Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හොඳ ඩෙස්ක්ටොප් පරිගණකයක් තෝරා ගන්නේ කොහොමද?

Smart phone, tab ආවට පස්සේ ලැප්ටොප් එකට තිබුණු තැන නැති වුණාට තවමත් චිත්‍රපටියක් බලන්නට අවශ්‍ය උනාම දුරකථනයේ කුඩා තිරය මදි වෙලා නිතැතින්ම අතට ගැනෙන්නේ ලැප්ටොප් එක තමයි. ඒත් තවමත් desktop පරිගණක භාවිතය සම්පූර්ණයෙන් ඉවත් වී නැහැ. ඉතා බරපතළ ග්‍රැෆික් නිර්මාණ කටයුතු, video rendering ආදී කටයුතු සඳහා ෆෑන් එක මහ සද්දෙට ක්‍රියාත්මක වෙමින් ඉතා අමාරුවෙන් දුවන laptop එකකට වඩා desktop පරිගණකයකින් ඉතා පහසුවෙන් වැඩි බලයකින් යුතුව ඒවා කරගන්නට පුළුවන්කම තිබෙනවා.

ලැප්ටොප්වල භාවිත වෙන්නේ මොබයිල් ප්‍රොසෙසර නිසා ඒවාට බර වැඩ කරන්නට තිබෙන හැකියාව ඉතා අඩුයි. ඒ නිසා තවමත් ඩෙස්ක්ටොප් පරිගණක ගෙදරින් දොට්ට දමන්නට බැහැ. අඩු මිලට ගන්නට ඇති හැකියාව මෙන්ම එම මිලට ම ඉතා වැඩි බලයකින් යුත් හොඳ පරිගණකයක් සකසා ගැනීමට හැකිවීම බොහෝ දෙනෙක් තවමත් desktop පරිගණක වෙත යොමුවීමට හේතු සාධක වී තිබෙනවා.

ඔබට ඩෙස්ක්ටොප් පරිගණකයක් අවශ්‍ය ඇයි?

fendhome.com

ඔබ විවිධ ස්ථානවලට නොයා එකම තැනක ඉඳගෙන රාජකාරී කරන කෙනෙක් නම් ලොකු ගණනක් දීලා ලැප්ටොප් එකක් ගන්න එකේ තේරුමක් නැහැ. විශේෂයෙන් ඔබට කරන්නට තිබෙන්නේ ග්‍රැෆික් නිර්මාණ කටයුතු හෝ video editing කටයුතු නම් laptop එකකට වඩා desktop එකකින් ගන්නට පුළුවන් ප්‍රයෝජනය අති ඉහළයි. එහෙමත් නැත්නම් ගෙදර එන්න ඉඳගෙන පරිගණක ක්‍රීඩා කරන කෙනෙක් නම් ලැප්ටොප් එකට වඩා වැඩි බලයක් ඔබට අනිවාර්යෙන්ම ඔබේ සුපිරි ගේම් සඳහා අවශ්‍ය වනු නොඅනුමානයි. එකවර කටයුතු කිහිපයක් කරන්නට, ඒවා ඉතා බරසාර කටයුතු නම් ඊට ඔරොත්තු දෙන්නට හොඳින් තීරණය කොට තෝරා ගන්නා ලද desktop එකක් හොඳටම ප්‍රමාණවත්.

රත් වීම, දිගු කාලයක් උකුල මත තබා ගෙන භාවිත කිරීමේදී ඇතිවන ශාරීරික වේදනාවන්, බැටරි බලය පිළිබඳව බියකින් කටයුතු කරන්නට සිදුවීම සහ බැටරිය භාවිතයෙන් කටයුතු කිරීමේදී උපරිම බල සැපයුමක් ඔබගේ කටයුතුවලට ලබා ගන්නට නොහැකි වීම ලැප්ටොප්වල ඇති සාමාන්‍ය දුබලතා ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතා පහසුවෙන් රැගෙන යන්නට හැකි වීම හැරුණාම ෆෑන්වල සද්දයක් බද්දයක් නැතුව, රොටි පුච්චන්න තරම් රත් කර ගන්නේ නැතිව නිදහස් වැඩක් කරගන්නට පුළුවන් නම්, ඒ අනිවාර්යෙන්ම desktop තමයි.

මිලදී ගැනීමේදී යෙදවිය යුතු අවම මිල මෙන්ම කිසියම් කොටසක් අලුතෙන් දාන්න වුනොත් අපිටම අඩු මිලකට එම කොටස අරගෙන තනිවම සවි කරගන්නට පුළුවන් වීම ද මේවායේ ඇති තවත් විශේෂත්වයක්. මිලදී ගැනීමේදී ද ලැප්ටොප්වල මෙන් නිෂ්පාදක සමාගම විසින්ම ලබා දෙන විශේෂාංග වලට සීමා නොවී අපිට අවශ්‍ය පරිදි කොටස් එකතුකර සිතැඟි ආකාරයට සකසා ගත ගන්නට සහ ඕනෑ ඕනෑ වෙලාවට hard disk හෝ රැම් කිහිපයක් වුවත් එකවර එක් කරගනිමින් අපගේ අවශ්‍යතාවන් සපුරා ගන්නට මෙම පරිගණක හරහා හොඳ ඉඩකඩක් ලැබෙනවා.

මිලදී ගත යුත්තේ කුමන ආකාරයේ එකක්ද?

ඔබගේ අවශ්‍යතාවය අනුව හැම විටම ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඔබට උචිත ආකාරයේ මාදිලියක් තෝරා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඩෙස්ක්ටොප් පරිගණකවලත් විවිධ ආකාරයේ විවිධ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකසන ලද ඒවා දැක ගන්නට පුළුවන්. අපි මෙහිදී කාර්යයන් අනුව ඊට අවශ්‍ය පද්ධති අවශ්‍යතාවය කථා කරමු. ඔබට ගැලපෙන ආකාරයේ පරිගණකයක් අඩු මිලට assemble කරගන්නවා නම් ඊට අදාළ ව ඒවා උදව් කර ගන්නට ඔබට හැකියාව ලැබේවි.

System Unit එක වෙන ම තිබෙන පරිගණක

imgur.com

අපිට බහුලව දකින්න ලැබෙන්නේ මේ ආකාරයේ පරිගණකයි. මේවායේ තිරය සහ පද්ධති ඒකකය වෙන වෙනම තිබෙනවා. මොනිටරේ සමඟ කණුවක් හිටෙව්වා වගේ තිබෙන ‘ටවර්’ පරිගණක මාදිලිය පළලින් අඩු නිසා, අඩු ඉඩකඩක වුවත් පාවිච්චි කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තිරස්ව තැබිය හැකි පරිගණක මාදිලියේදී ද පද්ධති ඒකකය මත මොනිටරය තැබීමෙන් ඒ දෙකට වෙන වෙනම යන ඉඩ අවම කර කරගන්නට පුළුවන්.

පරිගණකය ගෙදර භාවිත කරනවා නම් එහි ප්‍රමාණය එතරම් ඔබට ගැටළුවක් වන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලදී ඉඩ ටිකක් වැඩිපුර ගියත් අඩු මිලකට වැඩි වැඩ කොටසක් කරගත හැකි ආකාරයේ ඩෙස්ක්ටොප් පරිගණක සකසා ගන්නට හැකියාව තිබෙනවා. මොකද, තාක්ෂණික මෙවලම් කුඩා වන තරමට ඒවායේ මිල ද ඉහළ යනවා. එවිට පෙනුම එතරම් වැදගත් නොවන අවස්ථාවලදී මුදල ගැන ඔබට අවධානය යොමු කරන්න පුළුවන්.

tomshardware.com

මෙම ආකාරයේ පරිගණක branded හෙවත් නිෂ්පාදන ආයතනය විසින්ම සකසන ලද ඒවා වශයෙන් ද ලබා ගන්නට පුළුවන්. එවන් ආකාරයේ එකක් මිලදී ගැනීමේ වාසිය වන්නේ යොදන ලද උපාංග එකිනෙකට ගැළපෙන ආකාරයෙන් ඔවුන් ඉතා හොඳින් අත්හදා බලමින් ඒවා ගලපා තිබීමයි. මේ නිසා ඒකාකාරී වේගයක් සහ සුමට ක්‍රියාකාරිත්වයක් ලබාගන්නට හැකියාව ලැබෙනවා. Branded වුවත් අපිට අවශ්‍ය ආකාරයෙන් පසුකාලීනව මේවායේ විශේෂාංග වෙනස් කරගන්නට පුළුවන් නිසා මුලදි ටිකක් මිල වැඩි වුණාට එය එතරම් ගැටළුවක් වෙන එකක් නැහැ.

රුපියල් 70,000කට අඩුවෙන් ගතහැකි Branded desktop පරිගණක ලෙස Acer Aspire Desktop, Ideacentre 300, ThinkCentre M53 සහ පරිගණක ක්‍රීඩා සඳහා උචිත CyberpowerPC Gamer Ultra GUA880 දක්වන්නට පුළුවන්. නිවසක සාමාන්‍ය කටයුතු සඳහා නම්; ගිගාබයිට් 3ක රැම් ධාරිතාවයක්, 120GB හාඩ් ඩිස්කයක් සහිත ඩුවල් කෝ(ර්) පරිගණකයක් තවමත් හොඳටම ප්‍රමාණවත්. එවැන්නක් ඉතා අඩු මිලට ඔබට ම සකසා ගන්නටත් පුළුවන්.

All-in-One ආකාරයේ පරිගණක

tqn.com

ඉතා අඩු ඉඩකඩක් භාවිත කරමින් වැඩි පෙනුමක් සහ හැකියාවන්ගෙන්ද ඉහළ destop අත්දැකීමක් සඳහා සියල්ලම එකට දමා තිරය ද එහි ඉදිරිපසට ගත් ආකාරයේ පරිගණක මීට අයත් වෙනවා. මේවා තනියම සකසා ගැනීම හෝ රෙපෙයාර් කිරීම අපහසු වන අතර හුදෙක්ම නිෂ්පාදිත ආයතනය විසින් ලබා දෙන ලද විශේෂාංගවලට නතු වී කටයුතු කරන්නට සිදු වෙනවා. මේවා සාමාන්‍යයෙන් ඉහළ ගුණාංගයන්ගෙන් යුතුව සකසා එවන නිසා නිතර නිතර නඩත්තු කරන්නට සිදුවීම හෝ විශේෂාංග මදි වීමක් සිදු වන්නේ නැහැ.

මහජනයාට විවෘත ස්ථානයක තිබෙන කාර්යාල මේසයක් සඳහා හෝ විසිත්ත කාමරයට පෙනෙන කාර්යාලයීය කාමරයක් සහිත නිවසක් නම් මෙම ආකාරයේ පරිගණක උචිත වෙනවා. ඔබ වැඩිය හාඩ්වෙයා සමග ගනුදෙණු කරන්නේ නැති සහ වයර්වලට වැඩිය ආස නැති කෙනෙක් නම් පිළිවෙලට සහ ලස්සනට මෙසේ තියාගන්නට all-in-one පරිගණක හොඳින්ම ගැළපෙනවා. මිලදී ගෙන ගෙදර ආවයින් පස්සේ මේවා සකසා ගැනීමත් ඉතාම පහසුයි.

HP Curved Envy AIO 34, HP – 19.5″ AMD E2 (රු. 50, 000 පමණ), Dell – Inspiron 23.8″ AMD (රු. 81,000 පමණ), Asus – Zen AiO (රු. 1,07,000) සහ ඇපල් iMac (රු. 1,68,000 පමණ) මෙම ආකාරයේ පරිගණක වශයෙන් දක්වන්න පුළුවන්.

ඉතින් ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලදී ගන්නට කැමති අයට තමන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයට අවම මිලකට වැඩි හැකියාවක් ලබා ගන්නට මෙන් ම එය ස්ථානගත කරන ස්ථානය අනුව ලබාගත යුතු මාදිලිය ද මේ අනුව තීරණය කරගත හැකි වෙනවා. හැබැයි හැමවිටම මිල ගැන ම නොසිතා අවශ්‍යතාවයන් වේගයෙන් සපුරා ගන්නට හැකි ආකාරයේ පරිගණකයක් තෝරා ගැනීම නුවණට හුරු වෙනවා. විශේෂයෙන් ඔබ රැකියාවක් වශයෙන් භාවිතා කරන්නට පරිගණකයක් තෝරා ගන්නවා නම් එය හැමවිටම හොඳ ආයෝජනයක් ලෙස ගැලපී යාවි.

කවරයේ පින්තූරය: elephantjournal.com

Related Articles