ෆේස්බුක් සමාගම හොර-රහසේ සිදුකල පර්යේෂණ පහක්

සාම්ප්‍රදායික විද්‍යාත්මක පර්යේෂණ සඳහා මිනිසුන් යොදාගැනීමේදී එවැනි කටයුතු සිදුවන්නේ අදාළ පුද්ගලයින්ගේ අනුදැනුම ඇතුවයි. ජීව විද්‍යාව, ඖශධ නිෂ්පාදනය වැනි ක්ෂේත්‍ර බොහොමයක මිනිසුන් යොදාගෙන සිදුකරන පර්යේෂණ සඳහා දැඩි නීති රීති පිහිටුවා තිබෙන නමුත් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ මේ සම්බන්ධව තිබෙන්නේ ඉතා ලිහිල් ක්‍රමවේදයක්. විශේෂයෙන්ම අන්තර්ජාලය හරහා නොමිලේ ලබාදෙන සේවා සඳහා ඇති දැවැන්ත ඉල්ලුම සහ එවැනි සේවා පරිශීලණය කරන බිලියන ගණනක පිරිස නිසා මෙවැනි සේවා සපයන සමාගම්වලට තමන්ගේ පරිශීලකයනට නොදන්වා ඔවුන් යොදාගෙන පර්යේෂණ කිරීම එතරම් අපහසු දෙයක් නෙවෙයි.

පසුගිය දශකය පුරාවටම වරින් වර මෙවැනි පර්යේෂණ පිලිබඳ පුවත් අන්තර්ජාලය සහ මාධ්‍ය තුළ කතාබහට ලක්වුණා වගේම සුළු ප්‍රමාණයක් අවස්ථා වලදී නඩු හබ වලට පටලෙන්නත් සමාගම් කිහිපයකට සිදුවුණා. මේ ලිපිය තුලින් අපි ඔබට කියන්නේ ලංකාවේ අපි බහුලව භාවිතා කරන ෆේස්බුක් වෙබ් අඩවිය මගින් ඔබට නොදන්වා සිදුකළ පර්යේෂණ කිහිපයක් ගැනයි.

1.  තෝරාගැනීම් සහ sharing පිලිබඳ පර්යේෂණය (2012)

2012 වසරේ මාස 2ක් පුරාවට සිදුකෙරුණු මේ පර්යේෂණයට පරිශීලකයින් මිලියනයකට අධික ප්‍රමාණයක් යොදාගත් බව කියවෙනවා. මෙහිදී ඔවුන් සිදුකළේ ෆේස්බුක් පිටු මගින් ලබාදෙන ආකාරයේ Facebook offers ලබාගන්නා පරිශීලකයින් කණ්ඩායම් දෙකකට වෙනකොට ඉන් එක් කණ්ඩායමක් offers ලබාගත් බව ඔවුන්ගේ අනුදැනුමකින් තොරව ස්වයංක්‍රියව share කිරීමයි. මෙමගින් ෆේස්බුක් සමාගමට සොයාගන්න හැකියාව ලැබෙනවා ඔබ යම්කිසි offer එකක් ලබාගත් බව පුවත් පෝෂකය (News Feed) තුල බෙදාගැනීමෙන් ඔබේ මිතුරන් එය ලබාගැනීමට පෙළඹීමේ හැකියාව වැඩි වන බව.

මේ පර්යේෂණය තුල ආන්දෝලනයට තුඩුදුන් කාරණාව වන්නේ පරිශීලකයන්ගේ අනුදැනුම නොමැතිව ස්වයංක්‍රීයව තොරතුරු share කිරීම. මේ හරහා පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට බරපතල හානි සිදුවුණු බවට ෆේස්බුක් සමාගම වෙත චෝදනා එල්ල වුණා.

2. ෆේස්බුක් මිතුරන් හරහා වෙළෙඳ දැන්වීම් නිර්දේශ කිරීම (2011)

ඔබේ මිතුරෙකු යම් සේවාවකට/ෆේස්බුක් පිටුවකට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කියැවෙන “John Doe and 105 others liked this” නැතිනම් “සිරිපාල සහ තවත් 105දෙනෙක් මෙයට කැමතියි” ආකාරයේ දැන්වීම් ඔබ ෆේස්බුක් තුළ බොහෝවිට දැකලා ඇති. මේ ආකාරයේ දැන්වීම ෆේස්බුක් වෙත එකතු වෙන්නේ පරිශීලකයින් මිලියන 29ක් යොදාගෙන කෙරුණු පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට. මේ පර්යේෂණය අවසානයේ ප්‍රත්‍යක්ෂ වුණා යම්කිසි පුද්ගයෙකුගේ මිතුරන්ගේ නම් සමග ඉදිරිපත් කරන දැන්වීම් වඩාත් සාර්ථක වන බව.

මේ පර්යේෂණය තුළ පරිශීලකයන්ගේ පුද්ගලික තොරතුරු භාවිතා නොකිරීම නිසා මේ  සම්බන්ධයෙන් නම් සැලකියයුතු මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණේ නැති නමුත් පසුකාලීනව, 2014 වසරේ ඇමරිකානු ජාතිකයෙක් ෆේස්බුක් සමාගමට විරුද්ධව නඩු පවරන්නේ තමන් කැමැත්ත ප්‍රකාශ නොකළ US Today පුවත්පතේ ෆේස්බුක් පිටුවට තමන් කැමැත්ත ප්‍රකාශ කළ බව කියවෙන දැන්වීම් තම මිතුරන්ට පෙනෙන්නට සැලැස්වීමේ චෝදනා මත.

මිතුරන්ගේ නම සහිත දැන්වීම්. (www.facebook.com)

3. ස්වයං-වාරණය පිලිබඳ අධ්‍යනය (2012)

පරිශීලකයන් මිලියන 3.9ක් යොදාගෙන සිදුකෙරුණු මේ පරීක්ෂණයේ අරමුණ වුණේ පරිශීලකයින් තමන්ගේ අදහස් කොතරම් දුරට තමා විසින් නිවැරදි කිරීම් හෝ වාරණය කිරීම් වලට ලක් කරනවාද යන්න සොයාබැලීමයි. මේ සඳහා ඔවුන් සිදුකළේ 2012 ජූලි මස දින 17ක් පුරාවට පරිශීලකයින් විසින් යතුරු ලියනය කළ නමුත් මිනිත්තු 10ක් ඇතුළත පළ නොකරන ලද කමෙන්ටු සහ ස්ටේටස් අප්ඩේට් කිරීම් විශ්ලේෂණය කිරීමයි.

පර්යේෂණය අවසානයේ ෆේස්බුක් සමාගමට සොයාගන්න හැකිවෙනවා 73% ක් පරිශීලකයින් තමන්ගේ අදහස් ස්වයං-වාරණයට ලක් කළ බව.

සාමාන්‍යයෙන් ෆේස්බුක් විසින් ලබාගන්නේ ඔබ විසින් පළකරන තොරතුරු පමණක් නමුත් මේ පර්යේෂණයේදී පරිශීලකයන් විසින් යම් හේතුවක් මත පළ නොකිරීමට තීරණය කළ කරුණුත් සටහන් කිරීම පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට සිදු වුණ විශාල හානියක්.

4. දේශපාලනය කෙරෙහි ඇතිකල හැකි බලපෑම් පිලිබඳ පර්යේෂණය (2010)

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට වක්‍රාකාරයෙන් බලපෑම් කළ බවට ෆේස්බුක් සමාගමට චෝදනා එල්ල වුණත් ඒ හා සම්බන්ධ පැහැදිළි සාක්ෂි සාධක හමුවුණේ නැහැ. නමුත් 2010 වසරේ ඇමරිකානු ප්‍රාන්ත කොන්ග්‍රස සහ සෙනෙට් සභිකයින් තෝරාගැනීම සඳහා වන මැතිවරණයට (Mid Term Election) ෆේස්බුක් සමාගම බලපෑම් එල කළේ වයස 18ට වැඩි ඇමරිකානු පරිශීලකයන් මිලියන 61ක් පමණ යොදාගෙන සිදුකළ පර්යේෂණයක් හරහා.

මේ පර්යේෂණයේ අරමුණ වුණේ ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කිරීමට දිරිමත් කිරීම සඳහා ෆේස්බුක් යොදාගත හැකිද යන්න සොයාබැලීම. මේ වෙනුවෙන් ඔවුන් පරිශීලකයන්ට හඳුන්වා දුන්නේ ඔවුන්ගේ මිතුරන්ගේ පුවත් පෝෂකයේ තමන් ඡන්දය ප්‍රකාශ කළ බව දිස්වෙන පහසුකමක් ( “I Voted” button ).

මෙහි ප්‍රතිඵලයත් පෙර සඳහන් කළ දැන්වීම් සම්බන්ධ පර්යේෂණයට සමානයි. තමන්ගේ මිතුරන් ඡන්දය ප්‍රකාශ කළ බව පුවත් පෝෂකය හරහා දුටු පරිශීලකයන් ඡන්දය පාවිච්චි කිරීමට වැඩි නැඹුරුවක් දක්වන බව සොයාගන්න ෆේස්බුක් සමාගමට හැකි වුණා.

මේ පර්යේෂණය ඇමරිකානු ඡන්ද කිහිපයකම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඉහල යන්න හේතු වුනත් අන්තර්ජාල පිලිබඳ නීති ක්ෂේත්‍රයේ විද්වතුන් කිහිපදෙනෙකුම ෆේස්බුක් සමාගමට චෝදනා එල්ල කළේ මේ පහසුකම හරහා තමන් කැමති අපේක්ෂකයන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පරිශීලකයන් දිරිමත් කිරීමට හැකියාව තිබෙන බව පවසමින්.

“I Voted” පහසුකම (leaktattle.com)

5. චිත්තවේගාත්මක වසංගතය – Emotional Contagion (2012)

ෆේස්බුක් ඉතිහාසයේ වඩාත්ම කතාබහට සහ ආන්දෝලනයට ලක්වුණු පර්යේෂණය වන මෙම පර්යේෂණයට යොදාගත් පිරිස ලක්ෂ හතකට මදක් අඩුයි. පර්යේෂණය පිලිබඳ තොරතුරු නිකුත් වෙන්නේ 2012 වසරේ නමුත් මෙය ඊට පෙර සිදුවුණ බව තමයි කියවෙන්නේ. මෙහිදී සිදුවුණේ තෝරාගත් පරිශීලකයන් කොටස් දෙකකට වෙන්කර ඉන් එක කොටසක පුවත් පෝෂකය තුළ වැඩි වශයෙන් සෘණාත්මක තොරතුරු පෙන්වීමත් දෙවැනි කොටසට අයත් පරිශීලකයන්ට ධනාත්මක තොරතුරු වැඩි වශයෙන් පෙන්වීමත්.

සතියක් පුරා සිදුකෙරුණු මේ පර්යේෂණය අවසානයේ තමන්ගේ පුවත් පෝෂකය තුළ ධනාත්මක තොරතුරු දුටු පරිශීලකයින් තමන් විසින් ධනාත්මක කරුණු පළ කරන්නටත් සෘණාත්මක තොරතුරු දුටු පරිශීලකයින් තමන් විසින් සෘණාත්මක කරුණු පළ කරන්නටත් වැඩි නැඹුරුවක් දක්වන බව, එනම් ධනාත්මක හෝ සෘණාත්මක සිතුවිලි වසංගතයකට සමාන ආකාරයෙන් පැතිර යන බව දක්නට ලැබුණා.

මේ පරීක්ෂණය පිලිබඳ නැගෙන ප්‍රධාන චෝදනාව තමයි පර්යේෂණය සඳහා යොදාගත් පරිශීලකයන්ගේ මානසික මට්ටම පිලිබඳ  සමාගම කිසිදු අවධානයක් යොමු නොකිරීම. විශේෂයෙන් මේ පර්යේෂණයේදී සෘණාත්මක තොරතුරු දර්ශනය වූ පරිශීලකයන් අතර විශාදය වැනි මානසික රෝගයකට ලක්වූ පුද්ගලයින් සිටියා නම් ඉන් ඇතිවියහැකි ප්‍රතිඵල ගැන අන්තර්ජාල පෞද්ගලිකත්වය පිලිබඳ ක්‍රියාකාරීන් රැසකගෙන් චෝදනා එල්ල වුණා.

මීට අමතරව මේ පර්යේෂණය කෙරෙන සමයේ ෆේස්බුක් සමාගම තුළ මෙවැනි පරීක්‍ෂණ සිදුකිරීමට පෙර ඒවායේ බලපෑම් පිලිබඳ ඇගයීම් සිදුකිරීමේ ක්‍රමවේදයක් නොතිබූ බවත් එහි විද්‍යාඥයින් හට හිතුමතේ පර්යේෂණ සිදුකිරීමේ හැකියාව තිබූ බවත් එවකට ෆේස්බුක් හි දත්ත විශ්ලේෂණ විද්යාඥයෙකුව සිටි Andrew Ledvina විසින් වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Jornal) පුවත්පතේ වාර්තාකරුවෙකුට පැවසීමත් සමග ෆේස්බුක් සමාගමට විරුද්ධව එල්ල වූ චෝදනා වඩාත් තීව්‍ර වුණා.

මේ පර්යේෂණ සදාචාරාත්මක නොවුනත් මේ වෙනුවෙන් ෆේස්බුක් සමාගමට විරුද්ධව සාර්ථක නීතිමය පියවරක් ගන්න කිසිවකු සමත් වූ බවට සඳහනක් නැහැ. ඊට හේතුව තමයි බොහෝ පරිශීලකයන් කියවීමෙන් තොරව එකඟත්වය ප්‍රකාශ කරන ෆේස්බුක් සමාගමේ කොන්දේසි (Terms & Conditions) සහ දත්ත ප්‍රතිපදාව (Data Policy) තුළ ඔවුන් මෙවැනි පර්යේෂණ සිදුකරන බව සඳහන් කොට තිබීම.

අන්තර්ජාලය හරහා නොමිලේ ලැබෙන සේවා වලට කැමැත්තක් දක්වන අපි බොහෝදෙනා නොසලකා හරින කාරණාවක් තමයි එම සේවා සපයන ආයතන මුදල් උපයන්නේ ඔවුන්ගේ පද්ධති තුල ඇති අපේ තොරතුරු ඉලක්කගත වෙළෙඳ ප්‍රචාරණය (Targeted Adverising)  සඳහා යොදාගැනීමෙන් බව. මේ ප්‍රචාරණ උපක්‍රම වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙවැනි පර්යේෂණ විවිධ සමාගම් මගින් නිරන්තරයෙන් සිදුකරන බව මතක තබා ගැනීම වගේම ඔවුන්ගේ කොන්දේසි, දත්ත සහ පෞද්ගලිකත්ව ප්‍රතිපදාවන් පිළිබඳවත් අවධානයෙන් සිටීම වඩාත් යහපත් අන්තර්ජාල සේවා භාවිතාවක් සඳහා උපකාරී වනු ඇති.

මූලාශ්‍ර: Business Insider, Forbes, The Atlantic, Facebook Data Policy

කවරයේ පින්තුරය: FileHippo News

Related Articles