Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ආරක්ෂාව වැඩිකරගන්නා හැටි

දුරකතනය අපේ සෑම තොරතුරක්ම සහිත සහෘදයා බවට පත්ව තිබෙන නිසා අද ජීවිතයටත් වඩා වැඩි වටිනාකමක් දුරකතනයට ලැබී තිබෙනවා. මොහොතකට හෝ සාක්කුවේ දුරකතනය නැති බව දැණුනහොත් ක්ෂණික හෘදයාබාධයක් සමඟ අත සාක්කුවේ පිටතින් තදකර සහ ඉන්පසු ඇතුලතින් පතුලට යන්නේ එය සාක්කුව සතුවම ඇත්දැයි සැක හැර දැන ගැනීමටයි. මොහොතකට දුරකතනය අමතක වී ගියහොත් ෆේස්බුක් එක පුරා ඔබේ ප්‍රොෆයිල් එකෙන් පැටිකිරිය දිගහරින්නට බලා සිටින මිතුරන් පිරිසක් සිටිනවා නම් සහ දුරකතනයේ ඇති වැදගත් ගොනු වයිරස්වලිනුත්, දුරකතනය සොරකම් කිරීමක් හරහා ඒවා වෙනත් පාර්ශවයන්ගේ අතට පත් නොවීමෙනුත් ආරක්ෂා කරගන්නට අවශ්‍ය නම් දුරකතනයේ රැකවල් තර කරන්නට දැන් කාලය හරි.

තිර අගුළ

droid-life.com

නිවසේ ප්‍රධාන දොරට ලොක් එකක් අවශ්‍ය වන්නේ යම් සේ ද, දුරකතනයේ මුල් තිරයටත් එවන් සැලකීමක් ම ලබාදිය යුතු වෙනවා. McAfee සහ One Poll හරහා සිදුකරන ලද ප්‍රශ්නාවලියක් අනුව පිළිඹිබු වී ඇත්තේ ඊට සහභාගී වූ අයගෙන් 36%ක්ම දුරකතනයට මුරපදයක් යොදා නොමැති බවයි. මුල් කාලයේ මුරපදවලට පමණක් සීමා වුවත් පසුගිය වසර කිහිපය තුළ නිකුත්වූ දුරකතන සෑම එකකම පාහේ PIN අංකයක්, පාස්වර්ඩ් එකක් පමණක් නොව Pattern එකකින් පවා ආරක්ෂණය කළ හැකි වූයේ අංක සහ අකුරු මතක තබාගන්නවාට වඩා රටාවක් මතක තබා ගැනීම වඩාත් පහසු එකක් නිසායි. පාස්වර්ඩ් එකකට වඩා pattern එකක ආරක්ෂිත බව අඩු බව සහ තිරය මත ඇඟිලිවල දාඩිය නිසා pattern එකේ සලකුණ ඉතිරි වීම වැනි අවාසි තිබුණත් සංකීර්ණ ආකාරයට යොදන ලද pattern එකකින් දුරකතනයට ලැබෙන ආරක්ෂාව ප්‍රමාණවත් වෙනවා. මෙයට අමතරව නූතන දුරකතනවල ඇඟිලි-සලකුණු සංවේදකයක් සහ මිල අධික ඒවායේ ඇසේ තාරා මණ්ඩලය පරිලෝකනය කිරීම් පහසුකම, මුහුණු-සලකුණු හඳුනාගැනීම වැනි ආරක්ෂාවන් ද ලබා තිබෙනවා. නමුත් තවමත් Swipe to Unlock හෙවත් කිසිදු ආරක්ෂාව නොමැතිව දුරකතනය පාවිච්චි කරන අය සිටින අතර එය නම් හොඳ දෙයක් නොවෙයි.

තිර අගුළක් දැමීම සඳහා ඇන්ඩ්‍රොයිඩ් Settings → Lock Screen & Security (දුරකතනයේ වර්ගය අනුව මෙම වචන වෙනස් විය හැකියි) වෙත පිවිස ඉන් එහි ඇති ලැයිස්තුවේ ඔබ කැමති ආරක්ෂණ මට්ටමක් තෝරා එය යොදන්න. PIN එකක් හෝ password එකක් යොදනවා නම් 1111, 1234 වැනි අනුමාන කළ හැකි ඒවා වෙනුවට සංකීර්ණ එකක් යොදන්නට ද අමතක කරන්න එපා.

App Permissions බලන්න

purch.com

අලුතෙන් ඇප් එකක් ස්ථාපනය කරගනිද්දී මෙන්ම දැනට ස්ථාපිත ඇප්ස්වල පවා permissions ඉල්ලා තිබෙන්නේ මොනවාටදැයි දැනුවත්ව සිටීම වැදගත් වෙනවා. මන්ද, ඔබේ සියළු දත්ත උකහා ගැනීම සඳහා විවිධ සාහසික කේත සහිත ඇප්ස්වලින් මාන බැලිය හැකි නිසා දුරකතන මෙහෙයුම් පද්ධතියෙන් එවන් දෑ සිදුවීම වළක්වා තිබුණත් ඔබේ නොදැනුවත්කම, නොසැලකිලිමත්කම නිසා සියළු දත්ත ලබා ගන්නා ලෙස ස්ථාපනය කරගැනීමේදීම එම ඇප්ස් වලට අවසර ලබාදී තිබිය හැකියි.

ඇප් එකක් Play Store එකෙන් ස්ථාපනය කරද්දී එම පිටුවේ පහතින්ම ඇති Developer යන කොටස යටතේ ඇති Permission Details වෙත පිවිසුණු විට එම ඇප් එක විසින් ඔබේ දුරකතනයේ කුමන දේවල්වල පාලනය අතට ගන්නවා ද යන බව සොයාගත හැකියි. ස්ථාපිත ඇප්ස්වලින් විශේෂ ක්‍රියාවන්, එනම් ඡායාරූප ගැනීමට කැමරාව භාවිතය, SMS කියවීමට උත්සාහ කිරීම වැනි දේ මුල්වර කරද්දී ඒ බව දුරකතනයෙන් අපට දැනුම් දෙන අතර ඊට අවසර දිය යුතු ද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව ද සලසා දෙනවා. Flashlight, Weather වැනි ඇප් එකකින් කරන්නේ දුරකතනය විදුලි පන්දමක් බවට පත් කිරීම සහ කාලගුණ අනාවැකි ලබාදීම නම් එවන් ඇප් එකකට ඔබේ කැමරාව, මයික්‍රොෆෝනය පාවිච්චි කිරීම සහ SMS කියැවීමට අවශ්‍යතාවක් නැහැ. එවන් කූට අවස්ථාවලදී ඔබ සැලකිලිමත් විය යුතුයි.

ආරක්ෂාව වෙනුවෙන් ඇප්ස්

feedmaza.com

දුරකතනය නැතිවූ අවස්ථාවකදී එහි මොබයිල් ඩේටා හෝ WiFi සක්‍රීයව තිබෙනවා නම් එය තිබෙන ස්ථානය දැනගන්නට ගූග්ල් සමාගම වෙතින්ම මෙහෙයුම් පද්ධතියේ අඩංගු කර ඇති සේවාවන් පාවිච්චි කරන්නට https://www.google.com/android/find වෙබ් පිටුව හරහා අවස්ථාව සලසනවා. එසේම find my phone ලෙස ගූග්ල් සර්ච් කිරීමෙන් ද සෙවුම් පිටුවේ සිටම දුරකතනය තිබෙන ස්ථානය දැකගන්නට පුළුවන්. මෙම සේවාව හරහා දුරකතනය silent තිබුණත් විනාඩි 5ක් යනතෙක් එක දිගට නාද කරවීමට, දත්ත සියල්ල මකා දැමීමට හෝ ලොක් කිරීමට අවස්ථාව සලසා දෙනවා.

මීට අමතරව AndroidLost වැනි තෙවන පාර්ශවීය ඇප් එකක් හරහා ඔබේ දුරකතනයේ අගුළු හැරීමට වැරදි pattern හෝ password ඇතුලත් කරන අයගේ ඡායාරූපයක් ඊමේල් කරවාගන්නට පුළුවන්. මෙහිදී සිදුවන්නේ ඔබේ දුරකතනයේ අගුළු හැරීමට නොදන්නා කෙනෙක් එය කිරීමට උත්සාහ දරද්දී ඔවුන් ද නොදැනුවත්ව ඉදිරිපස කැමරාව සක්‍රීයවී ඡායාරූපයක් ලබා ගෙන මොබයිල් ඩේටා සක්‍රීයව ඇත්නම් එය එවෙලේම ඔබට ඊමේල් කිරීමයි. මේ හරහා ඔබ නොදැනුවත්ව යමෙක් දුරකතනය අවභාවිතා කරන්නට සැරසුණොත් ඡායාරූප සාක්ෂි හරහාම ඔවුන්ව අල්ලා ගන්නට පුළුවන්. එහි වෙබ් අඩවිය හරහා දුරකතනයේ mobile data සක්‍රීයව තිබෙනවා නම් ගූග්ල් වෙතින් ලැබෙන පහසුකම්වලටත් වඩා ඔබට පූර්ණව පාලනය කළ හැකි ආකාරයේ පහසුකම් සපයා දෙන නිසා දුරකතනය නැතිවූ අවස්ථාවකදී ඉදිරිපස, පසුපස කැමරා ක්‍රියාත්මක කරවමින් එය අතැති අයගේ මුහුණු සහ ඔවුන් සිටින පරිසරය බලාගන්නට ඔබට නිවසේ සිටම හැකියාව ලැබෙනවා. Cerberus කියන්නේත් ඒ ආකාරයේම සේවාවක් සපයන ඇප් එකක් සහ වෙබ් අඩවියක්.

Anti-Virus ඇප්ස්

fonpit.de

වයිරස් ගාඩ් එකක් දුරකතනයේ සක්‍රීයව ධාවනය වෙද්දී මඳක් හෝ පැරණි දුරකතනයක් නම් එය ස්ලෝවීම සාමාන්‍ය දෙයක්. ඔබ නිරන්තරයෙන් දුරකතනය භාවිතයෙන් අන්තර්ජාලයෙන් විවිධ දෑ බාගත කරනවා නම් සහ නොදැනුවත්වම ඇඩ් ක්ලික් වී ඇප්ස් ඉන්ස්ටෝල් වීමට ඉඩ හරිනවා නම් අනිවාර්යයෙන්ම වයිරස් ගාඩ් එකක් තබා ගැනීම නුවණට හුරු වෙනවා. PlayStore එකෙන්ම හැර ඇප්ස් දුරකතනයට ස්ථාපනය කරගනිද්දී ඒවා හරහා විවිධ ආකාරයේ වයිරස පැමිණිය හැකි අතර ඒවායෙන් ඔබේ දුරකතනයේ ඇති වටිනා පෞද්ගලික දත්ත උකහා ගැනීම සහ අනවශ්‍ය සැකසුම් කිරීම, හිටිවනම ඇඩ්ස් පෙන්වීම වැනි සාහසික ක්‍රියාවන් දක්වනවා නම් එවන් ආකාරයේ අවස්ථාවන්ගෙන් මිදෙන්නට වයිරස් ගාඩ් එකකින් උපකාර ලැබෙනවා. සැම්සන්ග් වැනි සමාගම් දුරකතනය සමගම පෙරනිමියෙන් වෛරස් ගාඩ් ලබාදෙන අතර අවශ්‍ය නම් ඒවාට සහ ඕනෑම දුරකතනයකට Avira, Avast, AVG වැනි නම් දැරූ ආයතනයක නිෂ්පාදනයක් PlayStore එක හරහා නොමිලේ ස්ථාපනය කරගන්නට පුළුවන්. ස්ලෝ වෙනවාට වඩා දත්ත ආරක්ෂාව වඩාත් වැදගත් වන බැවින් ඔබේ අපරීක්ෂාකාරී බව ඔබම දන්නා නිසා එයින් එකක් ස්ථාපනය කොට තබා ගැනීම malware ඇප් එකකින් ආරක්ෂා වන්නට දිනෙක මහත් පිටිවහලක් වේවි.

ඔබේ දුරකතනය ආරක්ෂා කරගන්නට ඔබ මේ වන විට ලබාගෙන තිබෙන පියවර මොනවාද?

කවරයේ ඡායාරූපය : gadgethacks.com

Related Articles