අන්තර්ජාල ප්‍රවෘත්ති- පිළිගන්නට පෙර විමසා බලමු

කාක් පිහාටුවක්, කටකතා නිසා කපුටන් හත් දෙනෙක් වූ හැටි ගැන ජනප්‍රවාදයේ කතාවක් තිබේ. “ළිඳ ළඟ සංගමය”, “තෙල බෙදීම”, “කැලෑ පත්තර” යනු ග්‍රාමීය වහරට අයත් දේ වූවාට තාක්ෂණය හරහා තවමත් ජන්ම ගති පෙන්වන්නෝ මෙරට පමණක් නොව සෑම රටකම සිටිති.

එවන් පසුබිමක් යටතේ ෆේස්බුක් එකේ හෝ වෙනත් වෙබ් අඩවියක හෝ දකින යමක් හිස් මුදුනින් පිළිගැනීමට පෙර සොයා බලන්නැ යි ගුරුළුගෝමි 2005 දී තම ‘කරුවල ගෙදර’ කෘතියේ පටුනේ ලියා තිබේ.

එය ඔබගේ සිතුවිලි අවුස්සයි ද?

Clickbaits හෙවත් පාඨකයා රවටන මාතෘකා (verywellmind.com)

සිතුවිලි ඇවිස්සීම හොඳ, දක්ෂ මාධ්‍යවේදියකුගේ ලක්ෂණයකි. එහෙත් කූට මාධ්‍යකරණය ඉන් අයුතු ප්‍රයෝජන ලබමින් හැඟීම් විකුණාගෙන කයි. කිසියම් සිදුවීමකට අදාළ ප්‍රවෘත්තියක ඇති ඉතා සුළු දෙයක් හුවා දක්වමින් අවධානය ලබාගන්නා සේ මාතෘකාවට යොදාගැනීම හෙවත් සංවේදනවාදය (Sensationalism) යනු ජනමාධ්‍යකරණයේ දී යොදා ගන්නා රචනා උපක්‍රමයකි.

මේ ක්‍රමය පිළිබඳ ThoughtCo වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් A History of News (ප්‍රවෘත්තිවල ඉතිහාසය) කෘතියේ රචක ‘මිචල් ස්ටීවන්ස්’ පවසන්නේ; “ප්‍රවෘත්තියක් තුළ සංවේදනවාදය ඇති වීම වැළැක්විය නොහැකියි. ස්වාභාවික වරණවාදය (natural selection) නිසා මිනිසුන් වන අප ස්වභාවිකවම සැකසී ඇත්තේ උද්වේගකාරී දේවල්වලට, විශේෂයෙන් ලිංගිකත්වය හා ප්‍රචණ්ඩත්වයට සංවේදී වන ආකාරයට යි.” කියා යි. එනම්, සංවේදනවාදී පුවත්වලින් හැඟීම් අවුස්සා ගැනීම දියවැඩියාව ඇත්තෙක් දැන දැනම ටොපි චොක්ලට් කෑමක් වැනි යි.

තාක්ෂණික පුවත් කලාවේදී දකින්නට ලැබෙන අකටයුත්තක් නම්, සිදුවීමේ පසුබිම තාක්ෂණිකව පැහැදිලි කර දෙනවා වෙනුවට තාක්ෂණය වෙත බිය ඇති වන ආකාරයෙන් පුවත් ගොඩනැගීම යි. උදාහරණයක් ලෙස ටොරන්ට්, හැකිං වැනි බර වචන නොව, ‘අන්තර්ජාලය’ යන වචනය මහා භයානක දෙයකැ යි සමාජගත ව තිබේ. දෙයක භයානක බව තීරණය වන්නේ එය භාවිතා කරන ආකාරයට ය. John Wick පැන්සලකින් ගසා මිනී මරනවායැ යි කියා මුළු ලොවම පැන්සල් තහනම් කළහොත් දරුවන්ට අකුරු කරන්නට යමක් නැතිව යනු ඇත. ස්ටීවන්ස් කී පරිදිම තාක්ෂණික පුවත් මත ද ප්‍රචණ්ඩකාරීත්වය ආරෝපණය කර තිබේ.

එයට ඔබේ ප්‍රතිචාරය කුමක්ද? 

දුප්පත් බව ලොවින් තුරන් වේවා සිතා “බුදුසරණයි” කියා කමෙන්ට් කරන්න (quotemaster.org)

බිය ඇති කරවනසුලු, හිතාමතා කරන අසත්‍ය ප්‍රචාරයන්, සහ සංවේදනවාදී රචනාවන් පාඨකයාගේ විචක්ෂණශීලී බව වෙනුවට හැඟීම් උද්දීපනය කරවයි. එය කියවන විට සතුටක්, තරහක් හෝ ‍ඔබ සතු විශ්වාසයක් තහවුරු කළ බවක් දැනෙන බැවින් ඒ වෙනුවෙන් ඉතා ඉක්මන් පියවරක් ගත යුතු ය යන හැඟීම ඇති වෙයි. මේ නිසාම ඒ ගැන සොයා බැලීමට කාලයක් නොලැබෙයි.

සාමාන්‍ය ජීවිතයේ දී අංගෝ නැන්දාගේ පුවතකට වඩා ග්‍රාම සේවක ඉදිරිපත් කළ පුවත නිවැරදි බව පිළිගනිතත්, ෆේස්බුක් හෝ සමාජජාල යනු ද මේ සමාජයම තාක්ෂණය හරහා ගොඩනැගූවක් බව නොසිතන බැවින් පේජ් ඇඩ්මින්ලා දේවත්වයෙන් පිදෙයි. බස් එකේ දී හිඟන්නකුට බොරු ලෙඩ පෙන්වන්නෙකැ යි කියා මුදල් නොදෙන්නෙක් ෆේස්බුක් එකේ පළ වූ රෝගයට පත් බිළිඳියක් ගැන පෝස්ට් එකක් දැක වහ වහා ඊට මුදල් දෙයි.

හැඟීම් කුපිත කරවනසුලු පුවතක් දුටු වහා එය Share කිරීමත්, පුණ්‍ය කටයුත්තක් ‍හෝ දේශපාලන ව්‍යාපාරයකට මුදල් එකතු කිරීමක් දුටු වහා ඊට මුදල් දී ආඩම්බරයෙන් Share කිරීම මඟින් අසත්‍ය පුවතක්/ ජාවාරමක් වෙත අනුබල දීමක් සිදුවිය හැක. “හැකිතාක් Share කරන්න” හෝ “ඉක්මනින් 10 දෙනෙක්ට යවන්න” වැනි වැකිවලට හිස නොනැමිය යුත්තේ ‍එහෙයිනි. මින් අප අදහස් කරන්නේ කිසිදු පුවතක් තැකිය නොයුතු බව හෝ පුණ්‍ය කටයුතු නොකර සිටිය යුතු බව නොවේ.

Linkවල සහ ලිපිගොනුවල සත්‍යතාව සොයා බලන ආකාරය

සොයන්නාට සම්බ වේ (kxcdn.com)

කිසියම් පුවතක් ගැන සොයා බැලීමේ දී එහි දිනය සහ වේලාව පිළිබඳ අවධානය යොමු කරන්න. ෆේස්බුක්, ට්විටර් මෙන්ම පුවත් වෙබ් අඩවිවල පළ කළ දිනය දක්වනු ලබයි. ඇතැම් වෙබ් අඩවිවල URL එකෙන් දිනය දැකගත හැක. (උදා: example.com/2019/12/01/news-title…) මෙමඟින් විද්‍යාත්මක සොයාගැනීම් වැනි දෑ කාලයට උචිතදැ යි තහවුරු කරගත හැකි වේ.

පළ කළ ගිණුම පිළිබඳ අවධානය යොමු කරන්න. එය වෙත පිවිස ඊට පෙර පළ කර ඇති දේ අධ්‍යයනය කරන්න. පිළිගත් පුද්ගලයින්/ ආයතන සඳහා ෆේස්බුක් සහ ට්විටර් වෙතින් නිල් පැහැති ‘හරි ලකුණක්’ නම ඉදිරියෙන් දක්වයි. ට්විටරයේ පළවූවකැ යි Tweet එකක Screenshot එකක් ෆේස්බුක් එකෙහි දුටුවහොත් අදාළ ට්විටර් ගිණුම වෙත ගොස් එවැන්නක් සැබෑවටම ඇත්දැ යි තහවුරු කරගන්න.

බොහෝ රටවල රජයයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් ට්විටර් හරහා නිල පණිවිඩ නිකුත් කරන බැවින් එම ගිණුම් පරීක්ෂා කිරීම සාර්ථක ක්‍රමයකි. වෙබ් අඩවියක පසුබිම් පරීක්ෂාවට Alexa ranking භාවිතා කළ හැක. ඒ සඳහා alexa.com/siteinfo වෙත පිවිස වෙබ් ලිපිනය ඇතුළත් කරන්න. එසේම, විකිපීඩියාව යනු ද ඕනෑම කෙනෙක්ට කරුණු දැක්විය හැකි තැනක් නිසා (ආරක්ෂිත සහ විශ්වාස කළ හැකි මූලාශ්‍ර යෙදූ හොඳ ලිපි තිබේ. එහෙත් ඒ සියල්ලම නොවේ) Google ප්‍රතිඵලවල මුලටම පැමිණිය ද එය සහමුලින්ම විශ්වාස කළ යුතු නොවේ.

පුවත ඊට අදාළ ආයතනික වෙබ් අඩවියේ පළකොට ඇත්දැ යි බලන්න. රජයේ පුවත් පළ වන්නේ gov.lk යන ඩොමේන් සහිත වෙබ් අඩවිවල ය. ගැසට් පත්‍ර සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය documents.gov.lk හෝ පාර්ලිමේන්තු වෙබ් අඩවිය parliament.lk පරීක්ෂා කළ හැක.

සිදුවීමෙහි පසුබිම සොයා බලන ආකාරය

Google Newsstand වැනි Apps මඟින් පූර්ව සිදුවීම් දකින්නට Context බොත්තමක් ලබා දෙයි (digitaltrends.com)

කිසියම් ෆේස්බුක් පිටුවකින් හෝ වෙබ් අඩවියකින් පුවතක් දුටු විට එහි ඇති ප්‍රධාන වචන Google කිරීමෙන් වෙනත් දේශීය හා විදේශ පුවත් ආයතන එය වෙනත් ආකාරවලින් වාර්තා කර ඇති ආකාරය දැකගත හැකි වේ. ඔබ භාවිතා කළ keywords නිවැරදි නම් සහ අදාළ පුවත සම්බන්ධ කිසිවක් දැකගන්නට නොහැකි නම්, එහි අදහස එය බොරු ප්‍රචාරයක් බව විය හැක.

කිසිවෙක් මෙසේ කියා ඇතැ යි උපුටා දක්වා ඇත්නම් එම කොටස Google කරන්න. හොඳ පුවත් සේවාවන් මූලාශ්‍රයයන්, Link දක්වමින් එය පහසු කරනු ඇත. විශාල ප්‍රකාශයකින් කුඩා කො‍ටසක් උපුටා දැක්වීමේ දී ඇතැම්විට එහි අර්ථය වෙනස් විය හැක. මේ නිසා විශාල ප්‍රකාශය කැටි කොට දැක්වීම හොඳ රචකයකුගේ යුතුකමකි. එසේ නැති කල එය සොයාගැනීම පාඨකයාගේ ‘ෂර්ලොක් හෝම්ස්’භාවය යි.

ඡායාරූපයක් පළ කර ඇති විට එය images.google.com වෙත යොදා පරීක්ෂා කරන්න. පරිගණකයේ Chrome භාවිතා කරනවා නම් ඡායාරුව Right Click කර Search Google for image හරහාත්, දුරකතනයෙන් පිවිසෙනවා නම් ඡායාරුව Download කර, Google Images වෙත Upload කිරීමෙනුත් මෙය කළ හැකිය.

සමීක්ෂණ දත්ත දක්වා ඇති විට ඒ වෙත දත්ත රැස් කර ඇත්තේ කෙසේ ද, රැස් කරන ලද්දේ කවුරුන් විසින් ද, සහභාගී වී ඇත්තේ කවුරුන් ද, සහ කී දෙනෙක් ද යන්න පැහැදිලිව දක්වා තිබිය යුතු ය. එය අපැහැදිලි සෑම විටකම පාඨක ඔබට ගූග්ල් හි පිහිට පැතිය හැක.

අවධානය හිඟාකෑම විශ්වසනීයත්වය බිඳලයි

සුළු දෑ මහත් කොට කියන්නන් ගැන කාටූනයක් (theawkwardyeti.com)

‘කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු ය’ කියා ආප්තෝපදේශයක් තිබේ. අන්තර්ජාලයේ දකින සෑම දෙයක්ම සිහි නුවණින් විමසා ප්‍රතිචාර දැක්විය යුත්තේ එනිසා ය. පළ කර ඇති දේ සත්‍ය පුවතක් ද නැතහොත්, උපහාසාත්මක යමක් ද යන්න පරීක්ෂා කිරීමේ අයිතිය පාඨකයා සතු ය.

අන්තර්ජාලය තුළ සියල්ලෝම මාධ්‍යවේදීන් බවට පත්ව ඇති නිසාත්, මාධ්‍ය නිවේදන සහ මාධ්‍ය සාකච්ඡා ඕනෑම කෙනෙක්ට කළ හැකි වාතාවරණයක් බිහිව ඇති නිසාත්, ඇතැම් පුවත්පත් පවා මූලාශ්‍ර හා කරුණු නිසි පරිදි පරීක්ෂා නොකොට, අඟහරු මත ගඩොල් ගොඩක් ඇති බව නාසා ආයතනය ද උපුටාදක්වමින් පළ කරන සමයක ප්‍රසිද්ධ පුවත් ආයතනයක ඉදිරිපත් කිරීමක් පවා දෙවරක් සොයා බැලිය යුතු බව හොඳින් පිළිඹිබුව තිබේ.

‘කියවන්නා කෙසේ කියැවූවත්, ලියන්නා සිහි බුද්ධියෙන් ලිවිය යුතු ය’ යන්න රචකයකුගේ ශීර්ෂපාඨය විය යුතු ය. පාඨක අවධානය දිනාගැනීම වෙනුවෙන් ‘කොටියා කෑවෝ’ කියා දිනපතා අවධානය හිඟාකෑවොත් ඒ උපමා කථාවේ මෙන්ම දිනෙක ඇත්තටම කොටියා කෑ බව කීවත් පාඨකයන් විශ්වාස නොකරනු ඇත. Likes සහ Views වෙනුවෙන් එසේ හැසිරෙන්නන් මෙය කියවන බුද්ධිමත් පාඨකයන් විසින් ම බැහැර කරත්වා.

මූලාශ්‍රයයන්:

  • fair.org
  • theverge.com
  • thoughtco.com

කවරය: zenithpoliticallab.wordpress.com

Related Articles