Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බැටරි බලයෙන් “දුම්” උරන e-සිගරට්වල හොඳ නරක

ලෝකයේ මගහරවා ගත හැකි දෙයක් දිගටම සිදුකිරීම නිසා වැඩිම පිරිසක් මිය යන්නේ දුම් බීම හරහා යි. දුම් බීමේ ආදීනව ගැන, එයින් සිදුවන හානිය ගැන පෙන්වා දෙන සාක්ෂ්‍ය ඕන තරම්. කොහොම වුණත් සැලකිය යුතු පිරිසක් දුම් පානයට හුරු වී සිටීම ලෝකය පුරා ම දකින්න ලැබෙනවා. දුම් වැටිවල තිබෙන නිකොටීන් ලොව ඉහළම ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් තිබෙන සංඝටකය යි. මේ දුම් පානය අධෛර්යමත් කරන්න මොන තරම් දේවල් කරත් එයින් මිදෙන්න බැරි හෝ මිදෙන්නේ නැති විශාල පිරිසක් සිටිනවා.

frontiersin.org

දැනටමත් දුම් පානය කරන, නමුත් එයින් මිදෙන්න කැමති අයට එයට ආදේශක විදිහට භාවිතයට ගන්න විවිධ ක්‍රම තිබෙනවා. ඒ අතරින් මෑත කාලයේ වැඩි ම ජනප්‍රියත්වයකට පත් වුණු දෙයක් තමයි e-සිගරට්. දුම් පානයට වඩා සෞඛ්‍යයට හිතකර ආදේශකයක් විදිහට ප්‍රචාරණයට ලක් කෙරෙන මේවායේ හොඳ වගේ ම නරකත් නැතිව නෙවෙයි.

E සිගරට් එකක් කියන්නේ මොකක්ද?

E-සිගරට් එකක් කියන්නේ බොහෝ විට නිකොටීන් අඩංගු වන යම් ද්‍රාවණයක් වාෂ්ප කරලා එය ආඝ්‍රාණය කරන්න ඉඩ සලසන උපාංගයක්. මේ වැඩේ සාර්ථක ව සිදුකරන්න e-සිගරට් එකක් තුළ උපාංග කිහිපයක් ම තිබෙනවා.

මුලින්ම තිබෙන්නේ ද්‍රාවණය අඩංගු වන කොටස යි. කුඩා ප්ලාස්ටික් කුටීරයක් මේ සඳහා යොදාගැනෙනවා. මෙම කොටසට අලුතෙන් දියරය පුරවන්නට හෝ එම කොටස ගලවා නැවත එවැන්නක් සවි කරන්නට බොහෝ විට අවස්ථාව සලසා තිබෙනවා.

e-සිගරට්වලට යොදාගන්නා ද්‍රාවණ (vapekingdubai.com)

ඉන්පසු ව තිබෙන්නේ තාපන අවයවය යි. ද්‍රාවණයේ බහා ඇති මෙය රත් වීමේ දී අදාළ ද්‍රාවණයත් රත් වී වාෂ්ප බවට හැරවෙනවා. මෙයට ශක්තිය සපයන්නේ කුඩා බැටරියක් මගින්. තාපන අවයවයට නිසි ලෙස විදුලිය සැපයීමටත්, බැටරිය නිවැරදි ව ආරෝපණය කිරීමටත් කුඩා ඉලෙක්ට්‍රොනික් පරිපථයකුත් තිබෙනවා.

අවසාන වශයෙන් තිබෙන්නේ මුවේ රුවන කොටසයි. කුඩා බටයක් වැනි මෙය කටට තබා උරන විට පීඩන වෙනස හරහා ඒ බව හඳුනාගන්න සමත් කුඩා සංවේදකයක් මේ තුළ තිබෙනවා. එම සංවේදකය තමයි ඉලෙක්ට්‍රොනික පරිපථය ක්‍රියාත්මක කරවා ද්‍රාවණය වාෂ්ප වීමට සලස්වන්නේ. මේ නිසා දුම් වැටියක් මෙන්ම උරන විට එම වාෂ්පය සමග නිකොටීන් ශරීර ගත වෙනවා.

සිගරට් එකක, පෑනක, පයිප්පයක හෝ වෙනත් සුදුසු හැඩයකට නිර්මාණය කර ඇති, මේ සියල්ලම අඩංගු උපාංගයක් තමයි e-සිගරට් එකක් ලෙස පොදුවේ හැඳින්වෙන්නේ.

E-සිගරට් සහ සාමාන්‍ය දුම්වැටි අතර ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්

සාමාන්‍ය දුම්වැටියකට ශක්තිය සැපයෙන්නේ දහනයෙන් (premiumclean.co.uk)

සාමාන්‍ය දුම්වැටියක ප්‍රධානතම අරමුණ වෙන්නේ දුම් පානය කරන්නාට දුම් වැටියේ අඩංගු නිකොටීන් ශරීරගත කරවීම යි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දුම්කොළත්, රසය, හා සුවඳ වෙනස් කරන්න අවශ්‍ය අතිරේක දේත් සිහින් ව අඹරා කඩදාසි රෝලක් තුළ තබා තිබෙනවා. දුම් වැටිය දැල්වීමේ දී සිදුවන්නේ වාතය දුම්කොළ සහ කඩදාසිය දහනයෙන් ලැබෙන තාප ශක්තිය පාවිච්චි කරලා නිකොටීන් ඇතුළු අනෙක් සංඝටක වාෂ්ප කිරීම යි. මේ වාෂ්පය සිගරට් දුම විදිහට ෆිල්ටරයක් තිබෙනවා නම් එය හරහා යම් ප්‍රමාණයකින් පෙරී පිටතට ඇවිත් පෙනහළු තුළින් ඔක්සිජන් වායුව වගේ ම රුධිරයට ඇතුළු වෙනවා. දුම් වැටියක් ඉරීමෙන් ලබන තෘප්තියට ප්‍රධාන හේතුව වන්නේ මේ විදිහට නිකොටීන් රුධිරගත වීම යි.

E-සිගරට් එකක ප්‍රධාන අරමුණත් දුම් වැටියකට බොහෝ දුරට සමාන යි. මෙහිදීත් බොහෝ විට සිදු කෙරෙන්නේ නිකොටීන් වාෂ්පය රුධිරගත කිරීම මගින් දුම් වැටියකට සමාන තෘප්තියක් ලබාදීම යි. දුම්කොළ සහ කඩදාසි දහනයෙන් තාප ශක්තිය ලබාගන්නවා වෙනුවට බැටරියකින් තාප ශක්තිය ලබාගැනීම තමයි ප්‍රධානතම වෙනස. දුම් වැටියේ නිකොටීන් ප්‍රවාහක මාධ්‍යය වන දුම වෙනුවට e-සිගරට් එකක දී නිකොටීන් මිශ්‍ර කර ඇති ද්‍රවයක වාෂ්පය වාහකයක් විදිහට භාවිත වෙනවා.

දුම් පයිප්පයක් හා e-සිගරට් එකක් අතර සමානකම් බොහොමයි (hiconsumption.com)

ඒ අනුව සාමාන්‍ය දුම්වැටියක් පාවිච්චි කළ හැක්කේ එකවරක් පමණක් වුවත් e-සිගරට් එකකට අදාළ ද්‍රවය පිරවීම සහ බැටරිය චාජ් කිරීම මගින් එය නැවත නැවත භාවිතයට හැකියාව ලැබෙනවා. මේ නිසා ක්‍රියාකාරීත්වය අතින් e-සිගරට් එකක් වඩාත් සමාන වෙන්නේ නැවත නැවත දුම්කොළ පුරවා භාවිත කරන දුම් පයිප්පයකට යි.

දුම් බීම වෙනුවට සෞඛ්‍යයට හිතකර ආදේශකයක්?

දුම් පානයේ (දුම් පානය කියන එකට සිගරට්, සුරුට්ටු, පයිප්ප ඇතුළු දුම් උරන ක්‍රම සියල්ලම ඇතුළත්) තිබෙන හානිකර බව ගැන නිතරම තොරතුරු පළ වුණත් දුම් පානය කියන පුරුද්දෙන් මිදෙන්න තියෙන අපහසුව නිසා එය දිගටම සිදුකරන, නමුත් හැකි නම් එය නවත්වා ගන්න කැමති පිරිසක් සිටිනවා. E-සිගරට්වල මුඛ්‍ය අරමුණ වුණේ මේ පිරිසට දුම් පානයෙන් ලැබෙන තෘප්තියම ලබාගන්න පුළුවන්, නමුත් එයට වඩා සෞඛ්‍යයට හිතකර ක්‍රමයක් සොයාදීම යි.

සිගරට්ටුවක අඩංගු විෂ සහිත රසායනික (quitsmokingforyourself.blogspot.com)

දුම් වැටියක අඩංගු විවිධ රසායනික 4000කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවත්, ඒවා තාපය හමුවේ වියෝජනය වෙද්දී ප්‍රබල පිළිකාකාරක බවට පත් වන බවත් ඔබ දැනටමත් දන්නවා ඇති. මේ නිසා දුම්වැටියක් දැල්වීම නිකොටීන් රුධිරගත කරගැනීමට තිබෙන ඉතා ම අහිතකර ක්‍රමයක්. නමුත් සිරුරට වැඩි හානියක් නැති ප්‍රොපිලීන් ග්ලයිකොල් සහ ග්ලිසරීන් මාධ්‍යයක නිකොටීන් දිය කර සාදා ඇති ද්‍රාවණයක් උණුසුම මගින් වාෂ්ප වෙන්නට හැරීමෙන් පසු ව එම වාෂ්පය ආඝ්‍රාණය සාපේක්ෂ ව වඩා හිතකර ක්‍රමයක් බව පිළිගන්න පුළුවන්.

ඒ වගේ ම මෙම ද්‍රාවණයන් නිකොටීන් සාන්ද්‍රණය අඩු වැඩි කරමින් නිෂ්පාදනය කරන්න හැකි වීමත් වාසියක්. දුම් බොන්න පුරුදු වී සිටින කෙනෙකුට නිකොටීන් සාන්ද්‍රණය ඉහළ ද්‍රාවණයකින් පටන් අරන් සාන්ද්‍රණය අඩුම ද්‍රාවණයක් දක්වා ක්‍රම ක්‍රමයෙන් අඩු කරගන්න අවස්ථාවක් කියලත් e-සිගරට් අලෙවිකරණය සිදුවෙනවා.

මීට අමතර ව සැර දුමක් පිට නොවීම නිසා අවට අයට අපහසුවක් නැති වීම, ඕනෑම අවස්ථාවක පාවිච්චි කළ හැකි වීම, බොහෝ රටවල බදු අය කිරීම් අවම නිසා මිල අතින් වාසිදායක වීම (සමාන කාලයක් දුම් බීමට යන වියදමට සාපේක්ෂව), විවිධ රසයන්වලින් ලබාගත හැකි වීම, කටේ දුගඳක් ඉතිරි නොවීම, අලුත් තාක්ෂණයක් භාවිත කරන බවට කැපී පෙනීමේ හැකියාව ආදිය e-සිගරට්වල තවත් වාසි විදිහට සැලකෙනවා.

e-සිගරට්වල බලපෑම

ජනප්‍රියම e-සිගරට් වර්ගය – JUUL (thesun.co.uk)

E-සිගරට් සාමාන්‍ය දුම්වැටිවලට වඩා හොඳ බවත්, එය දුම්පානය නවත්වා ගන්න ආදේශකයක් බව කියවුණත්, ප්‍රායෝගික ව මේවායේ ඇත්ත නැත්ත ගැන යම් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා.

මේ අතරින් ප්‍රධාන වන්නේ නිකොටීන් ශරීරගත වීම යි. ලොව ඇබ්බැහි වීමේ ප්‍රවණතාව ඉහළම සංඝටකය වන නිකොටීන් සෞඛ්‍යයට ඉතාම හානිකරයි. නිකොටීන් රහිත ද්‍රාවණ තිබුණත් ඒවා භාවිතය ඉතාම අඩුයි වගේ ම සෞඛ්‍යයට හානියක් නැහැ කියා සිතමින් එවන් e-සිගරට් පානයට බාල වයස්කරුවන් හුරු වීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා. දුම් පානය නවත්වා ගන්න ආදේශකයක් කිව්වත් ප්‍රායෝගික ව e-සිගරට් භාවිත කරන අය දුම් පානයෙන් සම්පූර්ණයෙන් ම මිදෙන්නේ නැති බවත් දකින්න ලැබෙනවා. මුලින්ම e-සිගරට් භාවිතයෙන් ආරම්භ කරන අය පසු ව දුම් පානයටත් හුරු වීමේ ප්‍රතිශතයත් ඉතාම ඉහළ යි. දුම් පානයෙන් අත් මිඳෙන්න තිබෙන වඩා හොඳ ක්‍රම භාවිතයෙන් පුද්ගලයන් ඈත් වීමත් e-සිගරට් නිසා ඇති වී තිබෙන තවත් නරක ප්‍රවණතාවක්.

e-සිගරට් නිසා දුම් බීමටත් හුරු වීමේ අවදානමක් තිබෙනවා (rferl.org)

E-සිගරට්වල ද්‍රාවණයට යොදන විවිධ රසකාරක වර්ග වියෝජනයෙනුත් පිළිකාකාරක නිකුත් වෙන බව සොයාගෙන තිබෙන නිසා අසල සිටින අයටත් මෙය 100%ක් ම සෞඛ්‍යාරක්ෂිත යි කියන්න බැහැ. දුම නිසා අසලින් ඉවත් වන පිරිස් පවා ළඟට ම වී සිටීමෙන් මෙය සිගරට් දුමටත් වඩා අහිතකර ලෙස බලපෑ හැකි බවටත් තර්කයක් තිබෙනවා. එන්න එන්නම නිකොටීන් සාන්ද්‍රණය අඩු ද්‍රාවණ භාවිත කරන්න පුළුවන් කියා කිව්වත් බොහෝ විට සිදුවන්නේ තවත් සාන්ද්‍ර ද්‍රාවණවලට හුරු වීම බවත් දකින්න පුළුවන්. අධි සාන්ද්‍ර ද්‍රාවණවලට දැනටමත් විශාල වෙළඳපොළක් නිර්මාණය වෙලා.

මේ සියල්ලම නිසා e-සිගරට් භාවිතයේ හානිය දුම් පානයට වඩා තරමක් අඩු වුණත් එය කිසිසේත් ම සම්පූර්ණයෙන් ම සෞඛ්‍යාරක්ෂිත නැති බව නම් ඉතාම පැහැදිලියි. තවමත් දිගුකාලීන පර්යේෂණ සිදුකර නොමැති නිසා මේවා ගැන නිශ්චිතව ම ප්‍රකාශ කරන්න බැහැ. නමුත් e-සිගරට්වල සෞඛ්‍යාරක්ෂිත බව ගැන සාධාරණ සැකයක් තබා ගැනීමත්, හැකි නම් එයට හුරු නොවී සිටීමත් වඩා සුදුසු වේවි.

කවරයේ රූපය : time.com

Related Articles