Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔබේ අන්තර්ජාල වේගය වැඩි කරදෙන Cloudflareහි Public DNS සේවාව

අන්තර්ජාලයට පිවිසෙන්නට අපිට සහාය වන DNS සේවාවන් නිසා අපේ පිවිසුම් වේගයෙහි වෙනස්කම් සිදුවෙනවා. අපේ අන්තර්ජාලය සේවා සම්පාදකයා විසින් ලබාදෙන DNS සේවාවන් වේගය අඩු ඒවා වන අතර ඒවායේ නිරවද්‍යතාව පිළිබඳව ද විශ්වාසය තබන්නට බැහැ. මේ වෙනුවට නොමිලේ ලබාදෙන Public DNS සේවාවන් බොහොමයක් තිබුණත් ඒවා අපේ දත්ත රැස් කරන නිසා ඒවා ගැන විශ්වාසයක් තබන්නටත් බැහැ. මෙවන් තත්ත්වයක් යටතේදීයි වෙබ් අඩවිවල වේගය වැඩි කරදෙන Cloudflare ආයතනය අන්තර්ජාල වේගය වැඩි කරගන්නට ලොව ඕනෑම කෙනෙක්ට නොමිලේම පාවිච්චි කළ හැකි DNS සේවාවක් ආරම්භ කළේ.

මොකක්ද DNS කියන්නේ?

keycdn.com

නිවෙසක් හදද්දී එයට ලිපිනයක් ලැබෙනවා. අන්තර්ජාලයට සබැඳීමේදීත් අපිට මෙන්ම වෙබ් අඩවිවල ගොනු රඳවා තිබෙන සර්වර් පරිගණකවලටත් අන්තර්ජාල ලිපිනයක් හෙවත් Internet Protocol (IP) ලිපිනයක් තිබෙනවා. ඒ ආකාරයට අපේ Roar වෙබ් අඩවියේ දැනට ගොනු රඳවා තිබෙන සර්වර් ලිපිනය වන්නේ 104.25.161.117 යි. ඔබට මිතුරෙක්ගේ නිවසට යන්නට ඕනෑ නම් ඔවුන්ගේ ලිපිනය ඉල්ලා ගෙන එය සොයාගෙන යනවා වගේ වෙබ් අඩවියකට යන්නට ඕනෑ වුණාමත් මෙන්න මේ IP ලිපිනය වෙතයි යා යුතු වන්නේ. නමුත් කාටද මේ අංක ගොඩක් මතක තියාගන්න පුළුවන්! අන්න එතැනදී අපිට DNS සේවාවක් සහාය වෙනවා.

අපේ වෙබ් ලිපිනය කුමක්දැයි ඇසූවිට ඉහත කී අංක ගොන්න කියනවාට වඩා roar.media හෝ roar.lk ලෙස තේරෙන භාෂාවකින් සහ මතක තබාගැනීමට හැකි ආකාරයේ නමකින් කීම පහසුවක්. බොහෝ නිවෙස්වලටත් අංකයක් වෙනුවට නමක් පාවිච්චි කරන්නේත් මේ හේතුව නිසාමයි. මෙලෙස නමක් අංකයක් බවට පත් කරන අතරමැදියා තමයි Domain Name Server හෙවත් DNS කියන්නේ. පරිගණක බ්‍රවුසරයේ අපි අකුරුවලින් වෙබ් ලිපිනයක් ටයිප් කළාම බ්‍රවුසරය විසින් ඊට ලබාදී තිබෙන DNS සර්වරයට තට්ටු කොට මෙහි IP ලිපිනය කුමක්දැයි විමසනවා. එවිට එම සර්වරය සතුව අපිට අවශ්‍ය වෙබ් අඩවි විස්තර නැත්නම් එය තවත් DNS සර්වරයකට කථා කොට විස්තර දැනගෙන අපට කියනවා.

එතකොට Shared hosting වල මේක වෙන්නේ කොහොමද?

වම්පස shared hosting සහ දකුණුපස dedicated hosting නිරූපණයක් (dezzain.com)

Shared hosting හෙවත් තනි සර්වරයක වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් host කළාම ඒ සියළු වෙබ් අඩවිවලට ලැබෙන්නේ තනි IP ලිපිනයක්. උදාහරණයක් විධියට තනි නිවසක පවුල් කිහිපයක් ඉන්නවා නම් ඔවුන් සියල්ලන්ටම තිබෙන්නේ තනි නිවාස ලිපිනයක්. අප ඉහත කී Roarහි IP ලිපිනයෙන් ඔබ පිවිසුණහොත් ඉන් අපේ වෙබ් අඩවිය දිස් වන්නේ නැත්තේත් එම සර්වරය shared එකක් නිසායි. මෙවන් අවස්ථාවලදී DNS සර්වරය විසින් පොදු IP ලිපිනය ලබා දුන්නාට පසු, එම සර්වරය විසින් බ්‍රවුසරයෙන් එවන ලද ඩොමේන් එක සහිත header එක බලා ඒ අනුව ඊට අදාල ගොනු කියවීමට මුදා හරිනවා. මේ නිසායි dedicated IP එකක් හෙවත් තනි පවුලක් සහිත තනි නිවසකට පිවිසෙද්දී IP ලිපිනය හරහා යාමට හැකි වුවත් shared IP හෙවත් පවුල් කිහිපයක් සිටින නිවසකට IP ලිපිනය පමණක්ම ප්‍රමාණවත් නොවන්නේ.

DNS නිසා ඉන්ටර්නෙට් ස්ලෝ වෙන හැටි

philippineslifestyle.com

DNS සර්වරයක් එයට අයත් මුළු රටෙන්ම හෝ ලොව වටෙන්ම ඊට සබැඳුණු පරිගණකවලින් විස්තර අහනවා. තත්ත්පරයකදී එය දස දහස් ගණනක්. ඉතින් ඉහත කී ආකාරයට තමන්ගේ දත්ත පාදක කියවමින් ඊට ලැබෙන විශාල සංඛ්‍යාවක විමසීම්වලට ප්‍රතිචාර දැක්වීමට, ඒ අතරතුරේම තවත් සර්වර වෙත සබැඳී දත්ත ලබාගැනීමට එම සර්වරය සවිමත් එකක් විය යුතුයි. අපිට අන්තර්ජාල සේවා සපයන්නන් විසින් ලබාදෙන සර්වර එතරම් සවිබලයෙන් යුතු ඒවා නොවන නිසා සහ ඒවායේ දත්තපාදක නිරන්තරයෙන් යාවත්කාලීන නොවන නිසා තව තවත් සර්වර්වලින් අසා අපිට පිළිතුරු දෙන්නට යද්දී තවත් කල් ගත වෙනවා. මේ නිසා වේගය අඩු බව වැනි ප්‍රශ්නවලට ම මේ DNS resolve වීමටත් වැඩි කාලයක් ගත වූ විට කොරේ පිටට මරේ වැනි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ.

මෙය නිතර කරන්නට යාමේදී වැඩි වෙලාවක් ගතවන නිසා බ්‍රවුසර විසින් DNS සර්වර හරහා අපට අවශ්‍ය වෙබ් අඩවියේ දත්ත මුල් වතාවේ පමණක් ලබාගෙන ගබඩා කර ගන්නවා. ඒවා කාලයෙන් කාලයට නැවත යාවත්කාලීන කරගන්නවා. මන්ද, වෙබ් අඩවිවල හිමිකරුවන් ඒවායේ ගොනු විවිධ සර්වර්වලට මාරු කළහොත් නව IP ලිපිනයක් ඊට ලැබෙන නිසා DNS server හෝ බ්‍රවුසර විසින්ද ඒ ගැන දැනුවත්ව සිටිය යුතුයි.

මෝඩයාගේ දිනයේදී එළිදැක්වුණු 1.1.1.1

cloudflare.com

ඉහත ගැටළුව නිසා බොහෝ දෙනෙක් Google DNS, OpenDNS ආදී සේවාවන් භාවිත කරන්නට පෙළැඹී සිටියත් ඔවුන් අපේ දත්ත ගබඩා කරගන්නේ නැති බවට සනාථ කොට නැහැ. විශේෂයෙන් ගූග්ල් වැනි සමාගම් නිරන්තරයෙන් තමන්ගේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා අපේ රුචි අරුචිකම් ගැන සොයමින් සිටින නිසා එය භාවිත කිරීම පෞද්ගලිකත්වය පාවා දීමක් වැනියි. මෙයට අභියෝගයක් ලෙසින් Cloudflare වෙතින් ආරක්ෂිත, වේගවත් සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරදෙන සේවාවක් ඇරඹුවා. එහි වෙබ් අඩවිය වන්නේත් https://1.1.1.1/ යි. Google DNSවලටත් වඩා දෙගුණයකටත් වැඩි වේගයක් තම සතු බව පවසන එම වෙබ් අඩවිය ආසියා-පැසිෆික් ජාල තොරතුරු මධ්‍යස්ථානය සතුව තිබූ 1.1.1.1 ලිපිනය උපයෝගී කරගනිමින් මෙය නිමැවූ බව සඳහන් කරනවා.

වින්ඩෝස් සඳහා

Thambaru/Roar

Windows XP, 7, 8 ආදිය සඳහා Control Panel ද Windows 10 සඳහා Settings ද වෙත ගොස් ඉන් Network and Internet වෙත පිවිසෙන්න. Windows 10හි WiFi හෝ Ethernet වෙත පිවිසුණු විට ඍජුවම දකින්නට ඇති Change Adapter Settings ක්ලික් කරන්න. එවිට ඔබ සම්බන්ධ වුණු කේබල් හෝ වයිෆයි සබඳතා පෙන්වන අතර අවශ්‍ය සබඳතාව Right click කර Properties ක්ලික් කරන්න. එවිට ලැබෙන සංවාද කොටුවෙන් Internet Protocol Version 4 (TCP/IPv4) යන්න ඩබල් ක්ලික් හෝ වරක් ක්ලික් කොට Properties බොත්තම ඔබන්න.

එහි “Use the following DNS server addresses:” ක්ලික් කර එවිට සක්‍රීයවන කොටුවෙහි ලබාදී ඇති තිත් අතර 1.1.1.1 සහ දෙවැනි කොටුවේ 1.0.0.1 ලෙස ටයිප් කර OK කරන්න.

සැකසුම් වෙනස් වූවාදැයි සැකහැර දැනගන්නට whatsmydnsserver.com වෙත පිවිස What’s My DNS Server? යන බොත්තම ක්ලික් කරන්න. එවිට එහි Cloudflare ලෙස පෙන්වන්නේ නැත්නම් නැවත සැකසුම් පරීක්ෂා කර, පරිගණකය restart කර බලන්න.

Android සහ අනෙකුත් උපාංග

මැක් සහ ලිනක්ස් ආදී අනෙක් මෙහෙයුම් පද්ධති පිළිබඳ සැකසුම් කරන ආකාරය 1.1.1.1 වෙබ් අඩවියේ දක්වා ඇති අතර Android සඳහා මෙම සැකසුම් වෙනස් කරද්දී Static IP එකක් සකසන්නට සිදුවන නිසා සහ ඉන් ඔබේ සබඳතා ක්‍රමවේදය වෙනස් වන බැවින්, ඒ වෙනුවට ඍජුවම රවුටරයට එම සැකසුම් කරන ලෙසයි එය සඳහන් කරන්නේ.

අපගේ දත්ත කිසිවක් ඔවුන් බලන්නේ හෝ රඳවා නොගන්නා බවට තාක්ෂණික වශයෙන් පියවර ගෙන ඇති අතර වඩාත් වේගයක් ලබා දීම ඔවුන්ගේ අරමුණ වෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අලෙවිකරණ සේවාව වන වෙබ් අඩවි වේගවත් කරලීම ප්‍රවර්ධනය කරලීමේ සහ ඔවුන්ගේ වෙළඳනාමය හුදෙක් මෙය හරහා ප්‍රචාරය කිරීම පමණක් අභිලාෂය වන බවයි පෙනී යන්නේ. ඒ නිසා අවසානයේ ෆේස්බුක් වැනි දත්ත එකතු කරන ආයතනයක් වෙනුවට විශ්වාසය තැබිය හැකි නොමිලේ ලැබෙන සේවාවක් භුක්ති විඳින්නට හැමෝටම අවස්ථාව ලැබෙනවා.

කවරයේ ඡායාරූපය: imgur.com

Related Articles