Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කරදරකාරී වෙළඳ දැන්වීම් ලොවින් තුරන් කරන BetterAds

වෙළඳ දැන්වීම් කියන්නේ මැච් එක යන්තම් පෙන්වන අතරතුරේ අපිට වැඩිපුරම ටීවී එකේ දකින්න ලැබෙන දේ විතරක් ම නෙවෙයි, පරිගණකය දිහා බැලුවත් අන්තර්ජාලයේ සැරිසරන අතරතුරේදී දහස් ගණනින්, විවිධාකාරයෙන් ප්‍රාදූර්භූත වෙලා අපේ වැඩවලට බාධා කරන ඒවාත් මීට අයත්. නියමාකාර වශයෙන් වෙළඳ දැන්වීමක පරමාර්ථය විය යුත්තේ එම දැන්වීමේ දැක්වෙන දෙය අත්‍යාවශ්‍ය අයට සහ එයට පෙළඹීමක් ඇති අයට දර්ශනය වීමයි. එවිට වැඩි මහන්සියක් නැතිව ම එය දකින අය එය ක්ලික් කරලා තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්නවා.

හැබැයි බොහෝ අන්තර්ජාල වෙළඳ දැන්වීම්වල නම් තිබෙන්නේ ඊට වෙනස් ම දෙයක්. වෙබ් අඩවියට පිවිසුණු වහා මුළු තිරය ම ආවරණය කරමින් වෙළඳ දැන්වීමක් දිස්වෙලා ඒක close කරන්න අමාරු වෙන්න පොඩි කූඹියෙක් වගේ button එකක් තියෙනවා. මේවායෙන් කෙරෙන්නේ අපිට කියලා බලෙන් Ad එක ක්ලික් කරවා ගන්න එකයි.

සමහර වෙළඳ දැන්වීම්වල විශාල ශබ්දයන් ද අන්තර්ගත වෙනවා. එවිට අන්තිමට අහපු ලස්සන සිංදුව නිසා වැරදිලා හරි ස්පීකරයේ ශබ්දය වැඩි කර තිබුණා නම් Windows XP තිබුණ කාලේ Login වෙද්දී සිද්ධ වෙන අකරතැබ්බයට නැවතත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එ්, කණ දෙදරවන තරම් ශබ්දයක් එක්ක පෘථිවියෙන් එපිට ඉන්න අභ්‍යවකාශකාමීන්ටත් ඇහෙන නිසා යි. මේ වෙළඳ දැන්වීම්වල තිබෙන ඇතැම් ශබ්ද වැඩිහිටියන්ට පමණක් සීමාවූ ආකාරයේ ඒවා ද වීමේ අවදානමක් තිබෙන නිසා ඔබේ ආත්ම ගෞරවයට ද කිසිම තේරුමක් නැතිව හානියක් එල්ලවීමේ පසුබිමක් ද තිබෙනවා. ඇතැම් වෙබ් අඩවි ඊට පිවිසුණු විට පෙන්වන වෙළඳ දැන්වීම් සමඟ දුරකථනය ද Vibrate කරවමින් වයිරසයක් පැමිණ ඇතැයි පරිශීලකයන් නොමඟ යවන අවස්ථා ද අනන්තවත් තිබෙනවා.

ඉතින් මේ වගේ අනවශ්‍ය ලෙස කරදරකාරී වෙළඳ දැන්වීම් මඩින්නට සහ පරිශීලකයන්ට පිරිසිදු, මහත්මා වෙබ් අත්දැකීමක් ලබාදීම සඳහා ගූගල්, ෆේස්බුක්, යුනිලීවර් වැනි සමාගම් විශාල සංඛ්‍යාවක් එක්වී BetterAds නමින් සංසදයක් පිහිටුවාගෙන තිබෙනවා.

කරදර නසන්න සංසදයක්.

BetterAds සංසදයේ ලාංඡනය (betterads.org)

වෙළඳ දැන්වීම් ප්‍රචාරණය නිසා විවිධ සේවාවන් නොමිලේ සපයන්නට, ස්වාධීන මාධ්‍යකරණයට සහ ඒ හරහා ව්‍යාපාර හා පාරිභෝගිකයන් අතර සබඳතාව වර්ධනයට අවස්ථාව ලැබෙනවා. එනමුත් අන්තර්ජාලයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මේ සුහදතාව පළුදු වන ආකාරයේ දේවල් බොහොමයක් ලොව වටා ජනතාවට මුහුණ දෙන්නට සිදු වුණා. එම නිසා පාරිභෝගික අත්දැකීම ඔප් නැංවීම සඳහා ලොව ප්‍රධාන වෙළඳ සමාගම් සහ ආයතන එක්වී මාර්ගගත (online) මාධ්‍යයේ ප්‍රමිතිකරණය සඳහා සංසදයක් ලෙසින් එක්ව BetterAds බිහිකරනු ලැබුවා.

මෙම සංසදය දත්ත ධාවිත (data-driven) ප්‍රමිතීන් හරහා අන්තර්ජාල වෙළඳ ප්‍රචාරණය පෙළ ගස්වනු ලබන්නේ විවිධාකාරයේ පර්යේෂණ සහ සමීක්ෂණ හරහා බහුතර කැමැත්ත නිසි පරිදි හඳුනා ගැනීමෙන් අනතුරුව යි. ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ වෙළඳ දැන්වීම් දක්වන ආකාරයන් පිළිබඳව පාරිභෝගිකයාගේ කැමැත්ත හඳුනාගෙන ඊට අදාලව ගෝලීය වෙළඳපොළ ප්‍රචාරණ කටයුතු සඳහා සහාය වෙමින් හොඳ වෙළඳ දැන්වීම් අත්දැකීමක් ලබා දීම යි.

ඉවත් කෙරෙන වෙළඳ දැන්වීම් වර්ග

අනවශ්‍ය ආකාරයේ වෙළඳ දැන්වීමක් යන්න අර්ථ දක්වන්නට Better Ads සංසදයේ සාමාජිකයන් එක්ව ප්‍රමිති මාර්ගෝපදේශනයන් හඳුන්වාදී තිබෙනවා. මේවා තෝරාගත් පිරිස්වලට සමීක්ෂණ වශයෙන් ලබාදී තීරණය කරන ලද ඒවා වන අතර එමඟින් අවසාන සම්මතයක් ගොඩනගා එම සංසදය තුළ තිබෙන ආයතන විසින් සිදුකරන වෙළඳ දැන්වීම් ප්‍රචාරණ කටයුතුවලදී තම වෙබ් අඩවි තුළ එවන් ආකාරයේ දැන්වීම් පළ කරන්නට ඉඩ නොදීමටත් කටයුතු කරනවා.

පරිගණක සඳහා

පරිගණක වෙතින් ඉවත් කෙරෙන දැන්වීම් ආකාර (betterads.org)

වෙබ් අඩවියකට පිවිසෙන හැමවිටම ඔබ මීට පෙර එම වෙබ් අඩවියට පිවිසී තිබුණත් මුළු තිරය ම ආවරණය කරමින් පෙන්වන Prestitial වෙළඳ දැන්වීම්, වෙබ් අඩවියේ මඳ වේලාවක් රැඳී සිටියාට පසු දිස්වන Pop-up දැන්වීම්, වෙබ් අඩවියේ සැරිසරන කාලය පුරාවට ම තිරයේ ඇලී සිටිමින් දිස්වන වෙළඳ දැන්වීම් පරිගණක මතදී ඉවත් කළ යුතු බව ඔවුන් හඳුනාගෙන තිබෙනවා. එසේ ම අන්තර්ජාල දත්ත භාවිතය ද බලෙන් ලබා ගනිමින් ස්වයංක්‍රීයව ධාවනය වන වීඩියෝ හෝ ශබ්ද සහිත වෙළඳ දැන්වීම් ද ඊට අයත් වෙනවා.

දුරකථන සඳහා

දුරකථන වෙතින් ඉවත් කෙරෙන දැන්වීම් ආකාර (betterads.org)

පරිගණකවල ආකාරයේ වෙළඳ දැන්වීම් මෙන් ම දෙන ලද තත්පර ගණනක් ඉකුත් වන තෙක් වසා දැමිය නොහැකි පරිද්දෙන් වෙබ් අඩවිවල නැගෙන වෙළඳ දැන්වීම්, දුරකථන තිරයේ 30%කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරන දැන්වීම් සහ තොරණ වගේ ආලෝකමත් වෙමින් බලෙන් අවධානය ලබාගන්නා දැන්වීම් ඊට ඇතුලත් කර තිබෙනවා. ස්වයංක්‍රීයව ධාවනය වන වීඩියෝ නම් මොබයිල් අන්තර්ජාල දත්ත රැකදීමේ අරමුණෙන් දැනටමත් බොහෝ දුරකථන වෙබ් බ්‍රවුසරවලින් අක්‍රීය කරනු ලබනවා.

Google Chromeවලට 2018න් පසු Ad Blockers අනවශ්‍යයි

පසුගිය අප්‍රේල් මාසයේදී ගූගල් සමාගම ad blocker එකක් හදමින් ඉන්නා බව ලොවට දැනගන්නට ලැබුණා. එහිදී ද අනාවරණය වූයේ අනවශ්‍ය ලෙස පරිශීලක අන්තර්ජාල අත්දැකීම බිඳලන වෙළඳ දැන්වීම් ඉවත් කරන්නට තෙවන පාර්ශවීය extension එකකින් තොරව ක්‍රෝම් හරහා ම 2018න් පසු බලපෑම් කරන බව සහ එතෙක් එම ආකාරයේ දැන්වීම් පළ කරන්නන්ට ඉන් මිදෙන්නට කල් ලබා දෙන බව යි.

ගූගල් කන්ට්‍රිබියුටර් සේවා ලාංඡනය (contributor.google.com)

මේ අතරේ මුදලක් ගෙවා වෙළඳ දැන්වීම් ඉවත් කරගැනීමේ සේවාවක් ද ගූගල් සමාගම විසින් අරඹා තිබෙනවා. Google Contributor ලෙස නම් කර ඇති, බීටා අවස්ථාවේ ඇති මෙමගින් ඒ හා සම්බන්ධවී ඇති වෙබ් අඩවිවල සැරිසැරීමේදී ඔබට වෙළඳ දැන්වීම් නොමැති අත්දැකීමක් ලබා දීමට එකඟ වෙනවා. උදාහරණයක් වශයෙන් ඔබ ඩොලර් 5ක් එහි ගිණුමට එක් කර තැබුවහොත් වෙළඳ දැන්වීම් සහිත අදාළ වෙබ් අඩවිවල පිටුවල ඔබ සැරිසද්දී පිටුවකට නියම කරන ලද මුදලක් ඔබේ ගිණුමෙන් කපාගෙන එහි ඇති වෙළඳ දැන්වීම් ඉවත් කරදෙනු ලබනවා. මෙම ගෙවිය යුතු මුදල වෙබ් අඩවි අයිතිකරුවන් විසින් නියම කරනු ලබන අතර ඉන් කොටසක් මෙම සේවාව පවත්වාගෙන යාම පිණිස ගූගල් සමාගම තබා ගන්නවා.

Adblock Plus සේවාව (thenextweb.com)

මෙම ක්‍රමය හරහා වෙනත් තෙවන පාර්ශවීය Ad block extensions නවතාලන්නට ගූගල් සමාගමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන් Eyeo ආයතනය නිපැයූ AdBlock Plus යන extension එක සාමාන්‍යයෙන් වෙබ් අඩවිවල වෙළඳ දැන්වීම්  ඉවත් කරන නමුත් ඔවුන්ට ගෙවීමක් සිදු කරන ලද වෙබ් අඩවි වැළකුම් ලැයිස්තුවෙන් ඉවත් කර වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කරනවා. තමන්ගේ වෙළඳ දැන්වීම් දර්ශනය කරවාගැනීම සඳහා ගූගල් සමාගමට ද ඔවුන්ට මුදල් ගෙවීමට සිදුව ඇති පසුබිමක මෙම ක්‍රියාමාර්ගය හරහා එය තමන්ගේ ආධිපත්‍යයට නතු කරගන්නට ගූගල් කූට වූ බවයි අපට නම් පෙනෙන්නේ.

මොනවා වුණත් කාටත් හොඳයි.

මොන මොන ආකාරයේ ඩීල් මේක පසුපස තිබුණත් ලින්ක් එකක් ක්ලික් කරලා බලෙන් තත්පර ගණනක් ම ඇඩ් එකක් පෙන්වලා ඊට පස්සේ තවත් ලින්ක් එකක් ක්ලික් කරලා අදාල වෙබ් අඩවියට යන්නට සිදුවීම ඇතුළු නානාප්‍රකාර කරදර රැසක් මෙය හරහා ඉවත්ව යනවා. දැනටමත් ගූගල්, ෆේස්බුක් වෙබ් අඩවිවල වෙළඳ දැන්වීම් තිබුණත් ඒවා අපේ ප්‍රියතාවය සහ අවස්ථානුකූල බවින් යුත් අන්තර්ගතයන් දරන නිසාත්, අපේ කර්තව්‍යයන්ට බාධා නොවන සේ රඳවා තිබීම නිසාත් ඒවා භාවිතා කිරීමේදී අපහසුතාවක් දැනෙන්නේ නැහැ. මේ නිසා එම සේවාව පවත්වාගෙන යාමට පරිශීලකයන්ගේ රැඳීම සිදුවෙනවා වගේ ම වෙළඳ ආයතනවලටත් තමාගේ නිෂ්පාදනය පිළිබඳ උනන්දුවක් ඇති කරවිය යුතු අය ඉලක්ක කර වෙළඳ ප්‍රචාරණයේ යෙදෙමින්, යොදවන මුදලට උපරිම වාසියක් ලබා ගන්නට හැකි වෙනවා. ඒ නිසා මෙම සංසදය අැති කරන්නට යන ලෝක එකඟතාවය අනාගතයේදී සුන්දර අන්තර්ජාල අත්දැකීමක් ගෙන එන්නට මහත් දායකත්වයක් ලබා දෙනු ඇති බව විශ්වාසයි.

කවරයේ ඡායාරූපය: admybrand.com

මූලාශ්‍ර

  1. betterads.org
  2. wsj.com
  3. thenextweb.com

Related Articles