Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

4G LTE නිසා මුහුණ දෙන්නට සිදුවන පොදු ගැටළුවලට විසඳුම්

4G සබඳතාවන් රට පුරා පැතිර යද්දී එහි ඇති අධිවේගී අන්තර්ජාල ‍පහසුකම්වල රාවය ද වේගයෙන් පැතිර යනවා. මේ නිසා තම දුරකතනයෙන් ද එම සේවාව අත්විඳින්නට උත්සාහ කළත් හිසරදයක් වන තරමට විවිධ ගැටළු ඇතිවූවා නම් ඒවාට ඔබේ පසින් ගත හැකි උපරිම විසඳුම් මෙමඟින් ඔබට දැනගත හැකියි.

ඇමතුම් ක්‍රියා නොකිරීම

VoLTE නොමැති බව නිසා ඇමතුම් ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන් ම වළකියි (videoblocks.com)

4G සතු වේගවත් දත්ත අත්විඳිමින් සිටි ඔබට දිගු කාලයකින් ඇමතුමක් නොලැබීයාම හෝ කෙතරම් ඇමතුම් ගන්නට උත්සාහ කළත් නොහැකි බව මිතුරන් ඔබට පැවසීම සිදුවී ඇති. නමුත් ඔබ Airplane mode දමා හෝ දුරකතනයේ Emergency calls only ලෙස සඳහන් වීමක් සිදු නොවුණු බව ඔබට හොඳටම විශ්වාස යි. මෙය නිරන්තරයෙන් ස්මාර්ට් ෆෝන්වල සිදුවන ගැටළුවක්.

අන්තර්ජාලය සඳහා 4G දත්ත භාවිතා කිරීම ඉතාම පහසු නිසා බොහෝ දෙනෙක් “4G Only” ලෙස සකසා ගන්නවා. මේ වසරේ ඉදිරිපෙළ දුරකතන පවා එය ඉවත්කොට LTE/3G/2G (auto connect) ලෙස සකසා තිබුණ ද විවිධ Apps මඟින් LTE Only ලෙස සකසාගත හැකියි. එහෙත් එවිට සිග්නල් මඳ බව සහ VoLTE නොමැති බව නිසා ඇමතුම් ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම වළකියි.

මෙයට විසඳුම් වන්නේ, අන්තර්ජාල භාවිතයෙන් පසු නැවත Auto connect වෙත මාරු වීම සහ දුරකතනය මඟින් නිර්දේශ කර ඇති ආකාරයට LTE Only ලෙස නොදමා 4G සිග්නල් හොඳින් ඇති ස්ථානයක සිට අන්තර්ජාලය අත් විඳීම යි.

VoLTE ක්‍රියාත්මක නොවීම

ඇතැම් දුරකතන සේවා සම්පාදකයන් ඉදිරිපෙළ දුරකතනවලට පවා VoLTE සම්බන්ධතාවය ලබා නොදෙති (androidcentral.com)

Voice Over LTE (4G හරහා ඇමතුම් ගැනීම) මඟින් වඩාත් පැහැදිලි හඬකින් ඇමතුම් ගැනීමට අවස්ථාව ලැබේ. 4G සිම්පතක්‍ වෙත මාරු වූවානම් ඔබට මෙම සේවාව අත්විඳීමට හැකිවේ. නමුත් ඊට ප්‍රධාන සාධක දෙකක අවශ්‍යතාව තිබේ. එනම්, ඔබේ දුරකතනය VoLTE සඳහා සහාය දක්වනවා ද යන්න සහ ඔබේ ප්‍රදේශයේ VoLTE සහාය තිබෙනවා ද යන්නයි. ඒ බව ඔබේ දුරකතන සේවා සම්පාදකයා සම්බන්ධ කරගැනීමෙන් දැනගත හැකියි.

දුරකතන සැකසුම්වල LTE/3G/2G (auto connect) ලෙස සකසා ඇති විට ඔබ සිටින ප්‍රදේශයේ VoLTE නොමැති නම් 2G හෝ 3G හරහා ඇමතුම් වෙත සම්බන්ධ වීමට ඊට හැකි වෙයි. එසේම දුරකතනයේ VoLTE පහසුකම් ඇත්නම් සැකසුම්වල එය On/Off කිරීමට හැකියාව ඇති ආකාරය ද දැකගත හැකි වේ. මේ සඳහා Settingsවල ඇති Search box එකෙන් VoLTE ලෙස සෙවීම හෝ Connections > Mobile networks වෙත පිවිසීමෙන් දැකගත හැකියි.

LTE තිබුණාට ම සෑම දුරකතනයකම VoLTE පහසුකම් නොමැති අතර ඇතැම් සේවා සම්පාදකයන්ගේ පාරිභෝගික සේවාව ඇමතීම මඟින් VoLTE සක්‍රීය කරගැනීමට සිදුවේ. එහෙත් මෙරට ඇතැම් දුරකතන සේවා සම්පාදකයන් Note 10 වැනි ඉදිරිපෙළ දුරකතනවලට පවා VoLTE සම්බන්ධතාවය ලබා නොදෙති. VoLTE නිසි පරිදි සක්‍රීයව ඇතිවිට බොහෝ දුරකතන මාදිලිවල සිග්නල් දර්ශකය ආසන්නයෙන් VoLTE හෝ HD යන අකුරු දර්ශනය වීම සිදුවේ.

සිග්නල් නොමැති බව හෝ දුරකතනය සිම්පත හඳුනා නොගැනීම

එයට හේතුව එම උපාංගය අදාල සේවා සම්පාදකයාගේ 4G බෑන්ඩ් එකට සහාය නොදැක්වීමයි (technobezz.com)

ඔබ වසර තුනක් හෝ ඊට වඩා පැරණි දුරකතනයක් භාවිතා කරනවා නම් ඒවායේ LTE හැකියාවන් නොතිබීම මෙන්ම, සිග්නල් ඉතා අඩුවෙන් පෙන්වීම වැනි ගැටළුවලට මුහුණ දීමට සිදුවේ. එනිසා ඔබේ උපාංගය නූතන තාක්ෂණය හා සමකාලීණ කරගැනීම වැදගත්ය.

මෑත කාලීන දුරකතනයක LTE සඳහා දුරකතනය මඟින් සහාය දැක්වූවත් ඔබට 4G දත්ත සබඳතාවක් නොලැබේ නම් එයට හේතුව ඔබේ සිම්පත 3G එකක් වීම යි. දුරකතන සේවා සම්පාදයකයා වෙතින් 4G සිම්පතකට මාරු කර ගැනීම කළ හැකි අතර ඇතැම්වායේ නොමිලේ නිවසටම තැපෑලෙන් ලබා ගත හැකි පහසුකම් සලසා තිබේ.

දුරකතනය හෝ රවුටරයක් මඟින් 4G සිම්පත හඳුනා නොගනී නම් එයට හේතුව එම උපාංගය අදාල සේවා සම්පාදකයාගේ 4G බෑන්ඩ් එකට සහාය නොදැක්වීම යි. 4G රවුටරවල ඇති සිම්පත් දුරකතනවල ක්‍රියා නොකිරීමට එය ද හේතුවකි. එනිසා ඔබ උපාංග මිල දී ගන්නා විට ලංකාවේ සේවා සම්පාදකයන්ගේ 4G Bandsවලට සහාය දක්වන බව තහවුරු කරගතයුතු වේ.

දත්ත ක්‍රියාත්මක නොවීම සහ දෙවැනි සිම්පතෙහි 4G ගැටළු

ඇතැම් Dual SIM දුරකතනවල සිම්පත් දෙකෙන්ම 4G සේවාවන් අත්විඳීමේ හැකියාව නොමැතියි (hihonor.com)

ඔබ 4G සිම්පතක් ඇතුලත් කර, දුරකතනයෙන් ද 4G සහාය දක්වන නමුත් දත්ත සබඳතාව ඇති නොවන්නේ නම් හෝ සිම්පත් හඳුනානොගන්නේ නම්, එයට හේතුව සිම්පත නිසි ‍පරිදි ඇතුලත් නොකිරීම හෝ අන්තර්ජාල සැකසුම් දුරකතනයේ ස්ථාපිතව නොතිබීම වේ. මේ සඳහා සිම්පත ඉවත් කොට, නැවත දැමීමෙන් (Airplane mode on/off කිරීම ප්‍රමාණවත් නොවේ) සිම්පත නිවැරදිව ස්ථානගත කිරීම සහ අන්තර්ජාල සැකසුම් යළි ලබා ගැනීම කළ හැකිවේ.

තවදුරටත් දත්ත ක්‍රියා නොකරයි නම්, ඔබේ ගිණුම් ‍ශේෂය පරීක්ෂා කොට, පාරිභෝගික සේවාව අමතා අන්තර්ජාල දත්ත සැකසුම් දුරකතනය වෙත ‍එවන ලෙස ඉල්ලා සිටින්න. එය ස්ථාපනය කර ගැනීමෙන් පසු ඔබට අන්තර්ජාල පහසුකම් ලබාගත හැකි වේ.

ඇතැම් Dual SIM දුරකතනවල සිම්පත් දෙකෙන්ම 4G සේවාවන් අත්විඳීමේ හැකියාව නොමැතියි. ඇතැම්වායේ 4G සේවාව මාරු කිරීමට අවස්ථාව ලබාදෙන නිසා ඔබට භෞතිකව සිම්පත පළමුවැන්නට මාරු නොකොට දෙවැනි සිම්පත සඳහා 4G සක්‍රීය කළ හැකියි. එය සිදුකිරීමට Settings > Connection වෙතින් Dual SIM Management වෙත පිවිස, (දුරකතන මාදිලිය අනුව පියවර වෙනස්‍ වේ) Network mode එක වෙනස් කිරීම හෝ 4G භාවිතා විය යුතු සිම්පත තෝරාදීම කළ යුතු වේ. එසේම VoLTE පහසුකම් ද බොහෝ විට සිම්පත් දෙකෙන්ම ලබාගත නොහැකි වේ.

නිතර සබඳතා ගිලිහී යාම

ඒකාකාරී සිග්නල් ව්‍යාප්තියක් නොමැතිකම මෙයට එක් හේතුවකි (etimg.com)

ඔබ 4G හරහා ඇමතුම් ගනිද්දී හෝ ඩේටා භාවිතා කරද්දී නිතර සබඳතාවය ගිලිහීම කරදරකාරී වනු ඇති. ඉහත කී පරිදි බොහෝ දෙනෙක් 4G Only ලෙස සැකසුම් කිරීමට එය හේතුවක් වෙයි. 4G සේවාවන් තවමත් රට පුරා වර්ධනය වෙමින් යන බැවින් ඒකාකාරී සිග්නල් ව්‍යාප්තියක් නොමැතිකම මෙයට එක් හේතුවකි.

ඔබ ගමනක් යන අතරතුර ඇමතුම් ගන්නේ නම් සන්නිවේදන කුළුණු අතර මාරුවීම සඳහා උපාංගවලට කල්ගතවන බැවින් සහ Signal strength එක අඩු අවස්ථාවන්හි දී අඛණ්ඩව සබඳතාව පවත්වා ගැනීමට නොහැකිවීමෙන් ඇමතුම් විසන්ධිවීම සිදුවේ. එනිසා නගරයෙන් බැහැර වන විට Settings > Connection වෙතින් LTE/3G/2G (auto connect) ලෙස සකසා ගැනීම අත්‍යාවශ්‍ය වේ. එමඟින් 4G සඳහාම උත්සාහ කිරීමෙන් බැටරි බලය නාස්ති වීම ද අවම කරගත හැකි වේ.

දැනට මේ ගැටළු නිරන්තරයෙන් හැමටම විඳින්නට සිදුවන අතර තවත් වසරක්-දෙකක් පමණ යනවිට (6G ද ප්‍රචලිත වූවාට පසු) 4G සබඳතාවන් සුමටව අත්විඳින්නට හැකි වනු ඇත. අපේ රටේ පමණක් නොව, ඉන්දියාවේ පවා මෙවන් ගැටළු සිදුවන අතර අපි භාවිතා කරන උපාංග, සිටින ප්‍රදේශයේ ස්වභාවය, දුරකතන සේවා සම්පාදකයාගේ සේවා ගුණාත්මකභාවය යනාදිය මේ සඳහා බලපාන බව ඔබට දැන් පැහැදිලි ඇති.

කවරය: androidauthority.net

Related Articles