Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිවසේ සිට කරන part time වැඩ කාර්යක්ෂම කරලන ක්‍රමවේද

ගෙදර ඉඳගෙනම වැඩ කරන එක නූතනයේ සෑම රටකම පාහේ බහුලව දකින්නට ලැබෙන දෙයක්. විශේෂයෙන් කේතකරණ රක්ෂාවන් part time කරන්නට ලංකාවේ බොහෝ දෙනෙක් පෙළඹී තිබෙනවා. Upwork, Fiverr වැනි වෙබ් අඩවි කරළියට පැමිණීමත් සමග තමන් වැඩ හොයාගන්නා අතරතුරේ පැමිණෙන අතිරේක වැඩ යහළුවන්ටත් දී කරගන්නට තරම් ව්‍යාප්තියක් ශීඝ්‍රයෙන් ලබා ඇති බව පෙනී යනවා.

ඔෆිස්වලටම කොටුවී වැඩ කිරීමේ සාම්ප්‍රදායික මානසිකත්වයෙන් මිදී නිවසේ සිට අඩු වියදමකින් සේව්‍ය සහ සේවක දෙපාර්ශවයටම යහපත සලසන මේ නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය නිසා මෙරට සිටම වියදම් කරගෙන වෙනත් රටක නැවතී එරට නවාතැන් සහ කෑම බීමටත් ගෙවන්නට සිදුවීම වළක්වා ගෙන වැඩි මුදලක් ඩොලර් වලින්ම උපයා ගන්නට අවස්ථාව සැලසෙනවා. නමුත් මෙහෙම කටයුතු කරද්දී ගෙදර පරිසරයත් එක්ක කාර්යක්ෂමතාවය අඩාල වන්නට පුළුවන්. අන්න එය වළක්වා ගන්නට උපක්‍රම කිහිපයකුයි මේ ලිපියෙන් ඔබට තිලිණ වන්නේ.

වැඩ කරන්න වෙනම තැනක් වෙන් කරගන්න

licdn.com

ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්ත මුල් කාලයේ දී ඇඳේ හාන්සිවෙලා වුණත් වැඩ කරන්න උනන්දුව තිබුණත් කාලයක් ගත වෙද්දී ටික ටික කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා මුලදී වැඩකරලා අතට ලැබෙන ගාණෙන් ටිකක් ඉතුරු කරගෙන දැනට හොඳ මේසයකුයි පුටුවකුයි ගන්න ප්ලෑන් කරන්න. ගෙදර තිබෙන පුටු, මේස බොහෝ විට ලී වලින් හදපු වැඩි වේලාවක් වාඩිවෙලා ඉන්නට නොහැකි ඒවායි. එනිසා එකදිගට වාඩිවෙලා එක අරමුණකින් කොන්දෙ අමාරු නැතිව වැඩ කරන්නට නම් ඊට සරිලන උපකරණ තිබිය යුතු යි. ඒ වගේම ඉන් ඇතිවන වෙනස නිසා ඔබට නිවසේ සාමාන්‍ය වාඩිවී හිඳීමෙන් ඇතිවන වෙනස සිරුරට දැනීමෙන් වැඩ කිරීම සඳහා නිතැතින්ම අවධානය යොමු කරවාලීම සිදු කරගත හැකියි.

පරිගණකයේ වැඩ කරනවා නම් මේසයේ ප්‍රමාණයට උස්-පහත් කළ හැකි, සහ එකම ඉරියව්වෙන් නොහිඳ කොන්ද ලිහිල් කිරීමට පිටුපසට නැවිය හැකි ආකාරයේ එකක් නම් සෞඛ්‍යාරක්ෂිතව වැඩ කටයුතු කිරීමේ අවස්ථාව සැලසෙනවා. සාමාන්‍ය ස්ථිර පුටුවක සිට වැඩ කිරීමේදී ඇතිවන වේදනා, හිරි වැටීම් ආදිය නිසා කාර්යක්ෂමතාවට ඇතිවන බාධාවන් වළක්වා ගැනීමට ඉන් නිතැතින්ම හැකියාව ලැබෙනවා.

හිත නිවෙන්න පසුබිම් ගීතයක්

businessinsider.com

පසුබිම් ගීත තිබෙන්නේ චිත්‍රපටවල චරිතවලටම නොවෙයි. අපිටත් වැඩ කරද්දී ඇතිවන කම්මැලිකම නැති කරගන්න පරිගණකයේ තිබෙන ගීත හෝ යූටියුබ් playlist එකක් ධාවනය කරවන්න පුළුවන්. මෙහිදී හෙඩ්සෙට් එකක් පැළඳීම ටිකක් කරදරකාරී වන්නට පුළුවන්. ඒවායේ ඇති වයර් සහ දිගු කාලයක් කණේ රැඳී තිබීම නිසා අපහසුතාවන් ඇතිවිය හැකි නිසා ඊට වඩා බ්ලූටූත් ස්පීකරයක් හෝ සබ් වූෆරයක් හරහා ගීත ධාවනය කරන්නට පුළුවන් නම් ඊට වඩා වෙනස් අත්දැකීමක් ලබා ගන්නට පුළුවන්. වෙළඳ දැන්වීම්, පුවත් ආදී සිත විසිරෙන දේ සහිත රේඩියෝවට වඩා ඔබ වැඩිපුර කැමති ගීත යොදා ගැනීමෙන් කාර්යක්ෂමතාව අඛණ්ඩව පවත්වා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබ කාලයක් මෙසේ කිරීමෙන් ඔබ වැඩ කරමින් සිටින බව ගෙදර අනෙක් අය වටහා ගැනීම නිසා සින්දු සද්දෙට තිබිය දී ඇවිත් අල්ලපු ගෙදර ගොසිප් ටික හරහා වැඩට බාධා ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.

අන්තර්ජාල සබඳතාව

cherrylandelectric.coop

අන්තර්ජාලය හරහා වැඩ කිරීමේදී නිතර ස්කයිප්, ඔබ වැඩ සොයාගනු ලබන වෙබ් අඩවිය මෙන්ම එම සේවාව හරහා ලබාදී ඇති තිරය පටිගත වන මෘදුකාංගය ආදී දේවල් භාවිත කරන්නට සිදු වෙනවා. එවිට වේගවත් සහ ස්ථායී අන්තර්ජාල සබඳතාවයක් තිබීම ඉතාම වැදගත්. නමුත් මේ වන විට බොහෝ මෘදුකාංග අන්තර්ජාලය භාවිතයෙන් තොරව ක්‍රියාත්මක වෙමින් පැවතී සබඳතාව ලැබුණු පසු යළි සමමුහුර්ත (sync) වන නිසා එය එතරම් ගැටළුවක් වන එකක් නැහැ. ඔබ වෙබ් සංවර්ධකයෙක් ලෙස කටයුතු කරනු ලැබූවත් local server එකක් භාවිත කරනවා නම් සහ Data entry වැනි රැකියාවක් කරනවා නම් කොහොමටත් අන්තර්ජාලය නිරන්තරයෙන් අවශ්‍ය වන එකක් නැහැ. ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙක්ට නම් හැබැයි ටිකක් ප්‍රමාණයෙන් වැඩි ගොනු උඩුගත කරන්නට සිදුවන නිසා කෙටි කාලයකට හෝ හොඳ අන්තර්ජාල සබඳතාවක් තිබීම වැදගත් වෙනවා. එහෙයින් එක් ක්‍රමයකට පමණක් සීමා නොවී එනම්, ඩොන්ගල් එකක් තිබෙනවා නම් රවුටරයක් ද භාවිත කළ හැකි නම් ඔබට උපකරණවල ඇතිවන සුළු දෝෂ ද මඟහරවා ගන්නට පුළුවන්. ඒ වගේම ඔබේ දුරකතනයේ තිබෙන Mobile hotspot පහසුකම ද අමතක කරන්න එපා.

විදුලිය ගියොත්?

advanti.com

අපේ රටේ කරන්ට් යන එක නම් නිතරම සිද්ධ වෙනවා. ඒ නිසා වෙනත් රටක deadline ළඟ ළඟම තිබෙන ප්‍රොජෙක්ට් එකක් අස්සේ විදුලිය නැතිව දවසක් ඉන්නට වෙනවා කියන්නේ ලොකු ගණක පාඩුවක් මෙන්ම client ගෙනුත් දෙහි ඇඹුල් ඇතිව අහගන්නට සිදු වෙනවා. මේ නිසා ඔබ ඩෙස්ක්ටොප් පරිගණකයක් පාවිච්චි කරනවා නම් අඩු තරමින් UPS එකක්වත් භාවිත කිරීම සුදුසුයි. ලැප්ටොප්වලට නම් බැටරියක් ලැබෙන නිසා මේ ප්‍රශ්නය ඇති වන්නේ නැහැ. නමුත් අන්තර්ජාල සබඳතාව ඇති කරවන රවුටරය විදුලි බලය නැති අවස්ථාවලදී භාවිත කරන්නට නොහැකි නිසා එයට බැටරි බැකප් එකක්, UPS එකක්, හෝ ලැප්ටොප් එකටම සබැඳිය හැකි ඩොන්ගල් එකක් භාවිතා කරන්නට ඔබ කටයුතු කළහොත් හදිසියේ ඇතිවන කරදර වලින් බේරෙන්නට හැකි වේවි.

කන්න පොඩි දෙයක් ළඟ තියාගන්න

foodandwine.com

එක දිගට වැඩ කරද්දී පොඩි බඩගින්නක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඉතින් එවන් අවස්ථා වල දී කන්නට වගේම නිදිමත නැති වෙන්න හප හපා ඉන්න දෙයක් ළඟ තිබෙනවා නම් එය ඔබට හොඳ දායකත්වයක් ලබා දේවි. හැබැයි මේ දේවල් තිබෙන්නේ ෆ්‍රිජ් එකේ නම් ඔබට නිරතුරුව නැගිට නැගිට යන්න සිදුවන නිසා එය වැඩට බාධාවක් වෙන්න පුළුවන්. මේ නිසා පොඩි භාජනයක දාගත්තු ස්නැක්ස් ටිකක් ළඟින් තියාගන්න අමතක නොකරනවා වගේම ඒ දේවල්වල මේද හා කැලරි අගයත් අඩු බවට සහතික කරගන්න. නැත්නම් වැඩ කරන අතරතුරේ එක දිගටම කාගෙන-කාගෙන ගියොත් අන්තිමට කොලෙස්ටරෝල් වැනි අමතර දීමනාවකුත් නිතැතින්ම ලැබෙනවා.

වැඩ කරන්න කාල සීමාවක් තියාගන්න

lynda.com

විවිධ අයට වැඩ කිරීම සඳහා විවිධ කාල සීමාවන් තිබෙනවා. ඇතැමුන්ට උදේ පාන්දරම නැගිට්ටාම හොඳින් අවධානයෙන් සහ උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන්. හැබැයි තවත් අයට එය හැකි වන්නේ මධ්‍යම රාත්‍රියෙනුත් පසු කාලයේ යි. මෙන්න මේ ඔබට ගැලපෙන කාලය හඳුනාගැනීමෙන් පසු ඒ කාලයේ දී වැඩිපුර අමාරු වැඩ කොටස කරන්නට වෙන් කරගන්නට පුළුවන්. ඔබට වැඩ ලැබෙන්නේ කුමන කාලයේදැයි හෝ හදිසි වැඩක් කරන්නට ලැබුණොත් මෙය දිවා-රාත්‍රී ලෙස නොබෙදා නිත්‍යව සකසන ලද පැය ගණනක් වශයෙන් භාවිත කළ හැකියි. එම කාලය තුළ වැඩ කිරීමේදීත් විනාඩි 30කට වරක් වත් ඇස් පරිගණකයෙන් ඉවතට ගැනීම, ඇත පය ටිකක් දිගහැර ගැනීම, ජලය පානය කිරීම ආදී දේවල් කරමින් ශරීරයට සුළු විවේකයකුත් ලබා දෙන්න.

ඉතින් මේ දේවල් නිසි ආකාරව කිරීමෙන් කාර්යාලයකට ගොස් වැඩ කරනවා වගේම වෙනස් හැඟීමක් නිවසේදීත් ලබා ගනිමින් උද්‍යෝගීව හා කාර්යක්ෂමව ඔබේ නිවසේ සිට කරන රැකියාව වැඩි වර්ධනය කරගන්නට හැකි වේවි. ඔබ එවන් රැකියාවක් කරන කෙනෙක් නම් මීට අමතරව ඔබ කාර්යක්ෂමතාව වැඩි කරගන්න කරන දේවල් තිබෙනවා ද?

කවරයේ ඡායාරූපය: northphoenixfamily.com

Related Articles