Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2017 වර්ෂයේ නොමිලේ වැඩි ම ඉඩකඩක් ලබාදෙන Cloud storage සේවාවන්

අපේ පරිගණකයේ තිබෙන දත්ත කොතරම් වටිනවා ද කියලා දෙයියන්ටවත් කිසිම අයිඩියා එකක් නැහැ. ඒ නිසා නිතර ම හාඩ් එක වැඩ නොකර යාවි ද, පරිගණකයට කිසියම් හානියක් වෙලා දත්ත හානි වේවි ද, වෛරස් ඇවිත් දත්ත මැකී යාවි ද ආදී වශයෙන් අපේ සිතට වධදෙන ප්‍රශ්න රැසක් තිබෙනවා. මේ සියල්ලට ම විසඳුම වෙන්නේ ඔබට හොඳ අන්තර්ජාල පහසුකම් තිබෙනවා නම් වළාකුළු පරිගණකකරණය (cloud computing) වෙත යොමුවීම යි. එවිට ඔබේ සියළු ගොනු අන්තර්ජාලයේ රැ‍ඳෙන නිසා පරිගණකයෙන් සැකසූ ගොනු ලොව කොහේ හිටියත් ඔබේ ටැබ් එකෙන්, දුරකථනයෙන් හෝ වෙනත් ම පරිගණකයකින් වුවත් දැකබලා ගන්නට, වෙනස් කරන්නට හෝ අන් අය හා බෙදා හදා ගන්නට අවස්ථාව ලැබෙනවා.

දත්ත කොතරම් වටිනවා වුණත් සල්ලි දීලා ඔන්ලයින් ස්ටෝරේජ් ගන්න නම් අපේ අතේ සතේ නැහැ. තිබුණත් විශ්වාස කරලා ගෙවීමක් කර අත්හදා බලන්නට තරම් අපේ දත්ත මෙන් ම දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි පාවා දෙන්නටත් අපිට හැකියාවක් නැහැ. මේ නිසා නොමිලේ ලබා දෙන සේවාවන්වල රැඳී සිටීම හෝ නොමිලේ අත්හදා බලා පසුකාලීනව ගෙවීමක් කොට සේවාව ලබා ගත හැකියි. අඩු මිලට වැඩි ඉඩකඩක් සහ දත්තවලට ආරක්ෂාවක් ලබා දෙන වඩාත් හොඳ සේවාවන් එවිට තෝරාගන්නට සිදු වෙනවා. මේ නිසා 2017 වර්ෂය සඳහා වළාකුළු ධාරිතාවන් ලබා දෙන හොඳ ම සහ වැඩි ම ඉඩකඩක් ලබාදෙන සේවාවන් ලැයිස්තුවක් ගෙන එන්නට අපි තීරණය කළා.

ගිගාබයිට් 50ක්: Mega.nz

nareshlamgade.com.np

සුවිසල් ගිගාබයිට් 50ක ධාරිතාවක් ලබාදෙන Mega සේවාව ඉතා විශාල ප්‍රමාණයේ දත්ත ගබඩා කිරීම සඳහා උචිත යි. සරලව Drag කර Drop කිරීමෙන් ගොනු උඩුගත කළ හැකි වෙබ් අතුරුමුහුණතක් මෙන් ම ඇන්ඩ්‍රොයිඩ්, iOS, වින්ඩෝස්, බ්‍රවුසර් දිගු පමණක් නොව ලිනක්ස් සහ මැක් සඳහා Mega cmd නමින් විධාන පෙළ (command line) වැඩසටහනක් වශයෙන් ද භාවිත කරන්නට පුළුවන්. වට්ස්ඇප්වල වගේ ම දෙඅන්ත ආකේතනය (End-to-End Encryption) මෙහි ද භාවිත වන නිසා තෙවන පාර්ශවයකට හෝ සේවාව සපයන එම ආයතනයටවත් අපේ ගොනුවල අන්තර්ගතය හෝ අඩු තරමේ ගොනු නාමයවත් බලන්නට බැහැ.

ආරක්ෂාව තවත් දැඩි කරලීමේ අරමුණින් Public key එකක් නොමැතිව පාස්වර්ඩ් එක අමතක වුවහොත් වෙනස් කරගැනීමට ද මෙහි අවස්ථාව සලසා නැහැ. එමෙන්ම ඔබේ ඊමේල් ගිණුම hack වුණත් password reset ලින්ක් එකක් ඊට ගෙන්වා ගන්නට මෙගා සේවාව ඉඩ නොදෙන නිසා ඔබේ දත්තවලට ඉහළ සුරක්ෂිත භාවයක් ලබා දෙන්නට ඔවුන් ඇප කැප වී සිටිනවා. ඔවුන්ගේ සේවාව සඳහා වූ සියලු කේත විවෘත කේත නිසා ඕනෑම කෙනෙක්ට එහි ආරක්ෂාවේ අඩුපාඩුවක් තිබේදැයි නිසැකව දැක බලාගන්නට හැකි අතර එ් නිසා විශ්වාසය තව තවත් තහවුරු වෙනවා. ඔවුන්ගේ GitHub පිටුවෙන් ඔබට කේතය දැකගත හැකියි.

ගිගාබයිට් 15ක්: ගූග්ල් ඩ්‍රයිව්

9to5google.com

ඊමේල්, ඊමේල් ඇමුණුම් (attachments) , ලිපි ගොනු, පැතුරුම්පත් (spreadsheet), ප්‍රදර්ශක (presentation) සහ අනෙකුත් සියලු ආකාරයේ ම ගොනු ගබඩා කරගන්නට සෑම Google හෝ GMail ගිණුමක් සමඟ ම ගිගා බයිට් 15ක් ලබා දී තිබෙනවා. අතීතයේ ඊමේල් සහ එම ඈඳුම් සඳහා පමණක් මෙම ඉඩකඩ ලබාදී තිබුණත් 2012 අප්‍රේල් 24 දින ගූග්ල් ඩ්‍රයිව් සේවාව හඳුන්වාදීමත් සමඟ අපිට ඕනෑම ආකාරයේ ගොනුවක් ගබඩා කරන්නට එම ඉඩකඩ භාවිත කරන්නට අවස්ථාව ලැබුණා.

ගූග්ල් ඩ්‍රයිව් එකට සමගාමීව ගූග්ල් ඔෆිස් පැකේජයක් ද (ගූග්ල් ඩොක්ස්, ශීට්ස් හා ස්ලයිඩ්ස් අැතුළත්) තිබෙන නිසා පරිගණකයේ බ්‍රවුසරයක් හැර වෙනත් කිසිදු මෘදුකාංගයක් ස්ථාපනය නොකොට වුවත් අන්තර්ජාලය හරහා ම සියළු කාර්යාල ගොනු නිපැයීමට, නඩත්තු කිරීමට සහ අන් අය සමඟ බෙදාහදා ගෙන සජීවීව ලිපි කටයුතු කිරීමටත් එය අවස්ථාව සලසා දෙනවා. ඇන්ඩ්‍රොයිඩ් සඳහා පෙරනිමියෙන් (default) මෙම ඇප්ස් පැමිණෙන නිසා වැඩි දෙනෙක් නිතැතින් ම ඊට යොමු වෙනවා. Drag-n-Drop කිරීමෙන් ගොනු උඩුගත කළ හැකි වෙබ් අතුරුමුහුණත මෙන් ම පරිගණකයේ ගොනු බැකප් කිරීම සඳහා ස්ථාපනය කරගත හැකි මෘදුකාංගයක් ද වින්ඩෝස් සහ මැක් මෙහෙයුම් පද්ධති සඳහා ලබාදී තිබෙනවා.

ගූග්ල් ඩොක්ස් හරහා ඩ්‍රයිව් එක මත අලුතින් සකසන ගොනු සඳහා ටෙරාබයිට් 1ක් යනතෙක් ඩ්‍රයිව් එකේ ඉඩ භාවිතා නොවන අතර ඡායාරූප 16MP වනතුරු සහ වීඩියෝ 1080p තරම් ඉහළ ගුණාත්මක භාවයකින් මෙම ගිගාබයිට් පහළොවේ කිසිදු ඉඩක් භාවිතා නොවී උඩුගත කොට තබා ගන්නට Google Photos සේවාව භාවිතා කරන්නට පුළුවන්.

ගිගාබයිට් 10ක්: Box

box.com

දැනට ටික කාලයක සිට කරළියේ ඉන්නා Box සේවාව දැන් වෙබ් අඩවියට පැමිණෙන පරිශීලකයන්ව මිලදී ගත හැකි පැකේජ වෙත තල්ලු කරන්නට උත්සාහ ගත්තත් නොමිලේ ගිගාබයිට් 10ක ධාරිතාවයක් සහිතව මෙම සේවාව හරහා ලබාගත හැකි Individual Free පැකේජයක් තිබෙනවා. ගෙවීමට ඇති පැකේජයන්ගෙන් අඩු ම එක සඳහා $6කට (අද රුපියල් නවසියයක් පමණ) ගිගාබයිට් 100ක් ලබාගත හැකියි. මෙම සේවාවේ උඩුගත කිරීමේ සීමාවන් පනවා ඇති අතර නොමිලේ ලබා දී ඇති පැකේජය සඳහා මෙගාබයිට් 250ක upload limit එකක් තිබෙනවා.

වෙබ් බ්‍රවුසරය හරහා මෙන් ම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ද ගොනු සංසරණය සඳහා ලබාදී තිබෙන නමුත් ඇප් එක ගැන ප්ලේ ස්ටෝර් එකේ තිබෙන ප්‍රතිචාරයන් නම් එතරම් සුබදායී බවක් පෙනෙන්නට නැහැ.

ගිගාබයිට් 5ක්: One Drive, iDrive

One Drive

winsupersite.com

මයික්‍රොසොෆ්ට් සමාගමේ ලයිව්, අවුට්ලුක්, හොට්මේල් ඊමේල් සේවාවන්ට සමගාමීව දිවෙන මෙම වන් ඩ්‍රයිව් සේවාව මීට පෙර ස්කයි ඩ්‍රයිව් ලෙසයි හැඳින්වුණේ. ගිගාබයිට් පහක් දක්වා කිසිදු උඩුගත කිරීමේ සීමාවකින් තොරව සේවා පහසුකම් සපයා ඇති මෙය වින්ඩෝස් 10හි පෙරනිමි මෘදුකාංගයෙක් වශයෙන් File explorer එකට අනුබද්ධව පැමිණෙනවා. ඒ හරහා ඔබේ දත්ත ස්වයංක්‍රීයව බැකප් කිරීමට එය දායක වෙනවා. ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් සඳහා ද මෙහි ඇප්ස් සපයා තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය මිලදී ගැනීමකින් තොරව මේ හරහා බ්‍රවුසරය තුළින් ම භාවිතා කිරීමේ අවස්ථාව ලැබෙන අතර ගූග්ල් ඩොක්ස්වල මෙන් ම කිහිප දෙනෙක්ට එකවර එක ම ගොනුව සංස්කරණය කරන්නටත්, අන් අය කරන වෙනස්කම් සජීවීව බලා සිටින්නටත් එහි අවස්ථාව සලසා දී තිබෙනවා. මුලින් ලැබෙන ගිගාබයිට් 5ට අමතරව එය යහළුවන් සමඟ බෙදා ගන්නට ඔවුන් ලබාදෙන referral link එක හරහා අලුතින් එක්වන සාමාජිකයන් වෙනුවෙන් දෙපාර්ශවයට ම 500MB බැගින් ලැබෙන නිසා 10GB තෙක් ධාරිතාව තවත් ඉහළ නංවා ගන්නට ඔබට අවස්ථාව තිබෙනවා.

මීට අමතරව microsoft සමාගම සමග ඇතිකරගන්නා ලද ගිවිසුමක ප්‍රතිඵලයක් විදිහට samsung සමාගමේ අැතැම් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන මිලදී ගැනීමේදී වසර දෙකක් සඳහා නොමිලේ 100GB ක Cloud ධාරිතාවක් ලබාගැනීමටද වන් ඩ්‍රයිව් තුළින් ඉඩ සැලසෙනවා.

IDrive

ytimg.com

ඔබේ පරිගණකයේ මෙන් ම ජාලගත පරිගණකවල ද ඇති දත්ත පහසුවෙන් උඩුගත කරන්නට සහ සිදුවන වෙනස්කම් අනුව sync කරගන්නට IDrive උපකාරී වෙනවා. වෙබ් අතුරුමුහුණත හරහා එම ගොනු email, Facebook සහ Twitter හරහා බෙදාහදා ගැනීමට ද අවස්ථාව තිබෙන අතර අනෙකුත් සේවාවන් මෙන් නොව පරිගණකයෙන් ගොනුවක් මකා දැමුණු විට එය cloud අවකාශයෙන් ද මකා නොදමා සුරක්ෂිතව තබා ගැනීමට ඊට හැකියාව තිබෙනවා.

මොවුන් සතුව IDrive Express නමින් ගෙවා ලබා ගත හැකි සේවාවක් ද ඇති අතර එමඟින් ඔබේ පරිගණකයේ දත්ත නැතිව ගිය බව ඔවුන්ට දැනුම් දුන් විට එම දත්ත අඩංගු කොට සත්‍ය හාඩ් ඩිස්කයක් ඔබේ නිවසට ම තැපැල් කරන්නට ඔවුන් කටයුතු කරනවා. සාමාන්‍ය ගිණුම් වලට ගිගාබයිට් 5ක් නොමිලේ ලැබෙන අතර වසරකට රුපියල් අටදහසක් පමණ ගෙවා ටෙරාබයිට් එකක ධාරිතාවයක් ලබා ගන්නට ද පුළුවන්.

ඉතින් නොමිලේම ලැබෙන මෙවැනි ගිණුම්වල ඔබේ අත්‍යවශ්‍යම දත්තත් ගබඩා කර තැබුවොත් කවදාහරි පරිගණකයට හානියක් වුණොත් හරි, සමහරවිට හොර හතුරෙක් අරන් ගියොත් හරි එම දත්ත නැති නොවී තබා ගන්නට එය ලොකු උපකාරයක් වේවි.

කවරයේ ඡායාරූපය: bestcloudstorage.net

Related Articles