Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදුලිය කැපුවාම Smart Homeවලට මොනවා වේවි ද?

ලෝක බලශක්තිය අර්බුදකාරී තත්ත්වයක තිබෙනවා. පුනර්ජනනීය ශක්තීන් පිළිබඳව බොහෝ සමාගම් සහ රටවල් අවධානය යොමු කර තිබුණත් හයිබ්‍රිඩ් වාහනයක බැටරියක් මාරු කරන්නට සිදුවුණාම කොයිතරම් මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්නට වෙනවා ද යන්න ඔබට අසන්නට ලැබී ඇති. මෙවන් පසුබිමක් තිබුණත් නිවාස ස්මාට්කරණය වීමට එය බාධාවක් නොවෙයි. රටේ යටිතල පහසුකම් කෙලෙස වූවත් අන්තර්ජාල වෙළඳපොළ අරක්ගත් ස්මාර්ට් උපාංගවලින් අපේ නිවෙස් බලගන්වාගන්නට අපි දෙවරක් සිතන්නේ නැහැ. හැබැයි, නිතර කරන්ට් යන ගැටළුව ගැනත් විශේෂයෙන් ලංකාවේ අප සැලකිලිමත් විය යුතු යි.

අක්‍රීය දොරගුළුවලට ඔබව එළියේ තබන්නට ඉඩ නොදෙමු

යතුරක් ද සහිත අගුළක් (imgix.net)

ස්මාර්ට් නිවාස උපාංග අතරින් දකින්න පුළුවන් සිත්ගන්නාසුළුම උපාංගයක් තමයි දොර අගුළු කියන්නේ. චිත්‍රපටවල දකින්නට ඇති මුහුණ, ඇස්, ඇඟිලි සලකුණු ආදිය scan කරමින් අගුළු හරින දොරවල් දැකීමෙන් ඔද වැඩුණු කෙනෙක්ට තමන්ගේම ගෙදර එවැන්නක් තිබීම අපූරු අත්දැකීමක් වේවි. PIN හෝ Password මෙන්ම Fingerprint sensors සහිත දොරගුළු ස්මාර්ට් උපාංග අතර දැන් බහුලව තිබෙනවා. මේවා අන්තර්ජාලය හරහා දුරකතනයට ද App එකෙන් සබැ‍‍ඳ‍ෙමින් නිවසට පිවිසීම්, උපාංගය පිළිබඳ දත්ත ගෙන එන නිසා ඕනෑම ස්ථානයක සිට නිවස වෙත අවධානයෙන් ඉන්නට පුළුවන්. නමුත් විදුලිය බිඳවැටුණොත්?

බොහෝ දොරගුළුවල බැටරි අඩංගු කර ඇති නිසා විදුලිය බිඳ වැටුණු වහාම ඔබට නිවස තුළ හිරවෙන්නට හෝ වැඩ ඇරිලා ඇවිත් අන්දරේ වගේ ‍නෝනාව ඇහැරවන්න ළිඳට ගලක් දමන්නට ඕනෑ වෙන එකක් නැහැ. ‍හොඳ උපාංගවල අඩු බැටරි බලයක් භාවිතා වෙනවා වගේම, ඇතැම්වායේ කුඩා බැටරියට අමතරව 9V පමණ වූ බාහිර terminal එකකුත් ලැබෙනවා. එයටත් වඩා හොඳ විසඳුමක් වන්නේ යතුරක් ද සහිත දොරගුළක් තෝරාගැනීම යි. එවිට දින ගණනක් විදුලිය නැති වුවත් ගැටළුවක් වන්නේ නැහැ. නමුත්, විදුලිය ගිය වහා අන්තර්ජාලය නොලැබී යන බැවින් ඔබට දුරකතනය හරහා අගුළ පාලනය කරන්නට නොහැකි වේවි. එනිසා බ්ලූටූත් ත‍ිබීමත් තරමක plus point එකක්.

සොරුන්ට අත වනන ස්මාර්ට් කැමරා පද්ධති

හුදෙක් කැමරාවක් වෙනුවට Motion sensors ආදිය ද සහිත පද්ධතියක් ගොඩනගා, එය Smart Assistant එකට සබඳන්න (freshome.com)

තවමත් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ නිෂ්පාදනයක් වන “ස්මාර්ට් කැමරා” විදුලි බලය නැතිවූ වහාම ක්‍රියා විරහිත වෙනවා. අන්තර්ජාලයෙන් මිල දී ගත හැකි ඉහළ මිලැති මෙම උපාංග වයි-ෆයි හෝ රැහැනකින් සබැඳී ඇප් එකෙන් දර්ශනයන් නරඹන්නට ඔබට අවස්ථාව සලසනවා. නමුත් මේ බොහොමයක අමතර බැටරියක් නැහැ.

ඒ වෙනුවට දැන් ප්‍රචලිත වෙමින් යන ක්‍රමවේදයක් වන්නේ “Home security system” හෙවත් නිවාස ආරක්ෂණ පද්ධතිය යි. මෙහි බැටරි බල පද්ධතියක්, වීඩියෝ නැරඹීමට මධ්‍යස්ථානයක් වැනි විශේෂ පහසුකම් ලැබෙන අතර කැමරා ටෙලිෆෝන් වයර් හරහා සබැ‍ඳෙමින් අඛණ්ඩ විදුලි බල සැපයුමක් ද ලබා ගන්නවා. කැමරා සහ මධ්‍යස්ථානය හරහා සබඳතා ඇති කිරීමට cellular radio සංඥා යොදාගන්නා ඒවා cell එකක් ලෙස හඳුන්වන කුඩා ප්‍රදේශයකට විදුලි බිඳවැටුමක දී ද අඛණ්ඩව තම සංඥා විහිදුවනවා. අන්තර්ජාලය බිඳ වැටුණහොත් පද්ධතියක් නොවන කැමරාවක රෙකෝඩ් වීම් නැවතීම වළකාගන්නට එහි චිප් එකක් අඩංගු කිරීමේ පහසුකම වැදගත් වෙනවා. ඒවා නැවත සබඳතාව ලැබුණු විට රැස්කළ දත්ත සර්වරයට යවනු ලබනවා. VoIP ප්‍රොටෝකෝලය සහිත උපාංග ද අන්තර්ජාලය නැති වුණු අවස්ථාවන්හි දී අසරණ වෙනවා.

ලයිට් ආපු බව නොදන්නා “ස්මාර්ට්” බල්බ

වර්ණය වෙනස් කරන්නට මෙන්ම ගීත වාදනය කළ හැකි ඒවා ද තිබෙනවා (cbsistatic.com)

දැනට තිබෙන හෝල්ඩර්වලටම සබැඳිය හැකි, ඇප් එක හරහා වර්ණ වෙනස් කිරීම්, දීප්තිය අඩු වැඩි කරන්නට, අමතක වෙලා දාලා ආවොත් Off කරන්නට අවස්ථාව දෙන ස්මාර්ට් විදුලි බල්බ මාදිලි රැසක් වෙළඳපොළ දකින්නට තිබෙනවා. මේවා දිනයේ දෙන ලද වේලාවක දී ස්වයංක්‍රීයව දැල්වෙන්නට සමත් නමුත් විදුලිය ගිය අවස්ථාවක දී කෙලෙස කටයුතු කරාවි ද? ලංකාවේ අපි කරන්ට් ආවාදැ යි බලාගෙන්නේ අල්ලපු ගෙදර විදුලි පහන් දැල්වී ඇත්දැ යි බලලානේ. ඒත් බොහෝ ස්මාර්ට් විදුලි පහන් විදුලිය ලැබුණාටම ස්වයංක්‍රීයව දැල්වෙන්නේ නැහැ.

ඇතැම් ස්මාර්ට් නොවන විදුලි බුබුළු පවා බැටරියකින් මඳ වේලාවක් ධාවනය වෙනවා. හැබැයි තවත් අවස්ථාවක් තමයි, විදුලිය ලැබුණු විටම දැල්වෙන බුබුළක් රාත්‍රී 9ට විතර විදුලිය ගියාට පස්සේ, එය ක්‍රියා විරහත කරවන්නට අපිට නොහැකි වුවහොත් (හෝ පද්ධතිය ක්‍රියාත්මක කරවන්නටවත් සුළු හෝ බැටරියක් නොමැති අවස්ථාවක දී) එය අවසන් වරට දැල්වී තිබුණු නිසා එය නැවත උදේ 3ට විතර ක්‍රියාත්මක වීම. නිදාගෙන ඉඳිද්දී ලයිට් එකක් දැම්මාම සමහරු සිංහල හෝඩිය උගන්වන බව ඔබ දන්නවා ඇති. එවන් තත්ත්වයක මේවායෙන් නින්දටත් බාධා එල්ල වෙනවා.

Power Loss Recovery වැනි නම්වලින් හඳුන්වන විශේෂාංග සහිත විදුලි බුබුළු මෙවන් අවස්ථාවල දී බුද්ධිමත්ව ක්‍රියා කරනවා. ඔබ අවදිව සිටින කාලයක් තුළ නැවත විදුලි බලය ලැබුණහොත් සක්‍රීය වීම සහ උදේ 3 වැනි වේලාවක දී විදුලිය ලැබුණහොත් ක්‍රියාත්මක නොවී සිටින්නට ඒවා සමත් වෙනවා. එනිසා ස්මාර්ට් බල්බයක් ගන්නට පෙර විවිධ අවස්ථාවන්වල දී එය ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම වැදගත්.

අනෙක් උපාංගවලට එතරම් වැදගත් නැහැ

Assistant උපාංගවල කොහොමටත් බැටරි තිබෙනවා සහ ප්ලග් වලට විදුලිය නොමැති අවස්ථාවකදී ගැටළුවක් නැහැ (idgesg.net)

ස්මාර්ට් වායු සමීකරණ යන්ත්‍ර, ස්මාර්ට් රූපවාහිනී, Smart Assistant උපාංග ඇතුළු දෑ විදුලිය නැති විට කොහෙත්ම ස්මාර්ට් නැහැ. නිවසේ ආරක්ෂාවට වැදගත් වන ස්වයංක්‍රීය ගරාජ් දොරවල්, අගුළු හෝ කැමරා ආදිය හැරුණු විට, එවන් තෘතීයික උපාංග තෝරාගැනීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතු නැහැ. මන්ද, ස්මාර්ට් නිවසකට හිමිකම් කියන්නට “විදුලි බලය බිඳ වැටීම” කියන දේ අපව වළක්වන සාධකයක් කර නොගත යුතුයි. තාක්ෂණය සමග ඉදිරියට යමින් එහි ඇති උපරිම ඵල නෙලාගන්නට නම්, විද්‍යා ප්‍රබන්ධමය චිත්‍රපටයක දුටු නිවසක් තමන්ගේ නිවස බවට පත්වීමේ සිහිනයට අකුල් හෙලාගත යුතු නැහැ. ඒත්, අන්තර්ජාලය සබඳතාව අඛණ්ඩව තිබීම බොහොම වැදගත්.

සූර්යය බල ශක්තිය ප්‍රචලිත වෙමින් පැවතීම නිසා බැටරි පද්ධතියක් නිවසට ලැබීමෙන් විදුලි බලය නැතිව යාමේ ගැටළු අවම වන අතර, එසේ නොවන අවස්ථාවක විශාල බැටරි පද්ධතියකට මුදල් යොදවනවා වෙනුවට අත්‍යාවශ්‍ය ස්මාර්ට් උපාංග සඳහා අඩු මිලකට ගත හැකි UPS එකක් සවි කරන්නට පුළුවන්.

දැනටම බොහෝ දෙනෙක් Arduino හදාරමින් ඉන් තමන්ගේම ස්මාර්ට් උපාංග නිපදවනු සමාජ ජාල තුළ දකින්නට ලැබෙනවා. එවන් අයටත් විදුලි බලය නොමැති අවස්ථාවක දී තමන්ගේ උපාංගයට සාර්ථක විසඳුමක් සැපයිය හැකි නම් එය වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ දී පාරිභෝගික අවධානය ලබා ගන්නට විශේෂ හේතුවක් වේවි.

ස්මාර්ට් නිවාස සංකල්පය ගැන ඔබේ අදහස මොන වගේ ද?

කවරය: pinimg.com

Related Articles