Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google සමාගමේ වාර්ෂික සංවර්ධක සමුළුව: I/O 2017හි දැකගන්නට ලැබුණු හොඳ ම දේවල්

ගූගල් සමාගම තමන්ගේ ඉදිරි ගමන සහ නව නිශ්පාදන හඳුන්වාදීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන Google I/O මෘදුකාංග සංවර්ධක සමුළුව මේ වසරේදීත් 17-19 දින තුනක් පුරාවට පැවැත්වුණා. එහි ප්‍රධාන උත්සවය ඇමරිකාවේ කැලිෆෝනියානු ප්‍රාන්තයේ පිහිටි ෂෝලයින් රංගපීඨයේ පැවැත්වෙද්දී ලොව පුරා Google I/O Extended නමින් එහි ම දිගුවක් වශයෙන් කෙරෙන සමුළු පැවැත්වෙනවා.

ලංකාව ද BMICHහි දී එකක් ද ස්ටයින් ස්ටුඩියෝහිදී තවෙකක් ද ලෙස සමුළු දෙකක‍් පවත්වමින් ඊට එක්වුණා. ගූගල් සේවාවන්ට සහ ඇන්ඩ්‍රොයිඩ් වලට ප්‍රිය කරන අයට මෙම උත්සවය හරියට මහා සැණකෙළියක් වගේ. මොකද, ඉස්සරහට අපිට අත්දකින්න ලැබෙන්නේ මොන වගේ පුදුමාකාර දේවල්ද කියලා දැන්ගන්න හැමෝම ආසාවෙන්නේ ඉන්නේ. ඉතින් ගූගල් දෙයියා මේ වසරේදී අපිට ගෙන ආ අපූරු දේවල් ගොන්නෙන් හොඳ ම ඒවා කිහිපයක් මෙලෙස අපි ඔබ වෙත ගෙන එනවා.

Google Lens

ගූගල් සමාගමේ CEO සුන්දාර් පිචායි විසින් Google Lens හඳුන්වා දෙමින් (epimg.net)

ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දාර් පිචායි විසින් සමුළුවේ සුවිශේෂී හඳුන්වාදීමක් වූ ගූගල් ලෙන්ස් තාක්ෂණය පිළිබඳව හඳුන්වා දුන්නා. මෙමගින් ඔවුන් අරමුණු කරන්නේ ඔවුන්ගේ පරිගණක දෘෂ්ඨිය සහ කෘත්‍රීම බුද්ධිමය තාක්ෂණය ඔබේ දුරකථන කැමරාව වෙත ගෙන ඒමට යි. ඒ හරහා කැමරාවට ඔබ දකින දේ ම දකිනවා වෙනුවට ඒ දකින දේ ගැන බොහෝ විස්තර ඔබ හමුවේ තබන්නටත් හැකියාව ලැබෙනවා.

Google Lens සාර්ථකව මලක් සඳහා තම දැනුමින් ප්‍රතිචාර දෙන ආකාරය (amazonaws.com)

හඳුන්වාදීම අතරතුරදී මලක් වෙත කැමරාව යොමුකර ගූගල් ලෙන්ස් එක ඊට ප්‍රතිචාර දක්වන ආකාරය පෙන්වා දුන්නා. එහිදී Google Lens එම මල් වර්ගය හඳුනාගත්තා පමණක් නොව, ඒ අවට ඇති එම මල් මිලදී ගත හැකි ස්ථාන අවශ්‍යදැයි ද ප්‍රතිචාර දක්වනු ලැබුවා.

මෑතදී නිකුත්වූ Samsung S8 දුරකථනයත් සමඟ සැම්සන්ග් සමාගම හඳුන්වාදුන් Bixby නම් පෞද්ගලික සහකරුවා නිසා ගූගල් සමාගම ටිකක් ඒ ගැන උනන්දු වෙලා වගෙයි. මීට පෙරත් Google Goggles නමින් මේ ආකාරයේ ම යෙදුමක් තිබුණු අතර දැන් එය වඩාත් නවීකරණය කර Google Assistant ද එක් කරමින් Google Lens ලෙස ඉදිරිපත් කරනු ලබනවා. මේ හරහා වචන පරිවර්තනය කර ගැනීම්, රවුටරයේ පාස්වර්ඩ් එක සහිත පිවිසුම් දත්ත සහිත කොටස පෙන්වූ විට එම වයිෆයි සබඳතාවයට පිවිසෙන්නට වගේ හැකියාවන් රැසකින් එය සමන්විත යි.

Android O

Android 8.0 වැනි වෙළුම (techcrunch.com)

ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථන මෙහෙයුම් පද්ධතියේ 8 වැනි වෙළුම ලෙස නිකුත් වන්නට නියමිත Android O හි සංවර්ධක පෙරදැක්ම අප්‍රේල් මාසයේදී හඳුන්වා දුන් අතර එහි බීටා වෙළුම මෙවර Google I/Oහි දී නිකුත් කරනු ලැබුවා. මෙය දැනට ගූගල් සමාගමේ ම නිශ්පාදන වන Nexus සහ Pixel දුරකථන සඳහා ලබාදී ඇති අතර ඔබත් එම දුරකථනයක හිමිකරුවෙක් නම් අත්හදා බලන්නට පුළුවන්. හැබැයි තවම බීටාව නිසා දෝෂ ඇතිවන නිසා එදිනෙදා භාවිතයට සුදුසු නොවන බව නම් සිහිපත් කළ යුතුයි.

මුල් කාලයේ පටන් ම ගූගල් සමාගම Android වෙළුම් නම් කරද්දී පැණිරස කෑම වර්ගවල නම් යොදන්නට උත්සුක වුණා. ඒ නිසා මෙවර එයාලා Android OMG කියලා අමුතු නමක් දාලා පුදුම නොකළොත්: Oreo, Orange හෝ Oatcake වැනි නමක් පැමිණිය හැකි බව බොහෝ දෙනෙක් අනුමාන කරනවා. ඒකට පුංචි ඉඟියක් වශයෙන්දෝ මෙවර I/O ප්‍රධාන සමුළුවේදී මාධ්‍යවේදීන්ට ඔවුන් ලබාදී තිබුණේ Oreo නම් බිස්කට් විශේෂය යි. ඇන්ඩ්‍රොයිඩ්, ක්‍රෝම් ඇතුළු ව්‍යාපෘති රැසක ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරන Hiroshi Lockheimer විසින් ද Oreo වලින් සාදන කේක් වර්ගයක පින්තූරයක්, ආපනශාලාවක තිබී අහම්බෙන් දුටුවායැයි කියමින් එහි බිත්තියේ සකසා තිබූ Oreo යන අකුරු පෙළක් ආදී ට්වීට් කිහිපයක් ම පළ කර තිබෙනවා.

Android O කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් Oreo ද? (techcrunch.com)

නම මොකක් වුණත් අළුත් වැඩ කෑලි කිහිපයකුත් මේ සමඟ එනවා. ටයිප් කළ අකුරු පේළියක් select කිරීමේදී එය එක්වරක් ටැප් කළ විට ලිපිනයක් නම් Google Maps හරහා ඒ වෙත යන මාර්ගය ලබා දීමත්, දුරකථන අංකයක් නම් ඇමතුමක් ගැනීමත් සිදු කරන අතර වචන select කිරීමේදී ද එය පෙරටත් වඩා පහසු කොට තිබෙනවා.

Home තිරය හෝ වෙනත් යෙදුමක් භාවිතා කරන අතරතුර ම වීඩියෝ නැරඹීමේ පහසුකම, දැනුම්දීම්වලට අදාලව දඟලන ඇප් අයිකන, දැනුම්දීම් ලැබුණු විට අයිකනය මත කුඩා තිතකින් ඒ බව දැන්වීම, ඇප් අයිකනය මත මඳ වේලාවක් ස්පර්ශ කරගෙන සිටිය විට පෙන්වන අතිරේක මෙනුව සහ Vitals නම් වන පද්ධති ප්‍රශස්තකරණ සේවාවකුත් මෙය සතු වෙනවා. හැබැයි මේ බොහොමයක් විශේෂාංග iOS මෙහෙයුම් පද්ධතියේත්, වෙනස් කළ ඇන්ඩ්‍රොයිඩ් වෙළුමක් භාවිතා කරන සැම්සන්ග් දුරකථන වලත් අපිට දකින්නට ලැබුණු නිසා එතරම් පුදුමයක් දනවන්නේ නම් නැහැ.

Gmail සඳහාත් Smart Reply

Gmail මත ප්‍රතිඋත්තර යෝජනා දිස්වන ආකාරය (netimperative.com)

මෙතෙක් Google Inbox යෙදුමට පමණක් සීමාවී තිබුණු ස්මාර්ට් රිප්ලයි හෙවත් ලැබුණු ඊමේල් එකේ අන්තර්ගත තොරතුරු අනුව ඊට අදාලව ස්වයංක්‍රීයව අපට පිළිතුරු යෝජනා කිරීම දැන් Gmail සඳහා ද ලබාදී තිබෙන බව දැනුම් දෙනු ලැබුවා.

Google.ai ආරම්භය සහ TPU වැඩිදියුණු වීම

Google.ai වෙබ් අඩවියේ දැක්වෙන පරිදි සැම කෙනෙක්ට ම ගූගල්හි කෘත්‍රීම බුද්ධිය භාවිතා කළ හැකි බව පැවසෙන ආකාරය.

ගූගල් සමාගම විසින් මෙතෙක් කරගෙන ආ සියළු කෘත්‍රීම බුද්ධිමය ව්‍යාපෘති මෙතැන් පටන් Google.ai සෙවණට ගැනෙනවා. මේ හරහා ඔවුන් විසින් රැස් කරගන්නා යාන්ත්‍රික ඉගෙනුම් සහ කෘත්‍රීම බුද්ධිමය හැකියාවන් ගූගල් සමාගමේ Google Assistant වැනි නිශ්පාදනවල අභිවෘද්ධිය වෙනුවෙන් මෙන් ම තෙවන පාර්ශවීය මෘදුකාංග සංවර්ධකයන්ට ඒවා තමන්ගේ නිර්මාණවලට යොදා ගන්නට ද ඉඩ පහසුකම් සලසා දෙනවා. පසුගිය වසරේදී මෙම කෘත්‍රීම බුද්ධිමය දත්ත විශ්ලේෂණය සඳහා තම සමාගම විසින් ම නිපැයූ සුවිශේෂී ප්‍රොසෙසරයක් ඇතුලත් Tensor Processing ඒකක මේ වසරේදී වැඩි දත්ත ප්‍රමාණයක් අඩු කාලයකින් විශ්ලේෂණය කළ හැකි ආකාරයට තවදුරටත් සවිබල ගන්වා ඇති බව දැනුම් දුන්නා.

YouTube සඳහා Super Chat

YouTubeහි Super Chat පණිවිඩ දර්ශනය වන ආකාරය (socialblade.com)

යූටියුබ් සජීවී වීඩියෝවක් නරඹන අතරතුරේදී එම වීඩියෝව ගෙන එන කෙනාගේ අවට පරිසරයට කිසියම් වෙනසක් කරන්නට සහ ඔබ ඔවුන්ට දමන කමෙන්ට්ස්වලට විශේෂ ස්ථානයක් ලබා ගන්නට වගේ ටිකක් අමුතු ආකාරයේ දේවල් කරන්නට ඔබ කැමති නම් YouTube super chat ලෙස හඳුන්වාදුන් නවතම විශේෂාංගය ඒ හීනය සැබෑ කරනවා.

මෙහිදී සිදුවන්නේ ඔබ එම වීඩියෝවට කමෙන්ට් කිරීමේදී කැමති මුදලක් ගෙවීම යි. එවිට ඊට අදාලව වීඩියෝව ගෙන එන කෙනාට ඔබ පවසන දෙයක් කරන්නට හැකි අතර යූටියුබ් මත දී ඔබේ කමෙන්ට් එක අනෙක් අයගේ ඒවාට වඩා විශේෂ කොට පෙන්වනවා. මෙය සජීවී වීඩියෝ සිදුකරන අයට වෙළඳ දැන්වීම් වලට ම සීමා නොවී අමතර ආදායමක් උපයා ගන්නට අපූරු ක්‍රමයක්. මෙය හඳුන්වාදෙන අවස්ථාවේදී වේදිකාවේ විදුලි පහන් නිවීම වැනි දෑ කරමින් පැහැදිලි කරනු ලැබුවා.

සමාලෝචනය

අපි වෙනදා Google I/Oහිදී බලාපොරොත්තු වන තරම් ම අරුම පුදුම දේවල් මෙවර නම් දකින්නට ලැබුණේ නැහැ. විශේෂයෙන් පසුගිය අවුරුද්දේදී Google Duo, Allo වැනි යෙදුම් සමඟ Google Assistantගේ ආගමනය සිදුවීම වැනි කට ඇරගෙන අහගෙන ඉන්න හිතෙන දේවල් තිබුණත් මෙවර පැරණි දේවල් වලට ම යාවත්කාලීන ලැබීම පමණක් සිදුවීමත්, වෙනත් සමාගම්වල නිශ්පාදන හරහා අප දැක තිබුණු දේවල් ම ගූගල් වෙත පැමිණෙන බව අසන්නට ලැබීමත් නිසා Google I/O 2017 එහෙමටම නැගල ගියෙත් නැහැ. හැබැයි ජාවා වලටත් වඩා හොඳ සහ ජවයෙන් යුතු ක්‍රමලේඛන භාෂාවක් වන Kotlin සඳහා ඇන්ඩ්‍රොයිඩ් සහාය දක්වන බව ඔවුන් පැවසූ අවස්ථාවේ මෘදුකාංග සංවර්ධකයන් නැගූ ප්‍රීති ඝෝෂා හඬ එහි වටිනාකම නිතැතින් ම කියා පෑවා.

මූලාශ්‍ර:

 

  • androidcentral.com
  • techcrunch.com
  • pcadvisor.co.uk
  • Indianexpress.com

 

කවරයේ පින්තූරය: googleapis.com

Related Articles