Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

WordPress වෙබ් අඩවියකට hosting තෝරාගන්නේ කොහොමද?

වර්ඩ්ප්‍රෙස් කියන්නේ එහි ඇති පහසුකම් සහ පහසුවෙන් සොයාගත හැකි සහාය නිසාම ලොව පුරා බහුලව පාවිච්චි වන වෙබ් අඩවි සැකසුම් සහ කළමනාකරණ පද්ධතියක්. අන්තර්ගත කළමනාකරණ පද්ධතියක් හෙවත් CMS (Content Management System) එකක් ලෙස එය වෙබ් අඩවියක් පවත්වාගෙන යාම සඳහා උපරිම සහයෝගය ලබා දෙනවා. වෙබ් හොස්ටිං එකක් සමග ලැබෙන පහසුකම් වැඩි වශයෙන් පාවිච්චි නොකරන කෙනෙක්ට වුවත් වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න වර්ඩ්ප්‍රෙස් පිළිබඳව පමණක් දැනුමක් තිබීමත් ප්‍රමාණවත් වෙනවා.

ඇයි වර්ඩ්ප්‍රෙස් හොඳ?

searchengineland.com

2003 වර්ෂයේ සිට අවුරුදු 15ක් පමණ කාලයක් මුළුල්ලේ වර්ධනය වෙමින් ආ වර්ඩ්ප්‍රෙස් සිංහල භාෂාවෙන් පවා පාවිච්චි කරන්නට පුළුවන් වෙබ් අඩවි කළමනාකරණ මෘදුකාංගයක්. මූලික වශයෙන් බ්ලොග්වලට මෙය සැකසුණත්, එහි ඇති පුළුල් පරාසයක හැකියාවන් සහ අපට ඕනෑ ලෙසකට වෙනස් කරගන්නට පුළුවන් නිසා එය බ්ලොග්වලට සීමා නොවී මාර්ගගත (online) වෙළඳසැළක්, ආයතන වෙබ් අඩවියක්, පෞද්ගලික වෙබ් අඩවියක් ලෙස ද සකසා ගන්නට පුළුවන්.

වර්ඩ්ප්‍රෙස් dashboard එකෙහි තේමා මාරු කරන්නට, ප්ලගින් මාරු කරන්නට, වෙබ් අඩවියේ නම ඇතුළු විස්තර වෙනස් කරන්නට, SEO සැකසුම් කරන්නට, නව පිටු එක් කරන්නට, නව post එක් කරන්නට මෙන්ම වෙබ් අඩවියට උඩුගත කරන ලද ඡායාරූප සහ අනෙකුත් ඈඳුම් ගොනු පාලනය කරන්නට ද අවස්ථාව දෙන නිසා cPanel හෝ Plesk වැනි ඉහළ තලයේ පාලක පුවරුවක අවශ්‍යතාවයෙන් තොරව ම වෙබ් අඩවියක් සම්පූර්ණයෙන් ම පාලනය කරමින් පවත්වාගෙන යා හැකියි.

මේ නිසා ම WordPress වෙනුවෙන් විශේෂ hosting සේවාවන් අඩු මිල ගණන් යටතේ ලබා දෙන්නට hosting සමාගම් පෙළඹී තිබෙනවා. නමුත් වෙබ් අඩවියක් ආරම්භ කරන කෙනෙක්ට ඇතිවිය හැකි ගැටළුවක් තමයි, සාම්ප්‍රදායික shared hosting එකක් ගන්නවා ද නැත්නම් WordPress වෙනුවෙන්ම ලබාදෙන wordpress hosting තෝරාගන්නවාද කියන එක.

Shared hosting වලින් ලැබෙන දේවල්

crotonwebdesign.com

වෙබ් hosting එකක් තෝරාගනිද්දි සැලකිලිමත් විය යුතු දේවල් පිළිබඳව අපි පෙර ලිපියකින් අප කථා කළ නිසා ඔබට ඒ ගැන දැනුමක් තිබෙනවා. එහිදී ලැබෙන බහුල option එකක් වන Shared hosting තෝරා ගැනීමේදී ඔබ වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සඳහා විශේෂයෙන් සැකසූ මෘදුකාංග පාවිච්චි කරන්නේ නැත්නම් Linux Shared hosting තෝරා ගැනීමෙන් මුදලක් ඉතිරි කරගන්නට වගේම වඩාත් ගැලපෙන මෙහෙයුම් පද්ධතිය ලෙස යොදා ගන්නට පුළුවන්. WordPress hosting තෝරා ගැනීමේදී ලැබෙන්නේත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියයි.

සාමාන්‍යයෙන් Windows සඳහා host කළමනාකරණ පද්ධතිය වශයෙන් Plesk ද Linux සඳහා cPanel ද ලැබෙනවා. මේවා හරහා DNS වෙනස්කම් කිරීම්, Subdomain සැකසුම්, ගොනු පාලනය සඳහා වෙබ් අතුරුමුහුණතක් සහ FTP පහසුකම්, SSL ස්ථාපනය කිරීම්, Redirect කිරීම්, ඊමේල් ගිණුම් පාලනය, දත්ත පාදක (Database) සැකසීම් සහ පාලනය ඇතුළු ඉහළ මට්ටමේ පහසුකම් රැසක් ලැබෙනවා. ඒ අනුව, මෙවැන්නක ඔබට WordPress ස්ථාපිතයක් මෙන්ම වෙනත් ඔබ විසින්ම සකසන ලද වෙබ් පිටුවක් subdomain එකක තබා ගැනීම සහ අවශ්‍ය නම් Joomla වැනි තවත් CMS එකක් පවත්වාගෙන යන්නට ද අවස්ථාව ලැබෙනවා.

Shared Hosting සඳහා ලැබෙන cPanel අතුරුමුහුණත (Thambaru/Roar)

ඔබ වෙනුවෙන් වෙන් කරන ලද ඉඩ පෞද්ගලික ගොනු, backup ආදිය තබා ගැනීමට සහ webdisk එකක් සකසාගෙන වෙබ් අඩවියේ ඉඩකඩත් පරිගණකයේ කොටසක්ම ලෙස පාවිච්චි කරන්නට ද මේ හරහා අවස්ථාව ලැබෙන අතර වැඩි resources ප්‍රමාණයක් (RAM ආදිය) ලැබෙන නිසා මධ්‍යම ප්‍රමාණයේ visitor count එකක් එනම්, ඔබේ වෙබ් අඩවියට අති විශාල වශයෙන් පිරිසක් වරකට පැමිණෙන්නේ නැත්නම් WordPress hosting එකකට සාපේක්ෂව Shared hosting එකක් ගැලපෙනවා. ඔබ වැඩිපුර download කරගන්නට විශාල ප්‍රමාණයේ ගොනු ලබා දෙනවා නම් සහ විශාල පිරිසක් වෙබ් අඩවියට පැමිණෙනවා නම් මේ දෙකම හැර Dedicated hosting වෙත යා යුතු වෙනවා.

WordPress hosting විවිධ මාදිලිවලින් පැමිණෙනවා

blog.cpanel.com

බොහෝ අඩුමිල වර්ඩ්ප්‍රෙස් හොස්ටිං සහ ඔබ WordPress.com වෙබ් අඩවියෙන්ම මුදල් ගෙවා Premium සේවාව තෝරා ගන්නවා නම් ලැබෙන්නේ හුදෙක් වර්ඩ්ප්‍රෙස් dashboard එක පමණයි. එහි වෙබ් අඩවිය පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම් සියල්ලම ලැබෙනවා. බ්ලොග් අඩවියක් නම් පෙනුම වෙනස් කරන්නට, නව ලිපි එක් කරන්නට, නව පිටු තනන්නට, SEO ප්ලගීන එක් කරගෙන සැකසුම් වෙනස් කරන්නට, ඡායාරූප උඩුගත කිරීම් සහ උඩුගත කරන ලද ඡායාරූප සහ අනෙකුත් ගොනු බලන්නට සහ මකා දමන්නට, වෙබ් අඩවියේ නම සහ අනෙකුත් මූලික විස්තර වෙනස් කරන්නට, තවත් පරිශීලකයන් සිටිනවා නම් ඔවුන්ට ගිණුම් සැකසීමට ආදී වර්ඩ්ප්‍රෙස් හරහා ලැබෙන සියළුම, එයට සාපේක්ෂව ඉහළ මට්ටමේ admin හැකියාවන් ඔබට ලබා ගන්නට පුළුවන්. මෙහිදී ලැබෙන වාසියක් නම්, ඔබ WordPress පමණක්ම වෙබ් අඩවියේ පාවිච්චි කරන්නට අදහස් කරනවා නම් මුදල් ගෙවා ලබාගත යුතු Plugins සහ Themes ද නොමිලේ ලබාගන්නට හැකිවීමයි. ඔබ මාර්ගගත වෙළඳසැළක් පවත්වාගෙන යනවා නම් එහි පාරිභෝගික දත්ත විස්තර, මිලදී ගැනීම් ආදී සියල්ල මෙහි සිටම පාලනය කළ හැකියි.

ඊට අමතරව ඇතැම් සේවා සම්පාදකයන් විසින් වර්ඩ්ප්‍රෙස් ස්ථාපිත shared hosting එකක් ලබා දෙනවා. මෙය Managed WordPress Hosting ලෙස හැඳින්වෙන අතර එවිට cPanel ද සමග එහි අන්තර්ගතයේ වර්ඩ්ප්‍රෙස්වලට අදාල පහසුකම් බොහොමයක් එක් කරනු ලබනවා. එය භාවිතයෙන් සාමාන්‍ය shared hosting එකකින් ලැබෙන පහසුකම්වලට අමතරව තේමා මාරු කිරීම් මෙන්ම නව තේමාවක් තැනීමට අදහස් කරනවා නම් ඒ වෙනුවෙන්ම වූ site builders පවා ලැබෙනවා. Premium themes ද හොස්ටිං එකත් සමඟම ලැබෙන අතර තවත් මිලදී ගැනීමට අවශ්‍ය නම් ඇතැම් සේවාවන් වට්ටම් ද ලබා දෙනවා. මේ සියල්ල ලැබෙන්නේ ඉහත වර්ඩ්ප්‍රෙස් dashboard එක සතු පහසුකම්වලට අමතරවයි.

වැඩිපුර හොඳ Shared ද, WordPress hosting ද?

dezzain.com

මේ පැණයට පිළිතුර තීරණය වන්නේ ඔබේ හැකියාවන් සහ අවශ්‍යතාවයන් මතයි. ඔබේ අරමුණ බ්ලොග් එකක්, පෞද්ගලික/ව්‍යාපාර වෙබ් අඩවියක් හෝ අන්තර්ජාල වෙළඳසලක් පවත්වාගෙන යාම පමණක් ම නම් සහ කිසි දිනෙක වර්ඩ්ප්‍රෙස් හැර වෙනත් ස්ථාපනයක් හෝ ඔබ විසින් සකසන ලද වෙබ් අඩවියක් පවත්වාගෙන නොයන බවට විශ්වාස නම් හුදෙක් මූලික මට්ටමේ wordpress hosting එකක් ප්‍රමාණවත් වෙනවා.

ඔබේ අවශ්‍යතාවය නොමිලේ ලැබෙන themes සහ plugin වාසි ද රැගෙන subdomain, DNS, FTP මෙන්ම Site Builder ආදියේ සහාය ලබා ගෙන හුදෙක් වෙබ් අඩවියක් පාලනය කිරීමෙන් මිදී තවත් වෙබ් අඩවි කිහිපයක් ද පවත්වාගෙන යාම නම් Managed WordPress hosting පැකේජයක් තෝරාගත හැකියි. මේ ආකාරය දෙකෙහිම hosting තෝරාගැනීමෙහි වාසිය වන්නේ සහාය ලබාගැනීමේදී වර්ඩ්ප්‍රෙස් පිළිබඳව හොඳින් දැනුවත් කාර්ය මණ්ඩලයක සහාය ලැබීමයි. සාමාන්‍ය Shared hosting එකක ඊට අදාළ මූලික මට්ටමේ සහාය ලැබුණත් ඔබට වර්ඩ්ප්‍රෙස් සම්බන්ධව මහා දැනුමක් නොමැති නම් මේ ආකාරයේ ඒ වෙනුවෙන් විශේෂිතව වෙන් කළ පැකේජයක් සමඟ වර්ඩ්ප්‍රෙස් විශේෂඥ දැනුම සහිත සහායක් ද බලාපොරොත්තු විය හැකියි.

Containers සහිත වෙබ් hosting එකක භාවිත resources ප්‍රමාණයන් පෙන්වන ආකාරය (imgur.com)

වර්ඩ්ප්‍රෙස් වෙනුවෙන් වූ විශේ්ෂිත පැකේජවල ඇති ගැටළුවක් නම්, ඔවුන් විසින් නම් කරන ලද ප්ලගීන ආදිය භාවිත කිරීමට නොහැකි වීමයි. Database optimize කරන ප්ලගින්, backup ලබාදෙන plugins ආදී දේවල් සහිතව සෑම සේවා සම්පාදකයෙක් සතුවම තමන්ගේ ලැයිස්තුවක් තිබෙනවා. මෙසේ සීමා පැණවීමට හේතුව එම ප්ලගින විසින් වැඩි resources ප්‍රමාණයක් හෙවත් RAM සහ CPU පාවිච්චි කිරීමයි. Shared hostingවලත් මෙලෙස resource limits තිබුණත් ඒවා wordpress hosting වලට වඩා ඉහළ මට්ටමක තිබීම සහ සහාය ඉල්ලූ අවස්ථාවකදී “ඇයි මේ අපි එපා කියපු ප්ලගින් එකක් දාලා තියෙන්නේ?” ආදී අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දීමට ඔබට සිදුවන එකක් නැහැ. එනිසා ඔබට වර්ඩ්ප්‍රෙස් ගැන ඉහළ මට්ටමක දැනුමක් තිබෙනවා නම් සහ/හෝ පසුකාලීනව වෙබ් අඩවියේ සැකැස්ම වර්ඩ්ප්‍රෙස් හැර වෙනත් විකල්පයක් බවට පත් කරන්නට අදහස් කරනවා නම් Shared hosting තෝරා ගැනීම සුදුසුයි.

ඒ අනුව නැවතත් සඳහන් කරනවා නම්, ඔබ WordPress වෙබ් අඩවියක් පමණක් පාවිච්චි කරනවා නම්, එය මහා පරිමාණ වෙබ් අඩවියක් නොවන්නේ නම්, ඒ වෙනුවෙන්ම වූ WordPress hosting පැකේජයකට යොමුවීම වඩාත් හොඳ විකල්පය බවට පත් වෙනවා.

කවරයේ ඡායාරූපය: kinsta.com

Related Articles