ඔබ දිනකට කී වතාවක් වැසිකිළි/කැසිකිළි පාවිච්චි කරනවා ද? ඒ සෑම වතාවක දී ම ෆ්ලෂ් කර හරිනු ලබන ජල ප්‍රමාණයත්, ඒ වගේ ලොව පුරා සිටින ජනතාව එසේ ඉවතලන ජල ප්‍රමාණය ගැන හිතන්න. ලොව 70%ක් ජලයෙන් වැසී තිබුණත්, පානයට සුදුසු ජලය ඇත්තේ 2.5%ක් පමණයි. වැසිකිළි හරහා බොහෝ විට මෙලෙස විශාල වශයෙන් අපතේ යැවෙන්නේ බීමට සුදුසු ජලය යි.

එපමණක් නොව, අපද්‍රව්‍ය බැහැර කිරීම ද ගැටළුවක්ව ඇති සමයක එයට ද විසඳුමක් නිර්ජල කැසිකිළි (Waterless toilets) සපයනවා. මේවා මළපවාහනවලට ද සම්බන්ධ නොවී එය තුළ දී ම විෂබීජ සහ ගන්ධහරණය කර, ඇතැම් විට කොම්පෝස්ට් සැකසීම ද සිදුකරනවා.

අප්‍රිය සහගත නැද්ද?

භාවිතයට වඩා නඩත්තුව අපහසු විය හැකියි (imgix.net)

ජලය නොමැතිව මළ මුත්‍රා රඳවාගැනීම නිවර්තන රටවල අපට ජුගුප්සාජනක දෙයක්. ටොයිලට් පේපර්වලට හිත හදාගත නොහැකි අපි මෙවැන්නකට කෙසේ කැමති වන්නේදැ යි ඔබට සිතෙනවා ඇති. එනමුත්, නිසි ආකාරව සැකසූ නිර්ජල වැසිකිළියක් කියන්නේ Schindler’s List වැනි ෆිල්ම්වල තියෙනවා වගේ සිදුරක් ඇති ලෑලි පෙට්ටි නොවේ.

නිර්ජල වැසිකිළියක සැකැස්ම රඳා පවතින්නේ නාන කාමර සැකැස්ම, භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව සහ කොම්පෝස්ට් අවශ්‍ය ස්ථානය වැනි සාධක මත යි. ඒ අනුව ඒවා අභ්‍යන්තර පද්ධති, සහ බාහිර පද්ධති ලෙස ආකාර දෙකකින් යුතු වෙනවා.

අභ්‍යන්තර පද්ධතිවල සිදුවන්නේ මළද්‍රව්‍ය කැසිකිළි තුළම ජීර්ණය කරවීම යි. බාහිර පද්ධති කැසිකිළිවල, කැසිකිළි කොටස නානකාමරය තුළ පවතින අතර, මළද්‍රව්‍ය පොළොව යට හෝ ඉවත පිහිටි කොටසක ගබඩා කර, පිරියම් කෙරෙනවා.

‍ඇතැම් වැසිකිළිවල ජලය (මුත්‍රා) වාෂ්ප වීමට ඉඩ හරිනවා. තවත් ඒවා, මුත්‍රා වෙන් කරගෙන පිරිපහදු කොට පානයට සුදුසු ජලය බවට පත් කරනවා. විදුලිය භාවිතයෙන් හෝ විදුලිය නොමැතිව සොබාදහම විසින් සිදුකරන කර්තව්‍යයම ප්‍රියජනක ආකාරයට අපේ නිවෙස් තුළම කරන්නට මෙම තාක්ෂණය සමත් වෙනවා.

කොම්පෝස්ට් කිරීම

ලී කුඩු යොදාගන්නා නිර්ජල කැසිකිළියක් (wikimedia.org)

නිර්ජල කැසිකිළිවලින් අඩු පිරිවැයක් ඇති, වැඩි ප්‍රයෝජනයක් ලැබෙන ක්‍රමය මෙය යි.

කොම්පෝස්ට් කිරීමේ දී, මළද්‍රව්‍ය සහ එහි අඩංගු වන ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන්ව උෂ්ණත්වය, තෙතමනය, ඔක්සිජන්, පෝෂ්‍ය පදාර්ථ හා බැක්ටීරියා මඟින් කොම්පෝස්ට් බවට පරිවර්තනය කරනවා. එනම්, අවසානයේ අපට ලැබෙන්නේ ආහාර ජීර්ණ පද්ධතියෙන් ඉවත් වූ අහිතකර ක්ෂුද්‍ර ජීවීන්ට වඩා වෙනස් ක්ෂුද්‍ර ජීවීන් අඩංගු පොහොරක්.

විවිධ නිර්ජල කැසිකිළිවල කොම්පෝස්ට් සැකසීම විවිධ ආකාරවලින් සිදුකරනවා. නිදසුනක් වශයෙන්, බොහෝ වාණිජ්‍ය කැසිකිළි සකස් කර ඇත්තේ මන්දගාමී, අඩු උෂ්ණත්වයෙන් යුතු (37°C ට වඩා අඩු) ආකාරයට යි.

විදුලි බලය භාවිතා කරන කැසිකිළියක ප්‍රදර්ශන අනුරුවක් (flickr.com)

එමඟින් බොහෝ රෝගකාරක ජීවීන් මාස කිහිපයක දී විනාශ කර දැමෙන අතර, ඔබේ මල් පැළවලට ආරක්ෂිත පොහොර සපයන්නට ඒවා සමත් වෙනවා. එළවළු බෝග සඳහා යොදාගන්නවා නම්, එය 55-60°C පමණ ප්‍රමාණවලට රත් කරන්නට සිදුවෙනවා.

විදුලි බලය යොදාගන්නා කැසිකිළිවල විදුලි පංකා සහ තාපක (heaters) අඩංගු වෙනවා. ඒවා මුත්‍රා වාෂ්ප කිරීම (වහළට සවිකළ බටයෙන්), කොම්පෝස්ට් ක්‍රියාවලියේ දී ගොඩනැගෙන වායු ඉවත් කිරීම සිදුකරනවා. මේවා ඉතා වේගයෙන් කොම්පෝස්ට් සකසන බැවින්, කැසිකිළි වළ පිරීයාම අඩු වන නිසා බොහෝ කාලයක් භාවිතා කරන්නට හැකි වෙනවා. විදුලි බලය නොමැති ඒවායේ කොම්පෝස්ට් සැකසීමට කල්ගත වෙනවා.

පිළිස්සීම

ජෛව විද්‍යාත්මකව අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවට දහන යන්ත්‍රයකට යවා පුළුස්සා දමන ඒවා තිබෙනවා. මේවායේ විදුලිය (පේනුවකින් හෝ බැටරියකින්) යොදාගැනෙන අතර, මළ හෝ මුත්‍රා සඳහා වෙන වෙනම දී ඇති බොත්තම් අනුව දහන උෂ්ණත්වය තීරණය කරගන්නවා.

එක් වූ මළපහ බුරුමයක් ආකාරයේ උපකරණයකින් දහන යන්ත්‍රය වෙත යොමු කෙරෙනවා. ඉන්පසු, කැසිකිළිය සතු ප්‍රොපේන් හෝ ඩීසල් හෝ ස්වාභාවික වායුව ඒ වෙත විදිමින් ගිනි තැබීම සිදුකරනවා. මළද්‍රව්‍ය පැයක් පමණ තිබෙන අතර 427°C තරම් උෂ්ණත්වයකට ළඟා වෙනවා. මුත්‍රා සඳහා විනාඩි 10ක් පමණ ප්‍රමාණවත්. නැගෙන වායුව වහළට සවි කර ඇති පයිප්පය දිගේ බැහැර කෙරෙනවා.

මෙහි ඇති වාසිය වන්නේ (කොම්පෝස්ට් ක්‍රමයේ දී මෙන්) නිරන්තරයෙන් මළද්‍රව්‍යවල තත්ත්වය, පිරී ඇති ප්‍රමාණය පරීක්ෂා කරන්නට අවශ්‍ය නොවීම යි. හතර දෙනෙක්ගෙන් යුත් නි‍වසකට මාස 3-6 අතර කාලයක දී පිරුණු අළු ඉවත් කිරීමට සිදුවෙනවා. විෂබීජවලින් තොර මෙම අළු සාමාන්‍ය අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයකට ලක් කරන්නට පුළුවන්.

එනමුත්, පොසිල ඉන්ධන දහනය යනු පරිසර හිතකාමී ක්‍රමයක් නොවේ. මිල අධික මේ කැසිකිළි පෘථිවියේ ජලය ඉතිරි කරන්නට දායක වූව ද වායුගෝලය දූෂණය කිරීම අවාසියක්.

නැනෝ තාක්ෂණය

නිර්ජල කැසිකිළියක පැතිකඩක් (ytimg.com)

මෙම කැසිකිළි ක්‍රමය නැනෝ තාක්‍ෂණයෙන් සකසන ලද විවිධ කොටස් යොදාගන්නවා. බ්‍රිතාන්‍ය ක්‍රැන්ෆීල්ඩ් සරසවිය විසින් සකසන ලද කැසිකිළිය නැනෝ පටලයක් භාවිතා කරනවා. එය මළ සහ මුත්‍රාවෙන් කරන අතර, ජලය හුමාල මට්ටමේ (බිඳිති ලෙස) පවත්වා ගනිමින් බැක්ටීරියා, වෛරස වැනි රෝගකාරක විෂබීජ ඉවත් කිරීමට ද සමත් වෙනවා.

මෙහි ගන්ධයන් පිට වීම විශේෂ භ්‍රමණ යාන්ත්‍රණයක් මඟින් වළක්වනු ලබනවා. ඒ වගේම, එය මළ ද්‍රව්‍ය තවත් කුටියකට යැවීමට ද කටයුතු කරනවා. එහි ඇති නැනෝ ආලේපිත පබළු වාෂ්ප ලෙස ඇති පිරිසිදු ජලය ග්‍රහණය කරගන්නවා. ප්‍රමාණවත් මට්ටමකට ජලය රැස් වූ පසු පැළවලට දැමීමට, රෙදි සේදීම වැනි දෑට හෝ අවශ්‍ය නම් පානයට හෝ යොදාගත හැකියි.

ඉතිරි මළද්‍රව්‍ය ආකිමිඩීස් ඉස්කුරුප්පු පද්ධතියකින් වායවකරණ (gasifier) කුටියකට යවා, කුඩා දුරකතනයක් බල ගැන්විය හැකි මට්ටමේ විද්‍යුතයක් නිපදවිය හැකි ශක්ති ප්‍රභවයක් බවට පත් කෙරෙනවා.

පසුවදන

ප්‍රයෝජන‍යට නොගෙන හෝ මුහුදට යවන්නට අපට අනාගතයේ දී ජලය තිබේවි ද? (recipeforbeautifullife.com)

නිර්ජල වැසිකිළි සහ කැසිකිළි වාණිජ්‍ය වශයෙන් මෙන්ම තමාටම සකසා ගන්නට ද හැකියාව තිබෙනවා. එහි දී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණක් නම්, පරිසරය සුරකින්නට ගොස් පරිසරය දූෂණය නොවන්නට කටයුතු කිරීම යි.

නිවැරදි ලෙස සකසන්නට නොහැකි වුවහොත්‍ හෝ (මිල දී ගත් එකක පවා) කල් යාමේ දී ක්ෂය වීම් නිසා මළ ද්‍රව්‍ය පිටතට නිරාවරණය වීම් වළක්වා ගන්නට සිදුවෙනවා. එමඟින් අප්‍රසන්න බහිස්‍රාවී ද්‍රව්‍ය සමග දුගඳ මෙන්ම, රෝගකාරක ක්ෂුද්‍රජීවීන් ද පරිසරයට එක් වෙනවා.

මළද්‍රව්‍ය නිවස තුළම තිබීම, පිළිස්සුම් කැසිකිළිවල ඉන්ධන සහිත කොටස් තිබීම, කොම්පෝස්ට් පද්ධතිවල දී මළවල තත්ත්වය නිතර පරීක්ෂා කරන්නට සිදුවීම වැනි දෑ මෙහි අවාසිදායක දේවල් වෙනවා. මිල සහ නඩත්තු පිරිවැයත් ඊට දෙවැනි නැහැ.

එනමුත්, වනාන්තර කපමින් නිවාස බිහි කරද්දී, ලී බඩුවලින් ඒ නිවස පුරවද්දී, ජීවත් වීමට අවශ්‍ය මූලික සම්පතක් ඒ නිවසේ ටොයිලට් එකෙන් ෆ්ලෂ් කර යැවිය නොහැකි බව නුදුරු අනාගතයේ දී ලොවට වැටහේවි.

කවරය: alicdn.com

මූලාශ්‍රයයන්:

  • theguardian.com
  • howstuffworks.com
  • techtimes.com