Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook අපේ ෆෝන් හරහා සංවාදවලට ඇහුම්කන් දෙනවා ද?

කේම්බ්‍රිජ් ඇනලිටිකා සංසිද්ධියත් එක්ක දැන් ලෝකය පුරාම Facebook හරහා කරන්න පුළුවන් දේවල්වල භයානකකම ගැන විශාල සංවාදයක් ඇති වෙලා. අපි ගැන අති විශාල තොරතුරු සම්භාරයක් රැස් කරගෙන, ඒවා භාවිතයෙන් අපිට වඩාත් ගැළපෙන වෙළඳ දැන්වීම් පෙන්වීම මගින් තමයි Facebook ආයතනය මේ තරම් ධනයක් උපයගන්න සමත් වෙලා තියෙන්නේ. ඔවුන්ට අපේ කැමැත්ත අකමැත්ත, අපි යම් වෙලාවක කරමින් ඉන්න දේවල්, යන එන තැන්, ඇසුරු කරන අය, සහ සිතුම් පැතුම් වගේ දේවල් භාවිතයෙන් අපි මොන වගේ කෙනෙක් ද කියන එක ගැන ඉතාම නිවැරදිව තීරණය කරන්න පුළුවන් නිසා, ලොකු කුඩා ආයතන අති විශාල සංඛ්‍යාවක් අපේ කැමැත්ත ගැන දැනගෙන හරියටම දැන්වීම් පෙන්වීමේ අරමුණින් අපි ගැන විස්තර ඔවුන්ගෙන් ලොකු මුදලක් ගෙවලා ලබාගන්නේ කිසිම පැකිළීමක් නැතිව.

අපි කැමති දේම අපිට පෙන්වන්නේ ඔවුන් ලබා ගන්නා තොරතුරු ඇසුරෙන්. (openmovies.com)

නමුත් මෑතක දී එළියට ආපු කතාවක් තමයි Facebook ආයතනය අපි කතා කරන දේවල්වලටත් සවන් දීලා ඒ තොරතුරු ඇසුරිනුත් අපිට දැන්වීම් පෙන්වන්න උත්සාහයක් ගන්නවා කියන එක. මේක තහවුරු කරන්න සමහරු දක්වලා තිබුණු සාක්ෂි තමයි තමන් ෆෝන් එක ළඟ තියෙන වෙලාවට යාළුවොත් එක්ක අලුත් ඇඳුමක් ගැන, අලුතෙන් ආපු සින්දුවක් ගැන එහෙම කතා කර කර හිටියාට පස්සේ එදා රෑම ඊට ඍජුවම සම්බන්ධ දැන්වීම් facebook හරහා හෝ Instagram හරහා දකින්න ලැබුණා කියන එක (instagram කියන්නෙත් facebook ආයතනයටම අයිති සේවාවක්). මේ වගේ කතා බොහොමයක් ගැන විවිධ පුද්ගලයන් අදහස් දක්වලා තියෙනවා.

ඇත්තටම බය හිතෙනවා නේද? මොකද අපි Facebookහි සැරිසරනකොට, අන්තර්ජාලයේ සැරිසරනකොට කරන දේවල් හරහා යම් යම් තොරතුරු එක් රැස් කරගන්න එක යම් තරමකින් හරි සාධාරණීකරණය කරන්න පුළුවන් වුණත්, අපි ඒකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා එදිනෙදා කතා බහ කරන දේවල් ගැන අහගෙන ඉන්න එක සාධාරණීකරණය කරන්න පුළුවන් කාට ද? ඉතින් මේ ගැන සොයා බලපු අවස්ථාවක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මුල්ම ප්‍රශ්නය, මේක කරන්න පුළුවන් වැඩක් ද?

අපි වෙන දෙයක් කරනකොට වුණත් ෆෝන් එක අපි ළඟමයි නේද? (noticiasaominuto.com)

අපිට පෙනෙන දේට යටින් විවිධාකාරයේ කූට සැළසුම් සිදු වෙනවා කියන කතා (conspiracy theories) නම් ඕන තරම්. මේ අතරින් ඇතැම් කතා ප්‍රායෝගික  නොවන නිසාම වැඩි දෙනෙක්ගේ පිළිගැනීමට ලක් වෙන්නේ නැහැ. ඉතින් මුලින්ම මේ විදිහට අපේ කතා බහ පටිගත කරන්න පුළුවන් ද, ඒවා ලබාගෙන එයින් සැළකිය යුතු, ප්‍රයෝජනවත් තොරතුරු ප්‍රමාණයක් එක් රැස් කරගන්න පුළුවන් ද කියන එක ගැන සළකලා බලමු.

Intelligent Voice කියලා කටහඬ තොරතුරුවලට හරවන එක ගැන පර්යේෂණ කරන ආයතනයක සම හිමිකරු සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා (CTO) වන නයිජල් කේන්ස් (Nigel Keynes) මහතාට අනුව මයික්‍රෆෝන් එකක් හරහා පටිගත කරගන්නා හඬවල් අකුරුවලට හරවන්නත්, කතා කරන්නා ගැන ප්‍රයෝජනවත් තොරතුරු විදිහට සකස් කරගන්නත් අද වන විට ක්‍රම ඕන තරම් තියෙනවා. එයට සැබැවින්ම අවශ්‍ය වෙන්නේ අධික සැකසුම් බලයක් (processing power) පමණ යි. Facebook වගේ ආයතනයට ඒ අවශ්‍යතාව සපුරා ගන්න ඕන තරම් ඉඩකඩ තිබෙන බව ඔහුගේ අදහස යි.

වැඩේ සිද්ධ වෙන විදිහ

කෙනෙක් කතා කරන විදිහ අහලා බොහෝ දේ තේරුම් ගන්න ක්‍රම තියෙනවා. (nordicapis.com)

උදාහරණයක් විදිහට කෙනෙක්ගේ කටහඬේ සංඛ්‍යාතය පමණක් විශ්ලේෂණය කරලා ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඔබේ හැඟීම් (දුක, සතුට, තරහා වගේ) ආදියත්, ඔබ මොන රටක කෙනෙක් ද කියාත් සැළකිය යුතු නිවරද්‍යතාවකින් හඳුනාගන්න පුළුවන් මෘදුකාංග දැනටමත් තිබෙනවා. මීට අමතරව වෙනත් ආකාරවලින් එක්රැස් කරගන්නා, ඔබ ඉන්න ස්ථානය, වෙලාව වගේ දේවල් විශ්ලේෂණය කරලා කටහඬවල් ගණනාවකින් වුණත් ඔබව වඩාත් හොඳින් හඳුනාගන්න පුළුවන්. ඉන් පස්සේ ඇත්තටම ඔබ කියන දේ අකුරුවලට හරවා කරන්න පුළුවන් දේවල් මොන තරම් ද? ඔබේ සිතේ තියෙන හැඟීම්, ආකල්ප, විශ්වාසයන්, කැමති දේ අනුමානය වගේම, ඇත්තටම ඔබ කියන දේ හරියටම හඳුනාගන්නත් කිසිම බැරිකමක් නැහැ. මේවා ෆෝන් එකෙන් කරන්න බැරි වුණත් පටිගත කරන දේ අපි අද පාවිච්චි කරන අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා හරහා තත්පර කිහිපයකින් Facebook සතු සුපිරි පරිගණකවලට යවා කරගන්නට ඉතා පහසුවෙන් පුළුවන්.

සිංහල භාෂාව අධ්‍යයනය තරමක් අපහසු වුණත් ඒකත් හොඳින් සිදුවෙන දිනය වැඩි ඈතක නෙවෙයි. නිකමට Google voice typing වලින් අපි කියන දේවල් මොන තරම් නිවැරදිව ටයිප් වෙනවා ද, මේ වන විට Google translator මොන තරම් නිවැරදි ද කියලා ඔබම බලන්න. Google එකට පුළුවන් නම්, ඒ හා සමාන ධනයක් සහ සම්පත් පවතින Facebook ආයතනයට මේවා බැහැ කියලා හිතන්න පුළුවන් ද?

අධික සැකසුම් බලයක් සහිත පරිගණක තියෙනවා නම් AI තාක්ෂණයට සීමාවක් නැහැ

අද තියෙන පරිගණකවලින් එකවර විශ්ලේෂණය කරන්න හැකියාව තියෙන දත්ත සම්භාරය හිතන්නවත් බැරි තරම්. (asianscientist.com)

මේ විදිහට මොන තරම් පහසුවෙන් අපිව හඳුනාගෙන, අපි ගැන ඉතාම නිවැරදි චිත්‍රයක් ගොඩනගා ගන්නේ අපිට ක්ලික් කරලා බලන්න ආසම හිතෙන දැන්වීම් එවන්න යි. මෙය සිදු වෙන්නේ Facebook වෙබ් අඩවියේ දී විතරක් නෙවෙ යි. බොහෝ වෙබ් අඩවිවල ඔබේ Facebook නම හඳුනාගන්නත්, ඔවුන් Facebook ආයතනයෙන් මිල දී ගෙන තිබෙන දත්ත සම්භාරය විශ්ලේෂණය කර ඔබ ගැන වහාම වටහාගෙන ඒ මොහොතේම ඔබ ප්‍රිය කරන අන්දමේ දැන්වීම් පෙන්වන්න හැකියාව තියෙන වෙබ් මෘදුකාංග අඩංගු යි. (Facebook ආයතනයට මාසිකව මිලක් ගෙවීමෙන් එහි ගිණුමක් හිමි ඕනෑම කෙනෙක් ගැන facebook එකතු කරගත් දත්ත සහ විශ්ලේෂණය කර ගොඩ නගපු තොරතුරු ඒ මොහොතේම search කරලා දැන ගන්න හැකි සේවාවක් පවතිනවා)

ඒ විතරක් නෙවෙයි, ඔබ ඒ වෙබ් අඩවියට පිවිසුණු බවත්, ඔබ එහි කළ දේවල් ගැනත්, සිටිය කාලය ගැනත් වගේ තොරතුරු සම්භාරයක් Facebook එකටත් ඒ මොහොතේම ඉබේම දැනුම් දීමක් කෙරෙනවා. ඒ අනුව ඔබ යන වෙබ් අඩවිවල search කරන දේවල්, බලන දේවල්, නොබලා ඉවත් කරලා දමන දේවල් සියල්ලම ගැන ඔවුන් එක්රැස් කරපු තොරතුරුත් Facebook එකට නැවත ගිහින් ඔබේ කැමැත්ත අකමැත්ත ගැන ඇතුළත් කරුණු සම්භාරයට එකතු වෙනවා. මේක කාලයක් තිස්සේ සිදු වෙනකොට ඔබ ගැන ඔබටත් වඩා හොඳින් Facebook ආයතනය වාර්තාවක් සකස් කරගෙන අවසන්! ඉතින් ඒක පරිහරණය කරන්න දැන්වීම් ආයතන මුදල් විසි කරන්නේත්, Facebook බලාගෙන ඉද්දී ධනවත් වෙන්නෙත් ඇයි කියා වැටහෙනවා නේද?

ඉතින් අපේ සංවාද පටිගත කළත් නොකළත් දැනටමත් අපි ගැන හැම දේම දන්නවා නේද?

මේ කියන දේවල්වලට අමතරවත් මොන තරම් දේවල් දන්නවා ඇතිද? (pinterest.com)

මේක කියාගෙන යනකොට ඔබට බය හිතෙනවා නම් එය බොහොම සාධාරණ යි. නමුත් ඒක තමයි ඇත්ත. මෙතෙක් කියපු හැම දෙයක්ම තමන් කරන බව Facebook ආයතනය දැනටමත් පිළිගෙන තිබෙනවා. කොහොම නමුත් මයික්‍රෆෝන් එක හරහා හඬ පටිගත කරන බවටත්, ඒවා විශ්ලේෂණය කරන බවටත් පවතින චෝදනා Facebook ආයතනය ප්‍රතික්ෂේප කරනවා. එහි ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පසුගිය දා ඇමරිකානු කොන්ග්‍රසට ගෙන්වා ප්‍රශ්න කළ අවස්ථාවේ දී එයට ඍජුවම “නැහැ” කියා කිව්වා. ඒ වගේම යම් යම් පිරිස් පුරාවට ෆෝන් එකකින් යවන දත්ත පැකට් ගැන අවධානයෙන් ඉඳලා තිබුණත් ඒ විදිහට කිසිම හඬ දත්තයක් අප්ලෝඩ් කෙරෙන බව දැක ගන්න ලැබිලා නැහැ.

මේ කාලයේ වෙන දේවල් එක්ක බැලුවාම ඔවුන්ගේ ප්‍රතික්ෂේප කිරීම් ගැන, මේ පරීක්ෂණ ගැන වැඩි විශ්වාසයක් තියා ගන්නත් බැරි බව ඇත්ත (මුදල් දීලා මේවායේ සොයා ගැනීම් වෙනස් කරන්නත් බැරි නැහැනේ). හැබැයි ඉතින් මෙතෙක් කියපු දේවල් ගැන හිතලා බැලුවාම ඇත්තටම එහෙම පටිගත නොකර වුණත් අපි ගැන ඔවුන් දන්නා දේවල් ඕනෑම දේකට ප්‍රමාණවත් බව නම් හොඳටම පැහැදිලියි. අවශ්‍ය නම් ඔවුන්ට එය කරන්නත් බැරි නැති බව බොහෝ දෙනෙක්ගේ අදහසයි.

ඉදිරි පියවර?

කොහොම වුණත් දැනටමත් අපි වැටිලා තියෙන මේ තත්ත්වයෙන් ලේසියෙන් ගොඩ එන්න නම් ක්‍රමයක් නෑ. Facebook ගිණුම ඉවත් කරත් ඔබේ මිතුරන්ගේ ගිණුම් හරහා ඔබ ගැන අවධානයෙන් ඉන්න ඔවුන්ට පුළුවන්. ඒ වගේම දැනටමත් ඔබ ගැන නිවැරදි චිත්‍රයක් ඔවුන් සතුව තියෙන නිසා අද සිට තොරතුරු එකතු නොකළත් දැනටමත් තියෙන තොරතුරු ඔබ ගැන හොඳින් පුරෝකථනය කරන්න හොඳටම ප්‍රමාණවත්. Facebook ආයතනය සහ ඔවුන්ගේ සර්වර්, දත්ත ගබඩා සියල්ල ගිනි තබා විනාශ කළත් අනෙක් ආයතන සතුව අපේ තොරතුරු විවිධ ප්‍රමාණවලින් අඩංගු යි. ඉතින් ඇත්තටම මෙයින් බේරෙන්න නම් කළ හැකි දෙයක් නැහැ වගේ තමයි.

Facebook ප්‍රධානී මාක් සකර්බර්ග් පසුගියදා ඇමරිකානු කොංග්‍රසයේ ප්‍රශ්න කිරීමකට ලක් වුණා. (wired.com)

මේක තමයි වර්තමාන අන්තර්ජාලයේ යථාර්ථය. කාලයක් පුරා මුදල් ගෙවලා කරගන්න සිදු වුණු පණිවිඩ හුවමාරුව, තොරතුරු ලබා ගැනීම වගේ හැම දේම අපි අද නොමිලේ කරගන්න උත්සාහයක් ගන්නවා. නොමිලේ අපිට සේවා ලබා දෙන්න නම් ඔවුන්ට ආදායම් ලබන්න ක්‍රම අවශ්‍ය යි. ඒකට වෙළඳ දැන්වීම් අවශ්‍ය යි. වෙළඳ දැන්වීම් ගන්න නම් ඔවුන්ට අපි ගැන නිවැරදි තොරතුරු අවශ්‍ය යි. මේ විෂම චක්‍රයට අපි ඔවුන්ගේ පැත්තෙන් කිසිම බලපෑමක් නැතිව අපේම කැමැත්තෙන් හසු වීම තමයි මෙතන තියෙන භයානකම සහ එක අතකින් හාස්‍යජනකම දෙය. ඇත්තටම අපි මොන තරම් මෝඩයන් ද කියලා නිකමට සිතා බලන්න.

කරන්න ලොකු දෙයක් නැතත් මේ ගැන දැනුවත් වී සිටීම වුණත් තරමක් වටිනවා. ඔබේ බ්‍රවුසරයේ ට්‍රැක් කිරීම වළක්වන විධානය සක්‍රීය කිරීම, කිසිම දැන්වීමක් ක්ලික් නොකිරීම ඇතුළු පොඩි සහනයක් ගන්න පුළුවන් හැම දේම සක්‍රීයව තියා ගන්න බලන්න. නොදැනුවත්ව වලේ වැටෙනවාට වඩා වැටෙනවා කියලා දැන ගත්ත ගමන් ඒකට සූදානම් වෙලා, සිදු වෙන හානිය අවම කරගන්න බලන එක තමයි දැන් අපිට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. අපි කොච්චර අකමැති වුණත් යථාර්ථය එය යි.

කවරයේ රූපය : (youtube.com/theverge)

Related Articles