Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

MS Paint මතකය මයික්‍රොසොෆ්ට් සමාගම උදුරාගත් කථාව බොරුවක්

ඉන්ටර්නෙට් ලංකාවේ ව්‍යාප්ත වෙන්නටත් කලින් කම්පියුටර් ලට හා පුරා කියලා අත්පොත් තබපු කාලේ වයස් භේදයකින් තොරව අපි හැම කෙනෙක් ම වින්ඩෝස් 98වල ඉඳලා ම කොම්පීතරේ ඔන් කරපු ගමන් යන ගමන් මාර්ගය තමයි: Start -> Programs -> Accesories -> Paint කියන්නේ. ඉස්සර දැන් වගේ ගේම්ස් තිබුණේත් නැහැ. තිබුණත් අපේ කසි කබල් ඒවායේ ඒවා ගහන්න කොහොමත් බැහැ. ඒ නිසා වින්ඩෝස් මත run වෙන ඩොස් ගේම් තමයි ටිකක් හරි පිහිටට තිබුණේ. ඒත් ඉතින් මවුස් එක හුරුවෙන්න, අම්මාගෙන් බැනුම් නොඅහා කොම්පීතරේ අතපත ගාන්න අවසර ගන්න පුළුවන් වෙන්නේ පේන්ට් දාගෙන වැරදි වැරදී චිත්‍ර අඳිද්දී තමයි. පාට පෙට්ටියෙන් background එක ගතේ විරිය දාලා පාට කරද්දී සත්‍ය ලෝකෙත් Paint bucket එක තිබුණා නම් ලේසියි කියලා පුංචි අපිට මතක් කර දුන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමේ පේන්ට් මෘදුකාංගය විසින්.

මේ තරම් සුන්දර මතකයන් රැසක් ගෙන ආ, කුඩා නමුත් අපේ මතකයන්වල මහා පෙරැළියක් කළ ඒ සොඳුරු මෘදුකාංගයට තිත තබන්නට සැරසෙන බවයි මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කරන්නේ. ඒ අනුව මෙතැන් පටන් එහි නව අලුත්වැඩියා කිරීම්, යාවත්කාලීන ලබාදීම් කිසිවක් නොකර අතහැර දමනු ලබනවා.

ආරම්භය වින්ඩෝස් මුල් වෙළුමේ පටන්

වින්ඩෝස් 1.0 මත පේන්ට් ධාවනය වන ආකාරය (kn3.net)

මයික්‍රොසොෆ්ට් පේන්ට් එහෙමත් නැත්නම් MS Paint මුලින් ම මෙලොව එළිය දකින්නේ 1985 වර්ෂයේ නිකුත්වූ Windows 1.0 සමග යි. එතැන් පටන් නිකුත්වූ සෑම වින්ඩෝස් වෙළුමක් සමග ම සුළු සුළු වෙනස්කම් සහිතව පේන්ට් මෘදුකාංගය නිකුත් කෙරුණා. එනමුත් වැඩි දෙනෙක්ගේ සිත් ගෙන තිබුණේ ඉතා සරල වින්ඩෝස් 95-98 කාලයේ තිබූ ඉපැරණි පේන්ට් වෙළුම යි. වින්ඩෝස් විස්ටා වන තෙක් ම පමණ අන්තර්ජාලයේ වැඩිපුර ම කළ සෙවීම්, ෆෝරම්වල විමසීම් බොහොමයක දකින්නට ලැබුණේ පැරණි පේන්ට් එක නැවත ලබා ගන්නේ කොහොමද කියා යි.

මයික්‍රොසොෆ්ට් පේන්ට් මෙතරම් ප්‍රචලිතව ජනාදරයට පත් වූවත්, ඇපල් සමාගම තම පරිගණක මෙහෙයුම් පද්ධතිය සඳහා MacPaint නමින් තැනූ චිත්‍රණ මෘදුකාංගය නම් වැඩිකල් වෙළඳපොළේ රැඳුණේ නැහැ. වින්ඩෝස්වලටත් වසරකට පෙර, එනම් 1984දී නිකුත් කළ මැක්පේන්ට් එක පැවතුණේ 1988දී නිකුත් වූ දෙවැනි වෙළුම දක්වා පමණ යි.

වින්ඩෝස් 7 මත නව පෙනුමැති පේන්ට් මෘදුකාංගය ධාවනය වන ආකාරය (deviantart.net)

වින්ඩෝස් වෙළුම්වල පෙනුමෙහි පැහැදිලි වෙනස්කම් සිදුවූ වින්ඩෝස් Me (2000) සිට XP දක්වා පැමිණීම, XPවල සිට වින්ඩෝස් විස්ටා වෙත පැමිණීම යන කඩඉම් වලදී පේන්ට්වලට නම් ලොකු වෙනසක් සිදුවුණේ නැහැ. එනමුත් වින්ඩෝස් 7 පැමිණීමත් සමඟ පේන්ට්වල පැහැදිලි වෙනස්කම් රැසක් දකින්නට ලැබුණා. චිත්‍ර කොළයේ විශාලනය (magnification), විවිධ දියුණු පින්සල් වර්ග, ක්‍රොප් කිරීම, ආම්පන්න සහ වර්ණ එතෙක් පැවති පරිදි වම්පස සහ පහතින් වෙනුවට ඉහළ තීරයක රිබන් එකක දක්වා තිබීම වැනි විශාල වෙනස්කම් ලබාදී තිබුණා.

ඉවත් කළා කිව්වාට Store එකට එක් කරනවා

වින්ඩෝස් ඇප් ගබඩාව (softpedia-static.com)

ගූගල් Play store, ඇපල් App store ආදී වශයෙන් මෘදුකාංග ලබාගත හැකි ගබඩාවන් අපිට හුරුපුරුදු වන්නේ ඇන්ඩ්‍රොයිඩ් වැනි ස්මාර්ට් දුරකථන මෙහෙයුම් පද්ධිතවලදී හෝ ලිනක්ස් – උබුන්ටු වැනි ඒවායේදී පමණයි. එනමුත් වින්ඩෝස් මෑතකදී පරිගණක වෙත හඳුන්වාදුන් Windows Store එක නිසා පහසුවෙන් කුඩා මෘදුකාංග ඉන් ස්ථාපනය කරගන්නට හැකියාව ලැබෙනවා.

මේ වසරේ මුලදී නිකුත් කළ Windows 10 Creators Update එකෙහි වසර අගභාගය සඳහා පැමිණීමට නියමිත යාවත්කාලීනය සඳහා වන විශේෂාංග අඩුවැඩියාව පිළිබඳ ලැයිස්තුවක් මයික්‍රොසොෆ්ට් සමාගම පසුගියදා එළි දැක්වූවා. පාරිභෝගික අපට අනාගතය සැලසුම් කරගැනීම පහසු කරගැනීම සඳහා ඔවුන් එම ලැයිස්තුව ලබා දෙන බවත්, එතුළ සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන විශේෂාංග මෙන් ම මෘදුකාංග කේත යාවත්කාලීනයන්, දැනට නවත්වා අනාගතයේදී සම්පූර්ණයෙන් ඉවත් කරලීමට සැරසෙන මෘදුකාංග කොටස් හා විශේෂාංග පිළිබඳව ද දක්වා තිබුණා.

Paint මෘදුකාංගය deprecated හෙවත් සංවර්ධනය නවතාලූ බව මයික්‍රොසොෆ්ට් වෙබ් අඩවියේ දක්වා ඇති ආකාරය (support.microsoft.com)

එහි වින්ඩෝස් 10 සමඟ හඳුන්වාදුන් 3D Builder ඇප් එක සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන ගොඩට දමා තිබුණා. වින්ඩෝස් 8 සමඟ හඳුන්වාදුන් Reader app, Reading List යන මෘදුකාංග Microsoftහි නවතම වෙබ් ගවේෂකය වන Edge වෙත එක් කරමින් ස්වාධීන මෘදුකාංග වශයෙන් ඉවත් කරන බව ද දක්වා තිබුණා. හැබැයි MS Paint නම් කර තිබුණේ කේත සංවර්ධනය නවතාලූ ගොඩට යි. එනම්, එය තවදුරටත් පෙරනිමියෙන් ස්ථාපිත මෘදුකාංගයක් වශයෙන් පැමිණෙන්නේ නැහැ. එනමුත් 3D Builder එක මෙන් ම Paint එකත් ඔබට අවශ්‍ය නම් වෙන ම Windows Store එකෙන් ස්ථාපනය කරගන්නට අවකාශ සලසා තිබෙනවා.

අලුත් ලොක්කා: 3D Paint

Paint 3D භාවිත අවස්ථාවක් (azureedge.net)

ලූලා වලෙන් ඉවත් කරද්දී කණයා ස්ටේජ් එකට ඇවිත් තියෙනවා ඔන්න 3D Paint කියලා. ඉහත කී ලැයිස්තුවේ පේන්ට් ඉවත් කරමින් මයික්‍රොසොෆ්ට් සමාගම දක්වා තිබෙන්නේ එහි තිබූ සියළුම හැකියාවන් 3D Paint වෙත මුසු කර ඇති බවයි. එනිසා ඉදිරියේදී වැඩි පහසුකම් සහිතව සහ ත්‍රිමාණ ග්‍රැෆික් වැඩ කරන්න පුළුවන් ආකාරයෙන් තනන ලද 3D Paint එක ඉපැරණි Paint සහ නවතම 3D Builder එක එකතු කොට තැනූ දෙමුහුම් ජීවියෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

මේ වන විටත් Creator Update එකත් එක්ක වින්ඩෝස් 10 භාවිතා කරන හැම කෙනෙක්ට ම මෙය ලැබිලා ඇති. ඔබට තවමත් එය ලැබී නැත්නම් අන්තර්ජාල සබඳතාව Metered connection එකක් ලෙස සකසා ඇත්දැයි බලා එය අබල කොට Settings මගින් යාවත්කාලීන සඳහා පරීක්ෂා කරවන්න. එවිට ගිගාබයිට් ගණනක ටිකක් ලොකු ප්‍රමාණයක ක්‍රියේටර් අප්ඩේට් එක ලැබේවි.

Paint 3D සමඟ පෙර සකසන ලද ත්‍රිමාණ මනුෂ්‍ය රූප, සත්ත්ව රූප, ගෝල ඇතුළු හැඩතල, ද්විමාන ස්ටිකර් ලැබෙනවා. චිත්‍ර කොළය හෙවත් කැන්වස් එක ත්‍රිමාණව චලනය කරමින් කැමති අතකට හරවමින් නිර්මාණකරණයේ යෙදෙන්නට පුළුවන්. අවම පද්ධති අවශ්‍යතාවයන් ප්‍රමාණයක් භාවිත වන මෙම යෙදුම සාම්ප්‍රදායික ද්විමාන චිත්‍රකරණයෙන් ඔබ්බට යමින් නවමු අත්දැකීමක් නව පරපුරට දායාද කරන්නට සමත් වෙනවා. මෙමඟින් තනන නිර්මාණ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ම හඳුන්වාදෙන ලද remix3d.com වෙබ් අඩවියට උඩුගත කළ හැකි අතර එය සමාජ ජාලයක්. මෙය නිර්මාණ තෝතැන්නක් වශයෙන්ද ක්‍රියා කරමින් ලොව වටා ත්‍රිමාණ පේන්ට් නිර්මාණ එක්තැන් කරනු ලබනවා.

පසුවදන

Paint පිළිබඳ පුවතින් කම්පාවට පත්වූ රසිකයන් විසින් කරන ලද නිර්මාණයක් (azureedge.net)

පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට හිස්පිටුවක් ඉඩ තබා යන එක සාමාන්‍යයෙන් මෘදුකාංග සංවර්ධන කලාවේදී සිදුවන්නේ නැහැ. කිසියම් ව්‍යාපෘතියක් තවදුරටත් සංවර්ධනය නොකරන බවට පසුවදනක් තබා එය දැනට භාවිතා කරන හෝ කැමැත්තක් දක්වන යමෙක් වෙත්නම් ලබා ගත හැකි වන සේ archive කොට රඳවනවා. නව බ්‍රවුසරයක් බාගන්නා තෙක් පමණක් හැමගේම බොරු ආදරයක් ලැබූ Microsoft Internet Explorer ඛේදවාචකය අවසන් කිරීමේ අරමුණින් Microsoft සමාගම Edge බ්‍රවුසරය ගෙන ආවත් තවමත් Internet Explorer එක වින්ඩෝස් වලින් ඉවත් කර නැහැ. ඔබ Start මෙනුවේ සෙවීමක් සිදුකළොත් ඒ අනුව වින්ඩෝස් 10 සමඟ වෙබ් බ්‍රවුසර 2ක්, එනම් IE සහ Edge ලැබෙන බව පසක් කරගත හැකියි.

සමාජ ජාලවල අපිට අසන්නට ලැබුණු නානාප්‍රකාර ඇඟ කිළිපොළා යන කයි කතන්දරවල කියැවුණේ පේන්ට් එක මරා දැම්මා වගේ කතාවක්. නමුත් සත්‍යය නම්, එය තවමත් අප අතර තිබෙනවා. ඒ අපේ මතකයන් එක්ක විතරක් නොවෙයි, අවශ්‍ය නම් ස්ථාපනය කරගත හැකි තවත් එක් ස්වාධීන මෘදුකාංගයක් ලෙසයි.

මූලාශ්‍ර:

  1. Microsoft වෙබ් අඩවිය
  2. BBC
  3. The Verge
  4. Heavy.com

කවරයේ ඡායාරූපය: twimg.com

Related Articles