Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇපල් උපාංගවල අපූර්වත්වයේ රහස – ජොනී අයිව්

iPhone එක ඇතුළු ඇපල් උපාංග මේ තරම් ජනප්‍රිය ඇයි කියන එක බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්. ඇතැම් විශේෂාංග අතින් බැලූ බැල්මට අඩු මට්ටමක පැවතුණත් වෙනත් ස්මාට්ෆෝන් කීයටවත් අලෙවි කරන්න බැරි මිලකට iPhone මිලියන ගණනින් අලෙවි කරන්න ඇපල් සමාගමට හැකි වී තිබෙනවා. එයට නිතරම ඇපල් පාරිභෝගිකයන්ට උසුළු විසුළු කෙරුණත් ඇපල් උපාංගවල තිබෙන පෙනුම, දැකුම්කළු බව, තත්ත්වයෙන් උසස් බව, සහ භාවිතයේ පහසුව මෙයට හේතු වන බව පැහැදිලිව ම දකින්න පුළුවන්.

deteched.com

ස්ටීව් ජොබ්ස්, ටීම් කුක් වැනි ඇපල් සමාගමේ නායකයන් ගැන කවුරුත් දැන සිටියත් ඇපල් උපාංගයක් අතට ගත් ගමන් දකින්න ලැබෙන අපූරු සරල බව, දැකුම්කළු බව, සහ වටිනා පෙනුම ලබාදීම පිටුපස සිටින නිර්මාණකරුවා වන ජොනී අයිව් ගැන කියපු සැණින් දන්නේ ඉතා ම සුළු පිරිසක් පමණයි. ඇපල් සමාගමේ හැම උපාංගයකට ම, හැම පරිශීලක අතුරුමුහුණතකට ම අපූර්වත්වයක් එක් කරන ජොනී අයිව් සහ ඔහුගේ නිර්මාණ කණ්ඩායම ඇපල් සමාගමේ සාර්ථකත්වයේ ප්‍රධානතම පුරුකක් කියා සිතන්න පුළුවන්.

කුඩා කල සිට ම කාර්වලට තිබූ ආසාව

දැකුම්කළු කාර් ජොනී අයිව් නිර්මාණකරුවෙක් කළා (moneyinc.com)

ජොනී අයිව් 1967 පෙබරවාරි 27 වැනි දා ලන්ඩනයේ චින්ග්ෆර්ඩ් හි විසූ මයිකල් අයිව් නැමැති රිදී වැඩකරුවෙකුට දාව උපත ලබන්නේ ජොනතන් පෝල් අයිව් යන නමින්. ඔහු කුඩා කල සිට ම ජොනී අයිව් යන කෙටි නාමය භාවිත කළා. චින්ග්ෆර්ඩ් ප්‍රාථමික විද්‍යාලයෙන් තම මූලික අධ්‍යාපනය ලබා ජොනී අයිව් පසු ව සිය ද්වීතියික අධ්‍යාපනය සඳහා ස්ටැෆර්ඩ්හි පිහිටි වෝල්ටන් උසස් පාසලට ඇතුළත් වෙනවා.

කුඩා කාලයේ සිට ම කාර්වලට ඉමහත් කැමැත්තක් දැක්වූ ඔහු අපූර්ව හැඩයන්ගෙන් යුතු කාර්වල රූ සටහන් ඇඳීමට හුරු වී සිටියා. තමන් නිර්මාණකරුවෙක් (designer කෙනෙක්) වීමේ අඩිතාලම වැටුණේ මේ විදිහට කාර් ඇඳීමේ පුරුද්ද නිසා බව යි ජෝනී අයිව් අදටත් පවසන්නේ.

ටැංජරීන් ඒජන්සිය හරහා ඇපල් සමාගමේ නිර්මාණකරණ උපදේශකයෙක් වීම

වෝල්ටන් උසස් පාසලෙන් සමත් වීමෙන් පසු ව ඔහු කර්මාන්ත නිර්මාණකරණය විෂයය යටතේ නෝතම්බියා විශ්ව විද්‍යාලයට (මෙය එකල නිව්කාසල් පොලිටෙක්නික් විද්‍යාලය ලෙස යි හැඳින්වුණේ) ඇතුළු වී 1989 දී එයින් ප්‍රථම පන්තියේ උපාධියක් ලබාගන්න සමත් වෙනවා.

ජොනී අයිව් ඉගෙන ගත් නෝතම්බියා විශ්ව විද්‍යාලය (getnorth2018.com)

උපාධිය ලැබීමෙන් පසු ව අයිව් පාරිභෝගික භාණ්ඩ නිර්මාණකරණය තම වෘත්තීය ලෙස තෝරාගත්තා. අයිව්ට මුල්ම රැකියාව හිමි වුණේ ඔහුගේ උපාධියේ අනුග්‍රාහකයා වූ රොබර්ට් වීවර් සමූහයේ යි. එහි වසරක පමණ කාලයක් රැකියාව කිරීමෙන් පසු ව අයිව් ලන්ඩනයේ අලුතින් ආරම්භ කළ ටැංජරීන් (Tangarine) නැමැති නිර්මාණකරණ ඒජන්සියකට බැඳෙනවා.

ඇපල් සමාගමත් එකල අයිව් සේවය කළ ටැංජරීන් ඒජන්සියේ ව්‍යාපාරික සහකරුවෙක් ව සිටියා. ටැංජරීන් ඒජන්සිය හරහා ඇපල් සමාගමේ Powerbook ලැප්ටොප් එකේ නිර්මාණකරණයට ජොනී දැක්වූ දායකත්වය දැක ඔහු ව සිය සමාගමට පූර්ණකාලීන ව බඳවාගන්න ඇපල් සමාගම උත්සාහ ගත්තා. කොහොම නමුත් එහි පූර්ණ කාලීන රැකියාවකට අකමැති වූ ජොනී අයිව් ඇපල් සමාගමේ නිර්මාණකරණ උපදේශකයෙක් බවට පත් වුණා.

නිර්මාණකරණ උපදේශකයෙකුගේ සිට ඇපල් සමාගමේ පූර්ණ කාලීන රැකියාවකට

ටැංජරීන් වෙත විවිධ ව්‍යාපාරවලින් ලැබෙන නිර්මාණකරණ කොන්ත්‍රාත්තු අනුව ජොනී අයිව් මයික්‍රෝවේව් උදුන්, නාන කාමර උපාංග, දත් බුරුසු වැනි විවිධ පාරිභෝගික භාණ්ඩ නිර්මාණය කළා. කෙසේ නමුත් ඔහුගේ නිර්මාණකරණ ක්‍රමවේදයන්ට ටැංජරීන් වෙත කොන්ත්‍රාත් ලබාදුන් ඇතැම් සමාගම් එතරම් කැමති වුණේ නැහැ.

එදා අයිව්ගේ නිර්මාණකරණය ප්‍රතික්ෂේප කළ අයිඩියල් ස්ටැන්ඩර්ඩ් ආයතනයේ මෑතකාලීන නිර්මාණ (ideal-standard.co.uk)

බෙල්ජියානු නාන කාමර උපාංග සමාගමක් වන අයිඩියල් ස්ටැන්ඩර්ඩ් වෙත ජොනී අයිව් නිර්මාණය කර දුන් සින්ක් එකක් සහ කොමෝඩ් එකක් එහි ප්‍රධානියා “උවමනාවට වඩා නවීන බවක් පෙනෙනවා” කියමින් ප්‍රතික්ෂේප කිරීමත් එක්ක ජොනීට ටැංජරීන් හි රැකියාව එපා ම වුණා. මුල් කාලයේ ජොනී ඇපල්හි රැකියාව ප්‍රතික්ෂේප කරමින් නිර්මාණකරණ උපදේශකයෙක් ලෙස පමණක් සිටියත් මේ සිදුවීමෙන් පසු ව සිත වෙනස් කරගෙන 1992 දී පූර්ණ කාලීන ව ඇපල් සමාගමට බැඳුණා.

ඇපල් සමාගමෙන් ඉවත් වීමේ තීරණය නැවතුණු හැටි

ඇපල් සමාගම තුළ දී අයිව්ගේ මුල්ම නිර්මාණය වූ Newton නැමැති MessagePad එක වාණිජ ව සාර්ථක වුයේ නැහැ. ඒ වන විට විවිධ මත ගැටුම් නිසා ස්ටීව් ජොබ්ස් ද ඇපල් සමාගමෙන් ඉවත් වී සිටියා. ඇපල් සමාගම තුළ දී ද තමන්ට නිර්මාණකරණයේ නිදහස නොලැබෙන බව හැඟීම නිසා ජොනී අයිව්ට ඒ රැකියාවත් එපා වෙමින් තිබුණේ. කොහොම නමුත් ස්ටීව් ජොබ්ස් යළි පැමිණීමෙන් පසු ව ඇපල් සමාගම සම්පූර්ණයෙන් ම උඩු යටිකුරු වන බව අයිව්ට ඒත්තු ගන්වමින් ඔහුට යන්නට නොදී තබාගන්න ඔහුගේ එකල ප්‍රධානියා සමත් වෙනවා.

අසාර්ථක වූ Newton Messagepad එක (businessinsider.com)

කිව්ව විදිහට ම ස්ටීව් ජොබ්ස් යළි පැමිණීමෙන් පසු ව ඇපල් සමාගම විශාල ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙනවා. ප්‍රධානී ස්ටීව් ජොබ්ස්ට පමණක් දෙවැනි තනතුරක් වන කර්මාන්ත නිර්මාණකරණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයට ජොනී අයිව් 1997 දී පත් කෙරෙනවා.

ඇපල් සමාගම මෙන්ම ලෝකය තුළත් සැබෑ වෙනසක් කළ iMac

ඇපල් සමාගම ජොනී අයිව්ට නිර්මාණකරණයේ උපරිම නිදහස ලබාදීමත් එක්ක ඔහුගේ දක්ෂතාවන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වුණා. ඇපල් සමාගමේ උපාංග සෑම එකක ම අපි අදටත් දකින අපූර්වත්වය ඇති කරන්න අයිව් සමත් වුණේ ස්ටීව් ජොබ්ස්ගේ ඉහළ පැසසුම් හිමි කර ගනිමින්. ස්ටීව් ජොබ්ස් සහ ජොනී අයිව් අතර තිබුණු අදහස් සමාන බව ඇපල් සමාගමේ නම කී සැණින් ලොවම හඳුනන නිර්මාණවල සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ලෙස සලකන්න පුළුවන්.

පරිගණකයක පෙනුම උඩු යටිකුරු කළ iMac (standard.co.uk)

ජොනී අයිව් නිර්මාණය කළ මුල්ම උපාංගය වුණේ iMac පරිගණකය යි. කාලයක් තිස්සේ පරිගණකයක් කිව්වා ම මතක් වුණු හැඩය උඩු යටිකුරු කළ මේ නිර්මාණය අදටත් නිර්මාණකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා. යම් උපාංගයක් නිෂ්පාදනයේ දී ඉංජිනේරු අවශ්‍යතාවන්ට වඩා නිර්මාණකරණ අවශ්‍යතාවන්ට මුල් තැන ලබාදීමේ ප්‍රවණතාව ඇති කරන්න ඇපල් සමාගම සමත් වුණේ iMac එකත් සමග යි.

iPod, iPhone, iPad ඇතුළු තවත් අතිසාර්ථක නිර්මාණ පෙළක්

ජොනී අයිව්ගේ මීළඟ නිර්මාණකරණ ජයග්‍රහණය වැඩි කලක් පමා වුණේ නැහැ. මුළු සංගීත අලෙවිකරණ ක්ෂේත්‍රය ම උඩු යටිකුරු කළ iPod එක නිර්මාණය කරමින් ඇපල් සමාගම සංගීත අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළින් ම තබා නව ව්‍යාපාරික ක්ෂේත්‍රයක් බිහි කරන්න ජොනී අයිව් දායක වුණා. අදටත් ගුණාත්මක බව සහ ආරක්ෂාව අතින් ඉහළින් ම තිබෙන iTunes සහ App store ආදියේ අඩිතාලම වැටුණේ මෙයින්.

අලංකාරත්වය, පහසුව, සහ සරල බව කැටි වූ මුල්ම  iPod එක (aolcdn.com)

2007 දී ලොව ම වෙනස් කරමින් iPhone එක හඳුන්වාදීමත් එක්ක ජොනී අයිව්ගේ නිර්මාණකරණ සංකල්පයේ සාර්ථකත්වය නැවත වරක් තහවුරු වුණා. සරලත්වය සහ අලංකාරය මුල් තැන තබා ගනිමින් නිර්මාණය වූ iPhone එක අද ලොව වැඩියෙන් ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික් උපාංගයක්.

මීට අමතර ව iPad, Macbook, Apple TV ප්‍රධාන ඇපල් උපාංග සියල්ලේත්, මෑතකාලීන ව හඳුන්වා දුන් Apple Watch සහ Apple Earpod ඇතුළු නිෂ්පාදන සියල්ලේ ම නිර්මාණකරුවා වෙන්නේ ජොනී අයිව්. මුළු ලෝකයට ම කොපි කරන්න හිතෙන තරම් අපූර්වත්වයක් මේ නිෂ්පාදනවලට තිබෙන්නේ ඔහු නිසා යි.

ජොනී නැති කලෙක?

3.5mm ජැක් එකට සමු දුන් Earpods (cultofmac.com)

ජොනී අයිව්ගේ විශිෂ්ටත්වයට සීමා මායිම් නැති තරම්. දැනටමත් විවිධ නිර්මාණකරණයන් වෙනුවෙන් පේටන්ට් බලපත්‍ර 5000කට වඩා තමා සතු කරගෙන ඇති ඔහු, සුවහසක් නිර්මාණකරණ තරගවලින් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. ඇමෙරිකාවේ සිටින වටිනාම බ්‍රිතාන්‍ය ජාතිකයා ලෙස සැලකෙන ජොනී අයිව් හට 2012 දී නයිට් පදවියක් පවා පිරිනැමුණා. ඇපල් සමාගමේ උපාංග සියල්ලේ ම විශිෂ්ටත්වය පිටුපස ඔහුගේ හෙවණැල්ල සදාකාලික ව ම දකින්න ලැබේවි.

කොහොම නමුත් පිකාසෝලා නැවත බිහි වෙන්නේ නැහැ වගේ ම, ශ්‍රීමත් ජොනී අයිව් නැති කලෙක ඇපල් සමාගමේ උපාංගවල අපූර්වත්වය දිගටම පවත්වාගෙන යමින් ඔහුගේ තැන ගන්න අයෙක් සිටිනවා ද කියන එක නම් විශාල ගැටලුවක්. කොහොම නමුත් නිර්මාණකරණ ක්ෂේත්‍රයේ සැබෑ ම සලකුණක් තැබූ, මේ වන විට 51 හැවිරිදි වියේ පසුවන ජොනී අයිව් තවත් කාලයක් පුරාවට ඇපල් සමාගමේ සිටිනු ඇති යන බලාපොරොත්තුව ඊට යම් අස්වැසිල්ලක් වනු ඇති.

කවරයේ රූපය: wsj.com

Related Articles