Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iOS 11 ඇතුළු ඇපල් ලොව නවතම දේ රැගත් WWDC 2017හි හොඳ ම දේවල්

ඇපල් සමාගමේ වාර්ෂික මෘදුකාංග සංවර්ධක සමුළුව (WWDC) 2017 වසර සඳහා පසුගිය ජුනි පස් වැනිදා කැලිෆෝනියාවේදී පැවැත්වුණා. මෙතෙක් පැවති විශාලතම WWDC සමුළුව වූ එයට ලොව රටවල් 75ක මෘදුකාංග සංවර්ධකයන් සහ ඇපල් නිෂ්පාදන රසියකයන් සහභාගීවූ අතර මෙම අවස්ථාවට සමගාමීව සජීවි විකාශයක් අන්තර්ජාලය හරහා ද විකාශනය කෙරුණා. ඇපල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මහතා තම ආයතනයේ ඉදිරි පියවර සහ තම නිෂ්පාදනවල ඉදිරි ගමන පිළිබඳව ලොවට හඳුන්වා දෙන මහා සමුළුවේ ආරම්භය සනිටුහන් කළා. ලොව පුරා ඇපල් රසිකයන් පුල පුලා බලා සිටි මෙම අවස්ථාවේදී හඳුන්වාදුන් නවතම සහ සිත්ගන්නාසුළු දේවල් කිහිපයකුයි මේ.

ඇපල් iOS 11

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් WWDC17 හි දී iOS11 හඳුන්වා දෙමින් (TechCrunch)

WWDCහිදී මෙවර කියැවුණු හොඳ ම ප්‍රවෘත්තිය තමයි ඇපල්හි ජංගම මෙහෙයුම් පද්ධතියේ නවතම වෙළුම වන iOS 11හි ආගමනය. මෙහි දෘෂ්‍ය සැලසුම තදකුරු සහ දාර නොමැති බොත්තම් සමඟ සකසා ඇති අතර පහසුකම් රැසක් ද එක් කර තිබෙනවා. ඇපල්හි පරිගණක මෙහෙයුම් පද්ධතිය වන macOS Xහි ඇති Finder නම් යෙදුම ආකාරයේ Files නමින් නව ඇප් එකක් දුරකථනයේ හා Cloud ගිණුම්වල ඇති ගොනු එක ම ස්ථානයකින් දැක ගැනීම සඳහා හඳුන්වා දුන්නා. iPad සඳහා OS Xහි පහතින් ඇති app dock එකත් ලැබෙනවා. තිරය දෙපසට බෙදා ඇප්ස් දෙකක් එකවර භාවිතා කළ හැකි Split view එකේදී තවදුරටත් Copy-Paste කරමින් කරදර වන්නට දෙයක් නැහැ. එක් පසෙක Gallery එකත්, අනෙක් පස ඊමේල් හෝ මැසේජ් එකක් යවන ඇප් එකකුත් තිබෙනවා නම් ඊට පින්තූර ඇතුලත් කිරීම සඳහා ගැලරියෙන් ඡායාරූප Drag කරගෙන ඇවිත් ඒ මතට අතාරින්න පුළුවන්.

ඇපල්හි ශ්‍රව්‍ය සහායකයා වන Siriමතී දැන් සිරිපාල ලෙසින් පිරිමි කටහඬකින් ද පැමිණෙනවා. වඩාත් ස්වාභාවික හඬක් සමඟ යාන්ත්‍රික ඉගෙනීම ද වඩාත් දියුණු කරගෙන ඇති එය ඉංග්‍රීසි වලට සීමා නොවී වෙනත් භාෂා කථා කරන්නටත් ඉංග්‍රීසි බසින් ලබාදෙන වැකියක් දැනට චීන, ප්‍රංශ, ජර්මන්, ඉතාලි සහ ස්පාඤ්ඤ භාෂාවලට පරිවර්තනය කර දීමට ද සමර්ථ වෙනවා.

iOS11 සමඟ ලැබෙන නවමත Control Center අතුරුමුහුණත (macrumors.com)

Control Center වෙත විශාල අලුත්වැඩියාවක් ලබාදී එහි දෙවැනි වෙළුම හඳුන්වා දෙන iOS 11 එහි තිබූ ටැබ් ඉවත් කර තනි තිරයක් මතදී ඔබේ සිතැඟි පරිදි එහි ඇති දෑ වෙනස් කර ගන්නට අවස්ථාව සලසා තිබෙනවා. 3D ස්පර්ශනය ද භාවිත කරමින් වැඩි ක්‍රියාකාරීත්වයක් ඊට ලබාදී ඇති අතර උදාහරණයක් වශයෙන් ගීත ධාවකය 3D ස්පර්ශ කර ගීතයේ තොරතුරු ආදිය බලා ගත හැකි වෙනවා.

Apple Maps සඳහා ගුවන් තොටුපොළ, සාප්පු සංකීර්ණ සහ තෝරාගත් නගරවල අභ්‍යන්තර ව්‍යුහය බලාගත හැකි ආකාරයේ විශේෂාංගයක් ඇතුලත් කර තිබෙනවා. එසේ ම ඔබ රිය ධාවනය කරන අතරතුරදී Do Not Disturb mode එක ක්‍රියාත්මක කරන්නදැයි විමසා දුරකථනයට ලැබෙන දුරකථන ඇමතුම්, දැනුම්දීම් (Notifications) නිහඬ කරනු ලබන අතර ඔබව අමතන අයට ස්වයංක්‍රීයව ඔබ රිය ධාවනය කරමින් සිටිනවා යැයි ස්වයංක්‍රීයව පණිවිඩියක් යවන්නට ද එය සමර්ථ වෙනවා. එසේ ම හදිසි අවස්ථාවක් නම් ඔබට පණිවිඩ එවන අය “urgent” ලෙස සඳහන් කර එව්වොත් පමණක් එය ඔබට දැනුම්දීමට එය කටයුතු කරනවා.

වසර අවසාන කාර්තුවේදී iPhone 5S සහ ඉන් පසු නිකුතු, සියළුම iPad Air සහ iPad Pro උපාංග, iPad 5th generation, iPad mini 2 සහ එහි පසු නිකුතු මෙන් ම iPod Touch 6th gen උපාංග වලට ද iOS 11 පැමිණීමට නියමිතයි. ඔබට ඇපල්හි මුදල් ගෙවා ලබා ගත යුතු මෘදුකාංග සංවර්ධක ගිණුමක් තිබේ නම් දැන් මූලික බීටාව ස්ථාපනය කරගත හැකි අතර ජුලි මාසයේදී සියළු දෙනාට ම වර්ධිත බීටාව නොමිලේ අත්හදා බලන්නට අවස්ථාව ලැබෙනවා.

ගෙදරට HomePod

මේ වගේ ස්මාර්ට් ස්පීකරයක් ‘මීට කලින් දැකලා නැද්ද?’ (forbesimg.com)

නිවසේ මේසයක් මත තබා කටහඬ භාවිතයෙන් පාලනය කරමින් සින්දු ඇසීම, අන්තර්ජාල සෙවීම් ආදී දේ කරගත හැකි ස්මාර්ට් ස්පීකරයක් Amazon Echo ලෙස 2014දී ලොවට ලැබුණා. ඉන්පසු Google Home නමින් ගූගල් ආයතනය ද එය කොපි කළ අතර ඇපල් සමාගමත් වැඩේ අතෑරලා නැහැ. HomePod නමින් හඳුන්වාදුන් පළලින් අඟල් 4ක තරම් වූ මේ නැණවත් ශබ්ද විකාශකය ගීත ශ්‍රවණය ප්‍රධාන කොටගෙන නිපදවා තිබෙනවා. Siriගේ සහායෙන් ද යුතු මෙය එලාම්, සිහි කැඳවුම් වැනි මූලික පහසුකම් ද සමඟ හඳුන්වා දෙනු ලැබුවා.

ඇපල් Photos

Apple photos අතුරුමුහුණත (mshcdn.com)

නව යාවත්කාලීනයත් සමඟ Photos ඇප් එක මඟින් ඉහළ ඡායාරූප ගුණාත්මක භාවයක්, අඩු ආලෝක තත්ත්ව ඡායාරූප සඳහා වැඩි හැකියාවක් ලැබෙනවා. Memories ඇප් එක හරහා ද මෙම ඡායාරූප අත්විඳිය හැකි අතර යාන්ත්‍රික ඉගෙනුම නිසා ක්‍රීඩා අවස්ථා, මංගලෝත්සව වැනි දෑ සහිත ඡායාරූප හඳුනා ගන්නට ඊට හැකියාව තිබෙනවා.

WatchOS 4

WWDC17 හි දී ඇපල් ඔරලෝසු මෙහෙයුම් පද්ධතියේ නවතම වෙළුම හඳුන්වා දෙමින් (cbsistatic.com)

නව ඔරලෝසු මෙහෙයුම් පද්ධතිය Siri ඔබ දවස තුළ දැනගත යුතු කාලගුණ අනාවැකි, පුවත් වැනි දේවල් ලැයිස්තුගත කරන්නටත්, නව ඔරලෝසු මුහුණත් විශේෂයක් ලබාගන්නටත් මෙවර සමත්ව තිබෙනවා. ඒ අනුව, Live wallpapers ආකාරයේ චලනය වන පසුබිම් සහිත ඔරලෝසු මුහුණත් ඊට ලැබුණා. ශරීර සුවතාව වර්ධනය කර ගැනීම සඳහා ඉලක්කයන් ද දැන් iWatch එකෙන් ලැබෙන නිසා වඩාත් උද්‍යෝගයෙන් ඒවා පසුපස හඹා යන ගමන් ඇඟ අඩු කරගන්නටත් පුළුවන් වෙනවා. වෙනත් උපාංග හා සබැඳීම් සඳහා අවසානයේදී iWatch එකට Bluetooth ද ලැබෙනවා.

iMac, iMacPro සහ Macbook පරිගණක

සුපිරි ජවයකින් යුත් නවතම iMac Pro පරිගණකය (apple.com)

මෙවර නව නිෂ්පාදනයක් වශයෙන් iMac සඳහාත් Pro වෙළුමක් හඳුන්වා දුන්නා. Core 18ක Xeon ප්‍රොසෙසරයක් සහ Radeon Vega ග්‍රැෆික්ස් අඩංගු කොට 128GM RAM එකක් සහ 4TB SSD යොදා සුපිරි බලයකින් දෙසැම්බරයේදී වෙළඳපොළට පැමිණෙන්නේ $4,999ක හෙවත් රුපියල් ලක්ෂ 7.6ක පමණ සුපිරි මිලක් ද සහිතව යි.

2015න් පසු iMac සඳහා යාවත්කාලීනයක් මෙවර ලැබුණා. අඟල් 21.5 Retina 4K තිරය සහිත iMac එකක් අඟල් 21.5 සහ අඟල් 27 Retina 5K සමඟ ඌණපූර්ණය කරනු ලැබුවේ බිලියන 1ක වර්ණ පරාසයක් සමඟ පෙරටත් වඩා 43%ක ඉහළ තිර දීප්තියක් සමඟ යි. Radeon ග්‍රැෆික් කාඩ් එකකින් සමන්විත මේවායේ අඟල් 27 පරිගණකය විශේෂයෙන් VR සංවර්ධකයන්ට උචිත පරිදි බලගන්වා තිබෙනවා.

නවතම iMac මාදිලි (mshcdn.com)

iMac සහ Macbook පරිගණක වර්ග දෙවර්ගයට ම Intel සමාගමේ Core i7 7th gen Kaby Lake ප්‍රොසෙසර අඩංගු කර තිබීමෙන් ඉහළ වේගයක් ලැබුණා. මැක්බුක්වල බැටරි සහ පරිගණකයේ බර පෙර ප්‍රමාණයෙන් ම රැඳවුණු අතර Touch Bar රහිත අඟල් 13 මැක්බුක් ප්‍රෝ පරිගණකයේ මිල $1299 තෙක් පහත ලෑවා. මෙතැන් පටන් පරිසර හිතකාමී උපාංග වලින් තැනෙන Macbook පරිගණක පහසුවෙන් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ද හැකියි.

මේ තිබෙන විශේෂාංග සමහරවිට ඔබ වෙනත් සමාගම්වල නිෂ්පාදනවලත් දැක ඇති. මෙහෙම එක ම දේ හැම සමාගමක ම නිෂ්පාදන වලින් ලැබෙන එක ගැන ඔබ මොකද හිතන්නේ? Comment එකකින් ඒ ගැන කථා කරමු.

කවරයේ පින්තූරය: wired.com

මූලාශ්‍ර

  1. Apple නිල වෙබ් අඩවිය
  2. Mashable
  3. TechCrunch
  4. TechRadar

Related Articles