Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැමරාවෙන්ම Blur කරන්න ICM ක්‍රමය ඉගෙන ගමු

ෆොටෝ එකක් අරගෙන ඒක Photoshopවලින් Edit කරනවා වෙනුවට කැමරාවෙන්ම, ඡායාරූපය ගන්නා අතරතුරේ දීම ඒ දේවල් කරන්න පුළුවන්. ඒකෙන් වෙලාව ඉතිරි වෙනවා වගේම, අලුත් දෙයක් අත්හදා බැලීමෙන් ලබන සතුට ඊටත් වඩා වැඩියි. විශේෂයෙන්, ප්‍රසිද්ධ ස්ථානවල ඡායාරූප හැම කෙනෙක්ම අරගෙන අන්තර්ජාලයේ බෙදාගත්තාම ඒවායේ කිසිම වෙනසක් නැහැ. එහෙම ඡායාරූපයකින් තමන්ගේ අනන්‍යතාවය, දක්ෂතාවන් පෙන්වන්න අමාරු යි. ඒ වගේ වෙලාවක ඔබ ඉගෙනගත්තු trick එකකින් ඡායාරූපයට නවමු පෙනුමක් ලබාදෙන්න පුළුවන් නම් ඔබ දිනුම්.

අද අපි ඉගෙන ගන්න යන්නේ ICM ක්‍රමය පාවිච්චි කරලා ඡායාරූපවලට Blur effect එක ලබාදෙන ආකාරය යි.

මොකක්ද ICM කියන්නේ?

ICM ක්‍රමශිල්පය වැඩිදියුණු කිරීමට සැකසූ ඇටවුමක් (bhphotovideo.com)

Intentional Camera Movement (ICM) හෙවත් ‘චේතනීය කැමරා චලන ක්‍රමය’ ලෙස අදහස් වෙන්නේ Exposure එක අතරතුරේ ඡායාරූපයට නිර්මාණශීලී බවක් හෝ කලාත්මක බවක් එක් කිරීමට අවශ්‍යතාවයෙන්ම කැමරා දෘෂ්ඨි පථය වෙනස් කිරීම යි. එමඟින්, ගබඩා වන ඡායාරූප ප්‍රතිඵලය ඉරි සහිත, බොඳවුණු, භාවාත්මක එකක් බවට පත් වෙනවා.

පාරේ වාහනවල විදුලි එළියෙන් ඇඳුණු ඉරි සහිත ඡායාරූප මේ ගණයට අයත් වෙන්නේ නැහැ. මොකද, එහිදී සිදුවන්නේ හුදෙක් අඩු Shutter speed එකක් යොදා කැමරාව නිශ්චලව තැබීම පමණ යි. ICMවල දී කරන්නේ කැමරාව චලනය කිරීම යි.

අඩු Shutter speed එකක් යටතේ දෘෂ්ඨි පථය වෙනස් කිරීම,

  1. කැමරාව සෙලවීමෙන් (panning)
  2. Zoom අඩු/වැඩි කිරීමෙන්
  3. කැරකැවීමෙන් (rotating)

කරන්නට පුළුවන්. ඒවා කිහිපයක් එකවර කිරීම එනම්, rotate කරන අතරතුරේ zoom කළාම තවත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකි වෙනවා.

අඩු Shutter speed එකක් යොදාගැනීම

Shutter speed එකෙහි වේගය අනුව ප්‍රතිදානයේ වෙනස (B&H)

ICM භාවිතයේදී වඩාත් නිවැරදිව කළ යුත් දෙයක් වන්නේ Shutter Speed එක සැකසීම යි. අර්ථාන්විත motion blur එකක් ලබා ගන්නට හැකි තරම් එහි කාලය දීර්ඝ විය යුතු යි. මෙම කාලය තත්පර ⅓ හෝ ½ සිට තත්පර කිහිපයක් දක්වා අවස්ථානුකූලව සකසා ගත හැකියි. මෙම අඩු Shutter speed එක නිසාම අඩු ආලෝක තත්ත්ව ICM සඳහා යෝග්‍ය වෙනවා. දිවා කාලයේ ICM ක්‍රමයෙන් ඡායාරූප ගනිද්දී අඩු ISO අගයක් සහ අවම Aperature එකක් (වැඩි f අගයක්) ලබා දුන්නත්, අවශ්‍ය ප්‍රමාණයට Shutter speed එකක් ලබා ගැනීම අපහසු වෙන්න පුළුවන්.

එවන් අවස්ථාවක දී ෆිල්ටර් පාවිච්චි කරන්නට සිදුවෙනවා. Polarizing හෝ Neutral density (ND) ෆිල්ටර්යක් හෝ ඒ දෙකම අවස්ථානුකූලව යොදා ගත හැකියි. Polarizing ෆිල්ටරයෙන් වර්ණ තීව්‍රතාව වැඩි කර පරාවර්තනය වීම් සහ දීප්තයන් (glare) අවම කරගන්නට පුළුවන්. තවදුරටත් Shutter එකේ වේගය අඩු කරන්නට අවශ්‍ය නම් 2-stop හෝ 4-stop ND ෆිල්ටරයක් යොදාගත හැකියි.

දෘෂ්ඨි පථය වෙනස් කිරීම

හොඳ ප්‍රතිඵල ලබාගත හැකි මූලික ක්‍රම තුන යොදාගෙන කැමරාවේ දෘෂ්ඨි පථය වෙනස් කරන්නට පුළුවන්. වඩාත් හොඳින් පුහුණු වුණාට පසුව මේවා මුසු කරමින් වඩාත් ආකර්ෂණීය ඡායාරූප ලබා ගන්නට ඔබට හැකි වේවි.

1. Pan කිරීම

සිරස් චලනයෙන් ගත් වනාන්තරයක ඡායාරූපයක් (Flickr)

Expose වී තිබෙන අතරතුරේ කැමරාව සිරස් අතට ‍හෝ තිරස් අතට එකවර චලනය කිරීම මෙහිදී සිදු කරනවා. බොහෝ විට සිරස් චලනය සුදුසු වන්නේ වනාන්තරයක ගස් කඳන්වල ඡායාරූපයක් ගනිද්දී යි. තිරස් චලනය සැඳෑ මුහුදු වෙරළක ක්ෂිතිජය සඳහා හෝ දුරට විහිදෙන තැනිතලාවක් සඳහා පාවිච්චි කළ හැකියි.

වාහනයේ වේගයට සමාන්තරව කැමරාව චලනය කිරීම (contrastly.com)

වඩාත් හොඳින් අතහුරු වුණාම බයිසිකල් හෝ කාර් රේස් එකක ඡායාරූප ගනිද්දී කාර් එක පැහැදිලිව තිබිය දී අවට Motion Blur වන ආකාරයට ගන්න පුළුවන් වෙනවා. වංගුවක සිට ඉදිරියේ ඇති කඳු බෑවුමක ඡායාරූපයක් ගනිද්දී සිරස්/තිරස් ලෙස සීමා නොවී බෑවුමේ ආනතියට හරහට Pan කළාමත් ලස්සන යි.

2. Zoom කිරීම

මලක් 1/60s, f 5.6, ISO 400, 55 mm යටතේ ගත් ඡායාරූපයක් (publicdomainpictures.net)

ගන්නා ඡායාරූපයට පුපුරන ස්වභාවයක් ලැබෙන නිසා මෙය Zoomburst ලෙස ද හඳුන්වනවා. Expose වන අතරතුරේ කාචය කරකවා Zoom අගය වෙනස් කිරීමෙන් මෙය සිදු කරනවා. ඡායාරූපයේ මැද කොටස පැහැදිලිව තිබෙන අතර, බාහිර කොටස් ඉන් ඉවතට ඇදී යන්නාක් මෙන් ඉරි සහිතව බොඳ වෙනවා.

විවිධ දුර මට්ටම්වල තිබෙන වස්තූන් සඳහා මෙය යොදාගත හැකියි. වනාන්තරයක ඉහළ තුරු මුදුන්, විලක් එපිටින් ඇති නගරයක්, මාර්ගයේ ඇති වීදි පහන් ආදිය මීට ගැලපෙනවා. ඔබ Star Wars බැලුවා නම් එහි Warp Speed එක ලබා ගනිද්දී තරු දෙපසට ඇදී යන ආකාරය දකින්නට ඇති. දැන් ඔන්න ඔබටත් ඒක කරන්න පුළුවන්.

3. Rotate කිරීම

DrinkAndClick වෙබ් අඩවිය 2018දී පැවැත්වූ තරගයකදී දෙවන ස්ථානය දිනූ ඡායාරූපය (Roland Wiehl)

ඡායාරූපයේ මැද සිට පිටතට එනතෙක් වළලු රැසක් ආකාරයට මේ ක්‍රමයේ ප්‍රතිදානය ලැබෙනවා. Expose වරන අතරතුරේ කැමරාව කරකැවීම මෙහිදී කළ යුතු වන අතර අනෙක් ක්‍රමවලට වඩා මෙය මුල දී ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒවායේ දී ඔබට Viewfinder එකෙන් බලාගෙන කළ හැකි වූවත් මෙය කරන්නට වෙන්නේ හිතේ මිම්මට හෝ අතේ හුරුවට යි.

අර්ධ චලනයෙන් ගත් ඡායාරූපයක් (flatworldsedgephotography.wordpress.com)

කැමරාවට Autofocus සැකසුම් ලබා දී, ෂටරය මුදා හරිමින් කැමරාව දෙපසින් අල්වාගෙන වම් පසට කරකවන්න. මෙය පුහුණු වීමේ දී අතේ සිදුවන චලනයට වඩා ඔබට ගත යුතු ඡායාරූප ප්‍රතිඵලය ගැන අවධානය යොමු කිරීමයි පහසු. එවිට ජීව විද්‍යාවේ කංකාල පේශි තන්තු ගැන, ගණිතයේ π අගය සහ කෝණ හා අංශක, භෞතික විද්‍යාවේ වෘත්ත චලිතය ආදිය ගැන සිතමින් ලත වෙනවාට වඩා, හිතේ ඇති අදහස සාර්ථකව ඡායාරූපයට නංවාලන්න හැකි වෙනවා.

ICM ක්‍රමයෙන් ඡායාරූප ගැනීම

Pan සහ Zoomburst කිරීමේ දී කැමරාව Tripod එකක රැඳවීමෙන් අතෙන් සිදුවන වැරදි අවම කරගන්නට පුළුවන්. තිරස්ව pan කරද්දී අතෙහි සෙලවීම් නිසා නොදැනුවත්වම සිරස්ව pan වීමෙන් ඡායාරූපයට බාධා එල්ල විය හැකියි. Zoom කිරීමේදීත් දෙපසට චලනය වුණොත් නිසි ආකාරව burst වෙන්නේ නැහැ. එනිසා Tripod එකක් පාවිච්චි කිරීම ලැජ්ජා වීමට කාරණයක් නොවේ. නමුත්, කැමරාවෙන් හෝ කාචයෙන් OIS පහසුකම් ලබාදෙනවා නම් අතේ තියාගෙන කිරීම වඩාත් පහසු යි.

වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට ඡායාරූප ගැනීමට පෙර Settings හදාගත යුතු වෙනවා.

කැමරා සැකසුම්

කැමරාවේ S අකුරින් Shutter Priority mode එක දක්වනවා (wikimedia.org)

ICM ආරම්භයට පෙර, Shutter Priority mode එක සක්‍රීය කරගන්න. Shutter Speed එක තත්පර බාගයකට පමණ සකසා, ඔබේ කැමරාවේ ඇති අඩුම ISO setting එක ලබා දෙන්න. හොඳින් Shutter speed එකට හුරුවූවාට පසුව එම වේලාව වැඩි කර වැඩි exposure වේලාවක් සමග අඩු ආ‍ලෝකයක් / ෆිල්ටර් පාවිච්චි කරමින් ඡායාරූප ගන්න පුළුවන්. බොහෝ අවස්ථාවල දී තත්පර ⅛ සහ 1/15 අතර අගයක් ගැලපෙන අතර තත්පර 1/10 න් අරඹා අවශ්‍ය පරිදි වැඩි කරන්න.

ඡායාරූපය ගැනීම

කාචවල ඇති Image Stabilization ස්විචය (myphotocentral.com)

Pan හෝ Zoom කරන්නට අදහස් කරනවා නම් Autofocus සබල කර, අවශ්‍ය වස්තුව වෙත යොමු කරන්න. Shutter බොත්තම අඩක් තදකර focus එක lock කර කැමරාව චලනය කිරීම හෝ Zoom කිරීම අරඹන ස්ථානයට සකසා ගන්න. දැන් චලනය අරඹනවාත් සමගම ෂටරය ක්‍රියාත්මක කර, වැසී යන තෙක් චලනය කරන්න. ඔබට අවශ්‍ය ආකාරයට ප්‍රතිඵලය නොලැබී යනවා නම් Image Stabilization අබල කර උත්සාහ කරන්න.

කැමරාව ඕනෑවට වඩා වේගයෙන් Pan කළාම කැමරාවේ සුන්බුන්වල ඡායාරූපයක් ලැබිය හැකි නිසා ප්‍රවේශමෙන් (Flickr)

Zoom හෝ Rotate කරද්දී ෂටර් වේගය තත්පර ⅛ සහ 1/15 අතර යොදා ගනිමින් එම කාලය පුරාවට චලනය සිදුවන බවට තහවුරු කරගන්න. ඒ සඳහා චලනය කළ යුතු වේගය ෂටරයේ වේගයට සමානුපතාව වන තෙක් පුහුණු වෙන්න. ඡායාරූපය ගත් වහාම LCD තිරයෙන් බලා අඩුපාඩු හඳුනා ගන්නට හැකි වෙනවා.

ඔන්න තවදුරටත් ෆෙ‍ාටෝ ගනිද්දී කැමරාව සෙලවීම වැරැද්දක් නෙවෙයි! ඒක නිර්මාණාත්මකව යොදාගත හැකි දෙයක්. ඔබ මේ ක්‍රමයෙන් ගත්තු අලංකාර ඡායාරූප මෙහි Comment එකකින් හැමෝම එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා.

කවරය: Nicole Pottier

Related Articles