Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Keyword Research එකක් කරන්නේ මෙහෙමයි

වෙබ් අඩවියක් ගොඩනැගීමේ දී බිලියන ගණනක් වූ අනෙකුත් වෙබ් අඩවි අතරින් සෙවුම් යන්ත්‍ර හරහා ඔබේ වෙබ් අඩවිය ඉහළට ගෙන ඒම අත්‍යවශ්‍ය කාරණාවක් වේ. විශේෂයෙන් ව්‍යාපාරික වෙබ් අඩවියකට නව ‍පාරිභෝගිකයන් ලබාගැනීම සඳහා Keywords නිවැරදිව භාවිතා කිරීමෙන් වැඩි ඵලදායීතාවක් ලද හැකිය. මේ සඳහා හොඳ Keyword Research එකක් කළ යුතු වේ.

Keyword Research කියන්නේ මොකක්ද?

මූලපද පර්යේෂණය Search Engine Optimization (SEO) සඳහා අත්‍යවශ්‍ය පියවරකි. (hostpapa.ca)

Google, Bing වැනි සෙවුම් යන්ත්‍රවලට ඇතුළත් කරන වචන Keywords නමින් හැඳින්වේ. ඒවායෙන් ලැබෙන ප්‍රතිඵලවල ඉහළ කිහිපයේ රැඳිය හැකි නම් වෙබ් අඩවියක් පවත්වා ගෙන යන්නෙකුට එය වාසියක් වන අතර, ව්‍යාපාර සඳහා එය නව පාරිභෝගිකයන් ගෙන එයි.

Keyword Research හෙවත් මූලපද පර්යේෂණය යනු, පරිශීලකයන් වැඩිපුර සෙවීම් කරන වචන මොනවාද යන්න පිළිබඳව දැනුවත් වීම ය. ඒවාට අදාළ ව වෙබ් අඩවිය සකසා ගැනීමෙන් නිෂ්පාදන ප්‍රචලිත කරගන්නට අවස්ථාව ලැබේ. මෙය SEO කිරීමේ දී කළ යුතු මූලික පියවරකි.

Keyword Research කිරීමේ දී හුදෙක් keyword එකකට ඇති ප්‍රසිද්ධිය සොයාගැනීම පමණක් නොව, කිසියම් දෙයක් පිළිබඳව සෙවීමට පරිශීලකයන් භාෂාව භාවිතා කරන ආකාරය ගැන දැනුමක් ලබාගැනීම යි. එසේම, පාරිභෝගිකයන් වැඩිපුර සොයන්නේ කුමක්ද යන්න අවබෝධ කරගත් විට ඊට සරිලන නිෂ්පාදන එකතු කිරීමෙන් තමන්ගේ ව්‍යාපාරය වර්ධනය කර ගන්නට ද අවස්ථාව ලැබේ.

කළ යුතු වාර ගණන තීරණය වන ආකාර

විවිධ සාධක මත විවිධ අවස්ථාවන්හි දී Keywords සකසා ගැනීම අවශ්‍ය වේ. (fabrikbrands.com)

Keyword Research කිරීම කළ යුත්තේ වෙබ් අඩවිය සකසන අවස්ථාවේ දී පමණක් නොවේ. මාසයේ විවිධ කාලවල දී ඇති වන ප්‍රවණතා (trends) අනුව, ඔබේ ක්ෂේත්‍රයේ සිදුවන නව වර්ධනයන් අනුව, තරගකාරීත්වයක් ඇති වන අවස්ථාවන් ආදියේ දී තමා ඒවාට අනුරූපව හැඩගැසී තිබෙන්නේ ද යන්න තහවුරු කරගත යුතු වේ.

ඇඟළුම් ව්‍යාපාරයක් උදාහරණයක් ලෙස ගනිමු. මේ ක්ෂේත්‍රයේ අලුත් අවුරුදු සමය, Black Friday, නත්තල වැනි කාලවල දී ඇතැම් keywords වෙත වැඩි වටිනාකමක් ලැබේ. ඒ අතරේ, වෙනස් වන විලාසිතා ප්‍රවණතා අනුව තාවකාලිකව (මාසයකට-දෙකකට) නව keywords පැමිණිය හැක. කිසියම් චිත්‍රපටයක/ ගීත වීඩියෝවක තිබුණු ඇඳුමක් නිසා එවන් තාවකාලික ප්‍රවණතා ගොඩනැ‍ගේ. ඊට අමතරව, කාලානුරූපව බිහි වන නව විලාසිතා අනුව නව keywords බිහි වේ.

මේ සියල්ල පාඩුවේ කරගෙන ගිය ද හදිසියේ බිහි වන තරගකාරී ආයතනයක් නිසා සියල්ල කනපිට පෙරැළිය හැකිය. එවන් අභියෝග හමුවේ දැනට ඔබ සතුව සිටින පාරිභෝගික පිරිස සහ Search ranking එක රැක ගන්නට ද සූදානම්ව සිටිය යුතු වේ.

ප්‍රේක්ෂකයන් සහ වත්මන් සෙවුම් වචන හඳුනාගැනීම

ඔබේ වෙබ් අඩවිය වෙත පිවිසීමට බලපාන සාධක සොයා බලන්න. (searchenginejournal.com)

වෙබ් අඩවිය වෙත පිවිසෙන්නන්, ඔබේ සේවාව ලබාගන්නන් ඔබව විස්තර කිරීමට භාවිතා කරන වචන මොනවාද යන්න අවබෝධ කර ගැනීමෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයත්, බාහිර ඇසක් ව්‍යාපාරය දකින්නේ කෙලෙස ද යන්නත් අවබෝධ කරගත හැකි වන්නේ ය.

මෙය දැනගැනීමට ඇති පහසුම ක්‍රම වන්නේ සමාජ ජාලවල ඇති Post, Comment ආදිය සහ වෙබ් අඩවිය/ ෆේස්බුක් පිටුව වෙත ලැබෙන පණිවිඩවල ඇති වචන වෙත අවධානය යොමු කිරීම යනාදිය යි. ඔබේ වෙබ් අඩවියට පිවිසීමට සෙවුම් යන්ත්‍ර තුළ භාවිතා වන keywords දැකීමට Ubersuggest වැනි සේවාවක් භාවිතා කළ හැකි වේ.

එම keywords ටික සොයාගත් පසු ඒවායෙන් Google වැනි සෙවුම් යන්ත්‍රයක සෙවීමක් කර බලන්න. ලැබෙන ප්‍රතිඵලවල ඇති වෙනත් වෙබ් අඩවි, ඔබේ වෙබ් අඩවිය පවතින ස්ථානය, වෙනත් වෙබ් අඩවි ඉහළට පැමිණ ඇත්තේ මන්ද, ඒවා තිබිය දීත් පරිශීලකයන් ඔබේ අඩවියට පැමිණ ඇත්තේ මන්ද යනාදිය සැලකිල්ලට ගැනීමෙන් ඔබේ ඉදිරි පියවර තීරණය කළ හැකි වේ.

නව Keywords සමග තරගකාරීත්වයක් ගොඩනගන්න

තරගකාරී වෙබ් අඩවි සමග සංසන්දනය කරන්න (searchenginejournal.com)

ඉහත කී ආකාරයට සෙවීමක් කිරීම සඳහා වචන ටයිප් කරන අතරතුර, සෙවුම් යන්ත්‍රවලින් ලැබෙන suggestions මොනවාද යන්න පිළිබඳව අවධානය යොමු කරන්න. ඒවා තුළ ඔබ සතුව දැනට නොමැති Keywords හඳුනාගන්නට හැකි වනු ඇත.

ප්‍රධාන සෙවුම් යන්ත්‍ර කිහිපයේම එක්වර කිරීමට soovle.com භාවිතා කළ හැකි ය. එහෙත් එය සියලුම suggestions දෙන්නේ ද යන්න පිළිබඳ පූර්ණ සහතිකයක් නොමැති බැවින් ඔබ විසින්ම Search කරමින් අධ්‍යයනය කිරීම වඩාත් ඵලදායී වේ.

අනතුරුව, වෙනත් තරගකාරී ආයතන මොනවාද සහ ඔවුන් භාවිතා කරන උපක්‍රම මොනවාද යන්න සලකා බැලිය යුතු වේ. මෙයට similarweb.com, alexa.com/find-similar-sites, similarsites.com යනාදිය භාවිතා කළ හැක. ඒවායෙන් හඳුනාගත් තරගකාරී වෙබ් අඩවි නැවත Ubersuggest වෙත යොදා පරීක්ෂා කරන්න.

ඔවුන් යොදාගත් සෑම Keyword එකක්ම ඔබට අවශ්‍ය නොවනු ඇතිවාක් සේ ම, ඔවුන් කරන සියලු දේ ඔබ ද කළ යුතු ‍නැත. හඳුනාගත යුතු එකම කරුණ නම්, කිසියම් පරිශීලකයකු ඔබ අතහැර ඔවුන් වෙත යොමු වීමට ඇත්තේ කිනම් සාධක ද යන්න පමණි.

මුල් වරට Keywords සකසන්නේ නම්,

Search එකට පාදක වන Keywords යොදාගන්න (imgix.net)

අලුත සැකසූ වෙබ් අඩවියක් සඳහා ඔබ Research එකක් කරන්නේ නම් ඵලදායීව වෙබ් අඩවියේ Ranking එක වර්ධනය කරගත හැකි ආකාර කිහිපයක් තිබේ. මූලික වශයෙන් වෙබ් අඩවියේ Title, Description, Keywords සඳහා වූ Meta Tags සකසා ගත යුතු ‍වේ. ඊට freemetataggenerator.com, seoptimer.com/meta-tag-generator වැනි ‍Tool එකක් යොදාගත හැකියි.

නව Keywords සොයාගැනීම සඳහා trends.google.com/trends, wordtracker.com වැනි සේවාවක් භාවිතා කළ හැක. එමඟින් වෙබ් අඩවියේ වර්ගයට, ව්‍යාපාරයේ ස්වභාවයට ගැළපෙන පරිදි ඔබට Keywords අනුමාන කරගත හැකි වනු ඇත.

‍මෙහි දී මතක තබා ගත යුතු කරුණක් නම්, Google වැනි සංකීර්ණ සෙවුම් යන්ත්‍ර Keywords tag එක මත දැඩි වශයෙන් රඳා නොපවතින බව යි. වෙබ් අඩවි අන්තර්ගතය තුළ, URL එක තුළ ඔබ අරමුණු කරන keywords යෙදීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. මෙහි දී Backlinks ද අමතක කළ යුතු නොහේ. දැනට හොඳ Ranking එකක් ඇති Roar වැනි වෙබ් අඩවියක ඔබේ Link එකක් සහිත ලිපියක් පළ කරවා ගත හැකි නම් එය ද ඉහළට පැමිණීමට පහසු අවස්ථාවක් වනු ඇත.

ඔබ සකසා ගත් keywords එකිනෙක මුසු කරමින් ඒවායෙන් Long-tail keywords සකස් කරගැනීමට seo.danzambonini.com වෙබ් අඩවිය භාවිතා කළ හැක. හොඳ Research එකකින් රැස් කරගත් Keywords සහිත වෙබ් අඩවියක් ඔබට අන්තර්ජාලය තුළ ද වඩාත් සාර්ථක වෙබ් අඩවියක් බවට පත් වන්නට අවස්ථාව සලසා දෙනු ඇත.

මේ හැර ඔබ භාවිතා කරන ක්‍රම, Free Tools ආදිය තිබේ නම් ඒවාත් Comment එකකින් එකතු කරන්න.

කවරය: searchenginejournal.com

මූලාශ්‍රයයන්:

  • thenextweb.com
  • google.com/search/howsearchworks
  • hubspot.com
  • neilpatel.com
  • moz.com
  • alexa.com

Related Articles