Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොබයිල් Appsවල මාවත වෙනස් කරන VR

මෘදුකාංග සංවර්ධකයන් විසින් සකසනු ලබන සෑම මොබයිල් App එකකින්ම පරිශීලකයින් අපේක්ෂා කරන ඉහළම ක්‍රියාකාරීත්වයන් සමග වඩාත් හොඳ පරිශීලක අත්දැකීමක් ලබා දීම අරමුණු කෙරේ. ස්මාර්ට් ෆෝන්වල දැනටමත් පවතින විශේෂාංග සහ හැකියාවන් සමග developersලාට ඉතා පහසුවෙන් මෙම ඉලක්කය කරා ළඟා වීමට හැකි විය. 

VR වනාහි චිත්‍රපට නැරඹීම වැනි විනෝදාස්වාද අරමුණු සඳහා භාවිතා කරන බව බොහෝ දෙනාගේ අදහස යි. එහෙත් පරිශීලකයන්ටත්, developersලාටත් ඊටත් වඩා පුළුල් අභියෝග, ප්‍රතිලාභ සහ අත්දැකීම් ගෙන එන්නට ඊට හැකියාව තිබේ.

පසුබිම

App එකක සීමාකාරී අත්දැකීමෙන් ඔබ්බට (aftermarketeurope.com)

VR හෙවත් Virtual Reality මඟින් පරිශීලකයාව සම්පූර්ණයෙන්ම සකසන ලද නමුත් සත්‍යරූපී බවින් ඉහළ වෙනත්ම ලෝකයකට ගෙනයනු ලබයි. මෙතෙක් කල් චිත්‍රපට, පරිගණක ක්‍රීඩා හරහා ඒවායේ කැමරා ඇස හරහා ලද සීමාකාරී ෆැන්ටසි අත්දැකීමෙන් ඔබ්බට යමින් තමාට එය තුළ රිසි ආකාරයට ජීවත් වීමේ හැකියාව ලැබී තිබේ.

විශේෂිතව සකසන ලද VR හෙඩ්සෙට්වලට අමතරව ස්මාර්ට්ෆෝන් එක හරහාම අත්විඳීමට අවස්ථාව ඇති නිසා මෙහි ශීඝ්‍ර ව්‍යාප්තියක් ඇති වූ අතර විවිධ Apps Install කරගනිමින් විවිධ ලෝකවල සැරිසරන්නට අවස්ථාව ලැබේ. එයට මං පෙත් පාදන්නට developersලාට අසීමිත අවස්ථාවන් ප්‍රමාණයක් ලැබී තිබේ.

Appsවලට VR එක් කිරීමේ වාසි

ව්‍යාපාර සහ නිෂ්පාදන කර්මාන්තය සඳහා VR මහත් පහසුවක් (forbes.com)

Apps සැකසීමේ දී මෙම තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් පරිශීලක අත්දැකීම වැඩිදියුණු කිරීමට App develop කරන සමාගම් කටයුතු කරයි. මෙම තාක්ෂණය Mobile appsවලට ඇතුළත් කිරීම තුළින් පරිශීලකයින්ට ලෝකයේ ඇති විවිධ ස්ථාන මෙන්ම වානිජ්‍යමය සේවාවන් සැබෑ ලෙස අත්විඳීමට ඉඩ සලසයි. ඉන් වාණිජ්‍ය ලෝකය තුළ විශ්වසනීයත්වය සහ විකුණුම් වැඩි කර ගැනීමට VR උපකාරී වේ.

  • පුළුල් අධ්‍යාපන අවකාශයක් – අධ්‍යාපනික ආයතනවලට VR තාක්ෂණය යොදා ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. දරුවන් සාම්ප්‍රදායික පොතපතට වඩා තාක්ෂණික උපාංගවලට වැඩි නැඹුරුතාවක් දක්වන බැවින් සහ e-learning ප්‍රවණතාවන් නිසා අධ්‍යාපන ක්‍රමය නව අදියරකට ගෙනයා හැකිවේ. Google Expeditions යනු ඉතිහාස විෂය සඳහා VR (සහ AR) යොදාගත් අවස්ථාවකට උදාහරණයකි. 
  • පුළුල් ව්‍යාපාර කාර්යක්ෂමතාවක් – VR apps මඟින් ව්‍යාපාරවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. සේවක පුහුණු සැසි VR හරහා කළ හැකි නිසා යන්ත්‍රෝපකරණ ආදියෙහි ක්‍රියාකාරීත්වය අත්විඳීමට, ඒවා සමග අතථ්‍ය (Virtual) ලෝකයක සිට කටයුතු කිරීමට අවස්ථාව ලැබේ. ගිනි ඇතිවීම් ආදී කම්හල්වල සිදුවන අනතුරු සඳහා පෙර-පුහුණු වීම් පවා මේ හරහා වැඩි ඵලදායීතාවකින් කළ හැකිවේ. කළමනාකාරීත්වයට නවෝත්පාදනයන් සැලසුම් කිරීමට, සැකසීමට පෙර අත්හදා බැලීමට මෙන්ම නිවසේ සිටම සහභාගී වෙමින් වීඩියෝ ඇමතුම් පවා VR හරහාම ගත හැකි වේ.
  • අන්තර්ක්‍රියාකාරී අලෙවිකරණය – අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. වර්තමානයේ තිරය මත දකින ඡායාරූප කිහිපයකින් භාණ්ඩයේ ස්වභාවය තීරණය කොට ඇණවුම් කළත්, VR මුසුවීම නිසා අදාල උපාංග භාවිතා කිරීම, ත්‍රිමාණව පරීක්ෂා කිරීම මඟින් වැඩි විශ්වාසයක් ගොඩනඟා ගත හැක. ඉන් වෙළඳපොළ තරගකාරීත්වයට වැඩි තල්ලුවක් ලැබෙනවා සේම අලෙවිකරුවන්ට පාරිභෝගික අවශ්‍යතා වඩාත් පහසුවෙන් හඳුනාගැනීමට ද අවස්ථාව ලැබේ.
  • සන්නිවේදනයට නව අරුතක් – අතීත දුරකතන ඇමතුම්වලින් කටහඬට පමණක් සීමා වූවත් අන්තර්ජාලය හරහා වීඩියෝ ඇමතුම් ප්‍රචලිත වීමත් සමග සන්නිවේදනය තවත් අදියරකට ගමන් කළේ ය. රැකියාවන් සඳහා සම්මුඛ පරීක්ෂණයන් සිදු කිරීම පවා වීඩියෝ ඇමතුම් හරහා සිදුවිණි. දැන් VR මඟින් සමාජ ජාලවලට නව අරුතක් එක් කරමින් පවතී. ලොව වටා සිටින මිතුරන් හා එකට හිඳ කතා කරනවාක් මෙන් අත්දැකීම් ලබන්නට, ඔවුන් සමග ගොල්ෆ් වැනි සාමූහික ක්‍රීඩා (multiplayer game) කරන්නට දොරටු විවර වී තිබේ.

නූතන භාවිත අවස්ථා

විශේෂිත පරිසර සහ සිදුවීම්වලට මුහුණ දීම සඳහා යොදාගැනීම (wikimedia.org)

Virtual Reality තාක්ෂණය වෙත ලෝකය යොමුවීමට ප්‍රධාන හේතුවක් වන්නේ එය පරිශීලකයින්ට ලබා දෙන ඉහළ ප්‍රතිලාභයන් ය. සමාගම් තම පාරිභෝගිකයින්ට අද්විතීය පරිශීලක අත්දැකීමක් ලබා දීම සඳහා මෙම තාක්ෂණය ක්‍රියාත්මක කරමින් සිටින අතර එමඟින් ඔවුන්ට හැකි උපරිම ආකාරයෙන් සේවය ලබා දිය හැකි ය.

සායනික චිකිත්සාවන් සඳහා VR යොදා ගැනීම මඟින් වැඩි ප්‍රතිලාභ ලද හැකි වේ. කාංසාව, ඇබ්බැහි වීම්, භීතිකාව (anxiety), මානසික ආතතිය, ආහාර ගැනීමේ දුර්වලතා, වේදනා කළමනාකරණය ආදී කටයුතු සඳහා සාර්ථකව මෙය යොදාගත හැකි බව පර්යේෂණ පෙන්වා දෙයි. අඩු න්‍යායාත්මක පරිණතභාවය, තාක්ෂණික ප්‍රමිතීන් නොමැතිකම, මාධ්‍යයට එරෙහිව ඒ වෙත ඇති බලපෑම් වෙන් කිරීමේ ගැටළු සහ පිරිවැය යනාදිය දැනට ඊට බාධක ලෙස පැවතිය ද, ඒවා ක්‍රමයෙන් විසඳාගත හැකි ගැටළු ය.

වෛද්‍ය සිසුන් සඳහා VR යොදාගැනීම (ieee.org)

ශල්‍ය වෛද්‍ය ශිෂ්‍යයන්ට වෘත්තියට එළඹීමට පෙර බොහෝ පුහුණුවීම් හා විශාල කාලයක් අවශ්‍ය වේ. දැනට දන්ත ‍ශල්‍ය වෛද්‍යවරුන් සඳහා simulators සකසා ඇති අතර ඒවායෙන් පුහුණුවීමේ ක්‍රියාවලිය පෙරට වඩා පහසු කොට ඇත. දන්ත වෛද්‍ය සිසුන්ට තම වැඩ කටයුතුවල දී කාර්යක්ෂම වීමට හැකි වන පරිදි පාලිත පරිසරයක පුහුණු සැසි පැවැත්වීම මේ හරහා සිදුවේ.

රියදුරු පුහුණුව සඳහා ලංකාවේ දැනටමත් පරිගණක ක්‍රීඩා ආකාරයේ simulations මුල් පුහුණු සැසි සඳහා භාවිතා කරයි. ඉන් පුහුණු පිරිවැය (වාහන ඉන්ධන, කාලය) මෙන්ම වැඩි දෙනෙක්ට එක්වර සේවා සැපයීමට අවස්ථාව සලසා ගෙන තිබේ. මෙය VR හරහා දැන් වෙනත් රටවල සිදුවන අතර ඉන් සත්‍ය ලෝකයට ඉතාම සමාන අත්දැකීමක් ලද හැකිවේ. අනතුරු අවම කරගැනීමට හා නුපුහුණු රියදුරන් නිසා ඇතිවන මාර්ග තදබදයට ද එය විසඳුමකි.

රිසි පරිසරයක සිට ව්‍යායාම කරන්න (gearjunkie.com)

නිවාස ගොඩනැගීම සඳහා VR යොදා ගැනීමෙන් කඩදාසියකට සීමාවූ පිඹුරුපත් වෙනුවට තම අනාගත නිවහන වෙත පිවිස එය අත්විඳින්නට අවස්ථාව ලැබේ. එමඟින් නිවාස සැලසුම්කරණ ශිල්පීන්ට පාරිභෝගික අවශ්‍යතා පහසුවෙන්ම හඳුනාගෙන ඊට සරිලන සේ තම සැලසුම වෙනස් කරන්නට හැකි වේ. නව නිවාස සඳහා පමණක් නොව, නිවාස අලුත්වැඩියාවේ දී, අභ්‍යන්තර අලංකරණයේ දී පවා මෙය සාර්ථකව යොදාගත හැකි ය.

යුද්ධ හමුදාමය පුහුණු සඳහා VR භාවිතය දැනටමත් ඇමරිකාවේ සිදු කෙරේ. මෙලෙස හමුදා පුහුණු කටයුතු කිරීමේදී අවදානම අ‍ඩු කරගැනීම හා යුද්ධමය පරිසරයක සිට සත්‍යරූපී අත්දැකීමක් ලැබීම හරහා ඵලදායීව මානසික මට්ටම් ගොඩ නැඟීම කළ හැකි වේ. යුද්ධමය වාහන පුහුණුව, අවි පුහුණුව, සෞඛ්‍යා සේවා, යුද්ධ පුහුණුව යනාදිය මෙයට යොදා ගැනේ.

Appsවල අනාගතය VR තාක්ෂණය යි

දරුවන්ට අධ්‍යාපනය ලැබීමටත්, ව්‍යාපාරවලට යෞවනය ඇඳ බැඳ ගන්නටත් අවස්ථාව (yalantis.com)

අන්තර්ජාල වෙළඳපොළකට වෙබ් අඩවිය හරහා පිවිසෙනවා වෙනුවට සාමාන්‍ය වෙළඳපොළකට යන්නාක් සේ VR හරහා ගොස් භාණ්ඩ පරීක්ෂා කර බලා මිල දී ගැනීම, සේවක සහාය ලබා ගැනීම මඟින් අලෙවිකරණය නව මාවතකට යොමු වේ. ෆේස්බුක් හෝ වට්ස්ඇප් Group call එකක් වෙනුවට මිතුරන් සමග ආලින්දයක වාඩිවී කතා කිරීම, දුර සිටින ආදරවන්තිය සමග රැයක අයිෆල් කුළුණ පාමුල හිඳ පැය ගණනක් කතා කිරීම සන්නිවේදනයේ නිම් වළලු පුළුල් කරනු ඇත.

පාරිභෝගික අවශ්‍යතාවන් දිනෙන් දින වෙනස් වන්නේ අලුතින් ආ තාක්ෂණයන් ‘සම්ප්‍රදාය’ බවට පත්වන නිසා යි. කලකට පෙර රූපවාහිනිය මැජික් වුවත් දැන් දරුවන්ට එය උපතේ සිටම නිවසේ ඇති තවත් එක් භාණ්ඩයක් පමණි. ගතට දැනෙන සංවේදනයන් සෑම විටම අලුත් වන විට එතැන වෙළඳපොළක් ගොඩ නැගේ.

අපේ වානර මුතුන්මිත්තන් ලුණු හෝ නොමැතිව මස් අනුභව කළත් අපිට දැන් BBQ කර හෝ තුනපහ නොදමා ඒවා කෑ නොහැකි ය. අලුතින් කන හෝටලය කලින් කෑ එකට වඩා වැඩි රසක් දෙන්නේ නම් අපි අලුත් එක වෙතම යන්නට පෙළඹෙන්නෙමු. මේ මිනිසුන්ගේ ස්වභාවය යි. එයට අනුගත වෙමින් නව අවශ්‍යතා සපුරාලීම ව්‍යාපාරිකයන්ගේ සහ මෘදුකාංග සංවර්ධකයන්ගේ සාර්ථකත්වය සනිටුහන් කරයි.

කවරය: medium.com

මූලාශ්‍රයයන්:

  • ncbi.nlm.nih.gov
  • vrs.org.uk
  • toxsl.com
  • iprismtech.com

Related Articles