Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සංවේදී ඡායාරූප සහ වීඩියෝ  “ලීක්” වීමේ අවදානම අඩු කරගමු

පසුගිය දිනවල ගංවතුර සහ ස්වභාවික ආපදා ගැන කතාබහ අස්සේ අසාමාන්‍ය විදියට දකින්න ලැබුණු තවත් දෙයක් තමයි සොරාගත් නිරුවත් වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එකතුවීමේ සිදුවීම්. මෙවැනි සොරාගත් දර්ශන අන්තර්ජාලයට එකතු වී පැය කිහිපයක් තුළ රට පුරා පැතිරෙන බව ඔබත් දැකලා ඇති. විශේෂයෙන් ඔබත් ටිකක් තරුණ වයසේ කොලුගැටයෙක් නම්  Whatsapp, Viber  වැනි සේවා හරහා හෝ සමාජ ජාල හරහා ඔබේ ස්මාට්ෆෝන් එකටත් මෙවැනි වීඩියෝවක්/ලින්ක් එකක් නොපැමිණියා වෙන්න අමාරුයි.

මෙවැනි වීඩියෝ/ඡායාරූප රූගත කිරීම කෙතරම් දුරට ගැලපෙනවාද සහ සදාචාරාත්මකද කියන එක අතිශයින්ම පුද්ගලානුබද්ධ කාරණයක් වගේම විවිධ හේතු මත තමන්ගේ අතිශය පෞද්ගලික අවස්ථා රූගත කිරීමට සැලකියයුතු පිරිසක් පෙලඹී සිටින බවත් අපි තෙරුම් ගත යුතුයි. කොහොම නමුත් මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ මෙවැනි සොරකම් කළ දර්ශන අන්තර්ජාලය තුළ අළෙවි වීමේ ප්‍රවණතාව සහ ඔබ සතුව ඔබේ හෝ ඔබේ සමීපතමයන්ගේ එවැනි වීඩියෝ/ඡායාරූප ඇත්නම් ඒවා අන්සතු වීම, සරලව කිව්වොත් “ලීක්” වීම වලක්වාගනිමේදී  ඔබට වැදගත් වියහැකි තාක්ෂණික කරුණු  කිහිපයක් ගැන.

මේක බිස්නස් එකක් කරගත්ත පිරිසක් ඉන්නවා

අන්තර්ජාලය හරහා මුදල් උපයන්න දහසකුත් එකක් මාර්ග තිබුණත් අවාසනාවකට පිරිසක් පුරුදු වෙලා ඉන්නේ මේ වගේ සොරාගත් වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලය තුළ ප්‍රචාරය කිරීම මගින් මුදල් උපයන්න. උදාහරණයක් හැටියට ඔබට මෙවැනි ලීක් වූ වීඩියෝවක් ලැබෙන්න පුළුවන් කෙටි කරන ලද ලින්ක් එකක් මගින් (http://ceesty.com/qG5qXD ආකාරයේ කෙටි ලින්ක් එකක් ).

ඔබ මෙවැනි ලින්ක් එකක් හරහා අදාළ වෙබ් පිටුවට පිවිසීමට පෙර ඔබට පෙන්වන වෙළෙඳ දැන්වීමක් මගින් ලින්ක් එක නිර්මාණය කළ පුද්ගලයාට යම්කිසි මුදලක් ලැබෙනවා. ඒ වගේම මෙවැනි වීඩියෝ ගබඩා කර තබාගන්නා cloud සේවා මගිනුත් ඩවුන්ලෝඩ් කිරීම් වෙනුවෙන් මුදල් ගෙවීම් සිදු කෙරෙනවා.

මේ පුද්ගලයින් තමන්ගේ වෙළඳ ප්‍රචාරණය සඳහා බොහෝවිට යොදාගන්නේ ෆේස්බුක් වෙබ් අඩවිය. ෆේස්බුක් pages සහ sales groups හරහා තමයි මේ ප්‍රචාරණය බොහෝවිට සිදුවෙන්නේ.

ෆේස්බුක් හරහා අසභ්‍ය දර්ශන ප්‍රචාරය කිරීම මගින් මුදල් උපයන පිරිස්

ඒ වගේම ලාංකිකයින්ගේ මෙවැනි වීඩියෝ සඳහාම වෙන්වූ අසභ්‍ය වෙබ් අඩවි කිහිපයක් පැවතීමත් එම වෙබ් අඩවි මගින් එම වෙබ් අඩවි නරඹන්නන් සතුව පවතින වීඩියෝ සහ ඡායාරූප ඔවුන් වෙත ලබාදෙන ආකාරයට දිරිමත් කිරීම මේ තත්ත්වය තවත් දරුණු වෙන්න හේතුවක්. ඒ නිසා ඔබේ අතිශය පෞද්ගලික දේවල් වෙනත් කෙනෙකුට මුදල් උපයන්න අවස්තාවක් කර නොදීමට ඔබ වගබලාගත යුතුයි.

මේ සම්බන්ධ නීතිමය පසුබිම

අසභ්‍ය ප්‍රකාශන පනතට 2005 දී එකතු වුණ සංශෝධනයට සහ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 වගන්ති වලට අනුව මෙවැනි  වීඩියෝ හෝ ඡායාරූප ළඟ තබාගැනීම හෝ කවර හෝ ආකාරයකින් සංසරණයට පත් කිරීම වරදක්. ඒ අනුව මෙවැනි දර්ශන සහිත වෙබ් අඩවි පවත්වාගෙන යාම, ඩවුන්ලෝඩ් කළ දර්ශන ඉලෙක්ට්‍රොනික උපාංගයක් තුළ තබාගැනීම වගේම ඔබට whatsapp වැනි සේවාවක් හරහා ලැබෙන අසභ්‍ය දර්ශනයක් වෙනත් කෙනෙකුට forward කිරීමත් මාස කිහිපයක සිර දඬුවමක් දක්වා දුරදිග යන්න ඉඩ තියනවා.

අවාසනාවට මේ සම්බන්ධ නීතිය ශක්තිමත් නමුත් අන්තර්ජාලය හා සම්බන්ධ නවීන තාක්ෂණය මගින් ලැබෙන ආරක්ෂාව නිසාවෙන්ම මෙවැනි වීඩියෝ සහ ඡායාරූප බෙදාහරින පුද්ගලයන් සොයාගැනීම තරමක් අපහසුයි.

ආරක්ෂාවේ පළමු පියවර

ඔබේ අතිශය පෞද්ගලික වීඩියෝ/ඡායාරූප අන්සතු වීම වළක්වන්න තියන විශ්වාසදායීම ක්‍රමය තමයි එවැනි අවස්ථා රූගත කිරීමෙන් වැළකී සිටීම. ඔබ එවැනි දර්ශනයක් රූගත කිරීම තුල ඔබේ අනාගතයට සහ කීර්තිනාමයට එල්ල වෙන අවදානම ඉතා විශාලයි. ඒ නිසා හැකි සෑම විටම තමන්ගේ අතිශය පෞද්ගලික අත්දැකීම් රූගත කිරීමෙන් වැළකී සිටීම වැදගත්.

Delete කළ පමණින් ඉවත් නොවේ

මේක බොහෝදෙනෙක් දන්නා කාරණාවක් නමුත් නොදන්නා අයත් ඇති. ඔබ යම්කිසි ඩිජිටල් ආචයන උපාංගයක (Digital storage device – mobile phones, memory cards, hard disks etc.) ඇති ෆයිල් එකක් delete කිරීමේදී අදාල ෆයිල් එකේ දත්ත මකා දැමීමක් සිදු වන්නේ නැහැ. සිදුවන්නේ අදාළ ෆයිල් එක උපාංගය තුළ තිබෙන ස්ථානය හඳුනාගැනීමට අදාළ තොරතුරු මකා දැමීම පමණයි. උපාංගය ෆෝමැට් කිරීමකදී පවා දත්ත සම්පුර්ණයෙන් මකා දැමීමක් සිදුවෙන්නේ නැහැ. මේ නිසා යම්කිසි උපාංගයක මතකය මුල සිට අගට කියවියහැකි මෘදුකාංග වලට delete කරන ලද ෆයිල් නැවත ස්ථාපනය කරන්න හැකියාව තියනවා.

පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ ලීක් වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ delete කළ ෆයිල් නැවත ලබාගැනීමේ හැකියාව. ඒ නිසා ඔබ යමක් රූගත කරන හැම අවස්ථාවකම ඒවා ආරක්ෂාකාරීව ඉවත් කිරීම ගැනත් සැලකිලිමත් විය යුතුයි. මේ සඳහා විසඳුම තමයි නැවත කියවිය නොහැකි ලෙස මකාදැමීමේ හැකියාව තියන මෘදුකාංගයකින් (zero filling tool) අදාළ ගොනු මකා දැමීම සහ ඒ මත වෙනත් දත්ත ඇතුලත් කිරීම. විවිධ මෙහෙයුම් පද්ධති සඳහා ඇති එවැනි මෘදුකාංග කිහිපයක් තමයි මේ.

තැන තැන පිටපත් කිරීමෙන් වලකින්න

එකම ෆයිල් එකක් ඔබ අවස්ථා කිහිපයක ස්ථාන කිහිපයක පිටපත් කර තිබුනොත් ඉන් සිදුවන්නේ අවදානම තවත් වැඩි කිරීමක්. උදාහරණයක් හැටියට ඔබ කැමරාවකින් ගත් වීඩියෝවක් පරිගණකයට පිටපත් කර නැවත පෙන් ඩ්‍රයිව් එකකට පිටපත් කලොත් ඔබ ඒවා delete කල පසුත් ඒවා පෙර සඳහන් කල ඕනෑම උපාංගයකින් නැවත ලබාගත හැකියි. විශේෂයෙන්ම ඔබ තාවකාලිකව පිටපත් කරන අවස්ථාවකදී ඒ ගැන ඔබට අමතක වීමේ හැකියාව වැඩියි. ඒ නිසා පිටපත් කිරීම සීමා කිරීම සහ සාදන සෑම පිටපතක්ම පෙර සඳහන් ආකාරයේ මෘදුකාංගයක් මගින් විනාශ කිරීමත් අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි.

ජංගම දුරකථනය encrypt කරන්න

බොහෝ ස්මාට්ෆෝන් වල මතකය කේතනය (encrypt) කිරීමේ පහසුකම අඩංගුයි. මේ පහසුකම මගින්  ඇති තොරතුරු වෙනත් කෙනෙකුට කියවිය නොහැකි රහස් සංකේත බවට පත් කිරීම. ඔබේ දුරකථනයත් සංවේදී දර්ශන හෝ ඡායාරූප තබාගැනීමට කවදා හෝ පාවිච්චි කළා නම් මේ පහසුකම පාවිච්චි කිරීම. මගින් ඔබේ අවදානම අඩු කරනු ඇති. ස්මාට්ෆෝන් වලට වගේම පරිගණක, ටැබ්, හාඩ් ඩිස්ක් වැනි වෙනත් උපාංග සඳහාත් මෘදුකාංග භාවිතයෙන් භාවිතයෙන් කේතනය කිරීමේ හැකියාව පවතිනවා.

නැවත විකිණීම පරෙස්සමෙන්

ස්මාට්ෆෝන් එකක්, පරිගණකයක් හෝ වෙනත් උපකරණයක් විකිණූ පසු data recovery මෘදුකාංගයක් මගින් පෙර තිබුණු තොරතුරු නැවත ලබාගන්නට අලුත් අයිතිකරුට හැකියාව තියනවා. මේ නිසා ඔබ පාවිච්චි කල උපකරණයක් නැවත විකිණීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතුයි. අපි පෙර සඳහන්  කල ආකාරයේ මෘදුකාංගයක් මගින් විනාශ කිරීමෙන් සහ උපකරණය  කිහිප වරක් සංවේදී නොවන දත්ත වලින් පුරවා නැවත මකා දැමීමෙන් සංවේදී දත්ත සම්බන්ධ අවදානමෙන් බොහෝදුරට මිදෙන්න පුළුවන්.

අලුත්වැඩියා කිරීමේදී සැලකිලිමත් වන්න

ඉලෙක්ට්‍රොනික උපකරණයක් අලුත්වැඩියාව කියන්නේ එය වෙනත් කෙනෙකු අතට පත්වෙන්න ඉඩ තියන තවත් අවස්තාවක්. ඔබ ස්මාට්ෆොර්න් එකක් අලුත්වැඩියාව සඳහා ලබාදෙනවානම් එහි මතක කාඩ්පත ඔබ සතුව තබාගන්න. පරිගණකයක් අලුත්ව්දියාවෙදී හැකි සෑමවිටම නිවසට පැමිණ හෝ තමා ඉදිරියේදී එවෙලේම අලුත්වැඩියා කරදෙන සේවාවක් තෝරාගන්න. ඒ සඳහා වැඩිපුර වියදම් කරන්නට සිදුවන මුදල කිසිසේත්ම අපතේ යාමක් නොවෙයි. ඔබේ පරිගණකය හෝ ස්මාට්ෆෝන් එක අලුත්වැඩියාව සඳහා දින කිහිපයක් සේවා ස්ථානයක තබා තිබීම නුවණට හුරු නැහැ.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි ඉලෙක්ට්‍රොනික් උපකරණ අලුත්වැඩියා ශිල්පීන් ගැන වැරදි වැටහීමක් ඇති කරන්නට අප කිසිසේත්ම අදහස් නොකරන බව. ක්ෂේත්‍රයේ බොහෝදෙනා තමන්ගේ රාජකාරිය විශ්වාසදායී ලෙස ඉටු කරන නමුත් ඔබේ පරිගණකයේ හෝ ස්මාට්ෆෝන් එකේ  කවරදාක හෝ සංවේදී දර්ශන හෝ ඡායාරූප තිබුණා නම් ඔබේ ආරක්ෂාව සලසාගැනීමේ වගකීම පවතින්නේ ඔබේ අතේමයි.

රැහැන් රහිත සබඳතා

ඔබ Wifi හෝ Bluetooth හරහා උපකරණ අතර යමක් හුවමාරු කරගන්නා විට ඒ සඳහා ඔබ පාවිච්චි කරන මෘදුකාංගය දත්ත කේතනය නොකරන්නේ නම් ඔබ හුවමාරු කරන දත්ත වෙනත් කෙනෙකු අතට පත්වෙන්න යම්කිසි ඉඩක් පවතිනවා.

ඒ වගේම ප්‍රසිද්ධ ස්ථාන වල ඇති wifi ජාල හරහාත් ඔබේ සංවේදී දත්ත අන්සතු වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා හැකි සෑම විටම සංවේදී තොරතුරු හුවමාරුව සඳහා රැහැන් සහිත මාධ්‍ය යොදාගැනීම නුවණට  හුරුයි.

දෘඩාංග මගින් කේතනය වන මතක උපාංග – Hardware Encrypted Storage Devices

කේතනය කල ඩ්‍රයිව් එකක්. (http://www.zdnet.com)

මේක ටිකක් මිල අධික විසඳුමක් නමුත් ආරක්ෂාව අතින් නම් ඉතා ඉහළයි. මේ උපකරණ හාඩ් ඩිස්ක් හෝ ෆ්ලෑෂ් මතකයන් විදියට ලබාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දත්ත කේතනය (encryption) සිදුවන්නේ මෘදුකාංග මගින්. නමුත් මේ උපකරණ වල දත්ත කෙතනයට අදාළ එහි පරිපථය තුලම අඩංගු වන නිසා වඩාත් ආරක්ෂාකාරී සහ වේගවත් වෙනවා.

උපකරණය තුළම අඩංගු කුඩා යතුරු පුවරුවක් මගින් මීට අදාළ PIN අංකය ලබාදිය හැකි වන අතර PIN අංකය නොමැතිව කිසිවෙකුටත් දත්ත කියවීමට හැකියාව ලැබෙන්නේ නැහැ. කොහොම නමුත් ඔබ මෙවැනි උපකරණයක් තුල ඔබේ සංවේදී දත්ත තබාගත්තත් එම දත්ත වල අනෙකුත් පිටපත් සියල්ලම නිසි පරිදි විනාශ කිරීමට වගබලාගත යුතුයි. ඒ වගේම ඔබට මෙවැනි උපකරණ අසභ්‍ය දර්ශන සඟවා තබාගැනීම සඳහා පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. ඒ අධිකරණ නියෝගයක් හෝ විවෘත වරෙන්තු මත ඉලෙක්ට්‍රොනික උපකරණ පරීක්ෂා කරන අවස්ථාවකදී මෙවැනි උපකරණ වලට ප්‍රවේශ වීමට පොලිසියට ඉඩ ලබා දීමට ඔබ නීතියෙන් බැඳී සිටින නිසා.

ඔබේ වීඩියෝව හමුවනතුරු අනෙකාගේMakeUseOfඔබට ආශ්වාදයක් ගෙනදේවි – (facebook.com/danenakatha/)

සයිබර් අවකාශය තුළදී පෞද්ගලිකත්වය කියන්නේ නොමිලේ ලැබෙන දෙයක් නොවෙයි. එය ඔබ විසින් උපයාගතයුතු දෙයක්. ලංකාවේ මුදල් ගෙවලා රංගන ශිල්පීන් ලබාගන්න “porn industry” එකක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ වෙනත් අයට නොදෙන අරමුණින්, බොහෝවිට එක් අයෙකුගේ අකමැත්තෙන් රූගත කල පෞද්ගලික දර්ශන හෝ ඡායාරූප.

ඔබේ සමීපතමයන්ගේ සේයා රූ රටේ porn ආදේශකය වීම වැළක්වීමේ තීරණය ඔබ සතුයි. තමන්ගේ පෞද්ගලිකත්වය රැකගන්න අතරේම අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න සියලුදෙනාටම හැකියාව තියනවා නම් රටක් හැටියට වඩාත් යහපත් තොරතුරු තාක්ෂණ භාවිතාවක් කරා යොමුවෙන්න අපිට හැකියාව ලැබෙයි.

මූලාශ්‍ර: Makeuseof, TechRepublic

කවරයේ පින්තුරය: financialtribune.com

Related Articles