චීනෙන් ස්මාට්ෆෝන් එකක් ගමුද?

ලෝ ප්‍රකට ඇපල් අයි ෆෝන් වල ඩිසයින් එක කැලිෆෝනියා වුනාට ඒක ඇසෙම්බල් කරන්නේ චීනයේ. බොහෝකලක් චීනය මේ විදියට ස්මාට්ෆෝන් අනුන්ගේ ඩිසයින් වලට හදමින් හටියා. ඉන් පස්සේ චීනේ අය එයාලගේම ස්මාට්ෆෝන් හදන්න ගත්තා. ඒ අතරින් ජනප්‍රිය වූ මාදිලි රැසක් දැන් ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වේගෙන එනවා.

චීනයේ ස්මාට්ෆෝන් සැබැවින්ම මිල අඩුයි. තාක්ෂණික දත්ත  අනුව ඒ පරිමාණයේම ස්මාට්ෆෝන් එකක් ලංකාවේ වෙළඳපොළෙන් මිලදී ගන්නවාට වඩා චීනෙදි ඒ ෆොන් එක මිලෙන් බාගෙකටත් වැඩිය අඩුවෙන් මිලදී ගන්නට හැකියාව තිබෙනවා. මිල අඩු මේ චීන ස්මාට්ෆෝන් දැන් ඔන්ලයින් ඕඩර් කරන්න හැකියාව තියෙනවා. මෙහෙම ඔන්ලයින් ඕඩර් කිරීමේ යම් අවධානමක් තිබෙනවා. ඒත් අඩු මිල සහ අලුත්ම විශේෂාංග සහිත අලුත්ම ෆෝන් මාදිලි මිලදී ගන්නට කැමති අපේ තරුණ ප්‍රජාව දැන් දැන් අන්තර්ජාලයෙන් ස්මාර්ට්ෆෝන් ඇණවුම කරනවා.

මුහුණත මත ස්පීකරයක් රහිත Mi mix ස්මාර්ට්ෆෝනය http://www.xiaomidevice.com/media/wysiwyg/mi/Xiaomi-mi-mix-phone-2.jpg

මොනවද චීනේ හොඳ ස්මාට්ෆෝන්

සාමාන්‍යයෙන් බඩුවක් මුට්ටුවක් මිලදී ගැනීමේදී නමගිය එකක් මිලදී ගන්නේ අපිට ඒ නම කෙරෙහි තිබෙන විශ්වාසය නිසා. Xiaomi, Huawei, Lenovo, Vivo, Oppo, Meizu, OnePlus, Umi, LeEco, ආදී මාදිලි රැසක් චීනයේ නිෂ්පාදනය කෙරෙනවා.

ලංකාවේ ඒජන්තයින් නොමැති චීන ස්මාට්ෆෝන් සඳහා ඇතැම් තැනකින් වගකීම් සහතික ආදිය ලබාදුන්නත් එය ඔරිජිනල් සමාගමේ වගකිම් සහතික නම් නෙමෙයි.

හොඳ ස්පෙක් එකක්

ෆෝන් එකක් ගනිද්දි එහි ස්පෙසිෆිකේෂන් බැලීම වැදගත් කාරණාවක්. බොහෝවිට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙම චීන ස්මාට්ෆෝන් වලදී හොදින් වැඩකටයුතු කරගැනීමට නම් යම්කිසි මට්ටමක හාඩ්වෙයාර් තිබෙන්නට උවමනා කරනවා. වර්තමානයේදී නම්

4G LTE  දැන් පැමිණෙන බොහෝ නව දුරකථන මෙම හතරවෙනි පරම්පරාවේ ජංගම දුරකථන සංඥා තාක්ෂණයෙන් සවිමත් වෙනවා.

2GB Ram තාවකාලික මතකය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේදී වැදගත් කාරණාවක්. වර්ථමානයේදී නම්  6GB තරම් විශාල වූ රැම් මතකය සහිත ස්මාට්ෆෝන් වෙළඳපොළේ තිබෙනවා. රැම් මතකය 2GB වඩා වැඩි ජංගම දුරකථනයක් තෝරාගැනීම මෙකල ස්මාට්ෆෝන් පාවිච්චි කරන අයට බොහෝ ඇප්ස් ධාවනය කරන්නට හොඳ වටපිටාවක් හිමිකරදේවි.

16 Rom ෆෝන් මෙමරිය ලෙසද හඳුන්වන මෙම අභ්‍යන්තර දත්ත ධාරිතාවය දැන් නම් 32 ප්‍රමාණය සාමාන්‍යකරණය වේගෙන යනවා. පිටතින් මෙමරි කාඩ් සම්බන්ධ කළ නොහැකි මාදිලියක් නම් ෆෝන් එකේ ඉන්ටර්නල් මෙමරිය ටිකක් වැඩිපුර තිබෙන එක භාවිතයේදී පිංතූර වීඩියෝ,ගීත ආදිය සේව්කර තබාගන්නට වාසියක් වේවි.

720p ඩිස්ප්ලේ එකක් සාමාන්‍යයෙන් පාවිච්චියට ගන්නට හොඳයි. දැන් මැද මට්ටමේ ස්මාට්ෆෝන්වලටත් 1080p ඩිස්ප්ලේ එනවා. මේ ඩිස්ප්ලේ එකට යොදාගන්නා පැනල් එකේ වර්ගය අනුව ඩිස්ප්ලේ  LCD, OLED, AMOLED, Super AMOLED, TFT, IPS ලෙස වෙනස් වෙනවා. එකම රෙසලූශන් ඇති ෆෝන් වල වුනත් පැනල් එකේ මාදිලිය අනුව එහි රූප වල ස්වභාවය වෙනස් වෙනවා.

එක් එක් වර්ගයේ ඩිස්ප්ලේ පැනල http://mobimongez.com/blog/wp-content/uploads/2015/11/61.jpg

2500mAH බැටරි බලය සාමාන්‍ය ෆෝන් එකකට සෑහෙනවා. දැන් නම් 3000mAH කියන්නේ සාමාන්‍ය දෙයක්. ෆොන් එකේ බැටරිය බහින්න ෆෝන් එකේ යොදා ඇති හාඩ්වෙයාර් උපාංග සහ එහි මෘදුකාංග හේතු වෙනවා. බැටරි බලය විශාල වුවත් ඩිස්ප්ලේ ප්‍රොසසර වැඩිපුර බලය අවශ්‍ය කරන ඒවා නම් එක් බැටරි චාජ් කිරීමකින් දවසක් වත් ෆොන් එක පාවිච්චි කරන්නට අපහසු වේවි. වර්තමානයේදී නම් පැය බාගයක් ඇතුලත ෆෝන් එකෙන් 50%කට වඩා චාජ් වෙන ක්වික් චාජින් යෙදවුම බොහෝ ස්මාට්ෆෝන් සදහා එනවා.

Soc -system on a chip  කියන්නෙ ෆෝන් එකේ චිප් එක එනම් ප්‍රොසෙසර මදර්බෝඩ් ඉන්පුට් අවුට්පුට් ආදී බොහෝ දේ තීරණය වන ෆෝන් එකේ අභ්‍යන්තර හාඩ්වෙයාර් මෙහෙයුම් කොටස. සැම්සුන්, හුවාවේ, ක්වල්කොම් ස්නප්ඩ්‍රැගන්, ඇපල් මීඩියාටෙක් ආදී සමාගම් විශාල ගණනක් මෙම චිප් නිපදනවා. Xiaomi  ෆෝන් රැසක එන්නේ ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසසරය. එහෙත් චීනයේ අඩුමිල ස්මාට්ෆෝන් වල මීඩියාටෙක් නැමැති නව ස්මාට්ෆෝන් චිප් ස්ථාපනය කොට තිබෙනවා. මීඩියාටෙක් කියන්නෙත් ලාබදායී හොඳ චිප් විශේෂයක්. එහෙත් මීඩියාටෙක් වල ඇතැම් මාදිලි අනවශ්‍ය ලෙස රත්වීම, බැටරි බලය ඉක්මනින් හමාර වීම, ආදී ගැටලු තියෙනවා. ජනප්‍රිය ප්‍රකට චිප් නාම වල පවා ඇතැම්  මාදිලි තිබෙනවා තරමක් ලෙඩ දෙන. ඒ නිසා චිප් එක සහ ඒ චිප් සෙට් එකේ වෙනත් ෆෝන් ගැනත් ටිකක් අවධානයක් දෙන එක හොඳයි ෆෝන් එකක් තෝරාගනිද්දි.

බ්ලූටුත් වයිෆයි පහසුව, ෆින්ගර් ප්‍රින්ට් සෙන්සර, නිමාව සහ හැඩය, ජලයට සහ ගැස්සිම් වලට ඔරොත්තු දීම, කල්පැවැත්ම ආදී තවත් කාරණා රැසක් ෆෝන් එකක් ගැනීමේදී සැලකිය යුතු වෙනවා. කලින් ෆෝන් එක හඳුනාගෙන මිලදී ගැනීම ෆෝන් එක මිලදී ගැනීමෙන් පසු ඇතිවෙන “අයියෝ මම මේ ෆෝන් එකට අහුවෙලානේ” කියන පසුතැවිල්ලෙන් වැළකෙන්න හොඳ සාධකයක් වේවි.

ස්මාට්ෆෝනයක් භාවිතා කරන යෞවනියක් https://pbs.twimg.com/media/C-K2y0sXYAA7D19.jpg

ෆෝන් එකක් මිලදී ගැනීමේදී එහි ඇති හාඩ්වෙයාර් සහ අංගෝපාංග තමුන් හොදින්ම දන්නා ස්මාට්ෆෝන් එකක් සමග සන්සන්දනය කිරීමත් අලුතින් ගන්න යන ෆෝන් එක ගැන හොඳ අදහසක් ගන්න නිවැරදි ක්‍රමයක්. එම පහසුව gsmarena ආදී බොහෝ වෙබ් අඩවි වල දැන් තිබෙනවා. ඒ වගේම අපේ හිතගිය හොඳ ෆෝන් එකක් තිබේනම් එහි ලාබ පාඩු සහ තාක්ෂණික විස්තර එම මාදිලිය ගූගල් කිරීමෙන්ද සොයාගන්නට හැකියි.

ගෙන්නගන්න හොඳ සයිට් එකක්

චීනයෙන් ස්මාට්ෆෝන් ගෙන්වගන්න පුළුවන් සයිට් අතර gearbest.com , banggood.com ආදී අඩවි වඩාත් ජනප්‍රිය ඒවා වෙනවා. ඒවගේම aliexpress.com හි විශ්වාසනීය වෙළෙන්දෙකුගෙන් ද ස්මාට්ෆෝන් ඇණවුම් කල හැකි වෙනවා. ඊ බේ අලිඑක්ස්ප්‍රස් වැනි විශාල අඩවි වලදී ෆෝන් එක විකුණන ස්ටෝරුවේ විකුනා ඇති ෆෝන් ගණන, ඔවුන්ගේ කස්ටමර්ලා රේටිංග්ස් සහ කමෙන්ට් බැලීමත් ඔන්ලයින් ඇණවුම කර අමාරුවේ වැටීමෙන් බේරෙන්න හොඳ ක්‍රමයක්. ලංකාවේ වගේම ජාත්‍යන්තර තැපැල් ක්‍රම වලදීද යම් හදිසි ගැටළු නිසා ප්‍රමාද වීම් සිදුවන්නට පොඩි ඉඩකඩත් තිබෙනවා. එවන් විටක වෙළෙන්දා සමග ඊමේල්, මැසේජ් හෝ චැට් මගින් ගැටළු විසඳාගැනීමට හැකියි. බොහෝවිට ලංකාවට පැමිණෙන්නට පෙර ස්මාට්ෆෝන් පාර්සලය නැති වුවහොත් අපිට ඒවා නොලැබුණු බව සනාථ කොට එම මුදල් නැවත ගිණුම්ගත කරගත හැකියි.

ලංකාවේ දි ස්මාට්ෆෝන් ගෙන්වාගන්න නිවැරදිම ක්‍රමයට අනුව නම් විදුලි සංදේශ නියාමන කොමිශමේ නිර්දේශයක් තිබෙන්නට ඕනි. එහෙත් පුද්ගලික පරිහරණයට ස්මාට්ෆෝන් එකක් ගෙන්වාගන්න දැන් නම් ඒ හැටි බාධාවක් නෑ. ඇතැම් විට මේ එන විදෙස් පාර්සල් සමහර පළාත්වලට තැපෑලෙන් යද්දි යම් යම් අතුරුදන් වීම් වලට මුහුණ දෙනවා. එහෙත් බොහෝ ස්ථාන වලට කිසි අවුලක් නැතුව පාර්සල් ගෙදරටම ලැබෙනවා.

මෙම ස්මාට්ෆෝන් එකක් කොළඹ මහ තැපැල් හුවමාරුවේදී ස්මාට්ෆෝන් එකක් කියලා හඳුනාගතහොත් එම ෆෝන් එකේ වටිනාකමෙන් 10%ක බදු මුදලක් රේගුව වෙත ගෙවිය යුතුයි. එසේම වර්තමානයේදි නම් පිටරට ස්ටෝර් සදහා ක්‍රෙඩිට් කාඩ් වලින් ගෙවිම් කිරීමේදී බදු මුදලක්ද ගෙවන්නට සිදු වෙනවා.

චීන ෆෝන් රැසක් https://i.cnnturk.com/ps/cnnturk/75/1280×720/5901cf5561361f1ee0d9f584

වගකීම

ඔන්ලයින් ෆෝන් එකක් ඇනවුම් කිරීමේදී අපිට ආසාකරන ෆෝන් එක අතට ලැබෙන්නට ඇතැම් විට සති දෙක තුනක් බලා සිටින්නට වෙනවා. ඒ වගේම ෆෝන් එක වගකිම් කාලය තුල යම් දෝෂයකට ලක් වුනොත් ඒ සඳහාද ලොකු කාලයක් බලාසිටින්නට සිදු වෙනවා. බොහෝ වෙබ් අඩවි වල අලෙවියෙන් පසු වසරක් යනතුරු එසේ ෆෝන් එකේ දෝෂ සහගත තත්ව සදහා නැවත සකසා දීමේ අලුත්වැඩියා වගකීමක් ලැබෙනවා. එහෙත් එවිට ෆෝන් එක නැවත චීනයට යැවිය යුතු වෙනවා.

චීන ෆෝන් අයියෝ සල්ලි වෙයිද?

සාමාන්‍යයෙන් නමගිය සමාගම් වල ෆෝන් වලදී ඒවායේ දෝශ සහගත තත්වයන් ඇතිවීම සිදුවන්නේ කලාතුරකින්. ඒ අවධානම ගන්න පුලුවනි නම් අලුත්ම අංගෝපාංග ඇති ස්මාට්ෆෝන් එකක් විශාල අඩු මිලකට අපිට චීනයෙන් ඇණවුම් කර ලබාගන්නට හැකියාව තිබෙනවා. අපි ඇතැම්විට ලංකාවෙන් බොහෝ වැඩිමලකට ෆෝනයක් මිලදී ගත්තා වුනත් ඒ ෆෝන් එක චීනයේ නිශ්පාදිත එකක් වන්නට ඇති හැකියාව බොහෝම වැඩියි. ඒ නිසා පොඩි අවධානමක් තිබුණත් කෙලින්ම චීනයේ හදන බඩුවක් චීනයෙන් ම ගෙන්වාගන්න එක පසුම්බියට නම් ටිකක් වාසි වෙයි.

Related Articles