Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තරගවලින් පැරදුණු මයික්‍රොසොෆ්ට් සමාගම දිනවන්න හදන වැඩපිළිවෙළ

මයික්‍රොසොෆ්ට් කිව්වාම ඔබට මතක් වෙන්නේ මොකක්ද? බොහෝ දෙනෙක්ට තවමත් සැළකිය යුතු පිරිසක් පාවිච්චි කරන Windows මෙහෙයුම් පද්ධතිය සහ MS Office පැකේජයේ මෘදුකාංග මතක් වෙනවා ඇති. තවත් අයට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වසර ගණනාවක් තිස්සේ ඉදිරියෙන් සිටි බිල් ගේට්ස් මතක් වෙනවා ඇති. නමුත් එතැනින් එහාට දෙයක් මතක් කරන්න කියලා කිව්වොත්? වැඩි දෙනෙක්ට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා නේද? සමහර විට ඔබට ඔවුන්ගේ යම් නිපැයුම්වල නම් මතක තිබුණත් ඔබ ඒවා නිතරම පාවිච්චියට ගන්නවාද කියලා තරමක් හිතලා බලන්න. Windows Phone මෙහෙයුම් පද්ධතිය, Internet Explorer සහ Edge බ්‍රව්සර් දෙක, Bing සෙවුම් යන්ත්‍රය, Skype අැමතුම් සේවාව, Xbox කොන්සොල් එක වගේම තවත් මොන තරම් මයික්‍රොසොෆ්ට් නිමැවුම් අද වැඩි දෙනෙක් දන්නවා වුණත් ඉතාම සුළු පිරිසක් විතරක් පාවිච්චි කරන මට්ටමට මට්ටමට වැටිලා තියෙනවා ද?

මේවායින් කීයක් දන්නවා ද, කීයක් විතර පාවිච්චි කරනවා ද? (osgusa.com)

ලෝකයේ කාලයක් පුරාවටම තිබුණු බලවත්ම, වටිනාම සමාගම වුණු මයික්‍රොසොෆ්ට් ආයතනය අද මේ පත් වෙලා ඉන්න තත්ත්වය නම් ඇත්තටම ශෝචනීය යි. තමන්ගේ බොහෝ නිමැවුම්වලට එරෙහිව ආපු සමාගම්වලට එරෙහිව තරගයක් දෙන්න හොඳ අවස්ථාවක් ඔවුන් සතුව තිබුණත්, මොකක් හරි හේතුවක් නිසා ඒ හැම තරගයකින්ම ඉතාම අපකීර්තිමත් විදිහට පරාජය වෙන්න ඔවුන්ට සිදු වුණා.

ඉතින් මේ විදිහට දිගටම තරග වැදිලා පරාජය වුණු මයික්‍රොසොෆ්ට් සමාගම තමන්ගේ Windows මෙහෙයුම් පද්ධතියට පවතින තර්ජනය තරමක් අඩු කර ගන්න, වෙනත් සමාගම් එක්ක තරග නොකර ඔවුන්ගේ නිමැවුම්වලට පැත්තක සිට සහය දීමේ අලුත් වැඩපිළිවෙලකට පිවිසිලා තියෙනවා. ඊට අමතරව මේ ක්‍රමය තමන්ගේ තවත් නිමැවුම් ගණනාවක් එකට එක් කරමින්, විශේෂයෙන්ම දැන් හැම අතින්ම ඉදිරියට එන කෘත්‍රීම බුද්ධිය හෙවත් AI අංශය දියුණු කිරීමටත් යොදා ගන්න ඔවුන්ගේ අදහසක් තියෙනවා. මේ සියලු දේ ගැන එහි වර්තමාන ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වන සත්‍යා නඩෙල්ලා මෑතක දී සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නා.

තරග කරලා පලක් නැති නිසා තරග කරන්නේ නැහැ.

මෑත කාලයේදී මයික්‍රොසොෆ්ට් ලද ලොකුම පරාජය වුණේ වින්ඩෝස් ෆෝන්වල අසාර්ථකත්වයයි. (digitaltrends.com)

සරලවම කිව්වොත් මයික්‍රොසොෆ්ට් නිපැයුම් මුලින්ම බිහි වෙනකොට ඒවාට සම කළ හැකි කිසිවක් තිබුණේ නැහැ. එක්තරා කාලයක් තිබුණා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලෝකයේ පරිගණකවලින් 90%ටත් වඩා ප්‍රමාණයක භාවිත වුණු. Internet Explorer එකත් එහෙමයි. MS Office එකට නම් අභියෝග කළ හැකි වෙන කිසිවක්ම තිබුණේ නැහැ. නමුත් මයික්‍රොසොෆ්ට්වල නිතරම පැවතුණු ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ගැටළු හදා ගන්න වැඩි උත්සාහයක් නොගන්නා එක. ඒ නිසා නිතරම ඊට වඩා පහසුවෙන් ඒ දේම කරගත හැකි තරගකාරී නිමැවුමක් ආ සැණින් එයට මාරු වෙන පිරිස ඉතා අධික යි.

මයික්‍රොසොෆ්ට්වලට මුලින්ම අභියෝග කළ ඇපල් සමාගමත්, ඉන් පසුව ගූගල් සමාගමත් තමන්ගේ නිපැයුම්වලින් බොහෝ දුර යද්දී ඔවුන්ට සිදු වුණේ බලාගෙන ඉන්න යි. ඒ කාලේ ඍජු පියවරක් නොගත්ත ඔවුන්ට අද ඒ සමාගම්වලට තරගයක් දෙන එක හීනයක් බවට පත් වෙලා. ඉතින් තරග කරනවා වෙනුවට පැත්තෙන් ඉඳගෙන සහය දීමේ නව වැඩපිළිවෙලක් ඔවුන් ක්‍රියාත්මක කරනවා. නඩෙල්ලා ඒ ගැන කියා තිබුණේ මෙවැන්නක්.

තමන්ගේ නිමැවුම් අතර හොඳ අන්තර්සම්බන්ධතාවක් පවත්වා ගන්නා Google මයික්‍රොසොෆ්ට් අායතනයට විශාල තර්ජනයක්. (livewire.com)

“අපගේ අලුත්ම උත්සාහය තවත් මෙහෙයුම් පද්ධතියක් වෙනුවට platform එකක් ගොඩ නැගීම යි. අද වන විට වින්ඩෝස් පරිගණකයට අමතරව වින්ඩෝස් උපාංග වගේම වින්ඩෝස් නොවන උපාංගත් බොහොමයක් තිබෙනවා. ඉතින් සියලු දෙනාටම තියෙන උපාංග අතහැර ඒ වෙනුවට භාවිත කළ හැකි වින්ඩෝස් උපාංග හැදීම වෙනුවට, අපි දැන් උත්සාහ කරන්නේ ඔබ ළඟ වින්ඩෝස් පරිගණකයක් තියෙනවා නම් අනෙක් උපාංග සියල්ලම සමග ඉතා පහසුවෙන් කටයුතු කරන්න හැකි බව ඒත්තු ගැන්වෙන සංකල්පයක් ගොඩ නගන්න යි. ඒ සඳහා අපි අපේ AI නිමැවුම් සක්‍රීයව යොදා ගන්නවා. අපේ Timeline විශේෂාංගය මේ විදිහට ඔබේ සියලුම උපාංග අතර හොඳ අන්තර්සම්බන්ධතාවක් ඇති කරන්න සහය වෙන අවස්ථාවකට හොඳ උදාහරණයක්”, ඔහු කියා සිටියා.

මේ සංකල්පය පෙරදැරි කරගත් උපාංග දැනටමත් ක්‍රියාත්මක යි

මයික්‍රොසොෆ්ට් සමාගමේ මේ තරගකාරී නොවන අලුත් වැඩපිළිවෙල යටතේ නඩෙල්ලා කියපු විදිහටම හැම උපාංගයක් එක්කම හොඳින් වැඩ කළ හැකි, සියල්ල එක්තැන් කරන සංකල්පයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම ඒ විදිහට අන්‍යෝන්‍ය සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් තවත් උපාංග සහ සේවා ගණනාවක් අලුතෙන් හඳුන්වා දෙන්නත්, දැනට පවතින උපාංග හා සේවා මේ අලුත් වැඩපිළිවෙල වෙනුවෙන් නවීකරණයට ලක් කරන්නත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ සියල්ල භාවිත කරන්නාට වඩා පහසු කිරීම වෙනුවෙන් ඔවුන්ගේ AI නිමැවුම් ප්‍රබලව යොදා ගන්න ඔවුන් උත්සාහ ගන්නවා. නඩෙල්ලා එයට උදාහරණ දෙකකුත් ලබා දුන්නා.

ලොව හොඳම චීන පරිවර්තකයක් ලෙස සැලකෙක Ming Zhou ගේ Microsoft Engkoo. (mspoweruser.com)

“AI ගැන දැන් හැමෝම කතා කරනවා. මේ තාක්ෂණයෙන් ලබාගත හැකි ප්‍රයෝජන බොහොම යි. දැන් අපගේ උත්සාහය වෙන්නේ අපේ නව වැඩපිළිවෙල එක්ක සියලුම උපාංග අතර සහයෝගී බව වැඩි කරගන්නත්, ඒවා වඩාත් හොඳින් ප්‍රයෝජනයට ගන්නත් සහය වෙන්න AI තාක්ෂණය මේ ක්‍රමයේ හොඳ උදාහරණයක් තම මින්ග් ෂාවු ගොඩ නගපු සංවාද පහසු කරවන Engkoo මෘදුකාංගය. ඉතාම පහසුවෙන් චීන පමණක් දන්නා අයෙක්ටත්, ඉංග්‍රීසි පමණක් දන්නා අයෙක්ටත් හොඳ සංවාදයක් පවත්වා ගෙන යන්න පරිවර්තකයෙක් ලෙස ක්‍රියා කරන්න එයට පුළුවන්. මේ සඳහා අපේ AI නිමැවුම් වන කටහඬ හඳුනාගැනීමේ මෘදුකාංග, යාන්ත්‍රික පරිවර්තන මෘදුකාංග සහ හැසිරීම් හඳුනාගැනීමේ මෘදුකාංගත් යොදා ගන්නවා. ඉදිරියේදී ලෝකයේ විශාලතම සංචාරක පිරිස බවට පත් වෙන චීන ජාතිකයන්ට මෙවැන්නක් බොහෝසෙයින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්”

“තවත් උදාහරණයක් තමයි අපි නවීකරණය කළ DJI ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් ස්වයංක්‍රීයව පියාසර කරමින් ඉතා විශාල දුරක් ඔස්සේ එලා තිබෙන තෙල් නළවල කාන්දු වීම් සිදු වන තැන් සොයා දෙනවා. මේ සඳහා යාන්ත්‍රිකව ඊට අවශ්‍ය දැනුම ලබා ගන්නත්, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියා කරන්නත් මේ ඩ්‍රෝන් එකට පුළුවන්. මේ සඳහා AI මෘදුකාංගවලට අමතරව අපේ Azure Cloud පද්ධතිය සහ IoT Edge හි සහය ලබා ගැනෙනවා”, නඩෙල්ලා කියා සිටියා.

AI ආයතනයක් විදිහට පරිශීලක දත්ත ආරක්ෂාව ගැන?

AI නිසා ඇති විය හැකි නරක දේට හොඳ උදාහරණයක් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේදී දකින්න ලැබුණා. ෆේස්බුක් පරිශීලකයන්ගේ තොරතුරු එක්රැස් කරගෙන, AI නිමැවුම් හරහා ඒවා විශ්ලේෂණය කර අදාළ පුද්ගලයන්ගේ සිතුම් පැතුම් හඳුනාගන්නත්, ඒ අනුව ඔවුන්ට වඩාත්ම සිතන දැනෙන ආකාරවලින් දේශපාලන දැන්වීම් පළ කරමින් ඔවුන්ගේ සහය සූක්ෂමව ලබා ගැනීමත් කේම්බ්‍රිජ් ඇනලිටිකා නැමති සමාගමක් විසින් සිදු කර තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳ උන්මාදයක් ඇති පිරිසක් බිහි වෙන්නත්, ඒ නිසාම ඔහුගේ ජයග්‍රහණයටත් මෙය ප්‍රබල හේතුවක් වූ බව කියවෙනවා. ඉතින් එවැන්නකින් ආරක්ෂා වෙන්න AI ආයතනයක් විදිහට තමන්ගේ වගකීම ගැනත් නඩෙල්ලා අදහස් දැක්වූයේ මේ විදිහට යි.

Facebook දත්ත අනිසි ලෙස යොදා ගෙන සිදු කළ කේම්බ්‍රිජ් අැනලිටිකා සිද්ධිය AI වල භයානක කම හොඳින් පෙන්වා දුන්නා. (medium.com)

“ඒ වගකීම අනිවාර්යයෙන්ම ආයතනයක් විසින් දැරිය යුතු යි. තමන්ගේ නිමැවුම් භාවිතයෙන් අනවශ්‍ය දෙයක් සිදු වෙනවා නම් ඒ වගකීමෙන් බේරෙන්න ආයතනයකට සදාචාරාත්මකව බැහැ. මෙතැන දී මම දකින මූලික කාරණා තුනක් තියෙනවා. පළමු දේ තමයි පෞද්ගලිකත්වය. පෞද්ගලිකත්වය කියන්නේ කෙනෙකුගේ අයිතියක්. එය හඳුනාගෙන එයට ගරු කිරීම ප්‍රතිපත්තියක් බවට පත්විය යුතු යි. දෙවැන්න තමයි ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව සියලු දෙනාටම වැදගත් දෙයක් ලෙස සැළකිය යුතු යි. තුන් වැන්න සහ වැදගත්ම දේ තමයි පරිගණකයට කළ හැකි මොනවාද කියන එක මත නැතිව, පරිගණකයක් කළ යුතු මොනවා ද කියන එක මත නිමැවුම් ගොඩනැගිය යුතුයි”, ඔහු කියා සිටියා.

අලුත් ගමනේ සාර්ථකත්වය?

මේ සියලු දේ දිහා බැලුවාම අද වන විට මයික්‍රොසොෆ්ට් ආයතනය ඔවුන්ගේ මෙතෙක් තරගකරුවන් වූ ඇපල්, ගූගල්, ඇමසන් වැනි ආයතනවල පවතින ප්‍රසිද්ධ වේදිකාවේ රඟ දැක්වීමකට සමාන භූමිකාවෙන් ඉවත් වෙලා IBM, Foxconn වගේ තිරය පිටුපස සිට සේවා සපයා දෙන භූමිකාවකට මාරු වන බවක් පෙනෙන්න තියෙනවා. එය සාර්ථක වේවි ද නොවේවි ද කියලා හරියටම කියන්න තවම කල් වැඩියි. නමුත් මේ විදිහේ විවෘත, සැබෑ වෙනස්කමක් කරන්න හැකියාවක් නොතිබුණු එක මයික්‍රොසොෆ්ට්හි නොනවතින පරාජයන්ට හේතු වුණ බව වැඩි දෙනෙක්ගේ අදහසක් නිසා සමහර විට මේ පුළුල් අත්හදා බැලීමේ සාර්ථකත්වයක් තියෙන්නත් ලොකු ඉඩකඩක් තියෙනවා.

සුප්‍රසිද්ධ IBM අායතනයත් එකල තමන්ගෙ ව්‍යාපාරය සිදු කළේ තිරය පිටුපස සිටයි. (newsclick.in)

මයික්‍රොසොෆ්ට් සමාගම තමන්ටම කියා ලෙන්ගතු පරිශීලක පිරිසක් ගොඩ නගා ගන්නවත්, තමන්ගේ නිමැවුම්වල සංකීර්ණත්වය ඉවත් කර අත්‍යාවශ්‍ය දේ පමණක් හොඳින්ම සැකසීමටවත්, අලුත් ලෝකය සමග වෙනස් වීමටවත් සැබෑ උවමනාවකින් කිසිදා කටයුතු කළේ නැහැ. එහි ප්‍රතිඵලය අනෙක් සියලුම ආයතන ඔවුන්ට තරගයක් දෙමින් ඉදිරියට පැමිණීම යි. ඉතින් මෙවර ගන්නා උත්සාහයවත් සාර්ථක වේවා කියා පතන අතරේම තමන් සතුව ඇති හැකියා, නිපුණතා සහ සුදුසුකම් ගැනම පමණක් ආඩම්බර වෙමින් එක තැන නොසිට නිරන්තරයෙන්ම ලෝකයේ වෙනස් වීම් සමග හැඩගැසීමේ වැදගත් කම ගැනත් මයික්‍රොසොෆ්ට් ආයතනයට සිදු වූ දෙයින් ඔබේ ජීවිතයටත් පාඩමක් එක් කර ගන්නවා නම් වඩා හොඳ බව තමයි කියන්න තියෙන්නේ.

කවරයේ රූපය : inc.com

Related Articles