Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් ලැබීම වේගවත් කරවන Treble ව්‍යාපෘතිය

ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්නෙකුට තිබෙන ලොකුම ගැටළුවක් තමයි නිසි ආකාරව දුරකතන යාවත්කාලීන නොලැබී යාම. පිරිසිදු ඇන්ඩ්‍රොයිඩ් අත්දැකීම ලැබෙන ගූග්ල් සමාගම විසින් නිපදවන දුරකතනවල මේ ගැටළුව අඩු නමුත් ඒවායේ මිල සාමාන්‍ය ගැණුම් පරාසයෙන් ඉහළ නිසා හැම කෙනෙක්ම අඩු මිල දුරකතන මිලදී ගන්නට පෙළඹෙනවා. එවිට ඒ සෑම දුරකතනයකම පාහේ තිබෙන්නේ  අදාල නිෂ්පාදකයා විසින් වෙනස්කොට බෙදාහරින ලද දුරකතන මෙහෙයුම් පද්ධති වෙළුමකුයි. මෙසේ මිලදී ගන්නා දුරකතනවලට යාවත්කාලීනයක් එන්නේම නැති තරම්. ටිකක් වැඩි මිලක දුරකතනයක් ගත්තත් එයටත් ඉදිරියේ ඇති ඇන්ඩ්‍රොයිඩ් වෙළුම් දෙකක්වත් පැමිණෙන්නේ බොහොම කලාතුරකින්.

මොකක්ද මේ ට්‍රෙබල් ව්‍යාපෘතිය කියන්නේ?

Google I/O 2017දී ට්‍රෙබල් පිළිබඳව ඉදිරිපත් කළ ආකාරය (androidauthority.net)

Android 8.0 නිකුතු සමඟ අඩංගු කෙරෙන මෙම Treble ව්‍යාපෘතිය Android OS framework එකේ විශාල යළි සැලසුම් කිරීමක් කරමින් එක් කරන ලද්දක්. එමගින් ඇන්ඩ්‍රොයිඩ් දුරකතන නිෂ්පාදකයන්ට ඔවුන්ගේ දුරකතනවල අඩංගු කරන වෙනස් කරන ලද මෙහෙයුම් පද්ධතීන් අලුතින් ගූග්ල් සමාගම නිකුත් කරනු ලබන යාවත්කාලීනයන්ට අනුකූලව ඉතා වේගයෙන්, වැඩි මහන්සියකින් තොරව, අඩු කාලයකින් සහ අඩු වියදමකින් නිකුත් කරන්නට අවස්ථාව උදා වෙනවා. මෙය Android 8.0 සහ ඉන් අනතුරුව නිකුත් කෙරෙන මෙහෙයුම් පද්ධති සමඟ පැමිණෙන දුරකතන සඳහා තමයි හැබැයි ලැබෙන්නේ.

ඉන්දියාව වැනි රටවල අඩු බල, අඩු මිල දුරකතන භාවිතය පිළිබඳව ගූග්ල් සමාගම අවධානය යොමු කර තිබෙන බව අඩු මිල දුරකතනවලත් නවතම ඇන්ඩ්‍රොයිඩ් වෙළුම වන Oreoහි විශේෂිත වෙළුමක් වන Oreo Go පිළිබඳ ලිපියේදී අපි කථා කළා. ඒ අනුව දැන් ඔවුන් එහි තවත් ප්‍රතිඵලයක් ලෙස සෑම දුරකතනයකටම නවතම ඇන්ඩ්‍රොයිඩ් වෙළුම භාවිත කළ හැකි ආකාරයේ පහසුකම් සැලසීමට කටයුතු කරන බව පෙනී යනවා.

මෙහෙයුම් පද්ධති ආකෘතියේ විශාල වෙනසක්

googleblog.com

මෙතෙක් පැවති ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිවල එනම්, Android 7.x වෙළුම සහ ඊට ප්‍රථම ඒවායේ මෙහෙයුම් පද්ධතිය ඒකීය කොටසක් වශයෙන් පැවතුණු නිසා, නව මෙහෙයුම් පද්ධතියක් හෝ යාවත්කාලීනයක් නිකුත් වූ වහා එය තමන්ගේ නිෂ්පාදනයේ දෘඪාංග සමඟ ගලපා යළි සකසා පාරිභෝගිකයන් වෙත ලබා දෙන්නට දුරකතන නිෂ්පාදකයන්ට දැඩි පරිශ්‍රමයක් යොදන්නට සිදු වුණා. ඉතා විශාල කේත ප්‍රමාණයක් වෙනස් කරන්නට, ඒ වෙනුවෙන් කාලය සහ මෘදුකාංග සංවර්ධකයන් සිය දහස් ගණනකගේ ශ්‍රමය වැය කරන්නට මෙන්ම, සකසන ලද ඒවා වැරදි සඳහා යළි අත්හදා බලන්නට ඔවුන්ට දැඩි වෙහෙසක් ගන්නට සිදුවූ අතර එම ක්‍රියාවලියේ ඇති අපහසුතාව නිසාම බොහෝ දුරකතන නිෂ්පාදන සමාගම් යාවත්කාලීන කිහිපයකට පසු පැරණි බවට පත්වන දුරකතන අතහැර ඔවුන්ගේ නව නිෂ්පාදන වෙත ම වැඩි අවධානයක් ලබා දෙන්නට කටයුතු කළා.

googleblog.com

මෙම ව්‍යාපෘතිය හරහා නිෂ්පාදකයන් විසින් ඔවුන්ගේ දුරකතනයට ගැලපෙන සේ වෙනස් කරන ලද දෘඪාංග සම්බන්ධ මූලික මට්ටමේ කේත Android OS Framework එකත් සමඟ ඇති බැඳීම වෙන් කරනු ලබනවා. එමනිසා ඔවුන්ට ස්වාධීනව ඔවුන්ගේ නිෂ්පාදනයට අදාල සැකසුම්/යාවත්කාලීන වෙනම ලබාදෙන අතරතුරේ අලුතින් ගූග්ල් වෙතින් පැමිණෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයන් ඍජුවම පාරිභෝගිකයන් වෙත යැවීමට අවකාශ සැලසෙනවා. නිෂ්පාදක කේත සහ මෙහෙයුම් පද්ධති කේත අතරට එක් කරනු ලබන නිෂ්පාදක අතුරුමුහුණත් (Vendor Interface) ලේයරය හරහා ඒ දෙකෙහි සබඳතාවය ඇති කරනු ලබන අතර ඉන් ඒ දෙකට එකිනෙකින් ස්වායත්තව යාවත්කාලීන වෙත යොමු වන්නට අවස්ථාව සලසා දෙනවා. උදාහරණයක් වශයෙන් නිෂ්පාදිත දුරකතනයක කැමරාවේ දෝෂයක් සකසන්නට යාවත්කාලීනයක් එවීමේ දී නිෂ්පාදකයන්ට මෙහෙයුම් පද්ධතියේත් කේත වෙනස් කරන්නට සිදු නොවන අතර ගූග්ල් සමාගමෙන් නව යාවත්කාලීනයක් නිකුත් කළ විට ඊට අනුකූලව තම දෘඪාංගවලට අදාල කේතයන් ද වෙනස් කරන්නට ඔවුන්ට සිදු වන්නේ නැහැ.

නිෂ්පාදක සමාගම්වල විවිධ ප්‍රතිචාර

arstechnica.net

OnePlus සහ HMD Global හෙවත් Nokia සමාගම පවසන්නේ ඔවුන්ගේ දැනට පවතින කිසිදු දුරකතනයක Treble ව්‍යාපෘතිය අඩංගු කොට නැති බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් පැහැදිලි කිරීම් ද සිදුකර තිබෙනවා.

Nokiaහි HMD ෆෝරමයේ නියාමකයෙක් පවසන්නේ “HMD සමාගම Treble ව්‍යාපෘතිය ඉදිරියේ නිපැයෙන සෑම Android Oreo නිෂ්පාදනයකම අඩංගු කරන්නට බොහොම උනන්දුවෙන් කටයුතු කරමින් සිටිනවා. එතෙක් ඇතිවන අපහසුතාවය පිළිබඳව අපි කනගාටුව පළ කරනවා”.

OnePlus සමාගම නම් ඊට හාත්පසින් වෙනස් තාක්ෂණය සම්බන්ධ ප්‍රකාශයක් තමයි ඉදිරිපත් කරන්නේ. “ට්‍රෙබල් ව්‍යාපෘතිය සඳහා වෙනම storage partition එකක් අවශ්‍යයි. ඒ, Android framework එක සහ vendor image වෙන් කිරීමටයි. කොහොම නමුත්, Android N සහ ඊට පෙර ආ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සඳහා partition අවශ්‍ය නොවූ නිසා, අපේ දැනට නිෂ්පාදිත දුරකතනවල එවැන්නක් නැහැ. ඒ වගේම අපි කළ පර්යේෂණ අනුව අපි යාවත්කාලීනය ලබා දුන්නත් එය ස්ථාපනය වීමේදී partition කරන්නට ගියහොත් දෝෂ ඇතිවී දුරකතන නිෂ්පාදන යළි භාවිතයට ගන්නට බැරිවන තත්ත්වයට (නැවත මෙහෙයුම් පද්ධතිය මුලුමුනින්ම ස්ථාපනය කිරීමට සිදුවන තත්ත්වයට) පත්වන නිසා අපට එවන් අවධානමක් ගන්නට සහ පාරිභෝගිකයන් අනතුරේ හෙළන්නට බැහැ. ඒ නිසා දැනට පවතින ඒවාට අප මේ විශේෂාංගය යොදන්නේ නැහැ”

ඒ අනුව, Google Pixel සහ Pixel XL, Essential දුරකතන, Huawei සමාගමේ Mate 9, Mate 10, Honor 9 සහ Honor 8 Pro දුරකතන පමණක් Treble ව්‍යාපෘතියට දැනට සහාය දක්වනවා.

කවරයේ ඡායාරූපය: droid-life.com

Related Articles