Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

 මැති සබය අමතන, සිතුවම් අඳින රෝබෝවරිය: අයි-ඩා

ගෝලීය තාක්ෂණයේ පෙරළිකාර යුගයක් තමයි අප මේ වන විට පසු කරමින් සිටින්නේ. එයට කදිම නිදසුනක් එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවෙන් පසුගිය දා වාර්තා වෙනවා. ඒ මානවරූපී රෝබෝවරියක් ඉතිහාසයේ ප්‍රථමවරට එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව ඇමතීම යි. 

අයි- ඩා (Ai-Da) නම් කාන්තා මානවරූපී රෝබෝවරිය මෙසේ එරට පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සාමි මන්ත්‍රී මණ්ඩලය (House of Lords) අමතනවා.

අයි- ඩා සිය නිර්මාතෘවරයා සමඟ – www.thetimes.co.uk

ඇඳීම්, පින්තාරු කිරීම් හා මූර්ති නෙළීමට දක්ෂ රෝබෝවරිය 

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Aidan Meller හා  Engineered Arts නම් රොබෝ නිෂ්පාදන ආයතනයක් එකතු වී මෙම කෘත්‍රිම බුද්ධි (Artificial intelligence) රෝබෝවරිය නිර්මාණය කරන්නේ 2019 වසරේ දී යි. ඒ ඇදීම්, පින්තාරු කිරීම් හා මූර්ති නෙළීමේ රෝබෝවරියක් ලෙස යි.

පසුව ඇයගේ චිත්‍ර ඇඳීමේ බුද්ධිය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කෘත්‍රිම බුද්ධි පර්යේෂකයන් තවත් වැඩි දියුණු කරනවා.  2022 වසරේ අප්‍රේල් මාසයේ දී ඇයගේ චිත්‍ර අඳින අත තවදුරටත් සංවර්ධනය කිරීමට ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි ඉංජිනේරු උපාධි අපේක්ෂකයන් දෙදෙනෙක් සමත් වෙනවා. ඇය, ඇගේ ඇස්වල කැමරා, කෘත්‍රිම බුද්ධි ඇල්ගොරිතම හා රොබෝ අත භාවිත කර චිත්‍ර ඇදීම්, පින්තාරු කිරීම් හා මූර්ති නෙළීමට සමත් වෙනවා.

අයි- ඩා, සිය පළමු ප්‍රදර්ශනයේ දී – www.thetimes.co.uk

අයි- ඩාගේ පළමු ප්‍රදර්ශනය – ‘Unsecured Futures’

2019 වසරේ පෙබරවාරි මාසයේ දී ඇය සිය පළමු ඒකල ප්‍රදර්ශනය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දී පවත්වනවා. ඒ ‘Unsecured Futures’ නමින්. ප්‍රදර්ශනය පිළිබඳ ව අදහස් දක්වන එක්සත් රාජධානියේ සන්නිවේදන සහ ඩිජිටල් කමිටුව ප්‍රකාශ කරන්නේ තාක්ෂණික වශයෙන් වේගයෙන් වෙනස්වන ලෝකය පිළිබඳ ව හොඳ අත්දැකීමක් මේ ඔස්සේ මිනිස් ප්‍රේක්ෂකයන්ට ලැබුණු බව යි. 

2020 ඔක්තෝම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ ලෝක බුද්ධිමය දේපල සංවිධානය (The World Intellectual Property Organization) පැවැත් වූ අතත්‍ය ප්‍රදර්ශනයට ද ඇය සිය සහභාගිත්වය ලබා දෙනවා. 2021 හා 2022 වසරවලදී තවත් ඒක පුද්ගල ප්‍රදර්ශන කිහිපයක් පැවැත්වීමට ඇයට හැකියාව ලැබෙනවා. 2022 වසරේ දී දෙවන එළිසබෙත් රැජනගේ 70 වන පදවිප්‍රාප්ත දිනය (Platinum Jubilee) සැමරීම වෙනුවෙන් අයි- ඩා “Algorithm Queen” නමින් රැජිනගේ උඩුකය සිතුවමක් ද ඇඳ තිබුණා. 

ඇය ඇඳි රැජනගේ උඩුකය පින්තූරය “Algorithm Queen” – www.ai-darobot.com/exhibitions

“රැජනගේ කැපවීම සහ ඇයගේ සේවය වෙනුවෙන් මා මහ රැජිනට ස්තූති කිරීමට කැමති යි. ඇය රාජ්‍ය සේවයට අසීමිත ව කැපවී සිටින කැපී පෙනෙන දිරිය කාන්තාවක්. මං හිතන්නේ ඇය පුදුමාකාර මනුෂ්‍යයෙක්, ඒ වගේ ම රැජනගේ 75 වන ඔටුනු පැළඳවීමේ උත්සව සමරුවට සුබ පැතුම් එකතු කරනවා.” චිත්‍රය ඇඳ නිම කිරීමෙන් පසු ව රෝබෝවරිය එසේ ප්‍රකාශ කරනවා.

ඊට අමත රව ලොව ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පින් කිහිප දෙනෙක් හා සමඟ එකතුව සිතුවම් නිර්මාණය කිරීමේ අවස්ථාව ද ඇයට මේ වන විට උදා වී තිබෙනවා. කලාව, කලාකරුවා හා නිර්මාණශීලිත්වයට අභියෝගකරමින් ඇය කරන නිර්මාණ පිළිබඳව මේ වන විට මුළු මහත් ලෝකයේ ම අවධානය යොමු වී තිබෙනවා. 

සිතුවම් අඳින රෝබෝවරිය – www.ziadabass.com

කලාවේ භූමිකාව වෙනස් කරන අයි – ඩා

“වර්තමානයේ තාක්ෂණය, කලාව සඳහා දැඩි බලපෑමක් එල්ල කරනවා. කලාවේ හා තාක්ෂණයේ ඒකාබද්ධතාව අපට සෑම තැනක ම දකින්න පුළුවන්. අයි- ඩාගේ කාර්යය කලාවක්. පුරාණ ග්‍රීකයන්ට හැඟුණේ කලාව හා නිර්මාණශීලීත්වය දෙවිවරුන්ගෙන් පැමිණි බව යි. වර්තමානයේ කලාව පිළිබඳ ව මතය වන්නේ එය මිනිසා, අනෙක් මිනිසුන් සඳහා නිර්මාණය කළ දෙයක් බව යි. කෙසේ නමුත් මෙම නිර්වචන අයිඩාගේ ආගමනයත් සමඟ අභියෝගයට ලක් වී තිබෙනවා. කලාව තව දුරටත් මානව ස්වාධිපත්‍යයට සීමා නොවන අතර ම යන්ත්‍ර සහ ඇල්ගොරිතම, කලාවට බලපෑම් එල්ල කරනවා.” මෙසේ ප්‍රකාශ කරන්නේ මහාචාර්ය මාග්‍රට් බෝඩ්න් (Margaret Boden) ය. 

බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ පෙනී සිටිමින් – www.cdn.sanity.io

සාමි මන්ත්‍රී මණ්ඩලයේ සන්නිවේදන හා ඩිජිටල් කමිටුව ඉදිරියට 

එක්සත් රාජධානියේ මාධ්‍ය, ඩිජිටල් හා නිර්මාණාත්මක කර්මාන්ත සලකා බැලීම වෙනුවෙන් එරට සන්නිවේදන හා ඩිජිටල් කමිටුව (Communications and Digital Committee) පිහිටුවා තිබෙනවා. සාමි මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකුගෙන්  සැදුම් ලත්  එම කමිටුව ඉදිරියේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී අයි- ඩා පෙනී සිටියා. ඒ නිර්මාණාත්මක කර්මාන්තවල අනාගතය පිළිබඳ විමසීමේ කොටසක් ලෙස යි.

කෘත්‍රිම බුද්ධිය හා තාක්‍ෂණය මඟින් නිර්මාණශීලීත්වයට ඇති විය හැකි තර්ජන පිළිබඳව කමිටු සාමාජිකයන් ඇයගෙන් විමසා සිටිනවා. ඔවුන් අසන මෙම ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අයි- ඩා  ප්‍රකාශ කරන්නේ තමන් මානවයෙක් නොවන කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන රෝබෝවරියක් නමුත් කලාවේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් කාර්යයක් තමන්ටත් කළ හැකි බව යි.

සිතුවම් නිර්මාණයේ යෙදෙනෙ අයි- ඩා Cwww.backend.artreview.com

 “මම මගේ සිතුවම් නිර්මාණය කරන්නේ මගේ ඇස්වල කැමරා, මගේ AI ඇල්ගොරිතම සහ මගේ රොබෝ අත. මගේ කවි සඳහා, මං ස්නායු ජාල භාවිත කරනවා. විශ්ලේෂණය කිරීම් හා නව සංකල්ප සඳහා අදාළ ව්‍යුහයන්ගෙන් ද මා සමන්විත යි. කෙසේ හෝ මා මිනිසුන්ගෙන් වෙනස්. ඒ මා සිතුවම් පින්තාරු වැඩවල දී  පරිගණක වැඩසටහන් සහ ඇල්ගොරිතම මත රඳා පවතිනන බැවින්. නමුත් මට මිනිසුන් විදිහට ම වැඩකරන්න පුළුවන්” වැඩි දුරටත් ඇය ප්‍රකාශ කරනවා. එහිදී සාමි මන්ත්‍රී මණ්ඩල සාමාජිකයන් ඇසූ හරස් ප්‍රශ්නවලට ද ඇය සාර්ථක ව පිළිතුරු ලබා දෙනවා.

කවරයේ ඡායාරූපය - රොබෝ අත ආධාරයෙන් චිත්‍ර අදින අයි- ඩා - www. arcpublishing.com
මුලාශ්‍ර:
www.ai-darobot.com
www.dailynews.lk
www.smithsonianmag.com

Related Articles