Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වමත්කරුවන්ගේ පහසුව වෙනුවෙන්ම හැදුණු උපාංග

ලෝකයේ ජීවත් වන සියලු දෙනාගෙන්ම 70 – 95%ක් තරම් ප්‍රමාණයක් දකුණත්කරුවන් වීම ඇත්තටම විශාල ජීව විද්‍යාත්මක ප්‍රහේලිකාවක්. මේක ජානමය සාධක, පාරිසරික සාධක, ගර්භණී සමයේ ඇති විය හැකි සාධක, මොළයේ සැකැස්ම වගේ විවිධ ආකාරයේ හේතු ඇසුරෙන් පැහැදිලි කරන්න බොහෝ දෙනෙක් උත්සාහ කර තිබෙන නමුත් තවමත් 100% ක් සාර්ථක පැහැදිලි කිරීමක් කළ හැකි වී නැහැ. ඒකත් ස්වභාව ධර්මයේ යම් නීතියක් අනුව හරි, නැත්නම් යම් ආගමික හේතුවක් හරි නිසා සිදු වන්නක් වැනි විද්‍යාත්මකව සාධනය කළ නොහැකි පැහැදිලි කිරීමුත් මේ පිළිබඳව පවතිනවා.

ලෝකයේ ජනප්‍රිය, දක්ෂ, සාර්ථක, නැණවත් පුද්ගලයන් බොහෝ දෙනෙක් වමත්කරුවන්. මේ ඉන් කිහිප දෙනෙක්. (unbelievable-facts.com)

ඒ වගේ හේතු ප්‍රත්‍ය කොහොම වෙතත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ දකුණත්කරුවන් අති බහුතරයක් මැද වමත්කරුවන් සුළු පිරිසක් සිටීම සමාජයේ හරිම සුලභ සිදු වීමක් වීම යි. මේ නිසා යම් තාක් දුරකට විවිධ අපහසුතාවන්ට මුහුණ දෙන්නත් වමත්කරුවන්ට සිදු වෙනවා. ඒකට සමහරවිට ඇත්තටම කෙලින්ම කරන්න දේකුත් නෑ, මොකද දකුණු අතින් හසුරුවන්න සුවිශේෂීකරණය කෙරෙන බොහෝ උපාංග වමතිනුත් හසුරුවන්න පුළුවන් විදිහට තනන එක ප්‍රායෝගිකව කළ නොහැක්කක් වෙන්න පුළුවන්.

නමුත් වමත්කරුවන්ට මෙයින් ආසාධාරණයක් වීම වළක්වා ගන්න ඔවුන් වෙනුවෙන්ම සුදුසු වෙනත් උපකරණ නිර්මාණය කිරීම අද වන විට ඉතා සුලභව දකින්න ලැබෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ ඒ වගේ උපකරණ ගණනාවක් ගැනයි.

වමත්කරුවන්ට පහසු යතුරු පුවරු

reddit.com

අපි සාමාන්‍යයෙන් යතුරු පුවරුවක්, එහෙමත් නැති නම් කී බෝඩ් එකක් දැකලා තියෙන්නේ වම් පැත්තේ A-Z දක්වා අකුරුත්, දකුණු පැත්තේ 0-9 දක්වා අංක, දිශා යතුරු ඇතුළු වෙනත් බොහෝ යතුරුත් තියෙන ආකාරයට යි. මෙය සාමාන්‍යයෙන් සකස් කරලා තියෙන්නේ නිතරම අංක වැඩි වශයෙන් පාවිච්චි කරන්න සිදු වෙන රැකියා (උදා : බැංකු කැෂියර් කෙනෙක්) ආදියේ දී වැඩි පහසුවක් සැලසීම වෙනුවෙන්. කොහොම නමුත් දකුණත් හුරු අයට තියෙන මේ පහසුකමෙන් වමත්කරුවන්ට වැඩි ප්‍රයෝජනයක් ගන්න බැහැ.

නමුත් දැන් ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් සැකසූ කීබෝඩ් වෙළඳපොළේ තිබෙනවා. මේවායේ සාමාන්‍ය විදිහටම QWERTY යතුරු ප්‍රදේශය තිබුණත් අංක සහිත යතුරු සහ දිශා යතුරු ඇතුළු බොහෝ යතුරු තිබෙන්නේ වම් පැත්තේ. ඒ නිසා තමන්ට හුරු අතින් එය භාවිත කරන්න වමත්කරුවන්ට පහසුවෙන්ම පුළුවන්.

ගිටාර්

youtube.com

ගිටාර් කියන්නෙත් මුලින්ම කිව්වා වගේ දකුණත්කරුවන්ට සුවිශේෂීකරණය කරන්නම සිදු වෙන භාණ්ඩයක්. සමමිතිකව හදන්න පුළුවන් වුණත් එයින් සිදු වෙන්නේ දෙපිරිසටම අපහසුවෙන් භාවිත කරන්න සිදු වීම විතරයි. මේ නිසා අති බහුතරයක් ගිටාර් නිපදවෙන්නේ දකුණත්කරුවන් වෙනුවෙන්. බොහෝ විට එවැනි අවස්ථාවල සාමාන්‍ය ගිටාරයක strings ඉහළ පහළ මාරු කර යොදාගෙන භාවිතයට ගන්නා වමත හුරු සංගීතඥයන් සිටිනවා.

නමුත් වමත හිමි සංගීතඥයන්ට සැබෑ පහසුවක් සහ උපයෝගීතාවක් ඇතිව පාවිච්චි කරන්න ඔවුන් වෙනුවෙන්ම සුවිශේෂකරණය වූ ගිටාර් අද වන විට නිෂ්පාදනය වෙනවා. අඩු භාවිතය නිසා මිලෙන් තරමක් ඉහළ වෙන්න ඉඩක් තිබුණත් තමන්ගේ සංගීත භාවිතාවට වමත්කරුවෙක් වීම බාධාවක් කර නොගෙන ඉදිරියට යන්න මේ නිසා ඔවුන්ට හැකියි.

ක්‍රීඩා භාණ්ඩ

බොහෝ ක්‍රීඩාවල දී වමත්කරුවන්ට විශේෂ වාසියක් අත්වන අවස්ථා තිබෙනවා. මේ නිසා ඔවුන්ට සුදුසු ක්‍රීඩා භාණ්ඩ නිපදවීම නම් කලක සිට සිදු වන දෙයක්. නමුත් ඇතැම් විට එයට යම් තාක්ෂණික බාධාත් පවතිනවා.

හොකී

වමත් හොකී පිති නිපදවා ඇතත් බොහෝ තරඟවල භාවිතය තහනම්. (ahockeyworld.net)

හොකී පිත්ත වමත්කරුවන්ටත් භාවිත කළ හැකි සේ නිපදවන්න ප්‍රයෝගිකව බැරි නිසා දැනට පවතින එකම විසඳුම වන්නේ හොකී ක්‍රීඩාවේ යෙදෙන විට දකුණත හුරු කර ගන්නට සිදුවීම යි. ඉතාම පහසුවෙන් වමත්කරුවන්ට සුදුසු විදිහට හොකී පිති නිපදවන්න පුළුවන් වුණත් හොකීවල ස්වභාවය අනුව එය ක්‍රීඩාවේ දී යොදා ගන්න ගියොත් දකුණත්කරුවන්ට ක්‍රීඩාවේ යෙදෙන්න බැරි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙයින් ඔවුන්ට අනිසි වාසියක් අත් වෙන නිසා දැනට තහනම් කර තිබෙනවා. නමුත් ඒ විදිහට නිපදවෙන පිති භාවිත වන නොනිල තරග තිබෙනවා.

බේස් බෝල්

දකුණතට දැමිය හැකි බේස් බෝල් glove එකක්. (amazon.com)

බේස් බෝල්වලදීත් මේ විදිහෙම වාසියක් ඇති වුණත් ක්‍රීඩාවේ ස්වභාවය අනුව එයින් විශාල ගැටළුවක් නැහැ. මෙහිදී පන්දුව රැක ගැනීම සඳහා යොදා ගන්නේ නුහුරු අත වන අතර හැකි ඉක්මණින් නැවත විසි කිරීම සඳහා හුරු ඇත යොදා ගන්නවා. බෝලය රැක ගැනීම සඳහා විශේෂ ආකාරයේ අත් වැසුමක් (glove එකක්) නුහුරු අතට පළඳිනවා. මේ නිසා බොහෝ විට වම් අතට පැළඳිය හැකි අත් වැසුමකුත්, වමත්කරුවන්ට සුවිශේෂී වූ දකුණත් අත් වැසුමකුත් නිෂ්පාදනය කෙරෙනවා. වමත භාවිතය බේස් බෝල්වල බොහෝ අවස්ථාවල විශේෂ වාසියක් වෙන්න පුළුවන්.

ගොල්ෆ්

වමත්ව පහර දීමට වමත්කරුවෙකු වීම අනිවාර්ය නොවීමත්, එවන් පිත්තකින් පහර දීමේ බොහෝ ක්‍රීඩාවලින් වෙනස්ව ඒ සඳහා සුවිශේෂකරණය කළ පිති අවශ්‍ය වීමත් Golf වල එක සුවිශේෂීත්වයක්. (youtube.com)

ලෝකයේ ජනප්‍රියම වගේම විනෝදය තකා අති විශාල පිරිසක් නියැළෙන ක්‍රීඩාවක් වන ගොල්ෆ් සඳහා යොදා ගන්නා පිති සාමාන්‍යයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ දකුණතින් බලය ගන්නා ආකාරයෙනුයි. කොහොම නමුත් වමත්කරුවන්ට මෙහිදී තම වම් අතින් බලය ගැනීමෙන් වඩා හොඳින් ක්‍රීඩා කරන්න හැකියාව තිබිය හැකියි. ඒ විතරක් නෙවෙයි, ගොල්ෆ් වැනි පිත්තකින් පහර එල්ල කරන ක්‍රීඩාවක කෙනෙක් වමත් ද දකුණත් ද කියන එක සහ වමත්ව සහ දකුණත්ව පහර එන්න කරන්නෙක් කියන එක සෑම විටම සමාන නෑ. වමත්කරුවන් දකුණත්වත්, දකුණත්කරුවන් වමත්වත් පහර එල්ල කරන අවස්ථා තිබෙනවා. මේ නිසා ගොල්ෆ් ක්‍රීඩාවේ දකුණත් පිති තරමටම සුලභව වමත් පිතිත් බහුලව නිෂ්පාදනය වෙනවා.

මීට අමතරව දකුණත්ව හෝ වමත්ව පහර එල්ල කිරීම අනුව වෙනස් වන තවත් ක්‍රීඩා තිබුණත් ඒවාට යොදා ගන්නා උපාංග විශේෂයෙන් සැකසීම අවශ්‍ය නෑ. එකම උපාංග දෙපිරිසටම ගැටළුවක් නැතිව භාවිත කළ හැකියි. ක්‍රිකට්, ටෙනිස්, බැඩ්මින්ටන්, ටේබල් ටෙනිස් ඇතුළු ක්‍රීඩාවල පිති මෙයට හොඳ උදාහරණ.

පුටුවේම සවි කළ මේස

mherger.com

පෙර පාසලේ ඉගෙන ගන්නකොට පැදුරක් තරම් විශාල මේසයකුත්, පාසලේ දී තනි ඩෙස්ක් එකකුත්, උසස් පෙළ කරන විට කිහිප දෙනෙකුට පළල අඩු එක මේසයකුත්, විශ්ව විද්‍යාලයේ දී පුටුවෙම සවි කර පොතක් තබන්න යන්තම් ප්‍රමාණවත් ලෑල්ලකුත් හිමි වීම ඇත්තටම හිතලා බලන්න වටින දෙයක්. කොහොම වුණත් මේ විදිහට පුටුවෙම සවි කරන ලෑල්ල නම් වමත්කරුවෙකුට කිසිසේත්ම භාවිත කරන්න අපහසු යි. මේ නිසා සියලුම විශ්ව විද්‍යාලවල එකම පුටු පේළියේ වඩාත්ම වම් පසින් ඇති පුටුවවත් වමත්කරුවන්ට ගැළපෙන ලෙස ඒ පසින් ලෑල්ල සහිතව නිපදවා තිබිය යුතුයි කියා සදාචාරාත්මක නියමයක් තිබෙනවා. බිමට සවි නොකළ පුටු නම් කාමරයක් තුළ වමත්කරුවන්ට ප්‍රයෝජනයට ගැනීම සඳහා සුදුසු පුටු ප්‍රමාණවත්ව තිබිය යුතු වෙනවා. කොහොම නමුත් අපේ රටේ මේක කෙතරම් නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද කියලා නම් අපි දන්නේ නැහැ.

අනෙක් පැත්තට මුද්‍රණය කළ කාඩ් පැක් එකක් වුණත් වැදගත් වෙන්න පුළුවන් නේද? (kickstarter.com)

මීට අමතරව වැඩි ප්‍රයෝජනයකට නොගැනෙන වමත්කරුවන්ට සුවිශේෂකරණය වූ තවත් උපාංග බොහොමයක් තිබෙනවා. දකුණු පැත්තෙන් බඳින ලද පොත් (වමේ සිට දකුණට ලියන සිංහල, ඉංග්‍රීසි දෙමළ වැනි භාෂා සඳහා), වමතට වඩා පහසු කතුරු, දකුණතේ බැඳ වෙලාව සකස් කළ හැකි අත් ඔරලෝසු, අනෙක් පැත්තට මුද්‍රණය කළ ක්‍රීඩා කරන කාඩ් පැක්, මුළුතැන්ගෙයි උපාංග, වතු වැඩ සඳහා යොදා ගන්නා උපාංග, විවිධ වෘත්තීන්ට භාවිත කරන ආම්පන්න ඇතුළු බොහෝ දේවල්වල වමත්කරුවන්ට සුවිශේෂීව සාදන ලද උපාංග වෙළඳපොළේ තිබෙනවා.

එක් විශේෂ සඳහනක් විදිහට තවමත් කිසිවෙකුට විසඳන්න බැරි වුණු ප්‍රහේලිකාවක් අපේ බුද්ධිමත් Roar ටෙක් පාඨකයන් වෙත ඉතිරි කර යන්නත් අපි හිතුවා. ඒ තමයි වමත්කරුවෙක් ලියන විට ලියපු හැම දෙයක්ම මත අත ස්පර්ශ වෙන ගැටලුව. ඔබ දකුණත්කරුවෙක් නම් නිකමට තීන්ත ඉක්මණින් වේලෙන්නේ නැති පෑනකින්, මිනිරන් ගෑවෙන පැන්සලකින් යමක් අපහසුවෙන් හෝ ලියා බලන්න. ඔබේ අතේ තීන්ත ගෑවිලා තියේවි. මේකට සමහරු නම් කියන්නේ silver surfer syndrome හෙවත් ලියන විට වම් අත මිනිරන් තැවරී silver surfer ගේ අත වගේ වීමේ “සංකූලතාව” (හාස්‍යෝක්තියක්) කියල යි.

නියම දක්ෂයෙක් නම් මේ ගැටලුවට විසඳුමක් දෙන්න බලන්න (buzzfeed.com)

මෙන්න මේ ප්‍රශ්නය මග හරින්න පුළුවන් යම් ක්‍රමයක් හිතන්න ඔබට පුළුවන් නම් ඔබට ඉතිහාසගත වෙන්න පුළුවන් වේවි (අත ඔසවාගෙන ලිවීම හෝ තීන්ත නොගෑවෙන පෑනක් භාවිතය, අත යටින් යමක් තබා ගැනීම වගේ විසඳුම් නෙවෙයි, ඒ ගැන කිසිසේත්ම වද නොවී ලිවිය හැකි ක්‍රමයක් ගැනයි මේ අහන්නේ). මොකද කාලයක් තිස්සේ ප්‍රාඥයන් බොහෝ දෙනෙක් උත්සාහ කළත් මෙය විසඳන්න හැකි වී නැහැ. ඉතින් නිකමට උත්සාහයක් අරන් බලන්න. ඔබේ අදහස කමෙන්ට් කරොත් එහි හොඳ නරක ඔබටම දැන ගන්න පුළුවන්.

කවරයේ රූපය : ලොව හොඳම ගිටාර් වාදකයා ලෙස සැළකෙන වමත්කරු ජිමි හෙන්ඩ්‍රික්ස් (billboard.com)

Related Articles