Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Free VPNවල පරිශීලක දත්ත අවභාවිතාව ගැන TheBestVPN කළ හෙළිදරව්ව

ෆේස්බුක් සමාගමට වග උත්තර බඳින්නට සිදුවූ කේම්බ්‍රිජ් ඇනලිටිකා සිද්ධියෙන් ලෝක ජනතාවගේ සහ නීතියේ ඇස් ඇරුණේ අන්තර්ජාලය හරහා පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත හිතුමතේ සංසරණය වන ආකාරය අවබෝධ වීමෙන්. මේ නිසාම සෑම සේවාවක්ම පාහේ තමන්ගේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති (Privacy policy) යාවත්කාලීන කරමින් ඒ බව දැනුම් දෙන්නට පටන් ගත අතර මේ දිනවල ඊමේල් පමණක් නොව, බිස්කට් ටින් එකක් ඇරියත් “We have updated our privacy policy” කියා දකින්නට ලැබෙනවා.

VPN යනු තවත් අකුරු තුනකින් යුත් තාක්ෂණික ක්‍රමවේදයක් වුවත්, ලංකා රජයේ මෑත කාලීන වාරණයක් නිසා එය අපේ රටේ සිත්ගත් අකුරු තුන බවටත් පත් වුණා. නමුත් VPN යකා, අපි හිතනවාටත් වඩා කළු බව TheBestVPN වෙබ් අඩවිය කළ අනාවරණයකින් හෙළි වුණා.

දත්ත වැඩිපුරම ලබන්නේ VPN සේවාවන්

netdna-ssl.com

ISP හෙවත් අන්තර්ජාල සේවා සම්පාදකයා අපේ අන්තර්ජාල කටයුතු ගැන සියළු දත්ත රැස් කරගන්නා නිසා සහ එම කටයුතු අප විසින්ම කරන බවට අපේ බිල්පත් තොරතුරු, නම, ලිපිනය ආදී සියළු අනන්‍යතා සාධක සමඟ ගොනු කොට ඇති බැවින් අන්තර්ජාලය තුළ පෞද්ගලිකත්වය පිළිබඳව වූ යහපත් නිදහසක් ලබන්නෙක්ට ඇති එකම පිළිසරණ වන්නේ VPN සේවාව යි. VPN හරහා සිදුවන්නේ අපේ දත්ත ආකේතනය (encrypt) කරමින්, අපි වෙබ් අඩවියක් වෙත දක්වන සබඳතාව වෙනත් මාර්ගයකින් යවා ISP හෝ අදාල වෙබ් අඩවියටවත් අපේ අනන්‍යතාවය එනම්, අපේ IP ලිපිනය, පිවිසෙන වෙබ් අඩවි, හුවමාරු කරන දත්ත ආදිය දැන ගැනීමට නොහැකි ආකාරයට ආවරණය කිරීමයි. උදාහරණයක් ලෙස අපි ෆේස්බුක් වෙත VPN එකකින් පිවිසුණහොත් අන්තර්ජාල සේවා සපයන්නා (ISP) දකින්නේ අපි VPN සමාගම සතු කිසියම් වෙනත් වෙබ් අඩවියකට යන බවක්. ෆේස්බුක් දකින්නේ ද අපි වෙනත් රටක සිට එම සේවාව භාවිත කරන බවයි.

මෙලෙස දත්ත සංසරණයෙහි අතරමැදියා බවට පත්වූ විට ISP ලබන දත්ත සියල්ල ඔවුන්ටද නොදී තමාට ලබාගත හැකි වන අතර වෙනත් පාර්ශවයන්ට එම දත්ත විකුණා තමාගේ මඩිය තර කර ගැනීමට VPN වලට හොඳ අවස්ථාවක් සැලසෙනවා. HTTPS හරහා සංසරණය වන දත්ත අකේතනය කරනු ලැබුවත් පිවිසෙන වෙබ් අඩවි, එහි සැරිසැරූ කාලය, VPN එක මෘදුකාංගයක් ලෙස පරිගණකයේ හෝ දුරකතනයේ ස්ථාපනය වීමේදී උපාංගය තුළ ඇති දත්ත එනම්, බ්‍රවුසර දත්ත, කාල කලාපය සහ වේලාවන්, භාවිත කරන මෘදුකාංග, සබැඳෙන WiFi හෝ ඩේටා සබඳතාව, IMEI අංක ආදී පුළුල් දත්ත ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙම බැලුවාම, ISP එකට අපෙන් ලබාගන්නට හැකි වන්නේ බොහොම සුළු දත්ත ප්‍රමාණයක් පමණයි.

නොමිලේ VPN දීම දත්ත විකුණුම් සමාගම්වල ඇමක්

futurecdn.net

වෙළඳ දැන්වීම් ප්‍රචාරණයේදී ඒවාට වැඩිම වටිනාකමක් ලැබෙන්නේ වඩාත්ම උචිත පාර්ශවයන්ට එම දැන්වීම් පෙන්වීමට හැකි වීමෙනුයි. ෆේස්බුක් සමාගම අපේ රුචි අරුචිකම් හොඳින් දන්නා නිසා මේ වාසිය හොඳින්ම අත් විඳිනවා. අද වන විට වෙළඳ දැන්වීමක් ප්‍රචාරණය කරමින් තමන්ගේ නිෂ්පාදන වැඩිපුර විකුණාගන්නට රූපවාහිනී දැන්වීමකටත් වඩා ෆේස්බුක්හි කරන ඉලක්කගත දැන්වීමක් සාර්ථක වන්නේ මේ නිසායි. එවන් තත්ත්වයක් යටතේ ‘දත්ත’ කියන්නේත් දැන්වීම ප්‍රචාරය කරන්නා සහ පාරිභෝගිකයා අතර සබඳතාව ඇති කරන තවත් නිෂ්පාදන භාණ්ඩයක්.

දත්ත යනු වෙළඳ භාණ්ඩයක්

intotheminds.com

දත්ත නමැති භාණ්ඩය අලෙවි කිරීම වෙනුවෙන් ලොව සමාගම් බිහිව තිබෙන අතර ජනතාවගෙන් ඍජුව විස්තර ගන්නවාට වඩා නොමිලේ අන්තර්ජාලයට පිවිසෙන්නට ඉඩ ලබාදී පිවිසෙන අයගේ දත්ත පහසුවෙන්ම, නොදැනීම ලබාගෙන තමන්ගේ ව්‍යාපාරය කරගෙන යාම ඔවුන්ට පහසුවක්. එය win-win හෙවත් අපට සේවාවක් නොමිලේ ලැබෙනවා සේ ම ලබා දෙන්නාට අපේ දත්ත ලබා ගැනීමට හැකිවන නිසා දෙපාර්ශවයම ජයගන්නා අවස්ථාවක්. හැබැයි, අපිට පාඩුව සිදුවන්නේ පසුකාලීනවයි. එය හුදෙක් අපි හොරන් ගිය අසභ්‍ය වෙබ් අඩවියක දැන්වීමක් තිරය මත දිස්වීමේ සිට අපේ වටිනා පෞද්ගලික දත්තයක් ඔවුන් සතු කරගෙන ඉන් කප්පම් ගැනීමක් දක්වා දිවෙන්නට පුළුවන්. මේ අනවශ්‍ය කර්තව්‍යය කරන්නේ “අහිංසක” ලෙස දත්ත ලබා ගත් VPN සමාගම නොවේ. ඔවුන්ට මුදල් ගෙවා අපේ දත්ත ලබා ගන්නා අපවත් නොදන්නා තෙවන පාර්ශවයකින්.

”අප ඔබගේ දත්ත රැස් නොකරන්නෙමු” යන සුරංගනා බොරුව

quovantis.com

වෙබ් අඩවි මුල් පිටුවේ හෝ පෞද්ගලික ප්‍රතිපත්තියෙහි “අප ඔබේ කිසිදු දත්ත සටහනක් තබා ගන්නේ නැත” යන සුදු පිරුවටය දකින්නට ලැබුණ ද ගිය වසරේදී රයන් ලින් නමැති 24 හැවිරිදි තරුණයෙක් විසින් කළ අන්තර්ජාල අපරාධ සිද්ධියකදී ඔහු පාවිච්චි කළ PureVPN සේවාව විසින් FBI එකෙන් කළ ඉල්ලීමට අනුව ඔහුගේ කටයුතු ගැන ඔවුන් සතුව තිබූ සියළු වාර්තාවන් ලබා දුන්නා. ඉතින් අපරාධ නොකරන අන්තර්ජාලය තුළ යහපත් නිදහසක් හෙවත් තමන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරගැනීමට මඟක් සොයන්නෙකුට ලැබෙන ආරක්ෂාව ගැන කවර කථා ද?

TheBestVPNහි විශ්ලේෂණය

idexpertscorp.com

මාර්තු 22 වැනිදා TheBestVPN වෙබ් අඩවිය විසින් සඳහන් කරන ලද්දේ ලෝක ප්‍රසිද්ධ VPN ආයතනයන් 100කට වැඩි ප්‍රමාණයක් පිළිබඳව ඔවුන් කළ විශ්ලේෂණයකින් හෙළිව ඇත්තේ ඉන් 26ක් ම අනවශ්‍ය ලෙස දත්ත ලබා ගන්නා බවයි. ඒවා අතර PureVPN, HideMyAss, HotSpot Shield, Betternet ආදී වූ ලංකාවේ අය 2018 අන්තර්ජාල වාරණ කාලය තුළ සතුටින් පාවිච්චි කළ ඒවා ද තිබෙනවා.

Hotspot Shield

වැඩිපුර කොටසක් නොමිලේ පාවිච්චි කරන අය සහිතව මිලියන 500ක් පමණ පරිශීලක සංඛ්‍යාවකට හිමිකම් කියන මෙම සේවාව විසින් තමන්ගේ පරීශීලකයන්ගේ දත්ත අන් පාර්ශවයන් හා බෙදා ගැනීම් හා විකිණීම්, Traffic hijack කිරීම් (පිවිසෙන වෙබ් පිටු මතට ඔවුන්ට අවශ්‍ය වෙළඳ දැන්වීම් වැනි දත්ත ඇතුලත් කිරීම, යන වෙබ් අඩවිය වෙනුවට වෙනත් ඔවුන්ට වාසිදායක වෙබ් අඩවියක් පෙන්වීම වැනි දෑ) කරනු ලබනවා. මොවුන්ට විරුද්ධව ඇමරිකාවේ රාජ්‍ය වෙළඳ කොමිසමට ද පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. එහි Hotspot Shield විසින් අනවශ්‍ය ඇන්ඩ්‍රොයිඩ් permissions ලබාගෙන අන්තර්ජාල සබඳතා විස්තර (SSID/BSSID), MAC ලිපින පමණක් නොව දුරකතනයේ IMEI අංකය පවා ලබා ගන්නා බවට චෝදනා එල්ල කර තිබෙනවා.

Hola

softpedia.com

නොමිලේ ලබාදෙන සේවාව තුළ, Peer-to-Peer (P2P) හෙවත් බිට් ටොරන්ට් ක්‍රියා කරන ආකාරයටම සර්වරයක් හරහා රහස්‍යතාව ලබා ගන්නවා වෙනුවට ඔවුන් වෙත සබැඳුණු පරිගණක හරහා අනන්‍යතාව සැඟවීම මෙහි කරගත හැකි බව වෙබ් අඩවියෙහි ම දක්වා තිබෙන අතර, ඒ වෙනුවට ඔවුන්ගේ සර්වර්වලින් ම VPN එකක් අවශ්‍ය නම් ගෙවීමේ ක්‍රමයට යා හැකි බව ද එහි තවදුරටත් දැක්වෙනවා. 2015 දී පර්යේෂකයන් පිරිසක් පෙන්වාදුන් ආකාරයට ඔවුන් සතු bug එකක් නිසා වෙනත් ම පරිගණකයක පාලනය අතට ගැනීමට තවත් කෙනෙක්ට හැකියාව ලැබෙන බව එහි දැක්වුණා. ඊටත් වඩා භයානක දේ නම්, P2P ක්‍රමයේදී අපි වෙනත් කෙනෙක්ගේ පරිගණකයකින් අන්තර්ජාලයට සබැඳී හුදෙක් අපේ අනන්‍යතාවය රැකගැනීම පමණක් කළත්, වෙනත් රටක සාහසික අදහස් ඇත්තෙක් අපේ පරිගණකයෙන් කුමන දේවල් කරනු ඇත්දැයි අපිට කිව හැකි ද? අවසානයේ ලෝක අපරාධයක මහ මොළකරුවා අපි බවට පත්වනු ඇති. මන්ද, Hola සතු Luminati ව්‍යාපාරයේ මුදල් ගෙවා පිවිසෙන පරිශීලකයන්ට ලබා දෙන්නේ නොමිලේ Hola භාවිතා කරන අයගේ පරිගණක බව එම පර්යේෂකයන් හෙළිකර තිබෙනවා.

තවත් VPN සේවා රැසක්

මේ ආකාරයට තවත් VPN සේවා බොහොමයක් අයුතු ලෙස දත්ත පරිභෝජනයේ යෙදනෙවා. අප අතර ප්‍රසිද්ධ එකක් වූ Betternetහි ද ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක සතුව දත්ත සටහන් කරගන්නා libraries 14ක් ම ඇති බව ඕස්ට්‍රේලියානු රාජ්‍ය ආයතනයක් වන CSIRO නිකුත් කළ පර්යේෂණ වාර්තාවක දැක්වෙනවා. පහත දැක්වෙන්නේ එලෙස භාවිතයට හානිදායක ඒවා ලෙස හඳුනාගන්නා ලද VPN ලැයිස්තුවයි.

PureVPN
HideMyAss
HotSpot Shield
VPN Unlimited
VyprVPN
Astrill
ZoogVPN
Buffered
TigerVPN
Boleh VPN
Anonymizer
IPinator
Seed4.me
AnonVPN
FlyVPN
SunVPN
iPredator
HideIP VPN
VPN Gate
HolaVPN
Faceless.me
Betternet
Ace VPN
Flow VPN
Freedom-IP
IronSocket

ඔබ දැනටමත් මේවා පාවිච්චි කරනවා නම් ඉන් ඉවත්වීම සහ ඇප් ස්ථාපනය කර ඇත්නම් ඉවත් කිරීමයි නුවණට හුරු.

කවරයේ ඡායාරූපය: business-reporter.co.uk

Related Articles