Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සේවකයන් සහ විශේෂයෙන් ප්‍රධානීන් සැලකිලිමත් විය යුතු පරිගණක සෞඛ්‍යය

පරිගණකය සමඟ දවස පුරා කටයුතු කරන කෙනෙක් තමන් නොදැනුවත්වම නොසැලකිල්ල නිසා ශරීරාබාධ බොහොමයක් ළඟා කර ගන්න ඉඩ තිබෙනවා. දෑස, අත්, කොන්ද ඇතුළු ශරීරාංග බොහොමයක් මෙම ආබාධ තත්ත්වයන්ට ලක් වන අතර පරිගණක ඇබ්බැහි වීම් හරහා මේ තත්ත්ව තවත් උග්‍ර අතට හැරෙනවා. පේශිවල කැක්කුම්වලට අමතරව ඒවායේ අතුරුඵල ලෙස හිසරදය, ඔක්කාරය වැනි තවත් අතුරු රෝග ද ඇතිවන අතර දිගුකාලීනව නොසැලකිලිමත්කම් නිසා සෞඛ්‍යමය ගැටළු මෙන්ම කාර්යක්ෂමතාවය අඩුවීම ඇතුළු කාර්යාල පද්ධතිය වෙතම බලපෑ හැකි ආකාරයේ ගැටළු ද ඇති වෙනවා.

වැදගත්ම දේ: ඇස්

avogel.co.uk

පරිගණක භාවිතයේදී වැඩිපුරම වෙහෙසට පත්වන්නේ දෑසයි. එයට හේතුව වන්නේ, ළඟ ඇති වස්තුවක් දෙස බැලීමේදී අක්ෂි පේශි මගින් අක්ෂි කාචයේ වක්‍රතාව පාලනය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමයි. කිසියම් බර වස්තුවක් අතේ තියාගෙන සිටින විට මඳ වේලාවකින් අතට වෙහෙසක් දැනෙන්නේ යම් සේ ද, අක්ෂි පේශි ද කෙටි කාලයකින් විඩාවට පත් වෙනවා. මේ නිසායි විනාඩි විස්සකට වතාවක්, අඩි විස්සක් දුරින් ඇති යමක් දිහා තත්පර 20ක් බලාගෙන ඉන්නා ලෙස ‘20-20-20 නීතිය’ හඳුන්වා දී තිබෙන්නේ. මෙලෙස දුර වස්තුවක් දෙස බැලීමේදී අක්ෂි පේශි ලිහිල් වන නිසා බරැති වස්තුව අතින් අතහැර සාමාන්‍ය මට්ටමට ගෙන ආවාක් මෙන් පේශිවලට නිදහස ලැබෙනවා.

ඇසේ වේදනාවට අමතරව ඇසි පිල්ලමේ සහ අවට කැසීම් නිතර ඇති වෙනවා නම්, පෙනීමට බාධාවන ලෙස තරු හෝ දිලිසුම් (flashers) ඇසේ ඇති වෙන බවක් ඔබට දැනෙනවා නම් ඊට හේතුව වන්නේ ඇසේ තෙතමනය මඳ වීමයි. කාර්යාලය තුළ වායු සමීකරණය ඉහළ මට්ටමක තිබෙනවා නම් හෝ වියළි සමක් ඇති අයෙක් නම් මෙවන් දෑට නිරන්තරයෙන් ගොදුරු වන්නට පුළුවන්. එවන් විටකදී කළ යුත්තේ දෑස් ජලයෙන් තෙමා ගැනීමයි.

blog.logansportmemorial.org

දෑස අධිකව වෙහෙසීමට පරිගණක තිර දීප්තිය (brightness) බලපානවා. බාහිර පරිසරය ආලෝකමත්ව තිබියදී අඩු තිර දීප්තියක් යොදා ඇති විට දෑසෙහි තාරා මණ්ඩලය වැය කළ යුතු ශ්‍රමය වැඩි වන අතර රාත්‍රී කාලයේ හෝ අඳුරු කාර්යාල පරිසරයක පරිගණකය භාවිත කරනවා නම් එය ද උචිත වන්නේ නැහැ. එනිසා ආලෝකමත් පරිසරයක, ඊට වඩා ස්වල්පයක් වැඩි සහ ස්ව-කැමැත්ත අනුව ඇසට සෞම්‍යදායී තිර දීප්තියක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. පරිගණක තිරය තැබීමේදීත් පසුපස ජනේලයක් වෙනුවට බිත්තියක් ඉදිරියෙන් වැනි පසුපසින් ආලෝකයක් නොඑන ස්ථානයක තබා ගත යුතු වෙනවා.

වෙළඳපොළෙහි පරිගණක කණ්ණාඩි දකින්නට තිබෙන අතර අවශ්‍ය නම් එවැන්නක් පළඳින්නට පුළුවන්. නමුත් මේ බොහොමයක තිරයෙන් ලැබෙන කිරණ අවපාත කිරීම සඳහා සකසා ඇතැයි කියමින් මිල අධික කොට ඇති නමුත් දැන් CRT මොනිටර් (පසුපස ඉතා විශාල, දිගු ඒවා) වෙනුවට LCD මොනිටර් බහුල නිසා ඒවායෙන් කිරණ බලපෑමක් ලැබෙන්නේ නැහැ. මේ නිසා ඇසට වෙහෙස අඩු කර ගැනීමට, පෙනීම වැඩිදියුණු කර ගැනීමේ අවශ්‍යතාවක් ඇත්නම්, හුදෙක් +1.00 හෝ +1.50 බලයෙන් යුත් කියැවුම් කණ්ණාඩි (reading glasses) පැළඳීම ප්‍රමාණවත් වෙනවා.

අත්, ගෙල සහ ශරීරය

physiofitpt.com

පරිගණකය දිගු කාලයක් භාවිත කිරීමෙන් බෙල්ලෙහි සහ කොන්දේ ඇතිවන වේදනාවන්ට හේතු වන්නේ නියමිත උස මට්ටම්වලින්, පේශි ලිහිල්ව නොපවතින ආකාරයට පරිගණක උපාංග ස්ථානගත කිරීමයි. මොනිටරය මේසය මත තැබීමේදී එය තමා පුටුවේ වාඩිවූ විට එහි ඉහළ දාරය ඇස් මට්ටමේ පවතින ආකාරයට සකසා ගත් විට බෙල්ල ඍජුව නිදහසේ තබා ගෙන දෑසින් පහළට නෙත් යොමමින් එය භාවිත කළ හැකි වෙනවා.

ඔබේ මේසය සතුව ඇත්තේ ලැප්ටොප් පරිගණකයක් නම් එය ඔබේ උසට ගැලපෙන ලෙස එනම්, බොහෝ අවස්ථාවලදී ලැප්ටොප් තිරය අංශක අනූවකට වඩා දිගහැර ගත යුතු වෙනවා. ලැප්ටොප් එකක් පැය බාගය ඉක්මවා දීර්ඝ කාලයක් පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම මේසයක් මත තබා ගැනීම උචිත වෙනවා.

jdodd1122.wordpress.com

අත්වල මැණික් කටුව ආශ්‍රිතව හෝ උරහිසේ ආබාධ ඒමට මූලික හේතුවක් වන්නේ මවුසය සහ කීබෝඩ් එක පේශීන් විඩාවට ලක්වන සේ ස්ථානගත කිරීමයි. මවුස් එකට සහ කීබෝඩ් එකට දෑත තබා ගත් විට වැලමිට දක්වා මේසය මත හෝ වැලමිට පුටු ඇන්ද මත ලිහිල්ව පවතිමින් පොළවට සමාන්තරව තිබෙන සේ පැවතිය යුතු වෙනවා. ලැප්ටොප් එකක තිබෙන කීබෝඩ් එක පාවිච්චි කිරීමට මෙම ඉරියව්ව අපහසුතා ගෙන දෙනවා නම් USB කීබෝඩ් සහ මවුස් පාවිච්චි කරන්නට පුළුවන්. මවුසය කීබෝඩ් එකට ආසන්නව සම මට්ටමේ තබාගෙන එය අත තද කොට නොඅල්ලා, මැණික් කටුවෙන් පමණක් නොව වැලමිටෙන් පහළ පෙදෙසම භාවිත වන ආකාරයට පාවිච්චි කළ විට අතෙහි ඇතිවන වේදනාවන් වළක්වා ගත හැකියි.

පරිගණකය පාවිච්චි කිරීමේදී විනාඩි 45කට වරක් හෝ ඊට පෙර වේදනාවන් දැණුනහොත් වහාම, ඉරියව්ව මාරු කරමින් සිට ගැනීම, ඇවිදීම වැනි දෙයක මඳ වේලාවක නියුතු විය යුතු වෙනවා. වාඩි වී සිටින අතරතුරදීත් දෑත් ඉහළට ඔසවා ඇදීමේ ඉරියව්වක් (හිරි ඇරීම) සිදු කිරීම ගැනීම සුදුසුයි.

ප්‍රධානීන්ට ප්‍රශ්නාවලියක්

Office Space (1999) චිත්‍රපටයේ ජවනිකාවක් (amcnetworks.com)

සේවකයන් ශාරීරික පීඩාවට පත්වීම හරහා ඔවුන්ගේ වැඩවල වේගය අඩු වීමෙන් ආයතනයේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. නිසි ආකාරව ඔවුන්ට පහසුකම් සැලසීම පසෙක ලා ආයතනයේ උපකරණ ලාභය සහ වැඩ කරන පැය ගණන පමණක් සැලකීමට ගතහොත් සිදු වන්නේ වැඩිපුර වැඩ කිරීමක් නොව, වැඩ කිරීමට එපා වීමක් සහ ආයතනය ගැන කළකිරීමක් ඇතිවීම යි. මේ නිසා, ප්‍රධානියෙක් වශයෙන් පහත දේවල් තමන්ගේ ආයතනය තුළ ඇත්දැයි සලකා බලන්නට අපි ආරාධනා කරනවා.

සේවකයන් සතු මොනිටර් සහ පුටු පහසු ආකාරයට උස සහ ආනතිය වෙනස් කිරීමට හැකි ඒවා ද?
මොනිටර්වලට අවට ඇති ජනේලවලින් පරාවර්තනයන් එල්ල වෙනවා ද?
මේසය උස අවස්ථාවලදී පුටුව උස් කරගත් විට, මිටි අයට පාද තබා ගැනීමට foot support තිබෙනවා ද?
කාර්යාල පරිසරය අඳුරුයි ද?
සේවකයන් දෙදෙනෙක් අතර ඉඩ ප්‍රමාණය ඔවුන්ට ප්‍රමාණවත් ද?
නිසි කාල ප්‍රාන්තරවලදී ඔවුන් හිරි ඇරීම හෝ ඉරියව් මාරු කිරීම ඔබට ගැටළුවක් ද?
ඇස් ආබාධ ඇතිවුණු විට ඒවාට ප්‍රතිකාර ගැනීමට සේවකයන්ට පහසුකම් සලසා දෙනවා ද?

The Office ටීවී සීරීස් එකේ තමාම කියාගන්නා පරිදි, ලොව හොඳම බොස් (medium.com)

දවස පුරා පරිගණකයේ සිටින සේවක සෞඛ්‍යය ගොඩනගමින් ඒ හරහා සේවක-සේව්‍ය පාර්ශවය අතර හොඳ සබඳතාවක් මෙන්ම කාර්යාල කටයුතුවල ස්වයං-කාර්යක්ෂම බවක් සහ වැඩ කිරීමට ඇති බාධාවන් ඉවත් කිරීමක් මේ ලැයිස්තුව හරහා පිරියම් කරගන්නට හැකිවෙනවා.

ඔබ රැකියාව කරන ස්ථානයේ මේ පහසුකම් ඔබට ලැබී තිබෙනවා ද?

කවරයේ ඡායාරූපය: bodyfixtherapies.com

Related Articles