Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Bluetooth සහිත S Pen එකක් සමග නවතම Samsung Note 9 එළිදකියි !

පසුගිය 9 වැනි දා සැම්සන්ග් සමාගමේ Note ෆැබ්ලට් ශ්‍රේණියේ නවතමයා වන Note 9 එළිදැක්වුණා. ඊට සමගාමීව නව Galaxy watch එකක් සහ Galaxy Home උපාංගයක් ද හඳුන්වා දෙනු ලැබුවා. S Pen එකට නව ජීවයක් ගෙන දෙමින් Note 9 ෆැබ්ලට් එක තවත් ඇහිබැමි උඩ යන විශේෂාංග රැසක් ද සමග හඳුන්වාදෙනු ලැබුවේ සැම්සන්ග් රසිකයන්ගේ ඔල්වරසන් මධ්‍යයේ යි. මෙම අවස්ථාව ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ දී පැවැති අතර, ඔවුන්ගේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද සජීවීව නරඹන්නට ලොව වටා හැමට අවස්ථාව ලැබුණා. මයික්‍රොසොෆ්ට්, ඇපල් සමාගම් 9 ඉලක්කමට අකමැති වෙද්දී ආසියානු සමාගමක් ලෙස සැම්සන්ග් නවය නරකයැ යි නොසලකන බව S9 හරහාත් දැන් Note9 හරහාත් පෙන්වා දෙනවා.

බාහිර පෙනුම

timeincuk.net

Metallic Copper (තඹ පැහැය), Midnight Black (කළු පැහැය), Ocean Blue (නිල් පැහැය), Lavender Puprle (දම් පැහැය) ලෙස වර්ණ මාදිලි හතරකින් එළිදකින නව ‘Note 9’ සතු S Pen එක ද සාම්ප්‍රදායික තනි වර්ණය වෙනුවට දුරකථනයේ ම වර්ණය අනුව දැන් වර්ණ මාදිලි හතරකින් (කහ පැහැය ද සමග) හඳුන්වා දෙනු ලබනවා. මෙතෙක් කල් ඇඟිලි සලකුණු සංවේදකය තිරස්ව පිහිටි කැමරාව හා ෆ්ලෑෂර් සමග ඒක රේඛීයව දුරකථනයේ කෙළවරට වන්නට යි තිබුණේ. නමුත් එය භාවිතයට අපහසු බව අවබෝධ කරගත් ඔවුන් අවසානයේ එය කැමරා තීරයෙන් ඉවත් කර උපාංගයේ පසුපස මධ්‍යයට මඳක් ඉහළින් යොදා තිබෙනවා. S9 දුරකථනයේත් මේ වෙනස දකින්නට ලැබුණා.

droid-life.com

Note 9හි පසුගිය වසරේ ආ Note 8හි ඉදිරිපස පෙනුම එලෙසින්ම තිබෙනවා. වෙනස, තිරය ප්‍රමාණයෙන් මඳක් විශාල යි. දෙපස දාරයක් නොමැති තරම් ම තිරය විහිදෙන අතර එහි ඉහළින් ඉදිරිපස කැමරාව, ස්පීකරය හා Iris scanner එක ඇතුළු අනෙකුත් සංවේදක සඳහා ඉඩ වෙන් කරගන්නවා. පහළින් කිසිවක් නොමැති කළු පැහැ කුඩා දාරයක් තිබෙනවා. දුරකථනය පසුපස ඉහළට ආසන්නයේ තිරස්ව කැමරා දෙකක්, ෆ්ලෑෂරය සහ ඒ සමගම ඇති සිරස් පේළියක හෘද ස්පන්දන සංවේදකය ඇතුළු සංවේදක සඳහා ඉඩ හසර සලසා ගන්නවා. ඊට යටින් ඇඟිලි සලකුණු සංවේදකයත්, SAMSUNG ලාංඡනයත් අඩංගු කර තිබෙනවා.

වම් පස දාරයෙහි ශබ්ද පාලක බොත්තම් සහ Bixby පෞද්ගලික සහායකයා ක්‍රියා කරවීමට බොත්තමක් සුපුරුදු පරිදි තිබෙනවා. දකුණු පස දාරයේ ඇත්තේ power button එක පමණ යි. ඉහළ මයික්‍රොෆෝනයක් සමග SIM tray එකත් (Dual SIM මාදිලියේ SIM එක වෙනුවට මෙමරි කාඩ් දැමිය හැකි යි), යට දාරයේ USB 3.1 Type-C පෝට් එකකුත්, නූතන දුරකථනවල වඳවීමේ තර්ජනයට ලක්ව සිටින 3.5mm audio jack එකත්, ස්පීකර් කවුළුව හා S Pen කවුළුව තිබෙනවා.

තිරය

firstpost.com

“මෙය අපේ උපාංගයක අඩංගු වුණු විශාලතම තිරය යි.” සැම්සන්ග් සමාගම තම Infinity display එක ගැන ආඩම්බරයෙන් කියනවා. එය, අඟල් 6.4ක සුවිසල් තිරයක්. S Pen එක පාවිච්චියේ දී එනිසා වැඩි අවකාශයක් ලැබෙනවා. එය 516ppi (අඟලකට පික්සල්) අගයක් ඇති තිර විභේදනය (resolution) 2960 x 1440 වන Quad HD+ Super AMOLED තිරයක්. තිර අනුපාතය 18.5:9 වන අතර එය Corning Gorilla Glass 5 මගින් ආරක්ෂණය කර තිබෙනවා.

පුළුල් වර්ණ පරාසයකින් යුතු මේ තිරයට අඳුරු අභ්‍යන්තරික පරිසරයක දී මෙන්ම ඍජු අව්ව සහිත අවස්ථාවක දී පවා හොඳ තිර දීප්තියක් පවත්වා ගන්නට පුළුවන්. අවශ්‍යය පමණට ස්වයංක්‍රීයව brightness පමණක් නොව contrast ද සකසා ගන්නට මේ උපාංගයට හැකියාව තිබෙනවා. LED තිරය නිසා අඩු බැටරි භාවිතයකින් යුතුව always on display (කළු පැහැ තිරයේ වේලාව, දිනය දර්ශනය) විශේෂාංගය සුපුරුදු පරිදි පවත්වාගෙන තිබෙනවා.

කැමරාව

petapixel.com

S9 දුරකථනයේ දකින්නට ලැබුණු ආකාරයට මෙහි ද වෙනස් වන apperature එකක් තිබෙන නිසා ආලෝක තත්ත්ව අනුව වෙනස් වෙමින් වඩාත් හොඳ ඡායාරූප දසුනක් ලබාගන්නට පසුපස ප්‍රධාන කැමරාව සහය වෙනවා. ඒ අනුව රාත්‍රී කාලයේ දී  f/1.5 හරහා වැඩි ආලෝකයක් ඡායාරූප සංවේදකයට ලබා ගැනෙන අතර දහවලේ දී (වැඩි ආලෝකය සහිත අවස්ථාවන්හි දී) f/2.4 අගයට මාරු වෙනවා. HDR විශේෂාංගය නිසා රාත්‍රියේ දී ද හොඳ වර්ණ තත්ත්වයක් ඡායාරූපවලට ලැබෙනවා. පසුපස කැමරා දෙකම 12MP වන අතර අනෙක් කැමරාවට 2x optical zoom හැකියාවක් ද තිබෙනවා.

medium.com

Note 9 සතු Scene Optimizer විශේෂාංගයට කැමරාවට හසුවන දේවල් හඳුනාගන්නට පුළුවන්. ඒ අනුව ශාක, මල්, ආහාර පාන, අහස, අකුරු වැනි විශේෂ අවස්ථාවන් හඳුනාගෙන ඒවාට වඩාත් සුදුසු වර්ණ සංකලනයන් සජීවීව, ස්වයංක්‍රීයව යොදාගන්නට ඊට පුළුවන්. ඡායාරූපයක් ගනිද්දී පෙනී සිටින කෙනෙක් ඇස් පිල්ලම් ගැසූ බව, ඡායාරූපය බොඳවූ බව, කාචයේ කිසිවක් ගෑවී ඇත්නම් එය පිසදැමිය යුතු බව, පසුපසින් ආලෝකය පැමිණෙන විට HDR සක්‍රීය කළ යුතු බව වැනි බුද්ධිමත් දැනුම්දීම් කරන්නට Note 9 සමත් වෙනවා. Slow motion සහ AR Emoji ද නවමු සුමට අත්දැකීමක් ගෙන එනවා.

අනෙකුත් ප්‍රධාන විශේෂාංග

නව Note 9 දුරකථනය සතුව තවත් අපූරු විශේෂාංග රැසක් තිබෙනවා.

S Pen එකට දැන් Bluetooth

wccftech.com

මෙතෙක් හුදෙක් බාහිර අජීවී උපාංගයක්ව තිබූ S Pen එකට දැන් බ්ලූටූත් අඩංගු කර තිබෙන නිසා ඡායාරූප ගැනීමේ දී shutter button එකක් ලෙස, Player එක play / pause කරන්නට එය යොදාගන්න පුළුවන්. එමෙන්ම Presentationවල slide මාරු කරන්නට ද ඊට හැකි නිසා Samsung Note 9 මුහුරත් උළෙලේ දී ද ඔවුන් එම පහසුකම යොදාගත්තා. දුරකථනය තුළ සවිකර තත්පර 30ක දී S Pen එක උපරිම ආරෝපණයට පත්වන අතර එය ඉන්පසු පැය බාගයක් පමණ පාවිච්චි කරන්න පුළුවන්.

මෙතෙක් පැවති අනෙකුත් සාමාන්‍ය ඇඳීම් වැනි හැකියාවන් සඳහා S Pen එක ආරෝපණය කළ යුතු වන්නේ නැහැ.

සිසිලන පද්ධතියක්

samsung.com

පරිගණක ක්‍රීඩා, ග්‍රැෆික් නිර්මාණ ආදිය දුරකථන හරහා කරද්දී එය බෙහෙවින් රත්වීමට ලක්වෙනවා. මේ නිසා වේගය අඩුවීම සහ උපාංගයට හානිවීම් සිදුවෙනවා. Note 9 මේ වෙනුවෙන් හොඳ විසඳුමක් ගෙන එනවා. ඒ, water-carbon සිසිල පද්ධතිය හරහා යි. අභ්‍යන්තරයේ යොදා ඇති තඹ නළවලින් notebook පරිගණකයක තරම් සිසිලසක් එය ලබා ගන්නවා.

විනාඩි 30ක් වතුරේ තැබිය හැකි යි

samsung.com

මීටර් 1.5ක් තරම් ගැඹුරෙහි S Pen එක සහිත Note 9 දුරකථනය විනාඩි 30ක කාලයක් කිසිදු ගැටළුවකින් තොරව තබන්නට පුළුවන්. එනිසා ජලය අභ්‍යන්තර ඡායාරූප හෝ අත්වැරදීමකින් වතුරට වැටුණ අවස්ථාවක දී ඒ ගැන බිය විය යුතු නැහැ. IP68 ඇගයුමකින් යුත් මෙයට ජලය සහ දුහුවිලි ඇතුළු වීමක් සිදුවන්නේ නැහැ.

පද්ධති හැකියාවන්

samsung.com

53%ක වැඩි වේගයක් සහිත 10nm CPU එකක් හා 23%ක් වැඩි හැකියාවක් ඇති GPU එකක් මෙය සතු යි. ඇමරිකාවට හා චීනයට Qualcomm Snapdragon 845 ප්‍රොසෙසරයත් ලොව අනෙකුත් රටවලට Exynos 9810 Octa ප්‍රොසෙසරයත් යොදා තිබෙනවා. අභ්‍යන්තර ධාරිතාව 128 GB ඇති මාදිලියේ 6 GB RAM එකකුත්, 512GB ඇති මාදිලියේ 8GB RAM එකකුත් අඩංගු වෙනවා. SD card එකක් හරහා එය 1TB දක්වා (තවත් ගිගාබයිට් 512ක් දක්වා) වැඩි කරගත හැකි යි.

LTE හා WiFi වේගය 1.2Gbps දක්වා දත්ත සංසරණ වේගයක්, රැහැන් රහිත ආරෝපණ හැකියාවන් ඇති 4000mAh බැටරියක්, චිත්‍ර‍පට ශාලාවක මෙන් ත්‍රිමාණ ශබ්ද අත්දැකීමක් ගෙන එන AKG සමාගමෙන් බලගැන්වූ stereo ස්පීකර්, තාරා මණ්ඩලය scan කිරීම සහ Face recognition මෙහි භාවිත අත්දැකීම තවත් වැඩි කරනවා.

Note 9 සඳහාවූ DeX ඇඩැප්ටරය (aolcdn.com)

Note දුරකථන මොනිටරයක්ට සම්බන්ධ කර පරිගණකයක් මෙන් පාවිච්චි කිරීමේ DeX විශේෂාංගයට පෙර දුරකථනවලට docker එකක් අවශ්‍යය වූවත් Note 9 සඳහා නම් අවශ්‍යය වන්නේ හුදෙක් ඇඩැප්ටරයක් පමණ යි.

YouTube හරහා මෙය සතු පුළුල් වීඩියෝ අත්දැකීම පදනම් කරගෙන එය Signature device එකක් ලෙස නම් කළ අතර Note 9 එළිදැක්මට සමගාමීව Fortnite ක්‍රීඩාවේ ද beta වෙළුමක් Galaxy නමැති විශේෂිත චරිතයක් ද සමග නිකුත් කෙරුණා.

කවරයේ ඡායරූපය: timeincuk.net

Related Articles