Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබ අත්හදා බැලිය යුතු ම Google Maps විශේෂාංග

යම් තැනක් සොයාගන්න, උතුර-දකුණ මාරු වුණ වෙලාවට තමන් ඉන්නා තැන බලාගන්නට ගූග්ල් මැප්ස් වලින් අපිට ලැබෙන්නේ නොමඳ සහයෝගයක්. ඒත් ඔබ මේ වන විටත් එහි ඇති අපූරු විශේෂාංග භාවිතා කරන්නේ නැත්නම් එහි උපරිම ඵල නොවිඳිනවා වෙන්නට පුළුවන්. මෑතදී ත්‍රිමාණාකාරව සිතියමේ ඇති ගොඩනැගිලි දෙස බලන්නට, Uber හරහා අපි මඟ සැකසූ ස්ථානයකට රථයක් ගෙන්වා ගන්නට වැනි පහසුකම් රැසක් එක්වූ අතර ඒ අතර ඇති කිහිපයක් මෙලෙස ගෙන එන්නට අපි තීරණය කළා.

Maps වලට දායක වෙලා වාසි රැසක් ලබාගන්න

Local Guide dashboard එකෙහි වම්පස දායකත්ව ලකුණු සහ ඒ සඳහා ලැබෙන ත්‍යාග දකුණු පස දක්වා ඇති ආකාරය. මෙහි ගූග්ල් ප්ලේ ස්ටෝර් හරහා චිත්‍රපට rent කිරීමේදී වට්ටම් ලබාදී තිබෙනවා. (Thambaru Wijesekara)

ගූග්ල් මැප්ස්වල සිතියම් චන්ද්‍රිකා හරහා ලබාගත් ඡායාරූප මගින් ගොඩනැගුණත් එහි තිබෙන මාර්ග සිතියම්, ස්ථාන, ස්ථානවල තොරතුරු, ඡායාරූප ආදී විස්තරාත්මක දේවල් සියල්ලම ඊට එකතු වෙන්නේ ලොව පුරා සිටින ජනතාවකගේ දායකත්වයන් මත යි. ඉස්සර Maps editor නමින් වෙන ම උප වෙබ් පිටුවක් තිබුණත් දැන් එය ‘ප්‍රාදේශීය මාර්ගෝපදේශක දායකත්ව’ (Local Guides Contributions) නමින් භාවිතයට පහසු නමුත් විශේෂාංග වලින් පුළුල් සහ සංකීර්ණ වැඩසටහනක් ලෙස හඳුන්වාදී තිබෙනවා. එසේ ම මෙයට දායක වීමෙන් ලැබෙන ලකුණු අනුව පරිගණක ක්‍රීඩාවල වගේම අපේ මට්ටම (Levels) ඉහළ යන අතර, එම විවිධ Levels වලදී අපිට නිල ලාංඡන (Badge) සහ ත්‍යාග ද ලැබෙනවා.

ලකුණු 250න් ඇරඹෙන සිව්වැනි මට්ටමේ පටන් බැජ් ලැබෙන අතර ඔබේ පරිශීලක දත්ත සමඟ, ඔබ විවිධ ස්ථානවලට දමන විචාර (Reviews) වැනි ඔබේ නම සඳහන් වන ස්ථානවලදී මේ බැජ් එකත් පෙන්වන අතර ප්‍රමුඛතාවය ද ලැබෙනවා. ඔබේ ලකුණු වැඩිවත් ම අලුතින් එක් කරන ස්ථාන, තිබෙන ස්ථානවල තිබෙන දත්ත වෙනස් කිරීම් ඒ මොහොතේ ම සජීවී බවට පැමිණෙන අතර තවදුරටත් වෙනත් කෙනෙක් එය තහවුරු කරන තෙක් බලා හිඳීමට සිදුවන්නේ නැහැ.

ලබාදෙන ත්‍යාග අදාල මට්ටම් අනුව වෙනස් වන අතර කාලානුරූපව ගූග්ල් සමාගම විසින් ලබාදෙන ආකාරය අනුව ද වෙනස් වෙනවා. ගූග්ල් ප්ලේ ස්ටෝර් දීමනා සහ වට්ටම්, ගූග්ල් ඩ්‍රයිව් සඳහා ටෙරා බයිට් 1ක ඉඩකඩක් (අවුරුද්දක් වැනි සීමාසහිත කාලයකට) වැනි දේවල් ඒ අතර අඩංගු වන අතර, සමස්තයක් වශයෙන් ගූග්ල් නිෂ්පාදන නිකුත්වීමට පෙර අත්හදා බැලීමේ අවස්ථාව, ඒවාට අදහස් සපයමින් වෙනසක් කිරීමේ අවස්ථාව, වෙනත් ප්‍රාදේශීය මාර්ගෝපදේශකයන් සමඟ සමුළුවලට සහභාගී වීමට, ඔබ වගේ ම තවත් nerdsලා දැන හඳුනාගැනීමට ද මේ හරහා හැකියාව ලැබෙනවා.

ඔබ එන බව යාළුවන්ට සජීවීව පෙන්වන්න

ඔබ සිටිනා ස්ථානය සජීවීව පෙන්වීම සඳහා share කරන ආකාරය (Thambaru Wijesekara)

“මචං මම මේ එන ගමන්, විනාඩියෙන් ඔතන” කියලා ඇඳේ නිදාගෙන ඉඳිද්දී ම කියන යහළුවෙක් අපේ හැම සෙට් එකක ම ඉන්නවා. එහෙම කෙනෙක් නැත්නම් ඒ කෙනා ඔබ වෙන්නත් පුළුවන්. කොහොම නමුත්, කෙනෙක් එනකම් මඟ බලාගෙන ඉන්න එක නම් එපාවෙන වැඩක් බව තමයි හැමෝම කියන්නේ. ඒත් කොහොමද එයා එන මාර්ගය අපිට බලාගෙන ඉන්න පුළුවන් නම්? බස් එකක වගේ එනවා නම් බස් නැවතුම්වල නවත්වමින් සහ බස් එක රේස් යන හැටි වුවත් බලාගෙන ඉන්න පුළුවන්. මේ හරහා විශ්වාසය ගොඩ නැගෙනවා වගේ ම යමෙකු එනතෙක් හන්දියේ අඹගහ යට, උදේ ඉඳන් තේ උගුරක්වත් නැතිව බලාගෙන ඉන්නට සිදු වන්නේත් නැහැ. මෙතෙක් වෙනත් තෙවන පාර්ශවීය ඇප් සහ ගමනාගමන පහසුකම් සලසන Uber, PickMe වැනි ඒවායේත් ලබාදී තිබුණත් ඉතා මෑතක පටන් දැන් ඒවා නොමැතිව ගූගල් මැප්ස් හරහා ම ඒ අත්දැකීම අපිට ලබන්නට පුළුවන්.

දුරකථනයේ ගූග්ල් මැප්ස් ඇප් එක වෙත ගොස් එහි වම්පස මෙනුවේ ඇති Share location යන්න ටැප් කරන්න. මෙය පෙන්වන්නේ නැතිනම් ප්‍රථමයෙන් Play Store එකට ගිහින් ඇප් එක අප්ඩේට් කරගත යුතු වෙනවා. ඉන් අනතුරුව කොතරම් කාලයක් සඳහා, කුමන පුද්ගලයන් සමඟ ඔබේ සිටිනා ස්ථානය බෙදාහදා ගන්නවා ද යන්න සැකසිය හැකියි. එය SMS එකක්, ෆේස්බුක්, වට්ස්ඇප් හරහා මැසේජ් එකක් ලෙස යැවීමට හැකි අතර බෙදාගත්විට මැප්ස්වල දැනුම්දීමක් (notification) සහ ඊමේල් එකක් ද වශයෙන් ඔබ share කරන අයට ලැබෙනවා. එසේ ලැබෙන ලින්ක් එක හරහා පිවිසුණු විට ඔවුන්ට ඔබ සිටිනා ස්ථානය, වාහනයක යනවා නම් ඔබ චලනය වන ආකාරය ගූග්ල් මැප්ස් මත සජීවීව ම දැකබලා ගත හැකි වෙනවා.

ඔබ ආ ගිය තැන් පෙන්වන Timeline එක

දිනය තුළ ගමන් කළ ස්ථාන සහ එම ස්ථානයන්හිදී ගත් ඡායාරූප Timeline එකෙහි පෙන්වන ආකාරය (Thambaru Wijesekara)

ෆෝන් එකත් සාක්කුවේ දාගෙන, ⁣මොබයිල් ඩේටා සහ GPS සක්‍රීය කරගෙන ගමනක් යනවා නම් ඔබ තබන අඩියක් පාසා ම වාර්තාවක් ගූග්ල් මැප්ස්වල Timeline එකේ සටහන් වෙනවා. විනෝද චාරිකාවක් යද්දී ගිය තැන් සහ එම ස්ථානවලට ළඟා වීමට භාවිතා කළ මාර්ග/ සලකුණු මතක තියා ගන්න බොහෝ දෙනෙක් Swarm වැනි ඇප්ස් භාවිතා කළත්, ඒවායේ දත්ත ස්වයංක්‍රීය ව සටහන් වන්නේ නැහැ. එනමුත් ගූග්ල් මැප්ස් සමඟ ලබා දී ඇති Timeline එක නිසා ඔබ සිහි නැතිව හිස හැරුණු අතේ ගිහින් දවසාවසානයේ ගෙදර ආවත් ගියේ කොහෙද කියලා බලාගන්න පුළුවන්. ඒ වගේ ම ෆෝන් එක නැතිවුණත් එය ඇත්තේ කොහිදැයි දල අදහසක් ගන්නට මෙය උපකාරී වෙනවා.

මෙමගින් දවසේ ඔබ පිවිසුනු ස්ථාන (බොහෝ වේලාවක් රැඳීසිටි ස්ථාන) මංසලකුණු වශයෙන් ගෙන පෙන්වන අතර ඔබට අනශ්‍ය නම් ඒවා Timeline එකෙන් ඉවත් කරලීමට අවස්ථාව දී තිබෙනවා. ඒ වගේ ම මෙම ටයිම්ලයින් එක බැලිය හැක්කේ ඔබට ම පමණක් වන අතර එය share කිරීමේ පහසුකමක්වත් තවම ලබා දී නැහැ. හොඳ පැත්ත කෙසේ වෙතත් මේ පහසුකමට කෙනෙක් අකමැති වෙන්න හේතු කිහිපයක් තිබෙන්නට පුළුවන්. ඒවා අතර, ගිය ‘හොර ගමන්’ පවුල දකිවී යැයි බිය, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ලෙස ඔබ යන එක තැන් ඇමරිකාව බලාගනීවි යැයි බිය, සහ ලෝකයට අත්‍යාවශ්‍ය පූජනීය පුද්ගලයෙක් වශයෙන් ඔබේ එදිනෙදා දින චර්යාව ලෝකයා දැනගැනීම වගේ දේවල් ඇති. එනිසා මෙය අබල කරලන්නට ද ඔවුන් අවස්ථාව දී තිබෙනවා. ඒ සඳහා ගූග්ල් මැප්ස් ඇප් එකේ වම්පස මෙනුවේ Settings → Personal content වෙත පිවිස Location History තෝරන්න. එතැනින් එය සබල හෝ අබල කිරීම කළ හැකියි. දැනට රැස් කරගෙන ඇති සියළු දත්ත මැකිය යුතු නම් Location History එකට පහතින් ඇති ‘Delete all Location History’ යන්න ටැප් කරන්න.

පරිගණකයෙන් බැලූ ස්ථානය ක්ෂණිකව දුරකථනයට යවන්න

ඔබ කිසියම් ස්ථානයක් පරිගණකයෙන් සොයාගත්තාට පස්සේ ඊට අවශ්‍ය පාර පෙන්වීම් භාවිතා කරන්නට දුරකථනයෙන් නැවතත් එම ස්ථානය සොයා ගන්නට අවශ්‍ය වෙනවා. අමාරුවෙන් සොයාගත් ස්ථානයක් නම් නැවතත් දුරකථයෙන් එය කරනවා කියන්නේ එපා වෙන වැඩක්. ඒත් ඔබ පරිගණකයේ ගූග්ල් මැප්ස් වෙබ් අඩවියෙන් අවශ්‍ය ස්ථානය මත ක්ලික් කර වම් පස ඇති එම ස්ථානයේ විස්තර පෙන්වන තීරයෙන් ‘Send to Device’ යන්න ක්ලික් කළ විට එය ක්ෂණිකව ඔබේ ගූග්ල් ගිණුම භාවිතා වන දුරකථනයට දැනුම්දීමක් වශයෙන් ලබාගන්නට පුළුවන්. ඔබේ දුරකථනයේ මැප්ස් ස්ථාපනය කර නැත්නම් හෝ වෙනත් ගූග්ල් ගිණුමක් යොදා ඇත්නම්, SMS එකක් හෝ ඊමේල් පණිවුඩයක් ලෙසින් වුවත් ස්ථානය ගෙන්වා ගන්නට පහසුකම් සලසා තිබෙනවා.

ඉතින් මේ පහසුකම් ගැන ඔබේ අදහස කුමක්ද? Comment එකකින් ඒ ගැන අපිට කියන්න.

Cover image: digitaltrends.com

Related Articles