පෞද්ගලික වීඩියෝ, ඡායාරූප හෝ හඬපට ලීක් වුණොත්?

තාක්ෂණයේ දියුණුවත් සමග තොරතුරු සහ දත්ත සැනෙකින් ලෝකය පුරාවටම බෙදාහැරීමේ හැකියාව අද මිනිසා සතු යි. නමුත්, මෙලෙස බෙදාහැරෙන තොරතුරු, දත්ත අතර යහපත් දේ වගේම තව කෙනෙකුට හානියක් වෙන ඔවුන්ගේ අතිශය පෞද්ගලික දත්ත වැනි දේත් තියෙන්නට පුළුවන්. මෙලෙස සමාජගත වන තව කෙනෙකුගේ පෞද්ගලික දත්ත ලීක් වෙච්ච දෙයක් විදිහට සමාජයේ පැතිරෙන්නේ ඉතාම වේගයෙන්. එසේ වීම අවම කරගන්න ඔබත් කැමති ද? ලීක් වුණොත් කරන්න ඕනේ දේවල් දන්නවා ද? මේ ලිපිය හරහා දිගහැරෙන්නේ ඒ පිළිබඳව යි. ඒ වගේම ලීක් වෙන හැම දෙයක්ම ඇත්ත නොවන බවත් ලිපිය අවසන් වෙද්දී ඔබට වැටහේවී.

1996 පමණ සිට අන්තර්ජාලය තුළ මෙවැනි පෞද්ගලික දේ සහ අසැබි දේ ලීක් වීමට වැට බඳින්නට ලෝකය පුරා රජයයන් විවිධාකාර උත්සාහයන් දරා තිබෙනවා. අවාසනාවට ඒ කිසිවක් අද වෙනතුරුත් සම්පුර්ණයෙන්ම සාර්ථක වෙලා නැහැ. ඔබ මේ ලිපිය කියවන විටත්, සමාජයේ අතිශය කතාබහට ලක් වන ලීක් වූ හඬපට, වීඩියෝපට තිබෙන්නට පුළුවන්. විශේෂයෙන්ම, ඔබත් ටිකක් තරුණ වයසේ පසුවෙන්නෙක් නම් Whatsapp, Viber වැනි සේවා හරහා හෝ සමාජ ජාල හරහා ඔබේ ස්මාට්ෆෝන් එකට, පරිගණකයට මෙවැනි වීඩියෝවක්/ ලින්ක් එකක් නොපැමිණියා වෙන්න බෑ. මෙවැනි වීඩියෝ/ ඡායාරූප රූගත කිරීම කොතරම් දුරට නිවැරදි ද යන්න අපට තීරණය කරන්න හැකියාවක් නැහැ. ඒක පුද්ගලානුබද්ධ කාරණයක්. කොහොම වුණත්, ඒ වීඩියෝ/ඡායාරූප/හඬපට ලීක් වීම අවම කර ගන්නේ මෙහෙම යි.

ලීක් වෙන ඒවායෙන් වාසි ගන්නෝ එමට යි 

වීඩියෝ/ඡායාරූප/හඬපට හෝ මොනයම් හෝ පෞද්ගලිකත්වයන්ට හානි වෙන දේ තලුමරමින් නරඹන පිරිසට අමතරව, ඒ ඔස්සේ මුදල් සොයන පිරිසකුත් අද වෙද්දී නිර්මාණය වෙලා සිටිනවා. කෙටි කරන ලද ලින්ක් එකක් (short link) ඔස්සේ බොහෝ විට මේ දේවල් හුවමාරු වීම සිදුවෙනවා. මේ ලින්ක් ඔස්සේ අදාළ වෙබ් පිටුව වෙත පිවිසීමේ දී වෙළඳ දැන්වීම් ගණනාවක් පසු කර යන්නට ඔබට සිදුවෙනවා. මේ වෙළඳ දැන්වීම් ඔස්සේ videoව upload කරන පුද්ගලයා වෙත මුදලක් ලැබෙනවා. ඒ වගේම අදාළ වීඩියෝව වැඩි පිරිසක් බාගත කර ගත්තොත්, මෙවැනි වීඩියෝ ගබඩා කර තබාගන්නා cloud සේවා මඟිනුත් (ඩවුන්ලෝඩ් කිරීම් ප්‍රමාණය අනුව) මුදල් ගෙවීම් සිදුකෙරෙනවා. ඉතාම ආකර්ශනීය මාතෘකාවක් සමග පළ වෙන මෙවැනි ලින්ක් හරහා පරිශීලකයන් විශාල ප්‍රමාණයක් අදාළ වෙබ් පිටු වෙත පිවිසීම සිදුවෙනවා. එහෙත්, මේ වෙද්දී නම් facebook වැනි සමහරක් සමාජ ජාල එවැනි වෙබ් අඩවිවල ලින්ක් පළ කිරීමට හෝ පණිවිඩ ලෙස යැවීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. Facebook Messenger, Telegram ,Whatsapp වැනි පණිවුඩ සහ බහුමාධ්‍ය හුවමාරු කිරීමට හැකි app හරහාත් මේවා හුවමාරු කිරීම දැන් දැන් තරමක් අපහසුවන්නට ඔවුන් ක්‍රියා කර තිබෙනවා. එනමුත්, ඒ කිසිවක් අතිසාර්ථක ක්‍රමවේදයන් නොවන බව ඔබත් මමත් හොඳින්ම දන්නා කරුණක්. 

වීඩියෝ/ඡායාරූප/හඬපට හෝ ඕනෑම අයුරකින් ලීක් වී සමාජගත වන දෙයක සඳහන් වන හෝ අන්තර්ගත වන හෝ දකින්නට ලැබෙන පුද්ගලයන් හා ඔවුන්ගේ සමාජ තත්ත්වය, මුහුණු හෝ අනන්‍යතාව, දර්ශනවල හෝ හඬේ පැහැදිලි බව, වීඩියෝ පටවල නම් කාල පරාසය වගේම භාෂාව වැනි දේ අනුව බොහෝ විට මෙවන් දේවල් හි වටිනාකම තීරණය වෙනවා. එහි කථානායකයන් ප්‍රසිද්ධ පුද්ගලයන් නම් මෙහි වටිනාකම ඉතාම ඉහළ යි. ඒ නිසාවෙන් ලීක් විය හැකි එවැනි ඕනෑම දෙයක් ඔබ සතු නම්, එයින් ඔබට හෝ තවත් පුද්ගලයෙකුට, පිරිසකට අපහසුතාවයන් ඇති විය හැකි නම් ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතුම යි.

අන්තර්ජාලය තුළ Privacy මිත්‍යාවක්- blog.usejournal.com

ලීක් නොවෙන්න නම් වීඩියෝ නොකර ඉමු ද?

ලීක් වීමේ අවදානමක් තිබෙන දේ පටිගත හෝ චායාරූපගත නොකර සිටීමට ඔබට වගබලා ගත හැකි නම්, ලබාදෙන්නට හැකි හොඳම පුර්වාරක්ෂාව එය යි. ඔබ එලෙස නොකර සිටින තාක් කල්, ඔබේ කීර්ති නාමයට මෙවැනි දෙයකින් කැළලක් ඇති කිරීමට තව කෙනෙකුට ඇති ඉඩ ඉතාම අවම යි. 

ළඟ තිබෙනවා නම් සදහටම ම මකමු ද?

මේ වෙද්දීත් ඔබ සන්තකයේ ඇති එවැනි වීඩියෝ/ඡායාරූප/හඬපට හෝ ඕනෑම දෙයක් සදහටම මකා දමනවා නම් එය නිවැරදිව සිදුකරන්නේ මෙහෙම යි. mobile phones, memory cards, hard disks වැනි ගබඩා උපාංගයක ගබඩා කර ඇති දේ එක වර ඔබ delete කළ සැනින් මැකී යන්නේ නම් නැහැ. අදාළ ෆයිල් එක උපාංගය තුළ තිබෙන ස්ථානය හඳුනාගැනීමට අදාළ තොරතුරු මකා දැමීම පමණයි එවිට සිදුවෙන්නේ.  මකා දැමූ දත්ත ස්ථාපනය කළ හැකි recovery software එකක් මඟින් එවැනි දත්ත නැවත ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසාවෙන් මෙවැනි අතිශය වැදගත් දත්ත ගොනු මකා දැමීමේ දී zero filling tool එකක් හෝ file shredder tool එකක් භාවිතා කිරීම අතිශයයින්ම වැදගත් වෙනවා. මේ tool එකේ ක්‍රියාකාරිත්වය ඔස්සේ එවන් ගොනු නැවත යථාතත්ත්වයට පත් කළ නොහැකි ලෙසින් මකා දැමෙනවා. 

අතිශය වැදගත් ගොනු තියාගන්නම ඕනෙ ද?

සමහර විට ඔබ ළඟ ඇති ගොනු එකවර මකාදමන්න ඔබට නොහැකි වෙන්න පුළුවන්. එවිට කරන්න තිබෙන හොඳම විසඳුම වෙන්නේ encrypt මෘදුකාංගයක් භාවිත කිරීම යි. මෙහි මුරපදය නොදන්නා තාක් ඒ වෙත ඇතුළු වීම හෝ ගොනු භාවිත කිරීම ඉතාම අපහසු යි. පාස්වර්ඩ් එක සඳහා දීර්ඝ යමක් යොදන්නත් අමතක කරන්න එපා. වෙන කෙනෙකුට අනුමාන කිරීම් අපහසු දෙයක් නම් වඩාත් යහපත්. ශක්තිමත් මුරපද නිර්මාණය කරගන්න Lastpass වැනි සේවාවක් භාවිත කරන්න ඔබට පුළුවන්. නමුත්, මෙවැනි encrypt (ගුප්ත කේතනයන්) කිරීම් නැවත decrypt (විකේතනය) කිරීම කළ නොහැක්කක් නොවන බව ද ඔබ මතක තබාගත යුතුම යි. 

වැඩිපුරම ලීක් වෙන්නේ service සහ repairingවල දී බව ඔබ දන්නවා ද?

ඔබේ පෞද්ගලික දත්ත වැඩිපුරම ලීක් වීමේ අවදානම පවතිනේ අලුත්වැඩියා කිරීමේ ස්ථානයන්ගෙන්. ඔබ සතුව එවැනි අතිශය පෞද්ගලික දත්ත තිබේ නම්, ඔබේ පරිගණකය හෝ ස්මාට්ෆෝන් එක අලුත්වැඩියාව සඳහා දින කිහිපයක් සේවා ස්ථානයක තබා තිබීම එතරම්ම නුවණට හුරු නැති බව මතක තබාගන්න. ඉලෙක්ට්‍රොනික උපාංග service සහ repairing ක්ෂේත්‍රයේ බහුතරයක් ඉතාම විශ්වාසවාසදායී සේවයක් සැපයුවත්, ඔබ සතුව ලීක් වීමේ වටිනාකම සහිත දේ පවතිනවා නම් අවදානමට පෙර සුදානම ඔබ සතු යි. 

ඔබ ජංගම දුරකතනය විකිනීමක් සිදුකරනවානම් එහි දීත් සම්පුර්ණ දුරකතනයම encrypt කර format කර විකිණීමට වග බලාගන්න. එවිට දත්ත යලි ස්ථාපනය ඉතාම අපහසු යි. encrypt කරන ආකාරය ඔබට අන්තර්ජාලයෙන් ඉතාම පහසුවෙන් සොයාගන්න පුළුවන්.

ආතල් තමයි, ඒත් නීතිය තදයි 

1927 අසභ්‍ය ප්‍රකාශන සම්බන්ධ නීතිය අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස 2005 වර්ෂයේ දී සංශෝධනය කර ඇති අතර, එයට අනුව වගේම දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 වගන්තිවලට අනුව පුද්ගලයන්ට හානි විය හැකි මුද්‍රිත චිත්‍ර, සිතුවම්, පෝස්ටර්, සංඥා ඡායාරූප, චිත්‍රපට, වීඩියෝ දර්ශන බෙදාහැරීම, ළඟ තබාගැනීම, නිපදවීම, ආනයනය කිරීම හෝ අපනයනය කිරීම, ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වරදවල් බව සඳහන් වෙනවා. තවත් සරවල කිව්වොත්; ඔබ උඩුගත නොකළත් ඔබට ලැබෙන වීඩියෝවක් whatsapp වැනි සේවාවක් හරහා ලැබෙන වෙනත් කෙනෙකුට forward කිරීමත් සිර දඬුවමක් දක්වා දුරදිග යන්න ඉඩ තියනවා. 

ලීක් වෙලා ඉවර ද? දැන් කරන්න ඕන දේ දන්නවා ද?

SLCERT නැත්නම්, පරිගණක හදිසි ප්‍රතිචාර අංශයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහෙමත් නැති නම් ළඟම තිබෙන පොලිස් ස්ථානයට වහාම සිදු වූ දෙය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඊට අමතරව ෆේස්බුක්, ගූගල් වැනි ආයතනවලට මේ ගැන පැමිණිලි කරන්න ඔබට පුළුවන්. ඔවුන්, සිය විශ්ලේෂණ මෘදුකාංග හරහා තවදුරටත් එවැනි දේ ප්‍රචාරණය වීම තරමක් දුරට අවම කරාවී. හිතන්න ඔබේ මේ අතිශය පුද්ගලික දේ වීඩියෝ පටයක් නම්, එය  ප්‍රසිද්ධ කාමුක දර්ශන අඩංගු වෙබ් අඩවියක පළ වෙලා තිබෙනවා කියලා. ඔබට පුළුවන් ඔවුන්ව වහාම සම්බන්ධ කරගන්න. ඔවුන් ඔබේ පැමිණිලිවලට කන් දෙන්න බැඳී ඉන්නවා. email පණිවුඩයක් මඟින් ඔබ කරන දැනුම් දීමක් වෙනුවෙන් ඉතාම ඉක්මනින් අදාළ දේ වෙබ් අඩවිවලින් ඉවත් කරන්න ඔවුන් පියවර ගන්නවා. හැකි නම් කෙටි කලකට ඔබේ සමාජ ජාලා අක්‍රීය කරන්න කියලත් අපි ඔබට යෝජනා කරනවා. හිත ශක්තිමත් කරගන්න, අවශ්‍ය නම් මානසික වෛද්‍යවරයෙකුගේ සහාය පතන්න. ඔවුන් ඔබට ජීවියට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය සපයාවී. 

අන්තර්ජාලය ඇතුළත පළ වන සියලු දේ සත්‍ය නොවන අතරම, ඔබ අන්තර්ජාලය සහ සමාජ ජාල භාවිත කරනවා නම් privacy කියන්නේ හුදෙක් වචනයක් පමණක් බවත් අපි ඔබට මතක් කරනවා. දෛනික තාක්ෂණික පරිශීලකයෙක් විදිහට මෙවැනි කෙනෙකුගේ පෞද්ගලික දර්ශන කෙසේ හෝ ඔබ වෙත ලැබුණොත් හැම විටම End user කෙනෙක් වෙන්න කියලා අපි ඔබෙන් ඉල්ලනවා. ඔබ රස විඳින්නේ හෝ බෙදාගන්නේ තව විශාල පිරිසකගේ ජීවිතවල ඉතා අමිහිරි දෙයක් බවත් ඔබ මතක තබාගන්න. 

ඊට අමතරව Deep Fake වැනි ක්‍රමවේදයන් ඔස්සේ ඔබේ සමීපතමයන් වුවත්, අනුකරණය කළ හැකි බවත් ඔබට මතක් කරනවා. ඒ පහළ ඇති ‘සබැඳි ලිපි’ ඔස්සේ ඔබට දැනගන්නට හැකි වේවි. එනිසාවෙන් අන්තර්ජාලයේ පළ වෙන සියල්ල සත්‍ය නොවන බව ඔබ වටහාගත යුතුම යි. 

මේ ගැන අදහස් පහළින් comment කරන්න අමතක කරන්න එපා.

Related Articles