Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කරදරකාරී SIM වෙනුවට දුරකතන ‍ක්ෂේත්‍රය අනෙක් පිට හරවන eSIM

දුරකතන සම්බන්ධතාවන්ගේ අවශ්‍යතාවය ලෝකය පුරා බුර බුරා නැගෙද්දී ඒ පසුපස සෙවනැල්ල වූ තාක්ෂණය ලෝකය ඉදිරියට ගෙන යනවා. 1991දී ක්‍රෙඩිට් කාඩ් පතක් තරම් විශාල සිම්පත් දැන් නියපොත්තක් තරම් කුඩා බවට පත්ව තිබෙනවා. නමුත් දුරකතන සේවා ජාල දෙකක් අත්විඳින්නට අවශ්‍ය වුණාම තවමත් අප සිම්පත් දෙකක් යොදන්නට අවශ්‍ය යි. මේ ගැටළුවට විසඳුම වූයේ e-SIM පත යි.

සිම්පත් කිහිපයක් දැමීමේ කරදරය

සිම්පත් 4ක් දැමිය හැකි දුරකතනයක් (alicdn.com)

කාර්යයාල හෝ ව්‍යාපාර කටයුතුවලට එක් දුරකතන අංකයකුත්, පෞද්ගලික භාවිතයට තවත් නම්බරයකුත් ඇති විට, විශේෂ ප්‍රතිලාභ වෙනුවෙන් දුරකතන සේවා පැකේජ දෙකක් (එකක් ඇමතුම් සඳහා අනෙක ඩේටා සඳහා) අත්විඳින විට වැනි අවස්ථාවන්වල දී අපට සිම්පත් දෙකක් පාවිච්චි කරන්නට සිදු වෙනවා.

ඇත්තටම, මීට වසර 10කට පමණ පෙර, ෆෝන් එකක සිම්පත් දෙකක් තිබීම විහිළුවට කාරණයක් වුණා. මන්ද, හැම ෆෝන් එකකම එක් සිම්පතක් පමණක් දැක සිටි අපට චීනයෙන් ආ බාල දුරකතනවල සිම්පත් දෙකක් තිබීම අමුතු දෙයක් ලෙස යි පෙනුණේ. පසුව ඔවුන් සිම්පත් 4ක් පමණ දැමිය හැකි දුරකතන පවා වෙළඳපොළට නිකුත් කළා.

SIM Tray එක ඉවත් කිරීම කරදරකාරීයි (phonearena.com)

දුරකතන අවශ්‍යතාවන්ගේ වර්ධනයත් සමගම පසුකාලීනව ඉදිරිපෙළ දුරකතන සමාගම් රැසක්ම තමන්ගේ තෝරාගත් වෙළඳපොළ වෙත, විශේෂයෙන් ආසියාකරයට සිම්පත් දෙකක් සහිත දුරකතන දීම සාමාන්‍ය දෙයක් බවට පත් කළා.

නමුත් එහි අවාසිසහගත තත්ත්‍වයන් තිබුණා. ෆෝන් එකට මෙමරි චිප් එකක් දාන එක පැරණි තාලයේ දුරකතනවල පවා සාමාන්‍ය දෙයක් වුවත් මෙම Dual-SIM දුරකතනවල අපට අවශ්‍ය අමතර සිම්පතක් ද නැතහොත් මෙමරි චිප් එක ද යන තීරණය ගන්නට සිදුවුණා. Cloud සේවා සහ වැඩි අභ්‍යන්තර ධාරිතාවන් නිසා මෙය එතරම් ගැටළුවක් නොවුණත්, අපේ කලාපයේ ඇති අන්තර්ජාල පහසුකම්වල ඇති ගැටළු නිසා එයින් පීඩාවට පත් වූ පිරිසක් සිටියා. ඒ වගේම, එක් සිම්පතක් 3G/4G වුවත් අනෙක 2G වුණා.

මේ ගැටළුව විසඳාලීම e-SIM පතෙන් දැන් සිදුවීමට නියමිත යි.

eSIM කියන්නේ මොකක්ද?

සිම්පත්වල පරිණාමය (telekom.com)

eSIM යන්නෙහි දිගු වචනය embedded-Subscriber Identity Module යන්නයි. මෙමඟින් අප දැනට පාවිච්චි කරන භෞතික සිම්පත් සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමට නියමිත අතර, ඔබට ඕනෑම දුරකතන සේවාවක් අවශ්‍ය අවස්ථාවක දී eSIM එකෙහි සක්‍රීය කරගන්නට හැකි වෙනවා. එසේම, සිම්පත් මාරු නොකර එක්වර සේවා කිහිපයක් භාවිතා කරන්නට ද හැකි වෙනවා.

eSIM දුරකතන උපාංගයේ විද්‍යුත් පරිපථයට සම්බන්ධ කොට ලැබෙන්නක් වන අතර එය නැනෝ සිම්පතකටත් වඩා ඉතා කුඩා යි. මෙහි සිම්පත ගලවා ඉවත් කරන්නාක් මෙන් දුරකතන සේවාවක් අක්‍රීය කරන්නට හෝ ඉවත් කරන්නට හැකියි. අවශ්‍ය නම් එක්වර 4G සේවාවන් කිහිපයක් පාවිච්චි කරන්න හැකියි. මෙමරි චිප් එකකට ‍ෆයිල් කොපි කරන්නාක් වගේ දැන් දුරකතන ජාල eSIM සමග වෙනස් කරන්නට පුළුවන්.

eSIM සහිත උපාංගවල සිම්පත් කවුළුවක් නොමැති අතර නිෂ්පාදකයන්ට තම දුරකතන උපාංගය ජලයෙන් හා දූවිල්ලෙන් ආරක්ෂා කිරීමට එය වඩාත් පහසුවක් වෙනවා. නුදුරේ දීම දුරකතන, ටැබ් යන්ත්‍ර මෙන්ම ලැප්ටොප් පරිගණකවලට පවා මේ ආකාරයට මව් පුවරුව හරහාම දුරකතන සේවාවන් අතිවිඳින්නට හැකි වේවි.

ක්‍රියාත්මක වන ආකාරය

QR කේතයකින් නව දුරකතන අංකයක් (imore.com)

eSIM පහසුකම ස්මාර්ට් උපාංගයේ අභ්‍යන්තරයෙහි ඇති පාස්සන ලද කොටසක් නිසා අපිට භෞතිකව, බාහිරින් එය සමග ගනුදෙනු කරන්නට නොහැකියි. ඒ වෙනුවට, මෙහි ඇති දුරස්ථ ස්ථාපනය කිරීමේ (Remote Provisioning) පහසුකම් නිසා තවදුරටත් ඔබට අලුත් සිම්පතක් අවශ්‍ය නම් අදාල දුරකතන සේවා සම්පාදකයාගේ වෙළඳසලකට යන්නට අවශ්‍ය වන්නේ නැහැ.

ඔබට දුරකතන සේවාවක් අවශ්‍ය වූ විට කළ යුත්තේ eSIM සඳහා සහාය දක්වන දුරකතන සම්පාදකයකුගෙන් එම සබඳතාව ලබා ගැනීම යි. එවිට ඔවුන් නිකුත් කරන QR කේතයක් සහ තවත් විස්තර භාවිතයෙන් ඔබට eSIM එකට නව සබඳතාව ඇතුලත් කරගන්නට පුළුවන්. මේ නිසා වෙළඳසලකට ගොස් සිම්පත් මිල දී ගත යුතු වන්නේ නැහැ. ඔබට අන්තර්ජාලය හරහාම රිසි පරිදි සේවාවන් මාරු කරන්නට පුළුවන්.

සිම්පත්වල ප්‍රමාණාත්මක සංසන්දනය (pctechmag.com)

මෙලෙස තවත් සේවා සම්පාදකයෙක්ගෙන් දුරකතන අංකයක් සක්‍රීය කරගත් පසු එය ද මෙම eSIM එකට එක් කරගන්නට පුළුවන්. පසුව ඒවා කළමනාකරණය කිරීම (තිබෙන ඒවා තාවකාලිකව අක්‍රීය කිරීම හෝ ඉවත් කිරීම) දුරකතනයේ Settingsවලින් කරගන්නට පුළුවන්.

ඉස්සර ෆෝන්වල පියන ගැලවිය හැකි වුවත් දැන් සිම්පත් මාරු කරද්දී SIM Tray එක ගන්නට කටුවක් සොයාගන්නටත් සිදු වෙනවා. eSIM නිසා මේ කරදරය සහමුලින්ම නැති වෙනවා.

සහාය දක්වන උපාංග

eSIM මගින් සේවා දෙකක් ක්‍රියාත්මක වන ආකාරය (gadgethacks)

දුරකතන සේවා සම්පාදකයා විසින් eSIM වෙත සහාය දැක්විය යුතුයි වගේම, මෙම පහසුකම් අතිවිඳින්නට නම් ඔබ සතු උපාංගය සතුවත් eSIM පහසුකම තිබිය යුතු යි. දැනට නිකුත් වී ඇති දුරකතන අතර Google Pixel 2, Google Pixel 3, Samsung Galaxy S9 / S9+, Note 9, iPhone XR / XS / XS Max ආදියේ විශේෂිත මාදිලියක් ලෙස eSIM විශේෂාංගය ලබා ගත හැකියි. පුදුමයට කරුණක් නම්, Galaxy S9 සතුව eSIM මාදිලියක් තිබුණ ද S10 සතුව නොමැති වීම යි.

ස්මාර්ට් වොච් උපාංග ලෙස, Apple Watch Series 3 සහ 4, Huawei Watch 2 Pro, Samsung Gear S2 සහ S3, මෙන්ම Samsung Galaxy Watch සතුව eSIM විශේෂාංගය තිබෙනවා. එම නිසා ඔබට දැන් දුරකතනයෙන් සිම්පත අක්‍රීය කර, එය ගෙදර තබා; ස්මාර්ට් වොච් එකෙහි එම දුරකතන අංකය සක්‍රීය කරගෙන ගමනක් යන්නට පුළුවන්.

මීට අමතරව වාහන සඳහා යොදන පරිගණක පද්ධති සඳහා ද මෙම සේවාව එක්වනු ඇති.

eSIM යනු මීළඟ සිම්පත් පෙරළියයි

සෑම උපාංගයක්ම eSIM වනු ඇති (orange.com)

දුරකතන උපාංග නිෂ්පාදකයන්ට SIM Tray එකක් සැකසීමට අවශ්‍ය නොවීම, ජල කාන්දුවලින් වළකාලිය හැකි වීමත්, පාරිභෝගිකයන්ට සිම්පත් මාරු කිරීමේ කරදරය පහව යාමත්, දුරකතන සේවා සම්පාදකයන්ට SIM පත් සැකසීමට හා වෙළඳසල්වල අලෙවිකිරීමට අවශ්‍ය පිරිවැය ඉතිරිවීමත් නිසා eSIM භාවිතයෙන් සමස්ත දුරකතන තාක්ෂණ ක්ෂේත්‍රයටම වාසි සැලසෙනවා.

වැඩිදුර කියැවීමට: 5G විකිරණ ශරීරයට අහිතකර ද?

දැනට eSIM සහිත උපාංග ප්‍රමාණයේ සීමාසහිත බව සහ ඊට සහාය දක්වන දුරකතන සේවා සම්පාදකයන්ගේ අඩු බව මත මෙය තවමත් ලොව පුරා පුුළුල්ව දියත් වී නොමැති නමුත්, 2020-22 පමණ වන විට 5G හරහා IoT ව්‍යාප්ත වීම සමග eSIM විශේෂාංගයන් ද ඒ වෙත ලැබීමෙන් අප සතු සෑම උපාංගයකටම පාහේ සිම්පතක් සමග ස්වාධීනව ක්‍රියා කිරීමේ පහසුකම ලැබුණු විට මෙය දුරකතනය වගේම එදිනෙදා භාවිතා වන සාමාන්‍ය දෙයක් බවට පත් වනු ඇති.

කවරය: medium.com

Related Articles