Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Proxy සහ VPNවල වෙනස මොකක්ද?

අන්තර්ජාලය තුළ අපේ අනන්‍යතාව සඟවා ගන්නට Proxy මෙන්ම VPN පාවිච්චි කරන්නට පුළුවන්. මේ දෙකෙන්ම සිදුවන්නේ එකම මූලික කර්තව්‍යයක්. අපේ IP ලිපිනය අප පිවිසෙන වෙබ් අඩවියෙන් සැඟවීම මඟින් අවසාන අග්‍රය වෙත අපේ අනන්‍යතාව සඟවනවා. එනමුත් අපේ භාවිත අවශ්‍යතාව අනුව තෝරාගත යුත්තේ ප්‍රොක්සියක් ද නැතහොත් VPN එකක් ද යන්න තීරණය වෙනවා.

ප්‍රොක්සි සර්වර් සහ එහි වාසි, අවාසි

දත්ත සංසරණයට ප්‍ර්‍රොක්සිය අතරමැදියා වන ආකාරය (hide-ip-proxy.com)

HTTP, FTP, SSL ආදී ලෙස Proxy සර්වර් වර්ග තිබුණත් අප මෙහිදී මාතෘකා කරගන්නේ Anonymous Proxy හෙවත් අනන්‍යාව සුරකින වර්ගයන් ගැන යි. මෙවන් ප්‍රොක්සි සර්වර් එකකින් සිදුවන්නේ අප පිවිසෙන වෙබ් අඩවියක් සඳහා අතරමැදියා බවට පත් වීම යි. අප කිසියම් වෙබ් ලිපිනයක් ලබාදුන් විට සර්වරය විසින් අදාල වෙබ් අඩවියට පිවිස, එයට ලැබුණු දත්ත ඍජුවම අපේ තිරය වෙත ගෙන එනවා.

වෙබ් අඩවියක් මඟින් අපේ රට අවහිර කර ඇති අවස්ථාවක දී ප්‍රොක්සි සර්වර් එකකින් බොහොම පහසුවෙන් ඊට පිවිසෙන්නට පුළුවන්. කිසිම දෙයක් පරිගණකයට හෝ දුරකතනයට මෙහිදී ස්ථාපනය නොකරම පාවිච්චි කළ හැකි වෙබ් අඩවි තිබෙනවා. ඊට උදාහරණ ලෙස proxysite.com, proxysite.video, hide.me, free-proxy.com ආදිය දැක්විය හැකියි. මෙම වෙබ් අඩවිවලට පිවිසුණු විට අපට යාමට අවශ්‍ය වෙබ් ලිපිනය සඳහා කුමන රටක් නියෝජනය කළ යුතු ද යන්න තෝරා අවහිර කරන ලද වෙබ් අඩවියට පහසුවෙන්ම පිවිසෙන්නට පුළුවන්.

මාර්ගගත ප්‍රොක්සි සේවාවක තිරදසුනක් (Roar/@thambaru)

පිවිසෙන වෙබ් අඩවිය අප තෝරා දෙන ලද රටින් සබැඳෙනවායැ යි සිතා එහි පිවිසුමට ඉඩ සලසනවා. ඔබට වෙබ් අඩවි කිහිපයකට එක්වර පිවිසීමට අවශ්‍ය නම් මේ ක්‍රමය මඳක් කරදරකාරී විය හැකියි. මන්ද, අදාල ප්‍රොක්සි වෙබ් අඩවියට පිවිස සෑම වතාවක දීම එහි වෙබ් ලිපින ටයිප් කරමින් පිවිසිය යුතු වෙනවා. බොහෝ වෙබ් සේවාවන් iframeවල අදාල වෙබ් අඩවිය load කරන නිසා, ඒ වටා ඇතැම්විට වෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයෙන් පෙන්වන නිසා Browser එකෙන් සාමාන්‍යයෙන් අදාල වෙබ් අඩවියට පිවිසෙනවාට වඩා අපහසුතා රැසක් ඇති වන්නට පුළුවන්.

VPN යනු

සම්පූර්ණ ස‌බඳතාව ආකේතනය වන ආකාරය (cbsistatic.com)

VPN සේවාවන් ද මතුපිටින් බැලූ විට ප්‍රොක්සිවලට බොහොම සමාන යි. ඔබේ දත්ත එක් සර්වරයකට යැවෙන අතර එය හරහා එම දත්ත අවශ්‍ය වෙබ් අඩවිය වෙත යැවෙනවා. නැවත පිළිතුරු දත්ත ලැබීමේදීත් අතරමැදි සර්වරය හරහා ඔබට දත්ත ලැබෙනවා. VPN සහ Proxy සර්වර් එකක් අතර මූලික වෙනස දැකිය හැකි වන්නේ අපේ දත්ත සර්වරය වෙත යැවෙන ආකාරය අනුව යි.

ඔබ VPN එකක් පාවිච්චි කරද්දී පරිගණකය හෝ දුරකතනය මත VPN මෘදුකාංගයක් ස්ථාපනය කළ යුතු වෙනවා. එය සක්‍රීය කළ විට ඔබේ උපාංගය වෙතින් යැවෙන දත්ත සියල්ලක්ම ආකේතනය (encrypt) වෙනවා. එවිට බාහිර කෙනෙක්ට (උදා: ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා, හැකර්වරු ආදීන්) ඔබ යවන දත්ත මොනවාදැ යි දැකගන්නට නොහැකි වෙනවා. මෙයට Tunneling හෙවත් උමංකරණය ලෙස හඳුන්වනවා. සත්‍ය ලොව මහපාරේ ගමන් ගනිද්දී පිටත සිටින කෙනෙක්ට ඔබව දැකිය හැකි වූවත්, පොළොව යටින් උමඟක් හාරගෙන ගියහොත් කිසිවකුට එය දැක ගැනීමට නොහැකියි. මෙය ද එලෙස ක්‍රියාත්මක වන නිසා ඒ නම යොදා තිබෙනවා.

අන්තර්ජාලයට පිවිසීමට පමණක් නොව, බොහෝ ආයතනවල තමන්ගේ අභ්‍යන්තර ජාලය පිටත ජාලයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහාත් VPN පාවිච්චි කරනවා. එවිට ඔවුන්ගේ ආයතනික සංවේදී දත්ත හැකර්වරුන්ගෙන් ආරක්ෂා කරගෙන කටයුතු කරන්නට හැකි වෙනවා. අප මෙහිදී මාතෘකා කරගන්නේ අන්තර්ජාලයට පිවිසීම සම්බන්ධව යි.

VPNවල වාසි සහ අවාසි

අකේතිත නිසා තෙවන පාර්ශවයකට අත පෙවිය නොහැකියි (namecheap.com)

අන්තර්ජාලය තුළ අනන්‍යතාවය සැඟවීමේදී VPN පහසුවෙන් පාවිච්චි කරන්නට පුළුවන්. ස්ථාපනය කිරීම සඳහා කාලය වැයවූවත්, තවත් මෘදුකාංගයක් වශයෙන් පරිගණකයේ මඳ වශයෙන් හෝ වේගය අඩු කිරීමට මූලික වූව ද ස්ථාපනයෙන් පසු එය භාවිතය පහසු යි. ප්‍රොක්සි මෙන් ‍නොව, මෙහි අපේ පරිගණකයේ සිට අතරමැදි සර්වරය දක්වා වූ සබඳතාවය ද ආකේතනය (encrypt) කිරීම විශේෂත්වයක්. මෙම Tunneling ක්‍රියාවලිය නිසා අපේ අන්තර්ජාල සේවා සම්පාදකයාට (ISP) ද අප පිවිසෙන වෙබ් අඩවි දකින්නට නොහැකි නිසා ISP එකෙන් අවහිර කරන ලද වෙබ් අඩවිවලට පිවිසීමට ද හැකි වෙනවා.

පරිගණකය/දුරකතනය මත මෘදුකාංගයක් ස්ථාපනය කරගන්නට සිදුවන්නේත් මෙම ආකේතන ක්‍රියාවලිය එමඟින් සිදුකරන නිසා යි. නමුත් අවාසනාවකට VPN නොමිලේ ලැබෙන්නේ නැහැ. “එහෙනම් අපි මේ FREE VPN දාගත්තේ?” කියලා ඔබ දැන් අහවි. ඔව්, මුදලින් නොමිලේ ලැබුණත් එලෙස නොමිලේ ලබා දෙන ඒවා ඒ වෙනුවට අපේ වැදගත් දත්ත උකහා ගන්නවා. එලෙස සිදුවන එක් අවස්ථාවක් වන්නේ, දුරකතනය මත එවන් App එකක් ස්ථාපනය කළාම අපි පාවිච්චි කරන අනෙකුත් Apps මොනවා ද, කෙතරම් කාලයක් අප ඒවා පාවිච්චි කරනවා ද ආදී දත්ත රැසක් ඔවුන්ට දැකගත හැකියි. ඒවා භාවිතයෙන් වෙළඳ දැන්වීම් පෙන්වීමට අවශ්‍ය දත්ත රැස් කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම, විනාඩි ගණනකට වතාවක් ඇතැම්වායෙන් Ads ද එනවා.

පරිගණක සඳහා ද Crack කරන ලද VPN මෘදුකාංග දකින්නට ඇතත් Ransomware වැනි අපේ දත්ත සම්පූර්ණයෙන් ආකේතනය කර දමා විනාශ කරන සැහැසිකේත (malware) තිබෙන නිසා ඒවා භාවිතය කිසිසේත් නිර්දේශ කරන්නට නොහැකියි.

වඩාත් හොඳ මොකක්ද?

TOR ජාලය හරහා කරන පිවිසුම් ඔබේ ජාල පද්ධති පාලකයාටවත් දැකිය නොහැකියි (eff.org)

කිසියම් වෙබ් අඩවියක් ලංකාවට අවහිර කර ඇති අවස්ථාවක දී (සහ ඇතැම් YouTube වීඩියෝ ලංකාවේ සිට නැරඹිය නොහැකියි) පරිගණකය හෝ දුරකතනය මත මුදල් ‍ගෙවා හෝ දත්ත පාවා දී නොමිලේ VPN එකක් ඒ වෙනුවෙන්ම පාවිච්චි කරනවා වෙනුවට Proxy එකක් පහසුවෙන් භාවිතා කළ හැකියි. මේවා බෙ‍ාහෝ අවස්ථාවල දී නොමිලේ ලබා දෙන අතර අවම වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. ප්‍රොක්සි වෙබ් අඩවිවලට මෘදුකාංගයක් හරහා අපේ උපාංගවල බලය අත්පත් කරගන්නට නොහැකි නිසා උපාංගය තුළ ඇති දත්ත ගැන බිය නොවී එම සේවාවන් පාවිච්චි කළ හැකියි.

වැඩිදුර කියැවීමට: TOR ජාලය ක්‍රියාත්මක වන ආකාරය

එනමුත් වෙබ් අඩවි රැසක් ISP එක මඟින් අවහිර කර ඇති අවස්ථාවක VPN එකක් භාවිතය බොහොම පහසුයි. ඒවායෙන් සිදුකරන දත්ත උකහා ගැනීම් වළක්වාගෙන වඩාත් විශ්වාසදායීව පාවිච්චි කරන්නට නම් ඔබේම VPS එකක් OpenVPN ස්ථාපනය කරගැනීමයි හොඳ. නමුත් ඊට මුදල් වැය වන නිසා නොමිලේම ගත හැකි විසඳුමක් අවශ්‍ය නම් අපි පෙර ලිපියක ගෙන ආ පරිදි TOR ජාලයට සබැඳෙන්නට පුළුවන්. එහි වඩාත් ආරක්ෂිතව සහ අනන්‍යතාව හොඳින් සඟවා ගනිමින් අන්තර්ජාල ගවේෂණයෙහි යෙදන්නට අවස්ථාව ලැබෙනවා.

කවරය: vpnservicepro.com

Related Articles