වුණත් ඔවුන්ගේ හවුල්කාර සමාගම්වලින් ව්‍යාපාර සඳහා සැපයුම් සිදු කරනවා. ඔවුන් ඉල්ලුමට ගැලපෙන සේ එය සකසා විශේෂ මෘදුකාංග ද යොදමින් අලෙවි කටයුතු සිදු කරන්නට අවසර ලබා සිටිනවා. සම්පූර්ණයෙන් අවසන් නොකරන ලද උපාංගයක් වශයෙන් එය අරින ලද සෝඩා බෝතලයක් බඳු උපාංගයක් බවට පත්වූවත්, 2025 වන විට එමඟින් ගූග්ල්හි මව්සමාගම වන Alphabet ආයතනයට ඩොලර් බිලියන එකක, දෙකක පමණ වැඩිවීමක් ලබා දෙන්නට හැකි බව පර්යේෂණ වාර්තා අනුමාන කරනවා. ඇපල් සහ ඇමසන් සමාගම පවා මේ ආකාරයේ උපාංග නිපදවන බවට කටකතා පැතිරෙන අතර, භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ද පවත්වාගෙන යන ඇමසන් ආයතනයට එවන් උපාංගයකින් තමන්ගේ අභ්‍යන්තර දියුණුව පවා ළඟා කරගන්නට හැකිවනු ඇති.

Augmented Reality වර්ධනය වෙමින් පවතින සමයක මෙවන් උපාංගවලින් ලද හැකි සහාය මෙතෙකැ යි කියන්‍නට බැහැ. පෑනකින් “අ” යන්න ලියන්න පුහුණු වෙන්නටත්, මරණ දඬුවමකට අත්සන් කරන්නටත් පුළුවන්. නරක පැත්ත දෙස පමණක් බලා පෑන ඉවතට විසි කර අධ්‍යාපනය බිඳලනවා වෙනුවට, පෑන පාවිච්චි කරන අත යහපත් ආකල්පවලින් සන්නද්ධ කරවීමයි වැදගත්. පෞද්ගලිකත්ව සහ ආරක්ෂාව පිළිබඳ ගැටළු සමනය කරගෙන මිලට සරිලන සාර්ථක උපාංගයක් වෙළඳපොළට හඳුන්වාදිය හැකි වුවහොත් එය බොහෝ දෙනා අනාගතයේ දී වැළඳගෙන පැළඳගන්නා උපාංගයක් බවට පත්වනු නොඅනුමාන යි.

කවරය: pctechmag.com

Related Articles