Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Macbook පෙනුමැති Xiaomi Notebook පරිගණක

බොහෝ දෙනෙකුගේ හීනයක් වන්නේ Macbook ආකාරයේ පරිගණකයක් මිලදී ගැනීමයි. එහෙත් එහි මිල අධික බව සහ MacOS මෙහෙයුම් පද්ධතියේ ඇති භාවිතයට නුහුරු බව, ඔබේ දැනට තිබෙන මෘදුකාංග භාවිත කිරීමට නොහැකි වීම, කුඩා අලුත්වැඩියාවකට වුවත් ඇපල් ස්ටෝර් එකට ගෙන යන්නට සිදුවීම, හාඩ්වෙයා උත්ශ්‍රේණිගත කරගන්නට නොහැකිවීම හෝ පරිගණක ක්‍රීඩා කිරීමට ඇති නොහැකියාව (ගේම්ස් වැඩිපුර හැදෙන්නේ වින්ඩෝස්වලට නිසා) වැනි විවිධ හේතු නිසා macbook පරිගණකයකට මාරුවීමට මැලි වෙනවා.

මෙවන් තත්ත්වයක් යටතේ ඒ සඳහා අපූරු විසඳුමක් ඉතා මෑතකදී තාක්ෂණික දැවැන්තයකු බවට පත්වූ Xiaomi චීන සමාගම ලොවට හඳුන්වා දී  තිබෙනවා. මෙම සමාගමේ නෝට්බුක් පරිගණක macbook නිමාව සහිතවම උබුන්ටු හෝ වින්ඩෝස් ධාවනය කිරීමේ හැකියාවෙන් යුතුව සකසා ඇති නිසා අඩු මිලකට අවශ්‍යතාවයන් සියල්ලම සපුරා ගන්නට අපට අවස්ථාව සැලසෙනවා.

Xiaomi ගැන බිඳක්

Xiaomi මූලස්ථානය (softpedia-static.com)

2010 වර්ෂයේ අරඹන ලද මෙම සමාගම මේ වනවිට සේවක සංඛ්‍යාව 8000 කට වැඩි ප්‍රමාණයක් සහිතව මව්බිම වූ චීනයෙන් ඇරඹී ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, පිලිපීනය, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය යන රටවලට ද ව්‍යාප්ත වී තිබෙනවා. 2014 වර්ෂය වන විට ඇපල්, samsung සමාගම් චීනය තුළ අභිබවා යන්නටත්, 2017 වර්ෂයේ දී ඇපල් සමාගම සමඟ පැළඳුම් උපකරණවලින් සම ස්ථානයට පත් වන්නටත් මේ සමාගම සමර්ථ වූ ආකාරය IDC වාර්තා පෙන්වා දෙනවා.

රවුම් අග්‍ර ඇති මුහුණත පුරා 91.3%ක්ම දිවෙන තිරය (techadvisor.co.uk)

වැඩිය කවුරුවත් නොදන්නවා වුණත් සද්ද නැතුවම මුහුණත පුරාම තිරය තිබෙන ආකාරයේ Xiaomi Mi Mix 2 නම් ස්මාර්ට් දුරකථනයක් samsung සමාගමට ද පෙර නිපදවන්නට සමත් වූ මොවුන් Mi පවර්බෑන්ක්, ස්මාර්ට් දුරකථන හරහා ශ්‍රී ලංකාවේ අපිට මේ වන විට නිරන්තරයෙන් දකින්නට ලැබෙන වෙළඳ නාමයක් බවටත් පත්ව තිබෙනවා.

Mi Notebook Pro

chinatechtoday.com

මේ වසරේ Xiaomi සමාගම ඇපල් සමාගමේ MacBook Pro ඉලක්ක කරමින් තමන්ගේම Mi Notebook Pro නම් වූ පරිගණකයක් හඳුන්වා දෙනු ලැබුවා. එය ඉතා තුනී දාරයකින් යුත් අඟල් 15.6 තිරයක් (තිර විභේදනය 1920 x 1080), ඉන්ටෙල්හි නවතම quad-core i7 ප්‍රොසෙසරය, 16GB දක්වා වූ RAM ධාරිතාව, 1TB දක්වා වූ SSD අභ්‍යන්තර ධාරිතාව සහ Nvidia හි GeForce MX150 ග්‍රැෆික් සකසුවකින් සමන්විත වන හොඳ සවිබලයකින් යුත් පරිගණකයක්.

fonearena.com

ස්පර්ශමය ට්‍රැක්පෑඩ් එක මත ම ඇඟිලි සලකුණු සංවේදකය යොදා ඇති අතර කාඩ් රීඩරයක්, USB-C ආකාරයේ පෝට් 2ක්, සාමාන්‍ය ආකාරයේ (USB-A) USB පෝට් 2ක් සහ සම්පූර්ණ ප්‍රමාණයේ HDMI පෝට් එකක් මෙහි අඩංගු වෙනවා. ඒ අනුව, MacBook Pro පරිගණකයේ ඇති Thunderbolt 3 USB-C පෝට්වලට වඩා වැඩි පරාසයක පෝට් Xiaomi පරිගණකය තුළ තිබෙනවා. නමුත් මැක්බුක් එකේ රෙටිනා තිරය අභිබවා යන්නට දිලිසෙන සුළු 1080p තිර විභේදනයට නොහැකි බවත්, මැක්බුක් එකක් පාවිච්චි කළ කෙනෙක්ට Xiaomi Notebook Pro තිරයට හිත හදා ගැනීම අපහසු බවත් විචාරක අදහස වෙනවා.

Xiaomi සමාගම තම Mi Notebook Pro පරිගණකය $980කට (රු. ලක්ෂ 1.4 පමණ) මිල කර ඇති අතර එය නිකුත් කරනු ලබන රටවල් පිළිබඳව සැප්තැම්බර් 11 වනදා හඳුන්වා දීමේ අවස්ථාවේදී සඳහන් කර නැතත් පෙර අවස්ථාවේ Mi Notebook Air චීනය සඳහා සීමා කළ නිසා මුලදී මේ පරිගණකයත් චීන වෙළඳපොළේ දකින්නට හැකි වෙතැයි අපේක්ෂා කළ හැකියි.

Mi Notebook Air

nis-store.com

පසුගිය වසරේදී Xiaomi සමාගම තම Mi Notebook Air පරිගණකය සමඟ Apple හි MacBook නමින් මෙන් ම පෙනුමෙන් ද ඉලක්ක කරනු ලැබුවා. ඔවුන්ගේ වෙබ් අඩවිය ද ඇපල් මැක්බුක් ඉදිරිපත් කිරීමට ම ඉතා සමාන ආකාරයෙන් නමුත් සවිස්තරව දක්වා තිබෙනවා. බරින් අඩු (1kg පමණ) ඉතා සැහැල්ලු නමුත් ලෝහමය නිමාවක් සහ ෆෑන් රහිත සැලසුමකින් හා සවිබලයෙන් පරිපූර්ණ මෙම පරිගණකයේ Full HD තිරය අඟල් 12.5 සහ 13.3 වශයෙන් මාදිලි දෙකක් වශයෙන් හඳුන්වා දෙනු ලබන අතර 13.3 පරිගණකය සතුව කැපකළ චිත්‍රක සකසුවක් (dedicated graphic processor) තිබෙනවා.

AKG ආයතනය විසින් විශේෂයෙන් සකසන ලද ද්විත්ව ස්පීකර Dolby Surround තාක්ෂණය නිසා සද්දෙට ගේම් ගහන්න, වීඩියෝ එඩිට් කරන්න වුණත් හැකියාව ලැබෙනවා. “අලුත් පරම්පරාවේ ඉහළ හැකියාවෙන් යුත් නෝට්බුක් පරිගණකවල USB Type-C පෝට් තිබෙනවා. Mi Notebook Air එක ඔන්න ඒකටත් ලැහැස්තියි” ඔවුන් තම වෙබ් අඩවියේ සඳහන් කරනවා. සම්පූර්ණ ප්‍රමාණයේ HDMI පෝට් එක, USB 3.0 පෝට් දෙක සහ හෙඩ්ෆෝන් ජැක් එක සහිත මෙයට මැක්වලට වගේ ම සවිකළ හැකි ස්මාර්ට් ඇඩැප්ටරයක් තිබෙනවා. එමගින් තවත් HDMI සහ USB පෝට් එකක් භාවිතයට ලැබෙනවා. ඔබට Mi Band එකක් භාවිත කරනවා නම් ඔබ ළඟට ආපු ගමන් ම ස්වයංක්‍රීයව අගුළු හැර ලන්නටත් මේ පරිගණක සමත් වෙනවා. මේවා දිගුකල් පවතින වීදුරුවකින් තිරය ආරක්ෂණය කර ඇති අතර 1080p තිරයේ දාරයේ ඝනකම මිලි මීටර් 5.5ක් වෙනවා.

ytimg.com

12.5 පරිගණකය සතුව බැටරි බලය අඩුවෙන් භාවිත වන Intel Core M ආකාරයේ ප්‍රොසෙසරයක් තිබෙන අතර වේගවත් ආරෝපණ හැකියාවක් (විනාඩි 30කින් 50%ක්) සහ පැය 11.5ක ක්‍රියා කාලයකින් ද සමන්විත වෙනවා. මේ නිසා නිතර ගෙදර නොරැඳෙන අයට මෙම පරිගණකය වඩාත් සුදුසු වන්නේ එහි ඉතා තුනී බව නිසා බෑගයේ ද ඉඩ ඉතුරු කර දෙන අතරේමයි. 13.3 පරිගණකයේ Intelහි 6වන පරම්පරාවේ Core i5 ප්‍රොසෙසරයක් ඇති අතර පරිගණකයේ ඝනකම මිලි මීටර් 14.8ක් වෙනවා. NVIDIAහි ධාරිතාව 1GB වූ GeForce 940MX GDDR5 ග්‍රැෆික් සකසුව පරිගණක ක්‍රීඩා සහ වීඩියෝ සංස්කරණ කටයුතුවලට ඉතා හොඳ සවිබලයක් සපයන්නේ 2.7 GHz ප්‍රොසෙසරය සහ 1920 x 1080 විභේදිත තිරයත්, DDR4 8GB රැම් එකත් උපයෝගී කරගනිමිනුයි. මැක්බුක්වල වගේ ම යතුරුවල ආලෝක සැපයුමක් තිබෙන නිසා රාත්‍රී කාලයේ වුවත් භාවිතයට බාධාවක් නැහැ.

ලංකාවේ තවම නැහැ

ශ්‍රී ලංකා Xiaomi අඩවියේ All products වෙබ් පිටුව (Thambaru/Roar)

මේ පරිගණක මිලෙන් අඩු වගේ ම ඉහළ හැකියාවෙන් යුතු නිසාත්, හොඳ පෙනුමක් තිබෙන නිසාත් මැක් එකක් වගේ ම ඕන තැනක ලැජ්ජාවක් නැතුව දිගහැරලා රත් වෙන්නේ නැතුව ගරු ගාම්භීරයට පාවිච්චි කරන්න පුළුවන් කම තිබෙන අතර, අපිට ලිනක්ස් හෝ පෙරනිමි ස්ථාපිත වින්ඩෝස් 10 හෝම් භාවිත කරන්නට හැකියාව තිබෙන නිසා වැඩි වටිනාකමක් එයට ලැබෙන්නේ රස්සාවට වීඩියෝ එඩිට් කරන පරිගණකයෙන් ම කෝච්චියේ ගෙදර එන අතරේ කම්මැලිකමට ගේම් එකක් ගහන්නත් අවස්ථාව ලැබෙන අතරේමයි. නමුත් අවාසනාවට මේ අපූරු පරිගණක තවමත් අපේ වෙළඳපොළේ දකින්නට නැහැ. ශ්‍රී ලංකා Xiaomi වෙබ් අඩවියේ මෙය ලියන අවස්ථාව වන විට All products පිටුවේ පමණක් Notebooks යන වචනය දකින්න තිබුණත් එය ලින්ක් එකක් හෝ නිෂ්පාදන පෙන්වන දිගහැරුමක් නැති හුදෙක් වචනයක් පමණයි.

මේ පරිගණකය සහ මැක්බුක් ගැන ඔබේ සංසන්දනාත්මක අදහස කුමක්ද? Comment තීරය ඒ වෙනුවෙන්.

කවරයේ ඡායාරූපය: inquirer.net

Related Articles