Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉන්ස්ටග්‍රෑම් වෙත පැයක් දිග වීඩියෝ ගෙන එන IGTV

දැනට ඉන්ස්ටග්‍රෑම් Stories තත්පර 15කට සහ වීඩියෝ post එකක් තත්පර 60කට සීමා වෙනවා. එනිසා වැඩි කාල වේලාවක් නැරඹිය හැකි වීඩියෝ ලබා දෙන්නට මෙන්ම YouTube වෙත තරගයක් වන්නට ඉන්ස්ටග්‍රෑම්හි මව් සමාගම වන ෆේස්බුක් සමාගම දැන් නව ඇප් එකක් IGTV නමින් හඳුන්වා දෙනවා.

වෙළඳ දැන්වීම් නැති දිගු වීඩියෝ

hearstapps.com

ස්වාධීන ඇප් එකක් වශයෙන් ඉන්ස්ටග්‍රෑම්වලට අමතරව IGTV නමින් නිකුත් කරන ලද නවතම ඇප් එක එතෙක් සාම්ප්‍රදායක්ව පැවති කෙටි වීඩියෝ වලට සමු දෙමින් පැයක් දිගු වීඩියෝ පළ කළ හැකි සේවාවක් හඳුන්වා දෙනවා. ලොව පුරාම ගැටළුවක්ව තිබෙන මොබයිල් ඩේටා වියදම මෙන්ම දිගු කාලයක් දිවෙන වීඩියෝ කිහිපයක් වෙනුවට කුඩා-කුඩා වීඩියෝ රැසක් බැලීමට ඇති බහුතර කැමැත්ත Vine වැනි ඇප්ස්වලින් පැහැදිලි වුණා. (ඉන්ස්ටග්‍රෑම් සඳහා වීඩියෝ පහසුකම් ලැබීමත් සමඟ එය අභාවයට ගිය අතර දැන් Vine සේවාව නවත්වා තිබෙනවා.) එම පුරුද්ද 2014 වසර තරම් අතීතයට යද්දී අකුරු සහිත පෝස්ට්වලින් ඡායාරූපවලටත්, ඡායාරූපවලින් දැන් වැඩිපුර වීඩියෝ බලන්නටත් පරිශීලකයන් කැමැත්තක් දක්වනවා. ෆේස්බුක් ස්ටේටස් සඳහා අකුරු වෙනුවට පසුතලයක් (background) එකක් යොදන්නට ද විශේෂාංගයක් එක්වුණේ අකුරු පමණක් සහිත ඒවාට දැන් අඩුවෙන් අවධානය යොමුවන නිසාමයි.

එහි ඊළඟ අදියර වශයෙන් විනාඩියක් තරම් කෙටි වීඩියෝ වෙනුවට එය මඳක් ඉක්මවා ගිය කාල පරාසයක් සහිත වීඩියෝ බලන්නට ද පුරුද්දක් ඇති බව සමාජ ජාල සේවා අවබෝධ කරගෙන තිබෙනවා. ඒ අනුව පැයක් දක්වා දිගට කළ හැකි වීඩියෝවක සාමාන්‍ය කෙනෙක්ට තමන් ගිය චාරිකාවක විස්තර, විශේෂ අවස්ථාවන් වැනිදෑ මෙන්ම ආයතනවලට තමන්ගේ කථා මාලාවන්ගේ trailers, නළු නිළියන් සමඟ සම්මුඛ සාකච්ඡා, වාර්තා වැඩසටහන් වැනි දෑ පවා තමන්ගේ channel එක හරහා ඉදිරිපත් කරන්නට පුළුවන්. මේ නව ඇප් එක Android සහ iOS යන ප්‍රධාන මොබයිල් මෙහෙයුම් පද්ධති දෙක සඳහා ලබා දී තිබෙනවා. එහි ඇති විශේෂත්වය නම්, දැනට වෙළඳ දැන්වීම් නොමැති වීමයි.

ව්‍යාපාරික ආයතන දැනටම වැඩ පටන් අරන්

instagram.com

IGTV සේවාව නිකුත් වුණු වහාම වෙනත් රටවල ප්‍රධාන පෙළේ බොහෝ ව්‍යාපාරික ආයතන ඉන් තමන්ගේ channel සකසාගෙන පැයකට ආසන්න වීඩියෝ නිකුත් කර තිබෙනවා. ආහාර නිෂ්පාදන ආයතනයක් වන Chipotle එම මුල් වරට වීඩියෝ එක් කළ ආයතන අතර සිටිනවා. ඔවුන් ඉන්ස්ටග්‍රෑම්හි IGTV එළිදැක්වීම සිදුවද්දීම වාගේ තමන්ගේ සේවාවෙන් ලද හැකි නිෂ්පාදන පිළිබඳ දැක්වෙන වීඩියෝවක් පළ කළා. එහි තිබුණේ පුද්ගලයෙක් විසින් බෑගයකින් එම ආයතනයේ නිෂ්පාදනයන් එකින් එක එළියට ගන්නා ආකාරයේ විනාඩි 1:13ක තනි දර්ශනයක්. IGTV සතුව පැයක උපරිමයක් තිබුණද ඔවුන් එම සම්පූර්ණ කාලයම ඒ වෙත වැය කර නොතිබූ අතර දැනට එයට 10,000 ඉක්මවා views තිබෙනවා. ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ඔවුන් ලබන 15,000 සිට 50,000ක පමණ views වලට සාපේක්ෂව ඒ අගය නව ඇප් එකක් තුළින් ලැබිය හැකි හොඳ මට්ටමක්.

Netflix විසින් Riverdale, Friends වැනි tv series වල රඟපෑ Cole Sprouse රංගන ශිල්පියා යොදාගෙන පැයක් පුරා ඔහු බර්ගර් එකක් ආහාරයට ගන්නා වීඩියෝවක් එළි දැක්වූයේ ඉන්ස්ටග්‍රෑම්හි නව සේවාවට ගෞරව දැක්වීමක් වශයෙනුයි. මෙම වීඩියෝවට 837,000 ඉක්මවූ views දැනටම තිබෙන අතර comments ද 5700 ඉක්මවා තිබෙනවා. Nike සමාගමෙන් ලෝක පාපන්දු ශූරතාව මුල් කරගෙන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිටින වීඩියෝවක් පළ කළේ ඔහුගේ නිවස හැරදා ලිස්බන් නගරයට පැමිණ තම ජීවිතය ඇරඹූ හැටි සම්මුඛ සාකච්ඡාවක් ආකාරයට රූගත කරමින්. එය සිතට පැමිණි ඕනෑම දෙයක් කරන්න – Just do it – යන ඔවුන්ගේ tagline එක තේමා කරගෙන තිබුණා. එයටද මේ වන විට views 872,890 ඉක්මවා ලැබී තිබෙනවා.

ඕනෑම කෙනෙක්ට චැනල් එකක් සැකසිය හැකියි

Thambaru/Roar

ආයතන වලට පමණක් නොව, දැනටම ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් තියෙන ඔබට එය භාවිතයෙන් මෙම ඇප් එකට log වී එහි තමන්ගේ ම චැනල් එකක් ආරම්භ කරන්නට පුළුවන්. ඉන්ස්ටග්‍රෑම්හි පළ කරන Stories මෙය වෙත ද ලැබෙනවා. නමුත් විනාඩිය ඉක්මවා වීඩියෝවක් කරන්නට නම් IGTV ඇප් එකෙන් channel එකක් සකසා ගත යුතුයි.

මේ සඳහා IGTV ඇප් එක බාගත කරගෙන, log in වූ විට තමන්ගේ profile picture එක ඉදිරියෙන් ඇති දැති රෝද අයිකනය ටැප් කරන්න. එවිට Settings තිරය විවෘත වෙනවා. එහි ඉහළින්ම ඇති Channel යන්න යටතේ නිල් පැහැයෙන් Create Channel ලෙස ඇති මෙනු අයිතමය ටැප් කරන්න. එවිට ඔබේ නමින් IGTV සඳහා නව චැනලයක් සකසා ගෙන වීඩියෝ එක් කරන්නට පුළුවන්.

IGTVහි ඉදිරි අරමුණු

jdlasica.com

Instagram හි සහ-නිර්මාතෘ මයික් ක්‍රීගර් Refinery29 වෙත තම ආයතනයේ නව නිෂ්පාදනය පිළිබඳව අදහස් දක්වනවා. “අපි සාමාන්‍යයෙන් ඉන්ස්ටග්‍රෑම්වලට ඉදිරි මාස හය වෙනුවෙන් විශේෂාංග සැලසුම් කරනවා. ඒ කාලය ඇතුලත හිතපු හැමදේම කරන්න ලැබෙන්නේ නැහැ. ඒත් අඩු තරමේ ඉදිරි මාස ටිකේ අපි මොනවද කරන්නෙ කියන එක ගැන සැලසුමක් ලැබෙනවා. Stories වල වීඩියෝ බොහොම සාර්ථකව යන බව අපි දැක්කා. ඒත් ඒ වීඩියෝවලට සීමා පණවා තියෙනවා දකින්න කැමැත්තක් හිතුණේ නැහැ.” ඒ නිසා 2018 මුල්භාගය වෙනුවෙන් සීමා ලිහිල් කළ වීඩියෝ පළ කළ හැකි සේවාවක් අරඹන්නට ඔවුන් අදහස් කළා.

දෙසැම්බර් සඳහා සති දෙකක පමණ නිවාඩුවකින් පසුව කටයුතු ඇරඹූවත් සංවර්ධන කටයුතු ඇරඹී ඇත්තේ පෙබරවාරියේදීයි. IGTV නිර්මාණය සඳහා කටයුතු කළ මෘදුකාංග සංවර්ධකයන් අතර Stories විශේෂාංගය වෙනුවෙන් කටයුතු කළ අය ද බොහොමයක් සිටිනවා. මෙය එළිදක්වන්නට පෙර සිටම ඔවුන් සමාජ ජාල වෙත වීඩියෝ සකසන පුද්ගලයන් සහ ආයතන වෙත මෙම අදහස ගැන මූලික හැඳින්වීමක් ලබාදී ඊට සූදානම් කොට තිබෙනවා. එනිසා ඔවුන් එළිදක්වද්දීම හිස් feed එකක් වෙනුවට එය වීඩියෝවලින් පුරවා ගන්නට හැකියාව ලැබුණා.

YouTube වැනි වෙබ් අඩවි සඳහා වීඩියෝ සකසන්නන්ට IGTV ගැන පැවසූ විට ඔවුන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ “ආ! තවත් එකක්.” වැනි ඍණාත්මක අදහසක්. නමුත් ඉන්ස්ටග්‍රෑම් ආයතනය YouTube ම නොවී ඊට වඩා වෙනස් ආකාරයේ සේවාවක් ලබාදෙමින් නව රැල්ලක් ඇති කරන්නට බලාපොරොත්තු වන අතර ඒ වෙනුවෙන් අවකාශ සැකසීමට ද කටයුතු කරන බවයි මයික් පවසන්නේ.

හඳුන්වාදීමේ උත්සවයේදී වෙළඳ දැන්වීම් අඩංගු නොකරන බව ඔවුන් කී නමුත් වෙළඳ දැන්වීම් පසුකාලීනව දැමීමට අදහස් කරන බවට ඉඟි කළා. ඒ අනුව ඉන්ස්ටග්‍රෑම්වල මෙන්ම මෙහි මූලික අදියර සඳහා එනම්, ජනතාව අතර ප්‍රසිද්ධියක් ලබනතුරු ඔවුන් නිදහස් සේවාවක් ලබාදී අනතුරුව වෙළඳ දැන්වීම් ද අඩංගු කරනු ඇති බව පෙර අත්දැකීම් අනුව සිතන්නට පුළුවන්.

කවරයේ ඡායාරූපය: 1851franchise.com

Related Articles