Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Netflix – සරළ සිංහලෙන්

ඔබ ටීවී බලන්න ආසයි නේද? නමුත් ඔබ සම්බන්ධ වෙලා ඉන්න කේබල් ටීවී/සැටලයිට් ටීවී/IPTV සම්බන්ධතාවයේ ටීවී චැනල් 50ක් 60ක් තිබුණත් ඔබට බලන්න ආස හිතෙන කිසිම දෙයක් නැති ද? ඒත් නැතිනම් ඔබ ආසම ෆිල්ම් එක, ටීවී සීරීස් එකේ episode එක විකාශය වෙන්නේ ඔබට බලන්නම වෙන්නේ නැති වෙලාවටද? ලොකු ගාණක් වියදම් කරලා හොඳම බ්‍රෑන්ඩ් එකක ටීවී එකක් ගෙදර ගෙනාවත්, ඒකෙන් තාම හරි හමන් වැඩක් ගන්න බැරි උනානේ කියලා හිතේ කණස්සල්ල හැම තිස්සේම තියෙනවද? හරි, ටීවී එකෙන් ඔබ ලබන විනෝදය එහෙමත් නැත්නම් Entertainment ගැන ඔබට තියෙන ප්‍රශ්න ඔක්කෝම විසඳගන්න පුළුවන් බොහොම සරළ ක්‍රමයක් ගැනයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අටුවා ටීකා ටිප්පනී ඉවරයි, කෙළින්ම මාතෘකාවටම එමු. අද මාතෘකාව Netflix.

මොකක්ද මේ Netflix?

www.cimaging.ne

ඔබ Video On Demand (VOD) කියන සේවාව ගැන අහලා ඇති. VOD කියන්නේ විකාශනය වෙන වෙලාව පිළිබඳ කිසිම ගැටළුවකින් තොරව තමන්ට කැමති වෙලාවකදී තමන් වඩාත්ම ප්‍රියකරන චිත්‍රපටි, මාළා නාටක හෝ සංගීත වැඩසටහන් තෝරගෙන බලන්න පුළුවන් තාක්ෂණික සේවාවක්. මේ සේවාව අපේ නිවසේ රූපවාහිනියට, පෞද්ගලික පරිගණකයට, ටැබ් එකට හෝ ස්මාර්ට් ෆෝන් එකට ගෙනෙන්නේ IPTV කියන තාක්ෂණය හරහායි. Netflix කියන්නේ ඒ ආකාරයේ VOD සේවාව ලබාදෙන ඇමරිකානු සමාගමක්. 1997 වසරේදී ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී තමයි Netflix සේවාව උපත ලබන්නේ. මුලින්ම ඔවුන් තමන්ගේ සේවාව ලෙස ලබාදුන්නේ තැපැල් මඟින් DVD තැටි කුලියට ලබාදීම හරහා යි. 2007 වසරේදී තමන්ගේ සේවාවේ රැඩිකල් වෙනසක් සිදුකරන Netflix, තමන්ගේ චිත්‍රපට සහ මාලා නාටක (TV Series) පුස්තකාලය Online stream කිරීම ආරම්භ කරනවා. අද වනවිට ලෝකයේ රටවල් 190ක් පුරා පැතිරී තිබෙන, සාමාජිකයන් මිලියන 86කට අධික පිරිසකින් යුත් ලෝකයේ ප්‍රමුඛතම විනෝදාස්වාදය සපයන ආයතනයක් බවට පත්වෙන්නට ඔවුන්ට හැකිවී තිබෙනවා.

Netflix සේවාව test කරලා බලන්න පුළුවනිද?

http://dealio.la

ඔව්. එක මාසයක කාලයක් සඳහා Netflix සේවාව නොමිලේ ලබාගන්න ඔබට අවස්ථාව තිබෙනවා. https://www.netflix.com/lk/ වෙබ් අඩවිය හරහා ඔබට පුළුවනි ඔබේ නමින් account එකක් සාදාගන්න. එහිදී ඔබට සිදුවෙනවා ඔබගේ Credit card විස්තර ලබාදෙන්නට. (ආරක්ෂිතව ඔන්ලයින් ගණුදෙණු කරන ආකාරය ගැන ලිපියක් මෙතැනින් කියවන්න).

නමුත් ඔබ බිය විය යුතු නැහැ. ඔබගෙන් මුදල් අයවීමක් සිදුවන්නේ ඔබ මාසයකට වැඩි කාලයක් Netflix සමඟ සම්බන්ධ වී සිටියෝතින් පමණයි. ඒ වගේම Netflix සේවාව නොමිලේ ඔබට ලබාදෙන මාසයක කාලය අවසන් වීමට දින 3කට ප්‍රථමයෙන් ඒ බව සඳහන් කළ ඊමේල් පණිවිඩයක් මඟින් ඔවුන් ඔබව දැනුවත් කරනවා. මාසයක කාලයක් ගතවීමට පෙර ඔබ Netflix සේවාවෙන් ඉවත් වූවෝතින් ඔබට කිසිදු ගෙවීමක් සිදුකරන්නට වෙන්නේ නැහැ. Netflix ආයතනය ඒ පිළිබඳව සහතික වෙනවා. මාසිකව යම් මුදලක් ගෙවමින් මේ සේවාව හා සම්බන්ධවීමට පෙර මේ ආකාරයට පරීක්ෂණ කාලයක් ගතකර, එයින් පරිශීලකයා ලබන වින්දනය මත සේවාව සමඟ සම්බන්ධ වීමට හැකිවීම, පාරිභෝගිකයන්ගේ පැත්තෙන් සළකා බැලීමේදී ඉතා යහපත් දෙයක් ලෙසටයි අපි දකින්නේ.

මොනවද මේ Netflix Profiles?

www.cnet.com

අපි හැමෝටම තියෙන්නේ එක එක විදියේ රසවින්දනයන්. අපේ ගෙදර ඉන්න කට්ටිය ගැන හිතමු. තාත්තා කැමති එයා කොල්ලා කාලේ බලපු පරණ යුද්ධ ෆිල්ම් බලන්න. එතකොට අම්මයි නංගියි දෙන්නා, අහන්න දෙයක් නැහැ හින්දි ෆිල්ම්ස් තමයි ඉතින්. අයියා කැමති කාර් රේස්, ෆයිට් අනං මනං පිරුණ ඇක්ෂන් ෆිල්ම්ස් බලන්න. මල්ලියි නංගියි ඉතිං කොහොමත් බලන්නේ කාටූන් හරි ඇනිමේෂන් තමයි. මමනං ඉතිං අහන්න දෙයක් නැහැ TV Series තමයි. දැන් ඔබට පැහැදිලියි, එක එක්කෙනාගේ ආසාවන් වෙනස්. මේ වෙනස් වෙනස් ආකාරයේ රසවින්දනයන් වෙනුවෙන් Netflix ලබාදෙනවා හරි අපූරු පහසුකමක්. ඔබට පුළුවනි ඔබගේ Netflix account එක ඇතුළේ user profiles හදන්න. ඒ user profile එක භාවිතා කරන කෙනාට පුළුවනි ඒ හරහා තමන් කැමතිම වර්ගයේ විත්‍රපටි සහ මාලා නාටක My List තුළ වර්ගකරගන්න. මේ සැකැස්ම හරහා තමන්ගේ පෞද්ගලික රුචිකත්වයට අදාළව තමන්ටම කියලා තැනක් නිර්මාණය කරගන්න අවස්ථාව Netflix විසින් ලබාදෙනවා. සාමාජිකයන් වැඩි පිරිසක් සිටින නිවසකට මේ ක්‍රමය ඉතා යහපත් කියලයි අපිට නම් හිතෙන්නේ.

ඉතිං කොහොමද ඕකෙන් ෆිල්ම් බලන්නේ?

ඔබ අන්තර්ජාලයේ ඇති වෙනත් වීඩියෝ එකක් නරඹන විදියටම තමයි. උදාහරණයක් විදියට YouTube එකේ වීඩියෝ එකක් නරඹන අවස්ථාවක් මතක් කරගන්න. ඔබ විසින් සාදාගත් Netflix account එක භාවිතා කරලා මුළින්ම Netflix වෙබ් අඩවියට log විය යුතුයි. ඉන් අනතුරුව ඔබට පුළුවනි ඔබේ ප්‍රියතම චිත්‍රපටි සහ රූපවාහිනී මාලා නාටක නරඹන්නට. ඒ වගේම ඔබ ප්‍රියකරන ආකාරයේ වීඩියෝ සඳහාම සැකසුම් සකස් කරගන්නත් ඔබට පුළුවනි. මෙහිදී ඔබ විසින් සිහියේ තබාගත යුතු වැදගත්ම කරුණ තමයි වඩාත් සුමට ලෙස වැඩසටහන් නැරඹීම සඳහා ඉතා හොඳ වේගයකින් යුත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම අත්‍යවශ්‍ය බව. අන්තර්ජාල සම්බන්ධතාවය එතරම් වේගවත් නැතිනම් වීඩියෝව තිරගත වෙන අතරවාරයේදී එය load වෙනකම් බලාසිටීමට සිදුවීම සමහර වෙලාවට ඉතා වෙහෙසකර සිදුවීමක්.

Netflix බලන්න පුළුවන් TV එකෙන් විතරමද?

http://www.advertolog.com

සාමාන්‍ය වෙබ් බ්‍රව්සරයකින් අන්තර්ජාලයට සම්බන්ධ විය හැකි ඕනෑම ආකාරයක උපාංගයකින් Netflix වීඩියෝ නැරඹීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ කියන්නේ ඔබගේ නිවසේ තිබෙන පරිගණකය, උකුල් පරිගණකය ඔස්සේ වුවත් මේ සේවාව ලබාගන්න ඔබට පුළුවනි. ඒ වගේම පරිගණක ක්‍රීඩා සඳහාම භාවිතා කරන PS3, Wii, Xbox වගේ උපාංගයන් සඳහා Netflix වීඩියෝ download කරගන්න පුළුවන් App තියෙනවා. ඒ වගේම Set Top Box මාදිලියේ උපාංගයක් වන Apple TV, Nexus Player, Roku භාවිතා කරලාත් Netflix වීඩියෝ නැරඹීම සිදුකරන්න පුළුවනි. ඒ වගේම ඔබේ ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් ජංගම දුරකථනය, ටැබ් එක ආදී මේ සියළු උපාංගයන් Netflix සඳහා සහය දක්වනවා.

Internet Speed එක කොයිතරම් වෙන්න ඕනෙද?

Devices.jpeg http://www.thecountrycaller.com

Netflix බලන්නනම් ඉතින් අවශ්‍ය වැදගත්ම සාධකය වෙන්නේ අන්තර්ජාල වේගය තමයි. එක් එක් තත්ත්වයෙන් යුතු වීඩියෝ නරඹන්නට Netflix මඟින් යම් යම් අන්තර්ජාල සම්බන්ධතා වේග සීමාවන් නිර්දේශ කරලා තියෙනවා. පහතින් දැක්වෙන්නේ ඔවුන් විසින් නිර්දේශ කර තිබෙන ඒ අන්තර්ජාල වේගසීමාවන්.

වීඩියෝවේ රූප තත්ත්වය අවශ්‍ය අන්තර්ජාල වේගය
සාමාන්‍ය ආකාරයේ වීඩියෝ තත්පරයට Megabits 1.5 බ්‍රෝඩ්බෑන්ඩ් සම්බන්ධතාවය
Standard Definition (SD) තත්වයේ වීඩියෝ තත්පරයට Megabits 3.0
High Definition (HD) තත්වයේ වීඩියෝ තත්පරයට Megabits 5.0
Ultra High Definition (Ultra HD) තත්වයේ වීඩියෝ තත්පරයට Megabits 25.0

මේ අනුව වඩාත් ඉස්තරම් තත්ත්වයේ වීඩියෝ දසුන් ලබාගැනීමටනම් ඉහළ මට්ටමේ වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් අත්‍යවශ්‍ය බව ඔබට පැහැදිලි වෙනවා ඇති. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගවත්බව වැඩිවෙන තරමට වඩාත් සුමට Netflix අත්දැකීමක් ගන්න පුළුවනි කියලයි අපිට නම් හිතෙන්නේ.

වියදම කොයිවගේ වෙයිද?

Netflix කියන්නේ ජාත්‍යන්තර සේවාවක්. ඉතින් ඒ සේවාවට ගෙවන්න වෙන්නෙත් ජාත්‍යන්තර මුදල් ඒකක වලින්ම තමයි. Netflix account එකක් නිර්මාණය කරගන්න අවස්ථාවේදීම ඔබට සිදුවෙනවා ගෙවීම් කටයුතු සඳහා ඔබගේ Credit Card අංකය භාවිතා කිරීමට. ඇමරිකානු ඩොලර් 7.99 සිට ඉහළට ඇති පැකේජ ඔබට ලබාගන්නට පුළුවනි. පහතින් තිබෙන්නේ Netflix සේවාවේ පැකේජයන් සහ ඊට අදාළ මිළගණන්.

www.netflix.com/lk/

මේ ජාතියේ සේවාවකට තියෙන්නේ Netflix විතරමද?

පැහැදිලිවම නැහැ. VOD සහ Streaming සේවාවන් සපයන ආයතන තව ඉතා විශාල ප්‍රමාණයක් මේ වෙද්දි ඇතිවෙලා තියෙනවා. ඇමරිකාවේ, යුරෝපයේ, ආසියාවේ බොහෝ රටවල මේ වෙද්දි ඉතාම සාර්ථක විදියට ඒ සේවාවන් ක්‍රියාත්මක වීමත් සිදුවෙනවා. Hulu, Amazon Prime, AcronTV, SlingTV, Cloudload, Vudu වැනි සේවාවන් ඊට උදාහරණ ලෙස දක්වන්නට පුළුවනි. ඒ වගේම මැලේසියාව කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වෙන iflix සේවාවත් ඉතා හොඳ මට්ටමේ Netflix විකල්පයන් ලෙස දක්වන්නට පුළුවනි.

නමුත් අවාසනාවට කාරණය වෙන්නේ මේ සේවාවන් බොහොමයක් තවමත් ශ්‍රී ලංකාවට ව්‍යාප්තව නොමැතිවීමයි.

Netflix අවාසි

www.jordanfried.com

ඕනෙම දේක හොඳ වගේම නරකත් තිබෙන බව අපි අත්දැකීමෙන්ම දන්න දෙයක්. Netflix සඳහාත් ඒක වෙනස් වෙන්නේ නැහැ. Netflix ගැන මෙච්චර දේවල් කතාකරපු එකේ, ඒකේ තිබෙන අවාසි ගැන සඳහන් නොකළෝතින් ඒක මේ සටහන අසම්පූර්ණ වෙන්න හේතුවක් විදියටයි අපි දකින්නේ. ඒ නිසා අපි තීරණය කළා ලෝ පුරා විසිරී සිටින Netflix රසිකයන්ට අනුව ඔවුන් දකින අඩුපාඩු ගැනත් ඔබව දැනුවත් කරන්නට.

1- එක එක රටවලට පේන්නේ එක එක විදියට

ඔබ පදිංචිව සිටින රට අනුව ඔබට නැරඹීමට හැකි ප්‍රමාණය සීමා වීම Netflixහි ඇති මූලිකම අඩුපාඩුවක් ලෙස දක්වන්නට පුළුවනි. උදාහරණයක් විදියට ඇමරිකානු ඩොලර් 7.99ක් ගෙවීමෙන් ලබාගන්නා පැකේජයෙන් ඇමරිකාවේ ජීවත්වන කෙනෙකුට ඒ පැකේජයට ඇති සියළු වීඩියෝ නරඹන්න පුළුවන්. නමුත්, ඇමරිකාවෙන් පිටත පදිංචිව සිටින්නෙකුට නැරඹීමට හැකිවන්නේ ඒ රට සඳහා නිකුත් කර ඇති වීඩියෝ පමණයි. නමුත් ඔහුටත් ඒ අදාළ පැකේජයේ මුළු මුදලම ගෙවීමට සිදුවෙනවා. මේ අනුව ඒ අදාළ කළාපයෙන් පිටත පදිංවිකරුවන්ට යම් අසාධාරණයක් සිදුවෙන බවයි අපිට පේන්න තියෙන්නේ. නමුත් යම් යම් තාක්ෂණික ප්‍රයෝගයන් භාවිතයෙන් ඕනෑම රටක සිට ඕනෑම Netflix වීඩියෝවක් නැරඹිය හැකි ආකාරයන් පිළිබඳවත් අන්තර්ජාලයේ තොරතුරු සටහන් වෙනවා.

2- අන්තර්ජාල අවශ්‍යතාවයන්

අපි මුලිනුත් පැහැදිලි කරපු විදියට Netflix සේවාව ලබාගන්න නම් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් අත්‍යවශ්‍යයි. නමුත් අපේ රට තුළදී ඒ ආකාරයේ වේගවත් සම්බන්ධතාවයක් ලබාගන්න අපිට හැකියාව තිබෙනවද? විශාල වේගයකින් යුත් සම්බන්ධතාවයක් අපි ලබාගත්තත්, ඒ සඳහා ගෙවන්නට වෙන මිළ සමඟ සැසදීමේදී එය කොයිතරම් දුරකට ප්‍රයෝජනවත්ද කියන ගැටළුවත් මතුවෙනවා.

3- Data Bundle ප්‍රශ්න

අපේ රටේදී අන්තර්ජාල සම්බන්ධතා සමඟ ලබාදෙන Data ප්‍රමාණය ගැන අවබෝධයක් ඔබට ඇති. Netflix වීඩියෝ නැරඹීම සඳහා හොඳ වේගවත් සම්බන්ධතාවයක් වගේම විශාල Data ප්‍රමාණයකුත් වැයවීම අනිවාර්ය සාධකයක්. උදාහරණයක් විදියට සාමාන්‍ය තත්ත්වයේ (Standard Definition) වීඩියෝවක් පැයක කාලයක් නැරඹීමේදී මෙගාබයිට් 700ක පමණ Data ප්‍රමාණයක් වැයවීම සිදුවෙනවා. High Definition වීඩියෝ සඳහා පැයක කාලයකට ගිගාබයිට් 3ක Data ප්‍රමාණයක් වැයවෙනවා. මේ දත්ත සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේදී සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ට ලබාදෙන Data Bundle එකකින් නැරඹිය හැකිවෙන්නේ ඉතා සීමාසහිත වීඩියෝ ප්‍රමාණයක් පමණයි කියන එක ආයේ අලුතෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? වීඩියෝවක් නරඹන්නට විශාල Data ප්‍රමාණයක් වැයවීම අපිට අනුව එතරම් හොඳ දෙයක් නෙමෙයි.

4- තමන්ට කියා යමක් ඉතිරි නොවීම

ඔබ CD/DVD එකක් මිලදී ගත්තොතින්, ඒක හැමදාටම ඔබට අයිති දෙයක්. නමුත් Netflix වලදී තත්ත්වය මීට බොහෝ වෙනස්. ඔබට එහි ඇති බොහෝ දේ නරඹන්නට පුළුවනි. නමුත් ඒ කිසිවක් ඔබට අයිති නැහැ. බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක්. සාපේක්ෂව විශාල මුදලක් වියදම් කෙරුවත් තමන්ට කිසිම අයිතියක් නැතිවීම ගැන ලොව පුරා VOD පරිශීලකයන් ඉන්නේ එතරම් කැමැත්තකින් නම් නොවේ. එහි ඇති අනෙක් නරකම අත්දැකීම වන්නේ සමහර පැරණි චිත්‍රපටි හෝ මාලා නාටක පූර්ව දැනුම්දීමකින් තොරව ඉවත්කිරීමට Netflix කටයුතු කිරීමයි. නිකමට හිතන්න ඔබ ඉතා ආසාවෙන් Breaking Bad Season 01 බලන්න පටන් ගන්නවා. කොටස් 5ක් බලද්දි අවසාන කොටස් 5 ඔවුන් තමන්ගේ පුස්තකාලයෙන් එය ඉවත් කරන්න කටයුතු කරලා. Netflix නෙමේ සමස්ථ රූපවාහිනී සංහතියම එපා වෙන එක අහන්න දෙයක්ද නේ?

5- හැමතිස්සේම වැඩසටහන් තෝරන්න සිදුවීම

TV බලද්දි අපි එක එක අරමුණුවලින් ඒක බලනවා. නරක පුරුද්දක් විදියට වෛද්‍යවරුන් වර්ග කෙරුවත් අපි බොහෝ දෙනෙක් සමහර වෙලාවට කෑම එක බෙදාගෙන ඇවිත් ඒක කන්නේ TV එක දිහා බලාගෙන. ඒ වගේ වෙලාවකදි බොහෝ විට අපි TV එකේ විකාශනය වෙන වැඩසටහනක් බලන එක තමයි කරන්නේ. Netflix වගේ සේවාවකදී තිබෙන ගැටළුව තමයි අන්න ඒ වගේ වෙලාවකදී TV චැනල් එහේට මෙහේට තෝරලා මේ වෙලාවේ විකාශනය වෙන වැඩසටහනක් බලන්න ක්‍රමයක් නැති එක. Netflix වලදී හැම වෙලාවකදීම අපි කුමක් හෝ වැඩසටහනක් තෝරාගැනීමටම සිදුවෙනවා. නමුත් ඔබ දන්නවාද, ඒ ආකාරයට වැඩසටහන් තේරීමත් වෙලාවකට වෙහෙසකාරී අත්දැකීමක්. විශාල ගැටළුවක් නොවුනත් අපි දකින්නේ එයත් යම් ආකාරයක අවාසියක් විදියට. නමුත් වෙනත් අතිරේක මෘදුකාංග භාවිතා කරලා Netflix තුළදීත් සාමාන්‍ය TV එකක ආකාරයට රූපවාහිනී චැනල් නැරඹිය හැකි ආකාර ගැනත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

Video On Demand සේවාව තවම අපේ රටේ ඒ තරම් ජනප්‍රිය සේවාවක් නෙමේ. ඒ වගේම ඒ සේවාවන් ලබාගන්න හැකි තරමේ යටිතළ පහසුකම් පවා අපේ රටේ තවමත් නියමිත ආකාරයෙන් නැහැ. සමහර නමුත් තව කාලයක් යද්දි මේ සේවාව මීට වඩා ක්‍රමවත් ආකාරයට ලබාගන්න හැකි වේවි. මේ ලිපිය කියවන ඔබත් Netflix හෝ ඒ සමාන සේවාවක් භාවිතා කරන කෙනෙක්නම්, ඔබගේ අත්දැකීමත් දැනගන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්න බව අවසානයට කියන්නට කැමතියි.

කවරයේ ඡායාරූපය: wired

Related Articles